Breaking News

පලස්තීනුවන් 8,000ක් පමණ තවමත් සුන්බුන් අතර ජීවත් වන අය බරපතල සෞඛ්‍ය ගැටලුවල 

අහසින් මිසයිල ගමන් කරන   ප්‍රමාණය අඩාල වන විට යුද ගැටුම් කෙරෙහි තිබෙන අවධානයද අඩාල වී යනවා . යුද්ධයේ උණුසුම් තත්ත්වයන් පිළිබඳව සජීවී තොරතුරු සම්පාදනය නවතින විට යුද්ධය අවසන් වී සාමය උදාවී ඇති බව නිරායාසයෙන්ම අන් සමාජ පද්ධතීන් කෙරෙහි කාන්දු වෙනවා . ඉතින් ඉන් පසු යුද්ධයෙන් පීඩාවට පත්වු මිනිසුන්ව අමතක වෙලා යනවා .  සජීවී දර්ශන නරඹමින් සිටි සමාජයේ සෝසුසුම් හද කම්පා සමනය වී යනවා . නමුත්  සුන්බුන් යට  වැළලුණු මිනිසුන්, සියල්ල අහිමි වුනු මිනිසුන් යුද්ධයේ වින්දිතයන් වී  කරකියා ගන්නට දෙයක් නොමැතිව  කොතැනක හෝ කඳවුරකට ගාල්වී  ජීවිතය ගැට ගහගන්නට සටන් කරනවා .

ධනවාදයේ ම්ලේච්ඡ යුද්ධයට මැදි වී  ගාසා තීරයේ ඉතිරි වු මිනිසුන්ගේ දුක්ඛිත ජීවිත පිළිබඳව ලෝක අවධානය යොමු විය යුතුය . යුද්ධයෙන් විනාශ වූ සුන්බුන් යට තවමත් 8000 කට අධික පිරිසකගේ ජීවිත සිරවී ඇතැයි විශ්වාස කෙරෙනවා. ගාසා තීරයට සටන් විරාමයක් යෝජනා වී තිබුනද ම්ලේච්ඡ ඊශ්‍රායලය විටින් විට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා . මේ හේතුව මත සහන සැලසීම සහ ප්‍රදේශය ඇති සුන්බුන් ඉවත් කිරීම පවා අත්හිටුවා තිබෙනවා .අද වන විට, සුන්බුන් වලින් 1% කටත් වඩා අඩු ප්‍රමාණයක්  තමයි ඉවත් කර තියෙන්නේ.  ඇස්තමේන්තු කර ඇති ආකාරයට එම ප්‍රදේශය තුළ සුන්බුන් ටොන් මිලියන 68 ක්  පමණ ඉවත් කිරීමට තියනවා. ඒවා  බැහැර කිරීමට වසර හතක් පමණ ගතවනු ඇති අතර ඩොලර් බිලියන 1.7 කට වඩා වැඩි වියදමක් ද දරන්න සිද්ධ වෙනවා. 

මෙසේ ටොන් ගණනක් වූ සුන්බුන් හේතුවෙන් තම ආදරණීයන්ගේ සිරුරු කොහේදැයි දන්නා නමුත් ඒවා ගොඩ ගැනීමට හෝ ඒ ආසන්නයට ළඟාවීමට නොහැකිව ලතැවෙන මිනිසුන් තමයි අද ගාසා තීරයේ ජීවත් වෙන්නේ. ගාසා තීරයේ ක්‍රියාත්මක වන සහන කණ්ඩායම් පවා මැදිහත් වී  වැඩ කිරීමට මැලි බවක් දක්වන්නේ ඊශ්‍රායලයේ අත්තනෝමතික හැසිරීම මත විටින් විට සිද්ධවන ප්‍රහාර හමුවේ ඔවුන්ගේ ජීවිත පවා අවදානමකට ලක්වී ඇති නිසයි .

ගාසා  වැසියන් බරපතළ සෞඛ්‍ය ප්‍රශ්නවලටද මුහුණ පාමින් සිටින අතර  ප්‍රධානම හේතු බවට පත්වී  තියෙන්නේ කඳවුරු ආශ්‍රිතව වර්ධනය වී ඇති මී පණු  ගහණ යයි . අවතැන් කඳවුරුවල ජීවත් වන ජනගහනයෙන් 80% කට පමණ මෙසේ සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙන්නට සිද්ධ වී තියෙනවා . එසේ වීමට ප්‍රධානම හේතුව තමයි සුන්බුන් අතර සහ කුණු ගොඩවල් සහ විවෘත අපද්‍රව්‍ය කඳවුරු ආසන්නයේ ගොඩ ගැසීමයි . කිසිදු සෞඛ්‍ය පහසුකමක් නොමැති ජීවත්වීමට සිදුවීම මේ ප්‍රශ්නය   තිවුර කිරීමට බලපාන ප්‍රධාන සාධකය බවට පත්වෙලා . මෙසේ විවෘත අපද්‍රව්‍ය සමග ජීවත් වන ජනගහනය මිලියන 1.4  වැඩියි .

අපිරිසිදු වාතය ආස්වාස ප්‍රශ්වාස කිරීම හේතුවෙන් පෙනහළු ආබාධත් නිරන්තරයෙන්ම මදුරු ආක්‍රමණය නිසා ඇතිවන ලෙඩ රෝග වලින් ඔවුන් පීඩාවට පත්වී සිටී. WHO පෙන්වා දෙන පරිදි සමේ රෝග සහ  උකුණු ආක්‍රමණ නිසා හිසේ  ඇති වන රෝග සහ ඇඳ ඇතිරිලි ආසාදන හේතුවෙන් 111,500 කට වඩා විවිධ රෝගාබාධවලට ලක් වූවන්  සිටිනවා. 

සමන්සිරි හේරත්

leave a reply