පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ කටයුතු කරන කුඩා පරිමාණ නිෂ්පාදකයන් අධෛර්යමත් කරන තීරණ කිහිපයක්ම ආණ්ඩුව විසින් ගෙන තිබේ. ඒ හරහා මේ ක්ෂේත්‍රයේ බොහෝ පිරිසකට ආදායම් අහිමිවීමට අමතරව රටේ අඩු පිරිවැය විදුලි නිෂ්පාදනයට බාධාවක් එල්ල විය හැකි බවට මත පළවෙමින් තිබේ.
සෝලා පද්ධති අලෙවි සමාගම්වල සේවකයින් පිරිසක් ඊයේ (27) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබුණි.
ඒ, වහල (පියසි ) මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල අඩුකිරීමට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව ඉවත්කර ගන්නා ලෙස ඉල්ලමින් ය.
ඔවුන් චෝදනා කළේ මෙම යෝජනාව හරහා එම සමාගම්වලට දැඩි බලපෑමක් සිදුවන බවය.
වහල මත සවිකරන සෝලා පද්ධති මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීම සඳහා මේ වනවිට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
එම කැබිනට් පත්‍රිකාවට අනුව සෝලා පද්ධති හරහා නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට මෙතෙක් ගෙවන ලද රුපියල් 27ක මුදල රුපියල් 19 ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.
මීට අමතරව කිලෝවොට් 20 – 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් මෙන්ම කිලෝවොට් 100 – 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක් ලෙස ගාස්තු සංශෝධනය වියයුතු බව අදාළ කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත.
අදාළ යෝජනාව මගින් සෝලා පද්ධති අලෙවි සමාගම්වලට දැඩි බලපෑමක් එල්ලවන බව විරෝධතාකරුවන් පවසයි.
සූර්‍ය ශක්තිය හරහා විදුලි උත්පාදනය අධෛර්යමත් කිරීමට රජය සැරෙසයි – පුබුදු ජයගොඩ
ලංකා විදුලිබල මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී W. එදිරිසූරිය සහ අතිරේක සමාන්‍යාධිකාරී K S L කුමාර යන පුද්ගලයින්ගේ අත්සනින් යුතුව 2025/DCC/COM05 දරන චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ සූර්‍ය ශක්තිය හරහා විදුලි උත්පාදනය අධෛර්යමත් කිරීමට බව ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ හෙළි කර තිබුණි.
ඔහු මෙම කරුණු හෙළි කළේ සූර්‍ය බලශක්තිය අධෛර්යමත් කරන රජයේ තීරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ඊයේ (27) ජන අරගල සන්ධානය කැඳවූ මාධ්‍ය සාකච්ඡෙව් දී ය.
ඒම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් කරුණු අනාවරණය කළ පුබුදු ජයගොඩ…
ආණ්ඩුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කරලා
”පසුගිය මාර්තු 17 වෙනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී W. එදිරිසූරිය සහ අතිරේක සමාන්‍යාධිකාරී K S L කුමාර කියන පුද්ගලයින්ගේ අත්සනින් යුතුව 2025/DCC/COM05 දරන චක්‍රලේඛය නිකුත් වුණා. මේ චක්‍රලේඛයට අදාළව ඉංග්‍රීසි භාෂා පිටපතක් පමණයි නිකුත් වෙලා තියෙන්නේ. මෙහි සිංහල සහ දමිළ භාෂා පිටපත් නිකුත් කරලා නෑ. ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය අනුව රාජයේ නිල ලේඛන සියල්ලේ ම සිංහල සහ දෙමළ භාෂා පිටපත් නිකුත් කිරීම අනිවාර්‍යයි. නමුත් ඒ ප්‍රතිපත්තිය මේ චක්‍රලේඛය මගින් උල්ලංඝනය වෙලා තියනවා.දැන් අපිට තියෙන ප්‍රශ්නෙ තමයි ඇයි ආණ්ඩුව මේ චක්‍රලේඛයේ සිංහල දෙමළ පිටපත් නිකුත් නොකර ඉන්නේ?
සාමාන්‍ය ජනතාව මේ චක්‍රලේඛයේ අඩංගු කරුණු දැනගන්නවට ආණ්ඩුව යම් අකමැත්තකින් ඉන්නව ද කියන සැකය අපිට මෙහි දී මතු වෙනවා. ඉංග්‍රීසි භාෂා පිටපතේ සඳහන් කරුණු අනුව පැහැදිලියි මේ චක්‍රලේඛය නිකුත් කිරීමේ අරමුණ තමයි සාමාන්‍ය ජනතාව, සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාරිකයින් විදුලි උත්පාදනය සඳහා මැදිහත්වීම නැවැත්වීම. විශේෂයෙන් සූර්‍ය ශක්තිය හරහා විදුලි උත්පාදනය අධෛර්යමත් කිරීමට තමයි මේ චක්‍රලේඛය නිකුත් වෙන්නේ.
අතිරික්ත විදුලිය විකිණීමේ අවස්ථාව ජනතාවට අහිමි කරලා
මෙච්චර කාලයක් අපේ නිවසේ දී සූර්‍යපැනල මගින් නිපදෙවෙන විදුලිය පරිභෝජනය සඳහා ඉතිරිකරගෙන අතිරික්ත විදුලිය ජාතික පද්ධතිය සඳහා එකතු කිරීමට පුළුවන්කම තිබුණා. සාමාන්‍ය ජනතාව එයින් යම් මුදලක් උපයා ගත්තා. ඒකට තමයි ලංකා විදුලිබල මණ්ඩලය නෙට් + + කියන පැකේජ් එක හඳුන්වා දීලා තිබුණේ. මේ පැකේජ් එක අනුව අපිට පුළුවන් තමනගේ වහල මත කිලෝ වෝට් 40 දක්වා සූර්‍ය පැනල සවි කරගන්න. ඒ මගින් ජනතාවට පුළුවන්කම ලැබුණා අතිරික්ත විදුලියක් විකුණන්න. 2024 අවුරුද්ද වෙද්දී මේ විදිහට විදුලිය උත්පාදනය කරන පවුල් ගණන ලක්ෂයකට වැඩිය හිටියා. ලංකා විදුලිබල මණ්ඩලයේ ඉලක්කය වුණේ මේ විදිහට පියසි මත සවිකළ සූර්‍ය පැනල හරහා නිපදවෙන විදුලිය අලුතින් මෙගාවෝට් 160ක් 2024 අවුරුද්දෙදි ජාතික පද්ධතිට එකතු කරන්න. නමුත් ඒ අවුරුද්දෙදි ජාතික පද්ධතියට මෙගාවෝට් 600ක් ජනතාව විසින් එකතු කරලා තියනවා.
සූර්ය පැනල විදුලි නිෂ්පාදනය අඩු කිරීමේ රහස
ඇයි ආණ්ඩුව මේ විදිහේ චක්‍රලේඛයක් නිකුත් කරන්නේ ? අපි දන්නවා 2030 අවුරුද්ද වෙනකොට ලංකාව බලාපොරොත්තු වෙනවා පුනර්ජනනීය බලශක්තිය මගින් රටේ විදුලි අවශ්‍යතවයෙන් 70%ක් සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ අපි විදුලිබලය නිපදවන්න අරමුණු කරගෙන ඉන්නේ කිලෝවෝට් පැය 2000ක් නම් එයින් 1800ක්ම සාමාන්‍ය ජනතාව පියසිමත සවි කළ සූර්‍ය පැනල හරහා නිපදවන්න පුළුවන්. එතකොට කම්පැනිවලට ඉඩ තියෙන්නේ කිලෝවෝට් පැය 200කට විතරයි. ඒ කියන්නෙ සාමාන්‍ය ජනතාව මේකෙන් ඉවත් කරන්න හේතුව තමයි දැවැන්ත එකාධිකාර සමාගම්වලට පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ හිමිකාරීත්වය පැවරීම.
විදුලිබල ඇමති කුමාර ජයකොඩි තමයි මේ තක්කඩි වැඩේ පිටිපස්සේ ඉන්නේ. ඔහු මීට කලින් විදුලිබල මණ්ඩලය විනාශ වෙන විදිහේ සංකල්ප පත්‍රිකාවක් නිකුත් කළා. ඊටපස්සෙ විදුලිබල මණ්ඩලයේ සභාපති විදිහට පත් කළේ ආචාර්‍ය තිලක් සියඹලාපිටිය. ඔහු තමයි ආර්. ඒ. ආර්. කියන ලංකා විදුලි බල මණ්ඩලයට උපදේශන සේවා සපයන සමාගෙමේ හිමිකරුවා. ඔහුගේ බිරිඳත් ගල් අඟුරු සමාගමක සේවය කරන බවට වාර්තා පැතිර යනවා. මේකෙ සත්‍ය අපි තවම දන්නේ නෑ. මේ පත්වීම මගින් ළබැඳියාවන් අතර ගැටුමක් ඇති වීම නවත්වන්න බෑ.
මෝදි අත්සන් කරන ගිවිසුම
පසුගිය මාර්තු 3 වෙනිදා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හෙක්ටයාර 19ක ඉඩමක් වගා නොකරන මුඩු බිමක් විදිහට නම් කරලා සිංගප්පූරුවේ විදුලි නිෂ්පාදන සමාගමකට පවරන්න කැබිනට් පත්‍රිකාවක් සම්මත කළා. ඒ පත්‍රිකාව ඉදිරිපත් කළේ කුමාර ජයකොඩි ඇමතිවරයා. මේ ඉඩම කියන්නේ ගොවි පවුල් 80ක් වගා කටයුතු කරන ඉඩමක්. මේ ඉඩම්වලින් ඒ ගොවි ජනතාව පන්නලා දාලා සිංගප්පූරු සමාගමට පවරන්න සූදානම් වෙනවා සූර්‍ය විදුලි බලාගාරයක් සඳහා.
ඊලඟට අප්‍රේල් 5 නරේන්ද්‍ර මෝදි ලංකාවට එනවා ගිවිසුම් 6ක් අත්සන් කරන්න. අද වෙනකල් ඒ ගිවිසුම් මොනවද කියලා ජනතාවට කියලා නෑ. හැබැයි පසුගිය මාර්තු 21 ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදි කිව්වා සාම්පූර්වල මෙගාවෝට් 50ක විදුලිබලාගාර ගිවිසුමක් අත්සන් කරනවා කියලා. මේ සූර්‍ය බලාගාරය හදන්න සූදානම් වෙන්නේ කැලෑව එළි කරලා. එතකොට මෝදි ඇවිත් අත්සන් කරන එක ගිවිසුමක් තමයි මේ සාම්පූර් ගිවිසුම.
2025/DCC/COM05 දරන චක්‍රලේඛය වහා ම අවලංගු කළ යුතුයි
ආණ්ඩුව මොකක් ද මේ කරන්න සූදානම් වෙන්නේ? සාමාන්‍ය ජනතාව පියසිමත සවි කළ සූර්‍ය පැනල හරහා නිපදවන අතිරික්ත විදුලිය මිලදී ගැනීම නවත්තලා මහාපරිමාණ බලාගාර ඉඳි කරන්න ලොකු කම්පැනිවල අවස්ථාව දෙනවා. ඒ දෙන්නෙත් රටේ තියෙන ස්වාභාවික වනාන්තර ටික නැත්තං ගොවි ජනතාවගේ ඉඩම් ටික. එතකොට මේ අපරාධය කරන්න ද ජනතාව ජාතික ජන බලවේග ආණ්ඩුට බලය දුන්නේ ? ඒ නිසා අපි කියනවා ආණ්ඩුව වහාම මේ චක්‍රලේඛය අවලංගු කළ යුතුයි. එහෙම නොවුනොත් ජන අරගල සන්ධානය විදිහට අපි ජනතාව එක්ක එකතුවෙලා මේ ජනතා ද්‍රෝහී වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා මැදිහත් වෙනවා කියන කාරණය මේ වෙලාවේ ආණ්ඩුවට මතක් කරනවා.’’