Breaking News

කීර්ති මහනුවර ගෙනයන්න හදන්නේ අතර මගදී මරා දාන්නද? ඔහුගේ ජීවිතය සුරකින්න..!

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පොලිස්පතිට, මානව හිමිකම් කොමිසමට ලියයි

කුප්‍රකට සීසීඩී අත්අඩංගුවේ පසුවන ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී හිටපු ගුවන් හමුදා බුද්ධි නිලධාරියකුද වන කීර්ති රත්නායක මහනුවර ඔහුගේ නිවස වෙත ගෙන යෑමට සැලසුම් කර ඇති බවත් එහි දී ඔහුගේ ජීවිතයට තර්ජනයක් ඇතිවිය හැකි බවත් ඔහුගේ නීතිඥ උපුල් කුමාරප්පෙරුම ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වෙත ඊයේ(14) ලිඛිතව දැනුම් දී තිබේ.

නීතීඥ උපුල් කුමාරප්පෙරුම ගේ ලිපියක් ලැබීමෙන් පසු නීතිඥ සංගමයේ සභාපතිවරයා පොලිස්පතිවරයාට ලිපියක් යවමින් කීර්ති රත්නායකගේ ජීවිත ආරක්ෂාව සලස්වන මෙන් ඉල්ලා තිබේ. නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉහත ඉල්ලීම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ද විධිමත් ලෙස දැනුම් දී ඇත.
වාර්තා වන අන්දමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති සීසීඩීය අමතා ඇති අතර කීර්ති රත්නායක තම අත් අඩංගුවේ සිටින බව සීසීඩීය විසින් කොමිසමේ සභාපතිවරයාට තහවුරු කර ඇත.

නීතිඥ උපුල් කුමාරප්පෙරුම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයාට ඉංග්‍රීසියෙන් ලියන ලද එම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය මෙසේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා
සභාපති,
ශ්‍රී ලංකා නීතීඥ සංගමය
2021 අගෝස්තු 14
හිතවත් මහත්මයාණෙනි

මාගේ සේවාදායකයෙකු වන කීර්ති රත්නනායක මහතාගේ ජීවිතයට තර්ජනයක් පිළිබඳ දැනුම් දීමයි
ඉහත නම් කළ සේවාදායකයා විසින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලබා දුන් තොරතුරක් ගැන කොල්ලුපිටිය පොලිසිය විසින් කරන ලද පරීක්ෂණයකට අදාළව ඔහු රඳවා තබාගෙන ඇත.

මගේ සේවාදායකයා මට දැනුම් දුන්නේ ඔහු විසින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට ලබා දුන් තොරතුරක් පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද පෙරවරුවේ කොල්ලුපිටිය පොලිසියට පැමිණෙන ලෙස ඔහුට දැනුම් දුන් බවත් මහකොමසාරිස් කාර්යාලේ උසස් නිලධාරියෙකු ද සමඟ ඔහු ඒ සඳහා පොලිසියට යන බවයි.

කෙසේ වෙතත්, එක් අවස්ථාවකදී මගේ සේවාදායකයා කොළඹ අපරාධ කොට්ඨාශයට (CCD) අනුයුක්ත නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඔහුව එහි ගෙන එන ලදී. ඉන්පසුව නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා මගේ උපදෙස් මත එහි ගොස් ස්ථානාධිපතිවරයා සහ සීසීඩී හි තවත් නිලධාරින් සමඟ මගේ සේවාදායකයා හමු විය.

එගොඩමහවත්ත මහතාට එකී ස්ථානාධිපතිවරයා විසින් දැනුම් දී ඇත්තේ පරීක්ෂණ සඳහා දින තුනක් සඳහා ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගන්නා බවයි.
ඉන් පසු මගේ සේවාදායකයාගේ සමීපතම මිතුරෙකු මට දැනුම් දුන්නේ සීසීඩීය විසින් හෙට(15) ඔහුව මහනුවරට ගෙන යාමට සැලසුම් කර ඇති බවත් මහනුවර බලා යන ගමනේදී ඔහුගේ ජීවිතයට විශාල අනතුරක් ඇති බවත්ය.

ඉහත තත්ත්වය යටතේ මම ඔබෙන් නිහතමානීව ඉල්ලා සිටින්නේ මේ කාරණයට මැදිහත් වී ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන ලෙස අදාළ බලධාරීන්ට දැනුම් දෙන ලෙසයි.

ස්තූතියි
උපුල් කුමාරප්පෙරුම
නීතිඥ

 

උපුටා ගැනීම lankaenews

leave a reply