Breaking News

යල කන්නය සඳහා බැර ලෝහ අධික පොහොර නිකුත් කරලා – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය ව්‍යාපාරය

2020 යල කන්නයේ වගා කටයුතු සදහා මේ වන විට වෙළෙඳ පොළ වෙත නිකුත් කොට අති සියලූ රසායනික පොහොර ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් නිසි තත්ත්ව පරික්ෂාවකින් තොරව මුදා හැර ඇති බව ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ මේ නිකුත් කර ඇති පොහොර අතර අධික ලෙස බැරලෝහ අඩංගු ත‍්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) නම් පොහොර වර්ගයද පවතින බවයි.

මෙම පොහොර ටොන් 800ක් මුදා හැර ඇති අතර ඒවා පසට හා ජලයට එකතුවීම හරහා සෞඛ්‍යමය වශයෙන් ගැටලු කාරී තත්ත්වයක් ඇතිවනු ඇතැයි ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අනතුරු අඟවයි. ලංකාව පුරා සිඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගය සදහා බැරලෝහ වල සෘජු බලපෑමක් ඇති බව හදුනා ගෙන ඇති බැවින් ඉදිරියේදී වකුගඩු රෝගය අතුලූ බෝ නොවන රෝග ව්‍යාප්ත වීමට විස පොහොර භාවිතය තව දුරටත් හේතු විය හැකි බව මෙම නිවේදනයේ දැක්වේ.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණය ව්‍යාපාර නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය
2020 අපේ‍්‍රල් 27

2020 යල කන්නයේ වගා කටයුතු සදහා මේ වන විට වෙළෙඳ පොළ වෙත නිකුත් කොට අති සියලූ රසායනික පොහොර (යූරියා, ටී.එස්.පී, එම්. ඕ.පී )ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින් නිසි තත්ත්ව පරික්ෂාවකින් තොරව මුදා හැරි බවට තොරතුරු ලැබී ඇත. එමෙන්ම අධික ලෙස බැරලෝහ (කැඞ්මියම්, ලෙඞ්, මකරි) අඩංගු ත‍්‍රිත්ව සුපිරි පොස්පේට් (ටී.එස්.පී) පොහොර කිසිසේත්ම සෞඛ්‍යයට හිතකර නොවන අතර දැනටමත් නිකුත් කොට ඇති මෙටි‍්‍රක් ටොන් 8000 ක් පොළොවට යෙදවීමෙන් පස හා ජලයට විස එකතු වීමට නියමිතය.

මහවැලි, කෘෂිකර්ම, වාර්මාර්ග හා ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් විසින් නොමිලයේ පොහොර බෙදා හැරීමේ චක‍්‍රලේඛ : 5/2020, 2020 සංශෝධන (II) හා පරිසර හිතකාමී පොහොර බෙදා හැරීමේ චක‍්‍රලේඛ : 1/EFF/2020 වලට පරිභාහිරව අදාල ටී.එස්.පී පොහොර නිකුත් කොට ඇත. මේ සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක වන මහේෂ් ගම්මන්පිල මහතා විසින් සිදු කර ඇති අතර, ඔහු විසින් නිකුත් කොට ඇති ලිපි මගින් අවධාරණය කොට ඇත්තේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පොහොර පරක්ෂා කිරීමට අදලාව වන පරික්ෂණාගාර වසා ඇති බැවින් නිසි පරික්ෂාවකින් තොරව පොහොර මුදා හරින ලෙසයි. ශ‍්‍රි ලංකාවේ තත්ත්ව සහතික කිරීමේ වලදී තත්ත්වය අසමත්වූ පොහොර යුරෝපා තත්ත්ව සහතික පමණක් මත මුදා හැරීමට නියෝග කර ඇත. නමුත් විකල්ප අවස්ථාවන් ගණනාවක් පවතිද්දී සැපයුම්කාර සමාගම් විසින් ලබාදෙන ජාත්‍යන්තර විශ්ලේෂණ වාර්තාවකින් පමණක් පොහොර නිදහස් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පෙන්වා දිය හැක.

මේ තුලින් පහත සදහන් කරුණු ගැටලූකාරී වනු ඇත,

  1. ලංකාව පුරා සිඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගය සදහා බැරලෝහ වල සෘජු බලපෑමක් ඇති බව හදුනා ගෙන ඇත. ඒ අනුව ඉදිරියේදී වකුගඩු රෝගය අතුලූ බෝ නොවන රෝග ව්‍යාප්ත වීමට විස පොහොර භාවිතය තව දුරටත් හේතු විය හැක.

  2. වාර්ෂිකව පොහොර ආනයනය සදහා චීනය, රුසියාව, බෙලරූස් වැනි රටවල් සදහා රුපියල් බිලියන 70 ක මුදලක් ලංකාවෙන් පිටතට ගලා යාම වලක්වා ගැනීමට පියවරක් නොගැනීම.

  3. සෞභාග්‍යා ගෙවතු දශ ලක්ෂයක් ගොඩනැගීමේ වැඩසටහනෙහි මූලික පදනම වන වස විසෙන් තොර ගෙවතු වගා අරමුණට සම්පූර්ණයෙන් පටහැනි තීරණයක් වීම.

  4. 2019 ඔක්තෝබර් 24 වන දින කොළඹ ප‍්‍රකාශයට අත්සන් තබමින් නයිට්ට‍්‍රජන් ආකාරයක්ෂම භාවිතය භූමිය, ජලය, ජෛව විවිධත්වයට, මිනිස් සෞඛ්‍යයට හා වායුගෝලයට අහිතකර බලපෑම් ඇතිකරන බැවින් 2030 වන විට 50% කින් නයිටි‍්‍රජන් භාවිතය අඩු කිරීමට වූ එකගතාවට පටහැනි වූ තීරණයක් වීම.

  5. රජය විසින් ජනතාව හා සමාගම් ඉදිරියේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරණ බව පැහැදිලි වීම.

  6. කෝවිඞ් 19 වෛරසය සමග ලොව පුරා ඇති වෙමින් තිබෙන, ආහාර, පෝෂණය හා ප‍්‍රතිශක්තිකරණය පිළිබද නව සංවාදයත්, රසායනික භාවිතාවෙන් තොර කෘෂිකර්මාන්තයක් ඇති කර ගැනීමට ලැබී ඇති පහසු අවස්ථාව බහුජාතික සමාගම් හා ජාත්‍යන්තර ණය දෙන ආයතන වල බලපෑම් මත වෙනස් කිරීමට සුදානම් නොමැති බව.

අවසන් වශයෙන් පොහොර සහනාධාර වැඩසටහන තුලින් තාවකාලික දේශපාලන ඉලක්ක සපුරා ගැනීමට හැකි වුවත්, දිගු කාලීනව මෙරට කෘෂිකාර්මාන්තයේ තීරණාත්මක වෙනසක් ඇති කර ගැනීමට රසායනික පොහොර භාවිතය ඉවහල් නොවන බව පෙන්වා දෙමු. එමෙන්ම පවතින තත්ත්වය පිළිබදව රජය විසින් ජනතාවට වහාම පැහැදිලි කිරීමක් කළ යුතුය.

මෙයට
චින්තක රාජපක්ෂ
මෙහෙයුම්කරු
ඉඩම් හා කෘශිකර්ම ප්‍රතිසංස්කරණය ව්‍යාපාරය

leave a reply