Breaking News

කිඹුලෙක්ව අරන් දිය යටින් ගිය කෙනා

Miran Dameendra Perera

කැමතිම කවියක් ගැන අදහසක් දෙන්න යන අභියෝගයට Udayangani Samaraweera Ganindu Ravi Kalupahana Madhusanka Suraweera Samudu BasnaYake සතර දෙනාම මාව නම්කර තිබුණා. කැමතිම කවියක් ලෙස එකක් තෝරාගැනීම තරම් අසීරු වැඩක් කවියට ආදරේ මනුස්සයෙකුට තවත් නැහැ. සාමාන්යෙන් මෙහෙම දේකදී මා තෝරාගන්නේ වැඩි අවධානයක් නොලැබුණ නමුත් දක්ෂ නිර්මාණකාරුවෙකුගේ හොඳ නිර්මාණයක් තෝරාගෙන ඒ නිර්මාණකරුවාට අවධානයක් ලැබෙන ආකාරයේ සටහනක් ලියා තැබීම යි. නමුත් මෙහිදී ප්රවීණ නිර්මාණකරුවෙකුගේ මා ආසාකරන කවියක් සමග සටහනක් තබන්නට අදහස් කලේ ආධුනික නිර්මාණකරුවන්ට තම නිර්මාණකරනයට යමක් උගත හැකිවේ යැයි මට සිතුණ නිසා ය. එබැවින් ටිම්රාන් කීර්ති කවියාගේ “කිඹුලෙක්ව අරන් දිය යටින් ගිය කෙනා” කවි පංතිය තෝරාගැනීමට මා අදහස් කලා. “කැමතිම කවියක්” අභියෝගයට පමණක් අවධානය යොමු කරන අයට කවිය අවසානය දක්වා කියවීමෙන් නතරවිය හැකියි. ඉන් එහාට කැමති අයට මා දඩිබිඩියේ ලියූ විචාරයද කියවිය හැකියි.

කිඹුලෙක්ව අරන්
දිය යටින් ගිය කෙනා

මහ ඇළයි ලියද්දයි
පුරුද්දපු කාන්දම් කෙනා

තාත්තාම තමයි
රස පොළව උරා බිව් කෙනා

රෑ වෙලා කන්දේ ගෙදරට නැග්ගත්
හඳක් ගැන කෙල පොදක් නොහලපු කෙනා

ඉරමුසු වැලක් වාගේ
ඉර හොයන් ගිය
අවුසදීය මිනිහෙක් එයා

චැරින්ටන් කොම්පැනියේ
කිඹුලා තලේ ගෙන
සිංහල මිට ගහපු
උදැල්ලක් වගේ කෙනා

දැං හදන උදළුතල පණ මදි කියලා
කඩපිලේ මැසිවිලි කිව්වේ නැති කෙනා

සත් සමුදුරම පීනලා දවසක
චෙරින්ටන්ටම හොඳවයින් දෙකක් කියන්නට
පාරම් බාපු කෙනා

හොඳට ඉර පායලා තිබුණ වරුවක
කට පණ තියෙන කිඹුලෙක් එක්කලා
මහ ඇළ දිගේ
චෙරින්ටන් හොයාගෙන ගියා

~ටිම්රාන් කීර්ති~
………………………..

“කිඹුලෙක්ව අරන්
දිය යටින් ගිය කෙනා”

නිර්මාණය ඇරඹෙන්නේ කවියේ මාතෘකාවේ පටන් ම ය.මාතෘකාව කවි පන්තියේ මුල් දෙපදය බවට පත්කරගනිමින් රසිකයා ව නිර්මාණය රසවිඳීමට සූදානම් කරවීම කවියාගේ උපක්රමය වී ඇත. අප සාමාන්ය වහරේදී අසා ඇත්තේ “දිය යටින් ගින්දර” ගෙන යන මිනිසුන් පිලිබඳවය. නමුත් දිය යටින් කිඹුලෙකුව අරන් ගිය කෙනා කෙබඳු කෙනෙක් ද යන්න පලමුවෙන්ම රසික මනසෙහි හටගන්නා පැනයයි.එමෙන්ම කිඹුලෙකුව අරන් දිය යටින් යාමට මේ පුද්ගලයාට තිබූ අවශ්යතාවය කුමක්ද යන්න මීලඟ පැනයයි. එසේ නම් මේ කියන කෙනා එසේ මෙසේ පුද්ගලයෙකු නොව කිඹුලෙක්ව ඇදගෙන දිය යටින් යාමට තරම් සුපිරි වීරයෙකු ද විය යුතුය. උක්ත කරුණු විසින් ඇතිකරන්නාවූ උත්තේජනය විසින් නිර්මාණය තුලට රසිකයාව ඉබේම ඇදගන්නවා ඇත.

“මහ ඇළයි ලියද්දයි
පුරුද්දපු කාන්දම් කෙනා”

නිර්මාණයේ සඳහන් “කෙනා” මහ ඇළත් ලියද්දත් අතර අන්තර් සම්බන්ධතාවයක් ගොඩනැගූ අයෙක් වියයුතුය. සරල ව සිතුවහොත් ඔහු ඇළකින් ජලය ගෙන ලියද්දක වගා කටයුතු කරන්නෙක් හෙවත් ගොවි මහතෙකු විය යුතුය.නමුත් කවියා එය දකින්නේ ලේසි පහසු මිනිසෙකුට කල නොහැකි මහත් වූ වීරකමක් ලෙස ය. “කාන්දම්” ශක්තියක් වැනි අමුතු මොකක්දෝ දුර්ලභ හැකියාවක් ඊට තිබියයුතු බව කවියාගේ ප්රකාශනයයි. මහ ඇලත් ලියද්දත් යා කිරිම කල හැක්කේ එවැනි දුර්ලභ වීර මිනිසෙක්ට පමණක්ය යන්න කවියා ව්යංගයෙන් ප්රකාශ කරන්නේ එනිසායි. කෘෂිකාර්මික ජීවන රටාවක ආභාශය අතීතයේ සිටම ලැබූ අප වැනි සමාජයකට ඇළකින් ජලය ගෙන කුඹුරක් වගා කිරීම විශ්වකර්ම ක්රියාවක් නොවේ. එසේ නම් මෙම කවියෙහි සඳහන් “කෙනා” යනු කවියාට පුද්ගලානුබද්ධ වීරයෙකි. සාමාන්ය පුද්ගලයෙකුට වීරත්වයත් දුර්ලභත්වයත් ආරෝපනය කිරීමට කවියා විසින් “කාන්දම්” යන විශේෂණය යොදාගෙන ඇත. ඇළකින් ජලය ගෙන ලියද්දක වගාකිරීම යන ක්රියාවලිය ව්යංගයෙන් ප්රකාශ කිරීමට ඇළත් ලියද්දත් කාන්දම් බලයකින් පුරුද්දනවා ලෙස යොදා තිබීම අපූර්ව ය.

“තාත්තා ම තමයි
රස පොළව උරා බිව් කෙනා”

පෙර කී, කවියාට පුද්ගලානුබද්ධ වීරයා ඔහුගේම පියාණන් බව කවියා ඉහත දෙපදයෙන් හෙලිදරව් කරයි. ලෝකයට සාමන්ය මිනිසෙකු වුණත් කවියාගේ ලෝකයේ වීරයා ඔහුගේ පියානන්ය. කවියාට අනුව මහ පොළවෙහි රසය හොඳින්ම හඳුනන කෙනා ඔහුගේ පියාණන්ය. “රස පොළව උරා බිව්” ලෙස යෙදීමෙන් තාත්තා මහ පොළව සමග ගතකරන දුෂ්කර කටුක ජීවිතයත් මහ පොළව සමග පියා සතු බැඳීම මෙන්ම අවබෝධයද ප්රකට කරවයි. “තාත්තා ම” තමයි ලෙස “ම” නිපාතය යෙදීමෙන් තාත්තා තරම් වෙන කිසිවෙක් මහපොළව නොහඳුනන බව විශද වේ. පුතෙකුගේ කෝණයෙන් තම ලෝකයේ එකම සුපිරි විරුවා තම පියාණන් බව ඇඟවීමට කවියා ඉතා සූක්ෂම ලෙස වචන තෝරගෙන ඇත.ඉදින් එවැනි සුපිරි තාත්තෙකුට කිඹුලෙක් වුවද දිය යටින් ඩැහැගෙන යා හැකි බව පුතෙකුට අනුව ප්රායෝගිකය ය.

“රෑ වෙලා කන්දේ ගෙදරට නැග්ගත්
හඳක් ගැන කෙල පොදක් නොහලපු කෙනා”

මේ සුපිරි වීර තාත්තා රාත්රි කාලයේ තවත් නිවෙසකට ගොඩවදින්නෙකි. එය අපට ග්රාමීයව සුලභ ව දකින්නට ලැබෙන අනියම් සබඳතාවයක් විය යුතුය. කවියාගේ නිවසෙහි පමණක් නොව තවත් නිවසක කවියාගේ පියා වෙනුවෙන් සඳක් පායා ඇත. එහෙත් ඒ “හඳ” කිසි විටකත් කවියාගේ නිවසෙහි සාමයට බාධාවක් නොවන ලෙස කලමණාකරනය කරගැනීමට තාත්තා වගබලාගෙන ඇත. “හඳක් ගැන කෙල පොදක් නොහලපු” යන්නෙන් ප්රකට වෙන්නේ තාත්තා තම අනියම් සබඳතාවය කිසිවෙකුටවත් බලපෑමක් ඇති නොවන ලෙස පවත්වාගෙන යන බවයි.එනිසා කවියා තම පියාගේ අනියම් සබඳතාවය දකින්නේ ද පියාගේ වීරත්වයෙහි ලක්ෂණක් ලෙසින් ම ය.

“ඉරමුසු වැලක් වාගේ
ඉර හොයන් ගිය
අවුසදීය මිනිහෙක් එයා”

මෙහි දී කවියා “ඖෂධීය” වෙනුවට “අවුසදීය” යන වචනය තෝරාගෙන ඇත්තේ අහම්බයකින් නොවේ.. මෙම නිර්මාණය රසිකයාට ඉදිරිපත් කෙරෙන්නේ උත්තම පුරුෂ කෝණයකිනි. එනම් කවියා විසින් ම අපට යම් සිදුවීමක් විස්තර කෙරෙන ආකාරයකිනි. “අවුසදීය” වැනි ග්රාම්ය කථන වහරක් යොදාගැනීම නිසා කවිය තුලින් කියවෙන කථාන්තරය රසිකයා ට සමීප කරවයි.. තව ද ඉන් “ස” කාරය “ඉරමුසු” යන වචනයෙහි “ස” කාරය සමග අනුප්රාස කිරීමට කවියාට අවස්තාවක්ද ලැබෙයි. ආඛ්යාන කවියතුල හරඹ කිරීමට කවියා සතු ප්රතිභාව මින් ප්රකට වේ. ඉහත පද තුන රසිකයා තුල චිත්ත රූපයක් මැවීමට අසමත්ය. එබැවින් කවියා චිත්තරූප මැවීම වෙනුවට ඖචිත්යවත් බස් වහරක් යොදාගනිමින් රසිකයා තුලින් කවිය ගිලිහෙන්නට නොදී කවියට ඇද බැඳ තබාගැනීමට වගබලාගනියි.

දුප්පත් ග්රාමීය ජීවිත ගතකරන ඔවුන්ගේ දෛනික ජීවිතය අතීශය කර්කශය. ආර්ථිකමය සමාජයමය වශයෙන් අතොරක් නැති කම් කටොළු වලට මුහුණදීමට ඔවුන්ට සිදුවේ.. එහෙත් ඒ සියළු වේදනාවන් සමනය කරන ඖෂධය වන්නේ තාත්තාය. කවියාගේ ජීවිතයෙහි “අවුසදය” වනාහී මේ “කෙනා” ය. එහෙයින් තාත්තා යනු ඔහුගේ සුපිරි වීරයා ය..

“චැරින්ටන් කොම්පැනියේ
කිඹුලා තලේ ගෙන
සිංහල මිට ගහපු
උදැල්ලක් වගේ කෙනා”

මෙතෙක් රසිකයාට කියාගෙන ආ කතාන්දරය සැබෑම කතාන්දරය දෙසට කේන්ද්රගත කරන්නේ මෙහිදීය. ගොවි මහතුන් සුලබව භාවිතා කරන “චැරින්ටන්” සමාගමේ නිශ්පාදනයක් වන කිඹුලා උදළු තලය සමග තාත්තාට යම් ආරෝවක් තිබී ඇත. විදේශීය නිශ්පාදනයක් වන නිසා එය භාවිතා කිරීම තාත්තාට මදිකමක් වී ඇත. එනිසා විදේශීය නිශ්පාදනය එලෙසින්ම භාවිතා කරනු වෙනුවට යම් කිසි දේශියත්වයක් ඇතුලත් කිරීමට “සිංහල” උදළු මිටක් ගැසීමට තාත්තා වගබලා ගනියි. උදළු තලය කොහේ සිට පැමිණියට මිට ගැසිය යුත්තේ ලංකාවේ ගසකින් කපාගත් මිටකිනි. එය විශේෂයෙන් සඳහන් කල යුත්තක් නොවේ…නමුත් කවියා මෙහිදී එය උලුප්පා පෙන්වන්නේ පියාගේ ආකල්ප ගැන යම් ඉඟියක් රසිකයාට ඇඟවීමටය. ඔහු උදැල්ලක් වැනි කෙනෙක්ය යන්නෙන් අදහස් වෙන්නේ පියා සතු නොනැමොන සුළු සෘජු පෞරුෂත්වය ය. ඉහත පද කිහිපය කවියාගේ පියාගේ චරිත ස්වභාවයත් මනෝභාවත් විස්තර කිරීමට මනාව ව්යංගාර්තයන් යොදාගත් අවස්ථාවකි.”කොම්පැනිය” වැනි ග්රාම්ය වචන යොදාගැනීම ද මුලින් සඳහන් කල ආකාරයටම කවිය තුල ග්රාමීය බවත් සජීවි බවත් රැකගැනීමට භාවිතා කල සාර්ථක උපක්රමයකි.

“දැං හදන උදළුතල පණ මදි කියලා
කඩපිලේ මැසිවිලි කිව්වේ නැති කෙනා

සත් සමුදුරම පීනලා දවසක
චෙරින්ටන්ටම හොඳවයින් දෙකක් කියන්නට
පාරම් බාපු කෙනා”

කවියාගේ පියා ඔහුට අනුව සුපිරි වීරයෙකි. එනිසා ඔහු තැන් තැන් වල, කඩපිල් ගානේ ආඩපාලී කියමින් ඇවිදින්නෙක් නොවේ. ඔහු වීරයෙක් නිසාවෙන් ඔහුට ආරෝවක් ඇති ඕනෑම කෙනෙක් සමග මුහුණට මුහුණ සටන් කරන්නෙකි. එනිසාවෙන් ඔහු කඩපිල් වල කයිවාරු ගසනු වෙනුවට දවසක කෝම්පැනියේ ලොක්කාටම බැනවැදීමට අදහස් කරගෙන සිටින්නෙකි.

උදළුතල නිශ්පාදනය කරන්නේ සවිමත් ලෝහයෙනි.. යමක් “පණ මදි” නම් එහි නම්යශීලීත්වයක් තිබිය යුතුය. නමුත් සවිමත් වානේ වලින් තනනු ලබන උදළුතලයක් නැමී යා නොහැක. එසේ නම් කවියා “පණ මදි” ලෙස ව්යංගවත් කරන්නේ උදළු තලයෙහි මුවහත මදි බව ය. “ ප්රකරණය” හෙවත් වචනයක් තවත් වචන සමග ඝට්ඨනය කොට අලුත් අරුතක් ඉපැදවීමේ කාව්යමය ලක්ෂණය මෙහි දක්නට ඇත. ප්රකරණය තුලින් කවියා “පණ” යන වචනයට “මුවහත” ලෙසින් වෙනස් අරුතක් ලබාදී ඇත.

“හොඳට ඉර පායලා තිබුණ වරුවක
කට පණ තියෙන කිඹුලෙක් එක්කලා
මහ ඇළ දිගේ
චෙරින්ටන් හොයාගෙන ගියා”

කවිය උපරිම අවස්ථාවට රැගෙන ඒමට කවියා අවසන් පද කිහිපයෙන් සමත් වී ඇත. කවිය තුල මෙතෙක් දක්නට නොලැබුණ චිත්තරූප මැවීමේ කාව්යමය ගුනාංගය මෙහිදී යොදාගැනීමට කවියා ක්රියාකොට ඇත.”හොඳට ඉර පායලා තිබුණ වරුවක” යන පේලිය කියවනවාත් සමගම කුඹුරක් අසල රැළි නංවමින් ගලා යන ඉර එලිය වැටී දිලිසෙන ඇළපාරක් රසික මනසෙහි චිත්රණය වන්නට පටන් ගනියි.

තාත්තා චෙරින්ටන් හමුවට යන්නට ඉටාගෙන සිටියේ කිඹුලා උදළු තලය තත්වයෙන් බාල කිරීම ගැන හොඳවයින් දෙකක් කියන්නට ය. නො එසේ නම් චෝදනා කොට බැනවැදීමට ය .එසේ හොඳවයින් දෙකක් කීමට නම් “කට පණ” හෙවත් මුඛරි භාවයක් තිබිය යුතුය. කිඹුලා උදැළුතලය ගැන චෙරින්ටන් කොම්පැනිය හමුවේ දොස් කීමට හොඳ මුඛරි කිඹුලෙක්වද කැඳවාගෙන ඇල දිගේ ගොස් සත් සමුදුර තරණය කරන්නට තාත්තා පිටත්ව යන්නේ එබැවිනි. කිඹුලා උදළු තලය ගැන කතා කිරීමට කිඹුලෙක් වශයෙන් කිඹුලන්ටද අයිතියක් තිබිය යුතුය. එනිසා තාත්තා කිඹුලාවද කැඳවාගෙන ම චෙරින්ටන් හමුවට යාමට තීරණය කරයි.

කවියෙහි මුඛ්ය අර්ථය එය වුවද සැබෑ සිදුවීම කවියා අපට ඉදිරිපත් කරන සිදුවීම ම නොවේ. කවියෙහි මතුපිට අරුතෙන් පියාගේ වීරත්වය තව තවත් ඔප්නැංවුව ද සැබෑවටම සිදුව ඇත්තේ අතීශය ඛේදවාචකයකි. කුඹුරෙහි වැඩ කරමින් සිටි කවියාගේ තාත්තා ඇළට බැසීමෙන් අනතුරුව ව කිඹුලෙක් විසින් ඩැහැගෙන ගොස් ඇත. “කට පණ ඇති” කිඹුලෙක් ය ලෙස විශේෂණය කිරීමෙන් සැබෑවටම ව්යංගවත් වන්නේ තාත්තාට දිවි ගලවා ගැනීමට කිඹුලාගෙන් කිසිදු අවස්ථාවක් ලැබී නැති බව ය. එමෙන්ම කිඹුලා විසින් තාත්තාව ඩැහැගැනීමෙන් අනතුරුව ඇති වූ දිවි ගලවා ගැනීමේ සටන ය.

සුපිරි වීරයෙකු වන තම තාත්තා කිඹුලෙකු අතින් මිය යා නොහැකි බව මියගිය ගොවියාගේ පුතුගේ ආකල්පයයි. එය පිලිගැනීමට අකමැති ගොවි පුතා විසින් තම පියා වීරත්වයෙන් උත්තරීතරත්වයට ඔසවාතැබූ අවස්තාවක් ලෙස මෙම කවිය ටිම්රාන් කීර්ති කවියා විසින් නිර්මාණය කර ඇත.

තම තාත්තා කිඹුලෙකු ඉදිරියේ මෙල්ල වුණා නොව ඔහු කිඹුලාවද මෙල්ලකරගෙන සත්සමුදුර තරනයට ඇදගෙන ගිය සුපිරි වීරයෙකු ය යන සිතුවිල්ල ඇතිවූ දරුවෙකුගේ කෝණය ටිම්රාන් කවියා මනාව ප්රතිආශ්වාදනය කරගෙන ඇත.එමෙන්ම සිදුවු ඛේදවාචකයට වෙනස් හැඩයක් ලබාදීමට කවිපන්තිය ඉදිරිපත්කර ඇති විලාශය ත් ආකෘතිය ත් ප්රභලව බලපා ඇත. සිදුවීම එලෙසින්ම විස්තර නොකොට වෙනස් සිදුවීමකින් හා වෙනස් වස්තුවිශයකින් ඉදිරිපත් කර තිබීම නිසා සමස්ථ කවිය තුල යටිපෙලක් සඟවා තැබීමට කවියාට අවකාශ ලැබී ඇත. කවි තුල වෙන වෙනම ව්යංගයන් සඟවා තිබෙනවාක් මෙන්ම සමස්ථ කවිපන්තියම ව්යංගයක් ලෙස තිබීම ද කවියා සතු පරිකල්පණීය ශක්තියත් ප්රතිභාවත් සනාථ කරවයි.

leave a reply