Breaking News

ජොන්ස්ටන් සහ ඇලෝසියස් වසර ගණනකින් සුරාබදු ගෙවල නැහැ

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස්ට අයත් අරක්කු සමාගම් ඇතුළු මෙරට ප්‍රමුඛ පෙලේ මත්පැන් නිෂ්පාදන සමාගම් 09ක් ම සුරාබදු ගෙවා නොමැති බව පැවසෙනවා.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තුමේන්තුව පවසන්නේ ඒ මුදල රුපියල් ‭9,640,832,508.93‬ක් (දල වශයෙන් රුපියල් කෝටි 964ක්) බවයි.

ඒ හිඟ බදු මුදල ගණන් බලා ඇත්තේ 2023. 06. 15 දක්වා වන අතර ඊට හිඟ බදු සහ ප්‍රමාද ගාස්තු ද ඇතුළත් බවයි සඳහන් වන්නේ.

ඒ හිඟ මුදල් අතරින් වැඩිම හිඟ මුදල ඇත්තේ අර්ජුන් ඇලෝසියස්ට අයත් රාගම, වැලිසර පිහිටි සී/ස ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමට යි.

ඔවුන් විසින් 2019 වසරේ සිට 2023. 06. 15 දක්වා වසර හතරක කාලය තුළ රුපියල් ‭3,419,060,160.61‬ක (ආසන්න වශයෙන් රුපියල් කෝටි 342ක්) මුදලක් ගෙවා නොමැති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

පොහොට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් කුරුණෑගල, මල්කඩුවාවේ පිහිටි වයඹ ඩිස්ටිලරීස් (පුද්ගලික) සමාගම 2004 සහ 2005 වසර සඳහා ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් ‭525,997,769.59‬ක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 53ක්) වෙනවා.

ඔහුටම අයත් වයඹ ස්පිරිස්ට්ස් සමාගම 2004 වසරට අදාළව ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් ‭266,136,347.61‬ක්. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 27ක්. ඒ අනුව ඔවුන් විසින් නොගෙවා ඇති මුළු මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි 80ක්.

ග්ලොබ් බ්ලෙන්ඩර්ස් සමාගම 1997 වසරේ සිට 2004 වසර දක්වා රුපියල් ‭1,100,508,302.94‬ක් ද මැකලම් බෘෘවරි සමාගම (ලයන් බෘෘවරි සමාගම) 1997 වසරේ සිට 2004 වසර දක්වා රුපියල් ‭564,576,769.62‬ක් ද බදු ගෙවීම් පැහැර හැර තිබෙනවා.

මීට අමතරව කලුතර සමූපාකාර ස්කාගාරය 2019 වසරේ රුපියල් ‭15,589,521.88‬ක් ද ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් සමාගම (රනිදිය) 2022 සහ 2023 රුපියල් ‭246,764,323.45‬ක් ද ගෙවිම් සිදුකළ යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

තවද සිනර්ජි ඩිස්ටිලරීස් සමාගම 2023 වසර සඳහා රුපියල් ‭40,850,774.19‬ක් ද රන්දෙනිගල නිෂ්පාදනාගාරය රුපියල් ‭42,288,378.43‬ක් ලෙස බදු ගෙවීම පැහැර හැර තිබෙන බවයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

leave a reply