Breaking News

ඉෂූ බණ්ඩාර ලියන – “විදර්ශනා” දෙවන කොටස

විජයසුන්දරාරාමය දෙසින් ඇදී එන සුළං රැළි, වෙලේගෙදර මිදුලේ මැද  හාත්පස අත්පත් කරගෙන වැඩෙන අඹ ගහ යට බංකුවේ වාඩි වී සිටින මගේ නාස්පුඬු මත ඉමිහිරි සුවඳක් තවරමින් ඇදී යයි. තෙල්, මල් වගේම හඳුන්කූරු මුසු වූ එම සුවඳ පන්සලක මිදුලේ සිනිඳු සුදු වැලි ඇතිරූ බිමක නිරුවත් පා තබමින් ඇවිද යන විට මා සිතට දැනෙන සැනසුම හා සමාන හැඟීමක් උදාකරලීමට සමත් වූයේ වෙලේ ගෙදර මිදුල පුරාත් අතුරා ඇත්තේ එම සුදු වැලි නිසාම වන්නට ඇත.

මම වහා රබර් පාවහන් යුවළ කකුලෙන් ගලවා අම්බිලියක් අදින්නට පටන් ගතිමි. පුංචි කාලයේ සීයා අත්තම්මා ගෙදර ආ විට මගෙත් මල්ලිගෙ ත් ලොකුම රාජකාරිය වනුයේ මේ අම්බිලි ඇදීම ය. සිනිදු වැලි ඇතිරූ මිදුල පුරා තරඟෙට අම්බිලි ඇඳීමෙන් අප මහත් ආශ්වාදයක් ලැබීය. කකුලෙහි විලුඹ පොළොවට තද කරමින් පාදය බිම තබා වටේ ට කැරකෙමින් මිදුල පුරා ඇදි අම්බිලි එකකින් අනිකකට පැන ගත කළ අප ළමා කාළයේ සැහැල්ලු බවෙහි අංශුමාත්‍රයක සුවය සුළු මොහොතකට ඒ මතකය හරහා මට නැවතත් විඳගැනීමට හැකිවිය.

අම්බිලි මාමා හෙවත් හඳ මාමා සහ අපි අදිනු ලබන අම්බිලි අතර සෘජු සම්බන්ධයක් ඇත. කකුලෙන් අදින අම්බිලි යද මනාව රවුමට සඳක් සේ පිහිට යි.

එහෙත් , එදා පැණ නැඟුන එකම ප්‍රශ්ණය අදත් මනසට පිවිස නිරුත්තර ව බලා සිටියි. අම්බිලි මාමා යැයි හඳ අනුවර්ත නාමයෙන් හැඳින්වූයේ අපි කකුලෙන් අඳිනු ලබන අම්බිලි නිසා ද, හඳ අම්බිලි යැයි හදුන්වන නිසා මේ ඇඳීම අම්බිලි ලෙස නාමකරණය වුයේ ද? මේවා එදත් අදත් මටත් මල්ලිටත් නොවිසදෙන ප්‍රශ්ණ ය.

දඹදෙනිය විජේසුන්දරාරාමය දෙසින් නැවතත් ඉර බහින ගොම්මනේ සැමදාම ඇසෙන ඝණ්ටා හඬ නැගෙයි.

තුන්වෙනි විජයබාහු රජතුමා විසින් ඉදිකළ බුදු රජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුවත් දන්ත ධාතුවත් තැන්පත් කරමින් දඹදෙණි යුගයේ දළදා මාළිගාව ලෙස අගතැන් පත් මෙවෙනි පෞරාණික පන්සල් භූමියක් පේන මානයේ එයින් නික්මෙන සිල් සුවඳ විඳිමින් වාසය කළ හැකි නිවසක් තිබීම මෙන්ම විහාරස්ථානයේ ප්‍රධාන දායකතැන වීමත් සම්බන්ධයෙන් සීයාතාත්තා සිටියේ නම් මහත් අභිමානයෙනි.

කාලිංග මාඝ ආක්‍රමණය ඇතුළු ඉතිහාසයේ  බොහෝ කරුණු සම්බන්ධ ව සීයාතාත්තා තුල ඇත්තේ නම් නොමඳ දැනීම කි.

එ දවස සමහරක් හවස් වරු වල සීයාතාත්තා ගේ ඇදි පුටුව දෙපස බිම වාඩිගන්නා මටත් මල්ලීටත් ඔය පුරාණ රජ පෙළපත් හා සැබැඳි ආ ගිය කතා පවසන්නේ හරියට එ් දවස ජීවත් වූවකු හා සමාන ජීවමාන ස්වරූපයෙනි.

” මේ අක්කේ , ඔයාට හිතෙන් නැද්ද අපේ සීයාතාත්තා ඉස්සර රජ කෙනෙක් වෙලා ඉන්න ඇති කියලා”

එවෙනි කතා ඇසූ රාත්‍රීයක නින්දත් නොනින්දත් අතර වුන් මා සොළවමින් ඇහැරවා මල්ලී පැවසූ අයුරු සිහිවී මට දැනුදු ‘බකස් ‘ගා හිණා පහල විය.

ඒ හඬ ඇසීදෝ ද කොහෙද පෝටිකෝව අතුගාමින් සිටි අත්තම්මා,

“දුවේ… අද යන්නෙ නැහැ නොවැ” යි උස් හඬින් මා විමසී ය.

විටක මෙසේ හදිසියේ පැමිණෙන මා කැබ් එකක් කොල් කරගනිමින් හදසියේ ම නික්මුන අවස්ථාව ඇති බැවින් අත්තම්මා එසේ ඒ පිළිබද සැකහැර දැනගැනුමට ඇසීම අරුමයක් නොවේ.

“නැහැ අත්තම්මා, මෙදා සැරේ නම් ටික දවසකට ඉන්න බලාගෙන ආවේ” යැයි සක්මනින් ඉවත නැවතත් අඹ ගහ ළඟ බංකුවට බර වූ මා විසින් පැවසූ ව ද මට තවමත් ඒ පිළිබදව හරි නිශ්චයක් නොවී ය.

අත්තම්මා හවස් වරුවෙහි පෝටිකෝව අතුඟාන සෑම දිනක ම ඇසෙන සුපුරුදු  ඝෝරනාඩුව මට නිවස දෙසින් ඇසේ.

” ඈ අපෙ මැණිකේ , මම හැමදාම කියනවා නොවැ මේ ඉරගලයි කත්ගලයි මුලිච්චි වන දොහෙට ගෙවල් අතුගාන එක සුදුසු නැහැ කියලා”

” අපේ මැණිකේ මම හැමදාම මේ කියන දේ කණකට ගන්නෙ නැහැ නොවැ”

“මේවා ආදී මුතුන් මිත්තෝ කට කැඬුන ට කියන කතා හෙම නොවේ”

“ඕවායෙත් ඇත්ත නැත්ත තියනවා.”

” හරි හරි අපේ මහත්තයා , තාම ඉර වඬුවාකෙටූ ගල හරියෙ නොවැ.”

” ඉර බහින්ට කලියෙන් මට විසිතිස් වතාවක් මේ ගේ අතුඟාලා දා හැකි”

මේ ඒ හැමදාමත් ඇසෙන සුපුරුදු දෙබස ම ය. අත්තම්මා සීයාතාත්තා හා එකට එක කීව ද , අතපය ඉක්මන් කර පෙරට වඬා වේගයෙන් ගේ අතුගා ගෙන යන්නේ සීයාතාත්තා ගේ කියමන ට එකඟවන බවක් ඇඟවෙන පරිද්දෙනි.

ඔය දෙබස ඇසෙන විට එ දවස මම ත් මල්ලි ත් මුහුණ ට මුහුණ බලමින් වික්ෂිප්ත ව සිටි කාළයක් විය. අපේ නොදැනුවත්කම් අත්තම්මා ට ත් සීයාතාත්තා ට ත් ඇඟවීම ට නොහැක. ඒත් අප අසා තිබුණේ ඉර නැගෙනහිරින් නැඟ බටහිරින් බැස යන බවයි.

මේ කියන වඩුවාකෙටූ ගල පසුකර  කත්ගලින් බසින ඉරක් ගැන අප අසා තිබුණෙ නැත.

බැරිම තැන රජ කතා අසන අතරතුර

“සීයාතාත්තා, දඹදෙනියෙ ඉර නඟින බහින තැන් ලංකාවෙ වෙන තැන් වලට වඩා වෙනස් දැයි”

මල්ලී අප කතා කර ගත් අයුරින් ම ප්‍රශ්ණය ඉදිරිපත් කරණ ලදී.

මේ මොන අපප්බ්‍රංශයක්දැයි නොසිතූ වෙලාවක ඇසූ ප්‍රශ්ණයක් නිසාවෙන් කට ඇරගෙන පිළිතුරක් බලාපොරොත්තු වෙන්  සිටින අප දෙදෙනා දිහා මාරුවෙන් මාරුවට බැලූ සීයාතාත්තා ට කාරණා කාරණ වැටහීමට වැඩි වෙලා නොගියේ එදින ද අත්තම්මා කොස්ස අතැතිව පෝටිකෝව අතුගෑමට පැමිණි නිසාවෙනි.

“ආ ඒක මෙහෙම යි ,” රැල් බුරුල් ඇර අමාරු විද්‍යා විෂයක් කියා දීමට සැරසෙන අයකු පරිද්දෙන් ඇදී පුටුවේ මඳක් ඉදිරියට එමින් හරිබරි ගැසි වාඩි වූ සීයාතාත්තා

” මේ දඹදෙණි රාජධානිය තියනවා නේද? “ඔය රාජධානිය තුන් පැත්තකින් පිහිටලා තියන මහා ගල් තුනක් තියන කදු වලින් හෙම ආරක්ෂා වෙලා තියන නගරයක් නොවැ”

” ඔය ඉර බහින එක, අපි ඔය කියන ගල් පිහිටලා තියන දිශාවෙන් කියන්න පුරුදු වෙලා ඉතිං.”

” මාලිගාගල, වඬුවාකෙටූගල, කත්ගල ” සීයාතාත්තා මඳක් බර කරමින් විරාම ගනිමින් ඒ ගල් තුන පිළිබද අප දැනුවත් කළේ,

” ඈ අපේ හාමිනේ , මතකයැ , ඔහේ කැන්දන් ආපු මුල් දවස් වල මේ ප්‍රශ්ණෙ ම ඇහුවා අපේ තාත්තා ගෙන්.” යැයි අසමින් අමුතු ම සිනහවක් මුව රඳවමිනි.

එදා ප්‍රශ්ණ ඇසීම හමුවේ හවස අතුගෑම සම්බන්ධව වඟපල කියාගැනීම අමතකව ගොස් ඇති සෙයක් දිස් විය.

අත්තම්මා ටික දවසක් ඉන්නවා දැයි ඇසූ නිසාම , මම මඳක් ඒ පිළිබදව කල්පනා කළෙමි. හිත නිදහස් කරගෙන මිසක් ආයෙත් යා නොහැකි ය. අරවින්ද සමඟ මෙලෙස දිඟින් දිඟටම රංඩු සරුවල් කරගැනීම ද මට මහත් මානසික ප්‍රශ්ණයක් වී හමාර ය.

ඊයේ හදිසියේ ම මම සීයා අත්තම්මා ගෙදර යන්නට තීරණය කළා යැයි අරවින්දට කියන විට බොහෝ හවස් වී තිබුණි. මතක විදියට හයට ආසන්නය. කොතරම් රංඩු වූවද නොරිස්සුම් සහඟතව සිටිය ද මම යන එන තැන් කීම පුරුද්දක් කරගෙන සිටියෙමි. මට ඔහු සුළු දේකටත් සැක වූවාට ඔහුට මා පිළිබද කිසිදු සැකයක් නොවී යැයි මට හැඟෙනුයේ

” මට ඔයා කාත් එක්ක කොහේ හිටියත් විශ්වාසයි විදූ, ”

“මම දන්නවා ඔයාගෙ අතින් වරදක් වෙන්නෙ නැහැ කියලා කවදාවත්”

” ඒත් ඉතිං මේ ලස්සන ඇස් වලින් බලන කොට කොල්ලො නම් වශී වෙනවා කියලා දන්නවා. ඒකට නම් පොඩි ඉරිසියාවත් තියනවා, ”

යැයි මා උරහිස වටා අතක් යවමින් ඔහුගේ පපුවට තුරුළු කර නළල සිඹිමින් කියූ වාර කීපයක් පිළිබද මතකය ඇවිස්සී මොහොතකට නොහොද නෝක්කඩු පහවූ සිතක් ඇතිවිය.

” මොකෙක් ද ඇත්තටම විදූ මේ ඔයාට වැහිලා තියෙන්නේ”, යැයි අරවින්ද ජංගම දුරකතනය එහා කොනේ  සිට ඇසුයේ නම් මඳක් උස් වූ හඬිනි.

” දැන් මේ අවේලාවෙ එළියට බහින්න හදන්නෙ, අද හවස් වරුවම lectures කිබුණේ නැහැ නේද? ”

” ඔයාට වෙළාවක් කලාවක් නැද්ද වැඩ වලට ” යැයි පවසමින් ජංගම දුරකථනය විසන්දි කරවීය.

මේ දවස් වල මගේ එක ම රාජකාරිය අරවින්ද ව කෝප ගැන්වීමයි. මගේ හිතේ තියෙන සැක සංකා දුරු කරගන්නා තෙක් මම හරිම නොසන්සුන් ය.

ඒ ලෙස නිරාකරණය කර ගන්නට ඉඩ නොදී අරවින්ද ද මා නඟන ප්‍රශ්ණයන් ට උත්තර බැඳීම් මඟහැර මෙසේ හැසිරිම මා තවදුරටත් කෝපගැන්වීමට සමත් වී ඇත. ප්‍රශ්ණයක් පැන නැගුණ තැන එය නොවිසදා මට ඉදිරියට යා නොහැක. ආදරය වුවුද සුන්දරව විඳිය හැක්කේ නිරවුල් මනසක් ඇතිවිට පමණි.

ඕන දෙයක් වුනාවේ යැයි සිතා ඇඳුම් ටිකක් බෑගයට ඇසිරූ මම විජේරාම හන්දියට යාම සඳහා කැබ් රථයක් කැඳවී ය. හදිසි කාරණයක් නිසා ගෙදර එන්නයැයි ඇමතුමක් ලද බව පවසා hostel පාළිකාවගෙන් අවසර ගත් මා ප්‍රධාන ගේට්ටුවෙන් එළියට එත්ම ඉදිරියට එන අරවින්ද ගේ මෝටර් රථය කළුවරේ වුවද හඳුනා ගැනීමට වැඩි වෙලාවක් ගියේ නැත.

අරවින්ද හා මා දැන හැදින ගත්තේ විශ්ව විද්‍යාලයේ දී ය. ඔහු විශ්ව විද්‍යාලයෙන් ඉවත් ව සහකාර කතිකාචාර්යවරයෙකු ලෙස එම විශ්ව විද්‍යාලයේ ම වැඩභාර ගෙන තිබිණි.

එකම විශ්ව විද්‍යාලයේ අවුරුද්දක් පමණ එකම faculty එකක අධ්‍යාපනය හැදෑරුව ද ඒ දිනවල නම් ඔහු පිළිබද මා හට එතරම් මතකයක් නොතිබුණි. ඔහු අවසන් වසරෙහි සිටින විට මම දෙවන වසර පසු කරමින් ඉඳ ඇත.

කණ ලඟම් ඇසුණ වාහන නලා ශබ්දයෙන් මා තිගැස්සිණි.

අරවින්ද වාහනය you turn දමා මා අසළම නතර කර ඇත. මම ඔහුට එන්න කිව්වෙ නැත. ඒ මදිවාට මට බැන අඬගසා ජංගම දුරකථනය ද විසන්දි කරවූයේ ඔහු ය. මම ඔහු නොදැක්කා සේ කතා කළ cab එක එන මං ලකුණු දුරකථනය ඔස්සේ පිරික්සමින් සිටියෙමි.

හාත්පස දැඩිලෙස අදුරු ය. විශ්වවිද්‍යාලය අසළ light කණු වල bulb පිච්චී ඇති බවට බලධාරීන් දැනුවත් කර දැන් සතියකට ආසන්න බව ශිෂ්‍ය සංගම් නියෝජනය කරණ අය්යා කෙනෙකු කියනවා මට මතක විය. දස දහසක් තරුණ පිරිස් රැස්වෙන මෙවන් පාරක එය කොතරම් අත්‍යවශ්‍ය කාරණයක් ද යන්න අපේ රටේ නිසි බලධාරීන් හට වටහා දීමට  නම් පෙළපාලි ගොස් කදුළු ගෑස් කකා ඇහැට ඇගිල්ලෙන් ඇනම දැනුවත් කළයුතු ය. එය ද ඉටු වෙනවා කියා කිසිදු විශ්වාසය ක් නැත. මෙවන් වූ සුළු කාරණයක් පවා නිසිකලට වේලාවට ඉටුකර ගැනිමට නොහැකි වේ නම් අන් කාරණා ගැන කවර කතා ද?

” මේ කළුවරේ කණ් දෙකේ ඇබත් ගහගෙන පාර අයිනෙ හිටගෙන ඉන්නෙ ඇත්තට ම ඔයාට මොළයක් නැද්ද විදූ”

අරවින්ද වාහනයෙන් බැස මා අසලට ම විත් ගෑවෙන නොගෑවෙන ලෙස සිටගෙන විමසූයේ හෙමින් නමුත් දත් මිටි කමින් ය.

ඔහුගේ මේ හැසිරීම මට මගේ සිත් ඇතුළෙහි එක්තරා සියුම් සතුටක් උපදව යි. ඔහු මෙළෙස හැසිරෙන්නේ ඔහුට මා වටිනා බැවිණි. මගේ ආරක්ෂාව පිළිබද මෙලෙස හිතනුයේ ඔහු තාමත් මට දැඩි ලෙස ආදරය කරනවා නේදැයි මා සිත විමසයි. නමුත් හිත් කොණක ඇති සැකයේ පුළිඟු ඒ ගිනි නිවන්නට ලේසියෙන් ඉඬ නොහරී.

” දැන් ඔයා ඇයි ආවේ, මම ඔයාට එන්න කිව්වෙ නැහැනෙ, මම cab එකක් call කරා මේ ඒක එනකම් ඉන්නෙ හන්දියට යන්න.”

” මේ විදූ, මගෙත් ඉවසීමේ සීමාවක් තියනවා, මගෙ යකා අවුස්ස ගන්නෙ නැතිව ඔය කෙහෙල්මල් cab එක cancel කරලා නඟිනවා කාරෙක ට”

ඔහුගේ ඒ ස්වරයට නම් මා මඳක් ගැස්සිණි. බොහෝවිට හෙමින් දෙයක් කියා මට වටහා දෙන්නට කොතරම් උත්සාහ කළත් එය නොවන බවත් මෙලෙස උස් ස්වරයක් භාවිතා කළයුතු බවත් ඔහු දනියි.

” නෑ ඕන නැහැ, මම කොහොමත් ඔය එක එක්කෙනා දාගනෙ යන වාහන වල ආයෙ නඟින්නෙ නැතැයි”

දැඩි කරගත් ස්වරයෙන් කියන්නට උත්සාහ කළ ද එය කියා අවසන් වන්නටත් මත්තෙන් මගෙ වැලමිටෙන් අල්ලා ගෙන කාරයේ දොර ඇර මා වාඩි කරවූයේ දැනටමත් මා ඔහු සන්තක දේපලක් කරගෙන අවසන් යැයි පසක් කරණා අයුරිනි.

ඉදිරි අසුනේ වාඩිගත් මම කිසිත් නොකියා cab එක cancel කළෙමි. ඒ වනවිටත් ඔහු සෑහෙන දුරක් පැමිණ අවසන් වී තිබුණත් කරන්නට අන් දෙයක් නොමැත.

ඇස් කොණින් අරවින්ද දෙස බැලූයේ ඔහුගෙන් කිසිදු වචනයක් පිට නොවූ නිසාවෙනි. වෙන කිසි දවසක නොදුටු රකුසු පෙනුමක් ඔහුගේ මුහුණේ විය. අද නම් ඇත්තටම තරහ ගිහින් ඇතිවා සේ ය.

විජේරාම හන්දියේ ‘ගිහාන්”ස් එක ලඟ සද්දයක් එන ලෙස තිරිංග තදකොට ,

” හා දැන් බහින්න, තනියම මේ මහ රෑ යන්න පුළුවන් නිසානෙ එළියට බැස්සෙ” යැයි පවසමින් මා වෙතට නැඹුරුව දොර ඇර දුන්නේ කිසිදු හැඟීමක් නැති පරිද්දෙනි. මම මෙය ඔහුගෙන් කිසිසේත් බලාපොරොත්තු නොවූ හැසිරීමකි.

මම බසයකට ගොඩවන තුරු ඔහු මා හා රැදේවි යැයි බලාපොරොත්තු වුණෙමි. පරිස්සමින් යන්න යැයි උපදෙස් ගොඩක් දේවියැයි බලාපොරොත්තු වුණෙමි. උණුසුම් හාදුවකින් දෙතොල් තෙමි යන විට ඉන් මඳක් හෝ  නිවෙන්නට බලාපොරොත්තු වුණෙමි. ගැහැණු එහෙම ය, කොතරම් පිරිමියා ගේ හිත් රිදෙව්ව ද තරහ පෙන්නුව ද යටි හිතින් බලාපොරොත්තු කප්පරකි.

මේ නම් මේ සතිගාන තිස්සේ ම මා විසින් ඔහුගේ හිත් පෑරු නිසාවෙන්ම ද කොහෙද මට ලැබුනාවූ ඉහිළුම් නොවන පටිසන් දීමකි. දරුණුම දඬුවමකි.

මට හැඬුම් ආවා ය. නමුත් එය නොපෙන්වා මූණ වත් නොබලා දැඩි කරගත් සිතින් කාරයෙන් බැස්ස ද කදුළුනම් නවතාලිය නොහැකි විය. පෑරුණ සිතකට තවත් පෑරෙන්න මෙය උඩගෙඩි දීමකි.

මා බසයකට නැඟීමට ද මත්තෙන් කාරය start කරගත් අරවින්ද වාහනය ඉදිරියට ධාවනය කරණා අයුරු ඇත්තට ම මම බලාගෙන සිටියේ සියුම් ඉකියක් ද සහිතව කදුළු සළමින්ය, අදුරත් , bus halt එකෙහි වැඩි සෙනඟක් නොමැති වීමත් මට මහත් අස්වැසිල්ලක් විය. මම තනියම ආවා නම් මේ දුක නැත. එහෙත් මේ නම් මම බලාපොරොත්තු නොවූ සිදුවීමක් විය.

පිටකොටුවට යන බසයක් ඒ සැණක පැමිණියෙන් මම වහා බසයට ගොඩවිණ. බසයේ සෙනඟ එතරම් නොසිටියෙන් මට කඳුළු සැඟවීමට වෙහෙසක් ගතයුතු වූයේ නැත.

ඉෂූ බණ්ඩාරගේ කොටස් වශයෙන් පළවෙන “විදර්ශනා”  දෙවන කොටස 


leave a reply