Day: June 18, 2022

  • ඖෂධ හිඟයට අමතරව ඉන්ධන හිඟයත් රෝහල්වලට බලපායි

    ඖෂධ හිඟයට අමතරව ඉන්ධන හිඟයත් රෝහල්වලට බලපායි

    ඖෂධ හිඟයට අමතරව ඉන්ධන අර්බුදයත් සමග රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවී ඇතැයි වාර්තා වේ.

    කොළඹ ජාතික රෝහලේ හදිසි නොවන ශල්‍යකර්ම සීමා කර ඇති අතර හදිසි ශල්‍යකර්ම පමණක් සිදු කෙරෙන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සඳහන් කර ඇත.

    මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ දෛනික කටයුතුද ඉන්ධන අර්බුදය හමුවේ අඩාල වී තිබේ.

    අපේක්ෂා රෝහලේ, විශේෂඥ ශල්‍ය වෛද්‍ය, කනිෂ්ක ද සිල්වා පවසන්නේ, ඉන්ධන අර්බුදය හේතුවෙන් වෛද්‍යවැරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයට සේවයට පැමිණීමේ ගැටලු මතුව ඇති බවයි.

    වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා ගැනීමේ නිසි වැඩපිළිවෙළක් නොවුණහොත් ඉදිරියේදී තවදුරටත් රෝහල් කටයුතු අඩාල විය හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

  • පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගන්න එපා – පොලීසියෙන් ‘අමුතු’ කතාවක්

    පොලීසිය සමඟ ගැටුම් ඇතිකරගන්න එපා – පොලීසියෙන් ‘අමුතු’ කතාවක්

    පොලිස් වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට පොලිස් නිලධාරීන් පිරවුම්හල් වෙත පැමිණෙන අවස්ථාවලදී ඔවුන්ට බාධා කිරීමෙන් වළකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසා තිබේ.

    ඊයේ දිනයේදී කුරුණෑගල ප්‍රදේශයේදී සහ අතුරුගිරිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් විසින් ජනතාවට අමානුෂික ලෙස පහරදීමේ සිදුවීම් ගැන අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව තිබේ.

    කුරුණෑගල සිදුවීමේදී ඉන්ධන සඳහා පෝලිමේ රැඳී සිටින පුද්ගලයෙකුට උසස් පොලිස් නිලධාරියෙකු විසින් නිකරුනේ පහරදෙන ආකාරය සහ පිස්තෝලයක් පෙන්වමින් එහි රැස්ව සිටින පිරිස් බිය ගන්වන ආකාරය දැකිය හැක.

    එසේම අතුරුගිරිය සිදුවීමේදී ද දැකගත හැක්කේ පොලීසිය විසින් ජනතාවට අමානුෂික ලෙස පහරදෙමින් සිටින ආකාරයයි. අතුරුගිරිය සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් නම දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරුණු දක්වන්නේ ජනතාවගෙන් පොලීසියට හිරිහැර වූ ආකාරයටයි.

    පොලිසිය යනු අත්‍යාවශ්‍ය රාජකාරියක් බැවින් පොලිසිය සමඟ ගැටුම් ඇතිකරගැනීමෙන් වැළකී සිටින ලෙසයි ඔහු ඉල්ලා ඇත.

  • ගිය වසරේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම 88%ක් – මේ වසරේත් එය නැවත සිදුවන ලකුණු

    ගිය වසරේ දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම 88%ක් – මේ වසරේත් එය නැවත සිදුවන ලකුණු

    ඉන්ධන අර්බුදය හේතුවෙන් නැවත පාසල් අධ්‍යාපන කටයුතු අඩපණව තිබේ. ඊයේ (17) සියලුම පාසල්වලට නිවාඩු දුන් අතර අද දිනයේ නිවේදනය කෙරුනේ කොළඹ නගරයේ පාසල් පමණක් සතියක කාලයක් නිවාඩු ලබාදෙන බවයි. කොළඹ නගරයෙන් පිට පාසල්වලට නිවාඩු ලබා නොදුන්නද දරුවන්ට සහ ගුරුවරුන්ට පාසල් වෙත පැමිණීම දුෂ්කර වී තිබේ. මේ වසරේ මෙම තත්ත්වය උදා වන්නේ ගිය වසරේදීත් දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම සියයට 88ක් බවට පත්ව තිබියදීයි.

    කොවිඩ් තත්වය සහ ආර්ථික අර්බුදය නිසා පසුගිය වසරේදී දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම සියයට 88ක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.

    ඊට පෙර 2020 වර්ෂයේ දී දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීම සියයට 54 ක් බව සඳහන් කළ අධ්‍යාපන ලේකම්වරයා කොවිඩ් තත්ත්වයට වඩා වැඩි අභියෝගයක් ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මුහුණ දීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කර තිබේ.

    රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

    සමස්තයක් ලෙස ගත්විට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණවී සිටින බවත් කොවිඩ් තත්වයටත් වඩා ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්වය කළමනාකරණය කර ගැනීම අපහසුවී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පවසා ඇත.

    නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, ඉන්ධන හිගය, දරුවන්ගේ පවුල්වල ආර්ථික අපහසුතා, මවුපියන්ට රැකියා අහිමිවීම ආදී කරුණුද අධ්‍යාපන ක්ෂේත්‍රයට බරපතළ තත්වයක් මතු කර ඇතැයි ද මෙහිදී හෙළිව ඇත.

    මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය වශයෙන් ඒ සඳහා විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බවත් අධ්‍යාපන නිලධාරීහු පෙන්වා දී තිබේ.

    අධ්‍යාපන අමාත්‍යාංශයට මීට පෙර වෙන්වූ වැය ශීර්ෂයන්ට අයත් මුදල් ප්‍රමාණවත් නොවීම තවත් ප්‍රධාන ගැටලුවක් බවත් රජයේ මුදල් ප්‍රභවයන්ට පරිබාහිරව වෙනත් ආයතනවලින් ලැබීමට ඇති UNICEF, ADB, ලෝක බැංකුව වැනි ව්‍යාපෘතිවල මුදල් ප්‍රතිව්‍යුහගත කර ප්‍රමුඛතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා යෙදවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය.

    දරුවන් සහ ගුරුවරුන්ට ළඟම පාසලට ඇතුළුවිය හැකි පරිදි වැඩසටහනක් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා ඇති මුත් ජනතාව තුළ ඒ පිළිබඳ විශ්වාසයක් ඇති බව නොපෙනේ. අනිත් අතින් මෙවැනි වැඩපිළිවෙලක් සඳහා සූදානම් විය යුතුව තිබුණේ මීට මාස කිහිපයකට කලිනි.