කොවිඞ්19 වසංගත තත්ත්ව පාලනයට අදාළ නිරාවරණ රාජකාරිවල යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මුහුණදෙමින් සිටි ගැටලු කීපයක් සම්බන්ධයෙන් විසඳුම් ලබාදෙන ලෙසත් එසේ නොමැති වුවොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් අප්‍රේල් මස ආරම්භයේ ඔබ සංගමය විසින් අදාළ බලධාරීන්ට දන්වා තිබුණා. මේ වන විට එම ගැටලු නිරාකරණයකට පත්ව තිබේද?
ආරක්ෂිත උපකරණ මේ වන විට යම් තරමකට ලැබෙනවා. නමුත් ඉතින් ප්‍රමාණවත් නැහැ. හැබැයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැමෝට තිබෙන්නේ ඒ තත්ත්වයයි. ඒ වගේම අපට ආරක්ෂිත උපකරණ ලබා ගන්න පෞද්ගලික අංශයේ බොහෝ ආයතන සහ වෘත්තීය සංගම් උදවු කරලා තියනවා. ඒ නිසා මේ වන විට යම් තරමකට ඒ අවශ්‍යතාවන් සපුරා ගනිමින් කටයුතු කරනවා. ප්‍රවාහන ගැටලු සඳහාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට යම් තරමකට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වාහන සපයා තිබුණා. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්කයේ තිබූ ගැටලුවක් හැර අනෙක් දිස්ත්‍රික්කවල බොහෝ දුරට ඒ ගැටලුව විසඳිලා තිබුණා. නමුත් ඉල්ලීම් අතරින් විසඳිලා නැති ප්‍රශ්නය තමයි නිරෝධායන පනතේ බලතල සම්බන්ධයෙන් තිබූ ගැටලුව. ඒකට මේ වනතුරු විසඳුමක් ලැබිලා නැහැ.
නිරෝධායන පනතේ මහජන පරීක්ෂකවරුන්ට තිබෙන බලතල සම්බන්ධයෙන් වන එම ගැටලුකාරී තත්ත්වය පැහැදිලි කළොත්?
1897 අංක 03 දරන නීරෝධායන රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ පනතේ ප්‍රධාන පාර්ශ්ව 3ක් ඉන්නවා. පළමු පාර්ශ්වය පනතේ බලධාරියායි. ඒ අනුව බලධාරියා සෞඛ්‍ය අමාත්‍යතුමියයි. දෙවන පාර්ශ්වය නිසි බලධාරීන්. ඒ යටතේ නිසි බලධාරියා දිවයිනටම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයායි, කොට්ඨාස මට්ටටමෙන් පළාත් පාලන ආයතන ප්‍රධානියා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියායි. බලධාරියා සහ නිසි බලධාරියා ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම සදහා පනතේ පත් කර තිබෙන්නේ පරීක්ෂකවරුයි. ඒ කියන්නේ නීතිය බලාත්මක කිරීම සදහා පරීක්ෂකවරු පත්කර තිබෙනවා. 1897 ඉඳලා ගැසට් නියෝග ගොඩක් තියනවා. මේවායේ පරීක්ෂකවරුන්ට දී තිබෙන බලතල යම් තරමකට ව්‍යාකූල යි. ඒ නිසා අධිකරණවල නඩු කටයුතුවලදී අපිව අභියෝගයට ලක්වෙනවා. උදාහරණයක් ලෙස රට ඇතුළේ බෝවන රෝග පාලනය කිරීම සඳහා නිරෝධායන පනත පාවිච්චි කරන්න බෑ කියලා මේ වන විට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු තීන්දුවක් දීලා තියනවා. පසුව ඒකට අපි හලාවත මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම නිසා එම නඩුව නැවත නීතිපති දෙපාර්තමේන්තුවෙන් පවත්වාගෙන යනවා. ඒ සිදුවීමේ දී මාරවිල මහජන පරීක්ෂක නඩුව පවරා තිබුණේ ඩෙංගු මදුරුවෝ බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට විරුද්ධවයි. නමුත් නඩුවෙන් ලැබෙන තීන්දුවත් එක්ක පනතේ තිබූ ව්‍යාකූල බව නිසා විත්තිකරු විසින් මහජන පරීක්ෂකයාට විරුද්ධව බලහත්කාරයෙන් නිවසට ඇතුළු වුණා, සාපරාධී ලෙස බයගැන්වුවා ආදී ලෙස චෝදනා හතක් එක්ක අපරාධ නඩුවක් පවරනවා. දැනට තිබෙන කොවිඞ් 19 අර්බුදයේදී සියලුම දේවල් කරන්න තියෙන්නෙත් මේ ආඥා පනත යටතේයි.
පනතේ මේ ව්‍යාකූල තත්ත්වය කොවිඞ් 19 වසංගතය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයන් සිදුකරන කටයුතුවලදී බලපෑම් ඇති කළ හැකි ආකාරයන් මොනවාද?
උදාහරණයක් විධියට අපිට කෙනෙක් නිරෝධායන කරන්න ප්‍රතිපාදන තියෙන්නේ මේ පනතෙනුයි. දැන් හැමෝම නිරෝධායන කටයුතු කළාට කවුරුහරි පුද්ගලයෙක් තමන්ව අයුතු විධියට නිවසේ හිරකර තැබුවා කියලා මූලික අයිතිවාසිකම් සම්බන්ධව අභියෝග කළොත් එයින් බේරීමට නම් පනතේ නීතිය බලාත්මක කිරීමට මහජන පරීක්ෂකවරයන්ට ශක්තිමත් ලෙස බලය දී තිබෙන්න ඕනෑ. අපි අමාත්‍යාංශයට මේ තත්ත්වය පෙන්වා දීලා මේක පැහැදිලි ලෙස ගැසට් කරන්න කියන ඉල්ලීම කළේ ඒ නිසයි. කොවිඞ් සම්බන්ධ කටයුතු සියල්ල අපි කරන්නේ මේ පරණ නීතිවලිනුයි. මේවාට මිනිස්සු අභියෝග කරනවා, මේවාට ගහනවා. එළියට පැමිණි පසු මූලික අයිතිවාසිකම් යටතේ නඩු පවරන බවට මේ වෙද්දීත් නිරෝධායන මධ්‍යස්ථානවල ඉඳලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දුරකථන ඇමතුම් දීලා අවස්ථා කීපයක දී තර්ජනය කර තිබෙනවා. ඒ නිසා මේ 1897 පරණ ආඥා පනතකට කෑලි එල්ල එල්ලා ඉන්නේ නැතිව මේකට හරියන විධියේ නිරෝධායන සහ රෝග වැළැක්වීම සදහා අවශ්‍ය අණපනත් සහ නීති සකස් කිරීම ඉතාම වැදගත් වෙනවා.
එවැනි ගැටලුකාරී තත්ත්වයකට සෞඛ්‍ය අංශයේම මහජන පරීක්ෂකවරු මුහුණදෙමින් සිටියදී හමුදා අංශත් මේ නිරෝධායන කටයුතුවල නිරත වෙනවා නේද?
දැනට හමුදා නිලධාරීන් සිදුකරන නිරෝධායන කටයුතුවලට ඕනෑම වේලාවක අභියෝග කිරීමේ හැකියාවත් මිනිස්සුන්ට තියනවා. මොකද පනතේ පරීක්ෂකවරු ලෙස පත්කර තිබෙන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිස් නිලධාරීන් පමණයි. නමුත් පොලිස් නිලධාරීන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තිබෙන බලතලවත් පවරා නැහැ. අපි මේ ගැටලු දිගින් දිගටම අමාත්‍යාංශයට පෙන්වා දුන්නා. මොකද මිනිස්සු මේවාට අභියෝග කරන්නේ දැන් කොවිඞ් තිබෙන අවස්ථාවේ නෙමෙයි. කවදාහරි කොවිඞ් ඉවරවෙලා සාමාන්‍ය රටක් බවට පත් වුණු දවසක මිනිස්සු අභියෝග කළොත් මේවා ප්‍රශ්න වෙන්න පුළුවන්. බලය දීම සම්බන්ධයෙන් පනතේ තිබෙන මේ ව්‍යාකූල තත්ත්වය නිරවුල් කරන්න කියන ඉල්ලීම අපි කළේ එනිසයි. මියගිය අයගේ සිරුරු පිළිස්සීම සම්බන්ධයෙන් වන ගැටලුවත් මේකට අනෙක් හොඳම උදාහරණයයි. ඒ ඇතැම් ඒවා බලෙන් පිළිස්සීමට සිදු වුණා. ඒවාටත් පසුව අභියෝග කිරීමේ හැකියාව තියනවා.
මේවා සම්බන්ධයෙන් බලධාරීන් සමග කළ සාකච්ඡාවලට ලැබුණු ප්‍රතිචාරය මොන වගේද?
සෞඛ්‍ය අමාත්‍යවරිය සමග තිබුණු සාකච්ඡාවේදී තීරණය වුණේ මේකට කඩිනමින් විසඳුම් දෙන්න ඕනෑ කියන දේයි. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අපිව දැනුවත් කළ ආකාරයට මේ සම්බන්ධව අවශ්‍ය වන ගැසට් පත්‍රය සකස් කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා. එම දෙපාර්තමේන්තුවෙන් එය තවම සකස් කර නොලැබුණු බව තමයි දැනගන්න ලැබුණේ.
නාවික හමුදා සාමාජිකයන් තුන්සියයකට අධික සංඛ්‍යාවක් මේ වන විට ආසාදිතයන් බවට හඳුනා ගැනීම සිදුවුණා. මේ සිදුවීම දකින්නේ කොහොමද?
මේ රටේ කොවිඞ් තත්ත්වය අවසන් වෙමින් තිබිය දී නාවික හමුදා කණ්ඩායම්වලට නිවාඩු ලබා දී වැලිසර ඉඳලා නිවෙස්වලට යැවුවා. ඒ යැවීම සම්බන්ධව සෞඛ්‍ය අංශවල කිසිම මැදිහත්වීමක් නැහැ. ඒ යැවුවාට පසු මේ අය පොසිටිව් වුණා. නාවික හමුදාවේ එක් අයෙක් පොසිටිව් වුණු දිනයේම නාවික හමුදාවේ නිවාඩු ගිය අයගේ ලැයිස්තුවක් අපි නාවික හමුදාවෙන් කෝල් කරලා ඉල්ලුවත් දුන්නේ නැහැ. සතියකට විතර පස්සේ ලැයිස්තුවක් එවුවා. පසුව අපි ආශ්‍රිතයන් වෙන් කර, මේ අයගේ සාම්පල ලබාගෙන පී.සී.ආර් පරීක්ෂණ කිරීම ආදී කටයුතුවලට සූදානම් කර තිබියදී නැවත මේ අයව කඳවුරුවලට ගෙන්වා ගැනීමේ තීරණයක් ගත්තා. කඳවුරුවලට ගෙන්වා ගැනීමේ දී මේ අයට බස් රථවලට යම් යම් තැන්වලට එන්න කියලා තිබුණා. ඒ අය ගෙවල්වල ඉඳලා බයිසිකල්වලින් වාහනවලින් තවත් අය එක්ක පාරට ඒම වැනි දේ වුණා. දැන් ඒ අයගේ සම්බන්ධතා තිබූ පවුල්වල සහ ඊළඟ වටයේ ස්පර්ශක ආසාදිතයන් ලෙස වාර්තා වෙනවා. උදාහරණයක් ලෙස මේ සිදුවීමට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් හමුවී තිබුණේ තිදෙනෙක් පමණයි. දැන් වෙද්දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ 23ක් ඉන්නවා. ඉතිරි විසිදෙනාම නාවික හමුදාවේ සහ ඒ අය ආශ්‍රය කළ පවුල්වල අයයි. ඇඳිරි නීතිය තිබුණත් නිවාඩු ගිය අය ඒ අය හැඳුනුම්පත් භාවිත කර ගොඩක් තැන්වල ඇවිදලා තිබුණා. මේ තත්ත්වය නිසා ඊළඟ වටයේ තැනින් තැන පොසිටිව් අය වාර්තා වේවි කියන දේ අපි දන්නේ නැහැ.
එම සිදුවීමෙන් පසු තත්ත්වය කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් මේ වන විට තියෙන්නේ මොනවගේ වාතාවරණයක්ද?
මේ වෙද්දී හමුදා කණ්ඩායම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතර සම්බන්ධතාව පිළිබද නැවත වරක් ගැටලුවක් නිර්මාණය වී තිබෙනවා. දැන් මේ අයව නාවික හමුදාව විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවලට ගෙන ගිහින් තියනවා. මේ මධ්‍යස්ථාන ඇතුළේ මේ අය පොසිටිව් වෙනවාද නැද්ද කියන තොරතුරු සෞඛ්‍ය අංශවලට වාර්තා වෙන්නේ නැහැ. එම ප්‍රදේශයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකට හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ට ඒ පුද්ගලයන් පොසිටිව් වුණා කියන දේ වාර්තා කරන්නේ නැති නිසා අපි ඒ ගැන දන්නේ නැහැ. එහෙම වාර්තා නොවීම නිසා මේ අය ක්ෂේත්‍රයේ ගනුදෙනු කළ අය නිරෝධායනය කරන්න හෝ ඔවුන් සම්බන්ධ වෙනත් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් අපට නැහැ. පොසිටිව් වෙලා කියලා සමහර අවස්ථාවල නිල නොවන ආකාරයට ඒ අයගේ පවුල්වල අය කතා කරලා මහජන පරීක්ෂකවරුන්ට කියූ අවස්ථා තියනවා. ඒ නිසා මේ සම්බන්ධීකරණයේ ගැටලුවක් නැවත නිර්මාණයවෙමින් තිබෙන බව පේන්න තියනවා. එක පැත්තකට එක ගමනක් අරන් යන්න නම් සෞඛ්‍ය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සියල්ල එක ගමනක් යන්න ඕනෑ නේ. ඇත්ත කතාව මේක දෙපැත්තකට ගිහිල්ලා නැවත වරක් සම්පූර්ණයෙන් අවුල් වුණා. ලංකාවේ කවදාවත් කොවිඞ් වාර්තා නොවුණු හම්බන්තොට, කැකිරාව, මාතලේ, මහනුවර, නුවරඑළිය වැනි තැන්වල ආසාදිතයන් වාර්තා වුණා. ඒ නිසා අන්තර් සම්බන්ධීකරණය පිළිබඳ ගැටලුවක් තියනවා.
මේ වන විට ඇඳිරි නීතිය පවතින දිස්ත්‍රික්කවලත් 11 වන දා සිට එය ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා. එම තත්ත්වය කොවිඞ් පාලනය කිරීමේ කටයුතුවලට බලපෑ හැක්කේ කෙසේද?
ඇඳිරි නීතිය ඉවත් කිරීම කියන කාරණයේ දී අපි ටිකක් සැලකිලිමත් විය යුතුයි. ජාඇල සුදුවැල්ලේ සිට කොවිඞ් ආසාදිත අයෙක් කොළඹ නාගලම් වීදියට කුඩු ගන්න ගිහින් එතැනටත් බෝවීම සිදුවුණේ ඇඳිරි නීතිය තිබියදීමයි. සංචරණය කරලා කෙසෙල්වත්තටත් රෝගය පැතිරුණේ ඇඳිරි නීතිය තිබියදීමයි. කෙසෙල්වත්තේ ඉන්දියාවේ සිට පැමිණි කාන්තාවක් ඒ සිදුවීමට පටලවාගෙන තිබුණත් එයා ඒකට සම්බන්ධ නැහැ කියලා අපට මේ වෙද්දී අනාවරණය වෙලා තියනවා. ඒ කාන්තාව පොසිටිව් වෙන්න පෙර ඒ වත්තේ උණ, කැස්ස ආදී රෝග ලක්ෂණ තිබූ අය ඉඳලා තිබුණා. ඇඳිරි නීතිය තිබුණ වෙලාවේත් මිනිස්සු ඒ ආකාරයට ඇවිදලා තිබුණා. තවමත් අපට පොසිටිව් රෝගීන් වාර්තා වෙන්න පුළුවන් සක්‍රීය ස්ථාන තුනක් පමණ තිබෙනවා. පළමු එක නාවික හමුදාවේ දැන් ඇතිව තිබෙන ආසාදිත අයගේ ආශ්‍රිතයන්ගෙන්, දෙවැන්න ජාඇල සුදුවැල්ලේත් යම් වෙලාවක පොසිටිව් වෙන්න පුළුවන් අවදානමක් තියනවා, අනෙක් ස්ථානය කෙසෙල්වත්ත. ඒ ස්ථාන තුන තවමත් යම් යම් අවදානම් තියනවා. ඇඳිරි නීතිය ඉවත් කරනවා කියන එක සම්බන්ධයෙන් අපි පසුගිය දිනවලත් රජයට කිව්වේ ඒ ප්‍රදේශවලින් පිටතට යන්න දෙනවාද කියන එක සම්බන්ධයෙන් තව වරක් කල්පනා කර බලන ලෙසයි. කෙසේ වෙතත් ඇඳිරි නීතිය ඉවත් කළත් තවමත් රට ඇතුලේ ආසාදිතයන් රෝග ලක්ෂණ නොපෙන්වා ඉන්න පුළුවන් කියන දේ මහජනතාව දැනගන්න ඕනෑ. විශේෂයෙන් නාවික හමුදාවේ කිසිම සෙබළෙක් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. සෞඛ්‍ය සම්පන්න අය නිසා ආසාදිත වුණත් රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ. ඒ නිසා මිනිස්සු ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ. ඇඳිරි නීතිය ඉවත් කළත් අපි දීලා තියන ආරක්ෂිත උපදෙස් සියල්ල දිගටම ඉතාම තදින් පිළිපැදිය යුතුයි. මොකද ඕනෑම මොහොතක යම් තැනක පොසිටිව් වෙලා රෝගීන් පොකුරක් වාර්තා වෙන්න පුළුවන්.
මේ වන විට ලංකාව තුළ කොවිඞ් වසංගතයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් විවිධ අය විවිධ ආකාරයේ අදහස් ඉදිරිපත් කරනවා. දැනට තිබෙන තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
දැනට තිබෙන තත්ත්වය විශ්ලේෂණය කළොත් අපි යම් සතුටුදායක තැනක ඉන්නවා. ඒ කියන්නේ මේ වන විට අපේ පාලනයෙන් තොර රෝගී පොකුරු වාර්තා වෙන්නේ නැහැ. අපට තවම අදහස් දක්වන්න බැරි අපේ පාලනයෙන් තොරව නාවික හමුදාව ඇතුළේ තිබෙන එක සම්බන්ධයෙනුයි. නමුත් එළියේ පාලනය යටතේ තිබෙන නිසා අපි දන්නවා. හැබැයි රෝගය වැළඳුණේ කොහෙන්ද කියලා හොයාගන්න බැරි වූ ආසාදිතයන් පස් හයදෙනෙක් පමණ වාර්තා වුණා. ඒ අයගේ රෝග මූලාශ්‍රය කොහේද කියන එක හොයාගන්න බැරිවෙලා තියනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන පොසිටිව් වූ ප්‍රභවයක් සමාජයේ කොහේ හරි හඳුනා නොගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවදානම අපට තියනවා. නමුත් අපේ පාලනයෙන් ගිලිහුණු වසංගත තත්ත්වයක් මේ වෙද්දී ලංකාවේ නැහැ.
ඒ වගේම මේ වන විට කොවිඞ් මරණ 9ක් වාර්තා වුණා. ඊට අමතරවත් කොවිඞ් ලෙස සලකා අවසන් කටයුතු කරන්න කියලා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් නිර්දේශ කරන ඒවා තිබෙනවා. අපට පේන්න තියෙන්නේ ඒවා වැඩි ආරක්ෂාවට එවන ඒවා විධියටයි. විශේෂයෙන්ම ඒවා නිව්මෝනියා රෝගීන් වැනි ඒවායි. හැබැයි ඒවා කොවිඞ් පොසිටිව් නෙමෙයි.
ඉදිරියේදී රට විවෘත කිරීමකට මේ වන විට තිබෙන සහ තිබිය යුතු සූදානම මොන වගේද?
අපට ප්‍රධාන අභියෝග කීපයක් තියනවා. පළමුවැන්න රට ඇතුලේ යම් ස්ථානයක ඕනෑම මොහොතක රෝගී පොකුරක් මතුවෙන්න පුළුවන්. ඒ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනෑ, ඒකට මිනිස්සු සූදානම් කරන්න ඕනෑ. ඒවාට අවශ්‍ය අවබෝධය ලබා දෙන්න ඕනෑ වගේම ඒවාට අවශ්‍ය නීතිරීති සකස්වෙන්න ඕනෑ. පාසල් විවෘත කිරීම ආදිය සම්බන්ධයෙන් ඉතාම ඉහළ ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන්න සිදුවෙනවා. පොදු ස්ථානවලටත් එහෙමයි. ඒ වගේම රට ඇතුලේ අවදානම් සහගත කර්මාන්ත බවට පත් වූ කර්මාන්ත විශේෂයෙන්ම සංචාරක කර්මාන්තය වැනි ඒවා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා. කලියෙන් තිබුණු ප්‍රතිපත්ති වලට අනුව සංචාරකයෝ ලංකාවට ආවාට පස්සේ ඒ අය සමග ලංකාවේ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන්. එතැනදී ලියාපදිංචි වූ සහ ලියාපදිංචි නොවූ මගපෙන්වන්නෝ ඉන්නවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් යම් යම් සීමා පැනවීමට සිදුවේවි වගේම මීට වඩා නීති ක්‍රියාත්මක කර අවධානයෙන් කටයුතු කරන්න සිදුවේවි. අනෙක් දේ පිටරටවල සිට මෙරට ගුවන්තොටුපොළට පැමිණෙන පුද්ගලයන් සියලුදෙනා අඩු වශයෙන් මේ තත්ත්වය ලෝකයෙන්ම තුරන් වන තුරු අනිවාර්යයෙන්ම දින 21ක්වත් අවම වශයෙන් නිරෝධායනය කිරීමට සිදුවෙයි. මොකද දින 14ක් නිරෝධායනය කළ යැවූ පසුත් පොසිටිව් වූ අය වාර්තා වුණා. ඒ වගේම ගුවන්තොටුපොළේ සැකැස්මත් මීට වඩා යහපත් විධියට සකස් කළ යුතු වේවි. ගුවන් තොටුපොළේ දී දත්ත එක්රැස් කරගැනීම, විශ්ලේෂණය හා එම දත්ත අදාළ ආයතනවලට යොමු කිරීම සම්බන්ධව පසුගිය වකවානුවේ ගැටලු තිබූ බව අපි දැක්කා. අනෙක් දේ විශේෂයෙන්ම මේවා සම්බන්ධව කටයුතු කරන ආයතන ඒකාබද්ධ වන ඉහළ මට්ටමේ පහළ මට්ටමේ සහ මධ්‍යම මට්ටමේ ව්‍යුහයන් ස්ථාපිත කරන්නේ සිදුවේවි. මොකද ඒක තවමත් අපිට පේන්න නැහැ. ඉහළ කොවිඞ් මර්දන ජාතික වැඩපිළිවෙළක් තියනවා, පහළ වැඩ කරන අය ඉන්නවා. නමුත් ඉහළින් ගන්න තීරණ මැද දී පිළිවෙළට ගලාගෙන යන්නේ නැහැ. ඒ නිසා විශාල ප්‍රශ්න නිර්මාණය වෙමින් තියනවා. ■
උපුටා ගැනීම – රාවය පුවත්පත