Breaking News

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය හා පාසල් පද්ධතිය පිළිබඳ හැඳින්වීමක්

ලෝකයේ දියුණුතම ප්‍රාථමික අධ්‍යාපන ක්‍රමය ලෙස සැලකෙන ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය පිළිබඳ සම්පාදනය කෙරෙන ලිපි මාලාවක පළමු වැන්න යි මේ.මෙම ලිපි මාලාවේ අරමුණ වන්නේ ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයට අදාළ අත්දැකීම් හා සිද්ධාන්ත, ශ්‍රී ලංකාවට අදාළව උපයෝගී කර ගන්නා ආකාරය පිළිබඳ ගැඹුරින් සලකා බැලීමට බලධාරීන්ගේ සහ වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීම යි.

ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ආරම්භය, වර්ෂ 1800 ගණන් තරම් ඈත කාලයකට දිවෙන නමුත් නූතන අධ්‍යාපන මූලධර්ම ගොඩනැඟෙනුයේ 1970 දශකයේ සිට ය.යුනෝ සිග්නේයස්(Uno Cygnaeus),ජේ.වී. ස්නෙල්මන්(J.V. Snellman) බඳු අධ්‍යාපනවේදීන් මේ සඳහා පුරෝගාමී කාර්යභාරයක් සිදු කළ අතර 1960 සහ 1970 දශකයේ දේශපාලන හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදීන් මේ සඳහා සුවිශේෂ වැඩකොටසක් සිදු කර ඇත.එහෙත් මේ සියල්ලටමත් වඩා වැදගත් වනුයේ ඒ සඳහා මැදිහත් වූ විශේෂඥ භාවයකින් හා ස්වාධීනත්වයකින් යුතු වූ ගුරුවරුන් විසින් සිදු කරන ලද කාර්යභාරය යි.අධ්‍යාපනය යනු සාධාරණ හා සමෘද්ධිමත් සමාජයක මූලික කුළුණ ලෙස සැලකීමට දිගු කලක් තිස්සේ ස්ථාවරව හා සාමුහිකව දරන ලද උත්සාහයන් මත ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ශක්තිය රඳා පවතී.

ගුරුවරයා/ගුරුවරිය යනු උත්තම පුරුෂයෙකි/ස්ත්‍රියකි.

ලාංකේය සන්දර්භය තුළ කියමනකට සීමා වී ඇති මෙම ප්‍රකාශයට සැබෑ වටිනාකමක් ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය යටතේ හිමි කර දී ඇත.ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය මතු නොව සමස්ත සමාජය ම ප්‍රධාන වශයෙන් ම පදනම් වී ඇත්තේ ගුරුවරයාගේ භූමිකාව මත ය.

ෆින්ලන්තය තුළ ගුරුවරයා යනු ඉහළ ම බුද්ධිමට්ටමක් සහිත පුද්ගලයෙකු වන අතර ශාස්ත්‍රීය අධ්‍යයන‍යකින් හා පුහුණුවකින් තොරව කිසිවෙකුට ගුරුවරයෙකු වීමේ හැකියාවක් ෆින්ලන්තයේ නැත.ගුරු විද්‍යාල විශ්වවිද්‍යාල සමඟ සම්බන්ධ කර ඇති අතර ප්‍රාථමික පාසල් ගුරුවරුන් පවා උපාධිධාරීන් හෝ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධිධාරීන් විය යුතුය.ගුරු විද්‍යාල වෙත ඇතුළු වීම හා ගුරුවරයෙකු බවට පත් වීම ෆින්ලන්තය තුළ අතිශය තරඟකාරී කටයුත්තක් බවට පත් වී ඇත.මට හමු වූ එක් ගුරුවරියක පැවසුවේ ගුරුවරියක වීම සඳහා ඇය පස් වතාවක් අයදුම් කළ බව යි.
ගුරුවරයෙකු ලෙස පත්වීමක් ලබා ගැනීම සඳහා අතිශය තියුණු සම්මුඛ පරීක්ෂණ මාලාවකට මුහුණ දීමට සිදු වන අතර විශේෂඥ කණ්ඩායමක් විසින් මෙහෙයවන එම පරීක්ෂණ අදියර 4න් යුක්ත වේ.එක් අදියරයකට විනාඩි 5 බැගින් මෙම පවත්වන මෙම සම්මුඛ පරීක්ෂණ 4 සඳහා සහභාගී වන පරීක්ෂකවරුන් අතර පරීක්ෂණය අවසන් වන තුරු කිසිදු අන්තර්-සම්බන්ධයක් හෝ සංවාදයක් ඇති නො වේ.

පන්ති කාමර තුළ දී ගුරුවරයාට සම්පූර්ණ ස්වාධීනත්වයක් හිමි කර දී ඇති අතර ඔහුගේ ඉගැන්වීම් කටයුතු කිසිදු පරීක්ෂාවකට ලක් කෙරෙන්නේ නැත.එහෙත් ගුරුවරයා විසින් සිසුන්ගේ හැසිරීම් පිළිබඳව නිරන්තර සටහන් මාලවක් පවත්වාගෙන යා යුතු අතර එය හැඳින්වෙන්නේ Wilma යන කාන්තා නාමයකිනි.එය පවා ගුරුවරුන් මහත් හිසරදයක් ලෙස සලකන අතර ඔව්න් සාමාන්‍යය ව්‍යවහාරයේ එය හඳුන්වන්නේ Wilma the bitch(විල්මා නමැති බැල්ලි) ලෙස ය.මන්ද යත්, ඔව්න් පාසල තුළ පමණක් නොව නිවස තුළ දී ද සිය සිසුන්ගේ හැසිරීම් ගැන නිරන්තර පරීක්ෂාවෙන් පසු වන්නේ ස්වේච්ඡාවෙන් ම වන බැවිනි.

ගුරුවරයෙකුගේ සාමාන්‍ය මාසික වැටුප් මට්ටම යුරෝ 2500 – 3000ක්(රුපියල් 875,00 – 1,050,000ක්) අතර වන ඊටත් ඉහළ වැටුප් ලබන ගුරුවරු ද සිටිති.ප්‍රධානාචාර්යවරයෙකුගේ මාසික වැටුප යුරෝ 6000(රු.2,100,000)කි.
එහෙත් ෆින්ලන්තයේ ගුරුවරයෙකුගේ වටිනාකම තීරණය වී ඇත්තේ ඔහු ලබන වැටුප හේතුවෙන් ම නො වේ.ඊට වැඩි වැටුප් තල සහිත රැකියා ෆින්ලන්තයේ පැවතිය ද ගුරුවරයෙකුට කළ හැකි තරමේ සමාජීය බලපෑමක් අන් කිසිදු වෘත්තියකට කළ නොහැකි බව ඔව්හු විශ්වාස කරති.

ප්‍රශ්නය:ඔබ විවාහ වීමට කැමති කවුරෙකු සමඟ ද ?
පිළිතුර:ගුරුවරයෙකු සමඟ

මේ ෆින්ලන්තයේ ඉහත ප්‍රශ්නයට ලැබෙන සාමාන්‍යය පිළිතුර යි.එනයින් ෆින්ලන්තයට විශේෂ ගුරු දිනයක කිසිදු වටිනාකමක් නැත.

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න .

leave a reply