“අපිට වෙලාතියෙන්නේ, අපේ ජනාධිපතිතුමයි අපේ ආණ්ඩුවයි හොඳ වැඩියිනේ. එක කාක්කෙක් මරලා තට්ට එල්ලුව නං ඔක්කොම සුද්දයි.” මහාමාර්ග ඇමැති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙවත් ජොනී පසුගිය දා ප්‍රසිද්ධ සභාවක කීවේ ය.
ජොනී මේ කියන්නේ තමන්ගේ ආණ්ඩුවට එරෙහිය යි ‘ඔවුන්ට හිතෙන’ මතවාද නිකම්ම මර්දනය කිරීම මතු නොව, ඝාතනය ද යොදා ‘සුද්ද’ කළයුතු බවත්, එසේ ඝාතනයෙන් ම සුද්ද කළ සහ කරන බව කාට කාටත් දැනගන්නට හැකිවන පරිදි භීතිය වපුරා ප්‍රසිද්ධ කළයුතු බවත් ය.
කාක්කන් මැරීමේ හා තට්ට එල්ලීමේ ජොනීගේ මේ ආසාවට ඇත්තේ තරමක් දිගු ඉතිහාසයකි. එය එසේ මෙසේ ඉතිහාසයකුත් නොවේ. කාක් රැලේ මහ කාක්කාම මරා තට්ට එල්ලීමේ ආසාවක් පිළිබඳ කාක් රැල විසින් ම සඟවන ලද ඉතිහාසයකි.
එබැවින් ජොනීගේ කාක තර්ජනය හමුවේ ආණ්ඩුවේ විවේචකයන් අතරින් කොටසක් හෝ බියට පත්ව සිය විවේචන අත්හැර දැමීමට කල්පනා කරයිනම්, එය පුදුමයක් නොවේ.
ජොනීගේ කාක්කන් මැරීමේ ආසාව පිළිබඳ මේ ඉතිහාස කතාව කණ-කොනින් ඇසූවෝ පමණක් නොව කට-කොනින් කියූවෝ ද අප අතර විරල නැත.
එහෙත් සාක්කි සාධක සහිතව මේ සම්පූර්ණ කතාව ප්‍රසිද්ධියේ, එළිපිට හෙළිදරව්කිරීමක් සිදුවූයේ නැති තරම් ය. කට කොනින් හෝ කියැවුණේ, හිස්තැන්වලට යම් පමණකට උපකල්පන ද මුසුකර තනාගත් ප්‍රබන්ධයකි.
එක අතකට දැවැන්ත අපරාධ උත්සාහයකට නම ඇඳුණු අපරාධකාරයෙක්, ඒ අපරාධයට බිළිවන්නට නියමිතව සිටි බලවන්තයාගේ සහ ඔහුගේ හත්මුතු පරම්පරාවේම අනුග්‍රහ-ආදර-සත්කාර මැද තාමත් කාක්කන් මැරීමේ කතා රසකර කියමින්, රාජ්‍ය දේපොළ මංකොල්ල කමින්, ආණ්ඩුවට අයවිය යුතු බදු මුදල් වංචාකරමින් හොර ජාවාරම් ද කලවම් කර සිය බිස්නස් කිසි කරදරයක් නැතිව කරගෙන යමින් සිටින විට මෙවැනි කතා එළිපිට, ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීමට කවුරු නම් කල්පනා කරත්ද?
එහෙත් කාක්කෙක් මරා තට්ටක් එල්ලීමේ ජොනීමය ආසාවේ මෙතෙක් වසංගා තැබූ සුලමුල අද අපි සවිස්තරව මෙසේ සටහන්කර තබන්නෙමු.
මේ කතාවට අදාළ ඇතැම් තොරතුරු ඒ කාලයේ මාධ්‍යවලින් වරින් වර වාර්තා වී තිබුණ ද, දන්නා තරමින්, සියලු සාක්කි සාධක සහිතව මේ කතාවේ බොහෝ කොටස් මෙසේ ප්‍රසිද්ධියට පත්වන්නේ පළමු වතාවට ය.
ඒ ප්‍රසිද්ධ කිරීම රටේ තිබෙන කිසියම්ම හෝ බලවත් සාම්ප්‍රදායික මාධ්‍යයකින් එළිදකිනවා වෙනුවට, මෙවැනි විකල්ප සමාජ මාධ්‍යයක දිගහරින්නට සිදුවීම රටේ මාධ්‍ය මුහුණපා සිටින අවාසනාවන්ත තත්ත්වයේ ද පිළිබිඹුවකි.
ප්‍රබන්ධයක් බඳු ඇත්තක්…
මේ කියන්නේ රහස් පරීක්ෂක අන්දරයක් හෝ ප්‍රබන්ධ කතාවක් නොවේ. බස්නාහිර පළාත් බුද්ධි අංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2009 ආරම්භයේ දී තොරතුරු සොයායාම අරඹන ලදුව, එම වසරේදීම මුල්වරට අධිකරණයට B වාර්තාවක් ඉදිරිපත් කැරුණු, 2010 සැප්තැම්බර් 07වැනිදා එවකට නීතිපති ව සිටි මොහාන් පීරිස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද උපදෙස් මත පරීක්ෂණ අවසන් කරන බව එම දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චිට දැනුම් දෙන ලද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 7465/01/2009 යටතේ පැවැති නඩුවට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක සී 351/2009/සී.එම්. විමර්ශන ලිපිගොනුවේ අඩංගු කරුණු ඇසුරෙන් හෙළිවන කතාව යි.
මේ කතාව අවසන් නඩුවිභාගයක් හා තීන්දුවක් කරා නොයන්නේ අපරාධ පරීක්ෂකයන් මේ විමර්ශනයෙන් එකතුකර තිබූ තොරතුරුවල ගැටලුවක්, අඩුපාඩුවක් නිසා නොවේ. නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන ලෙස එවකට සිටි නීතිපති මොහාන් පීරිස් එම දෙපාර්තමේන්තුවට ලබාදුන් අබිරහස් උපදෙස නිසා ය.
මේ අබිරහස් තීරණය මත නඩුව තවදුරටත් පවත්වාගෙන නොගිය ද, නඩුවට අදාළ විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් ඉන් අනතුරුව ද විවිධ පාර්ශවවලින් ප්‍රශ්න කෙරී තිබේ. ඉන් එක් ප්‍රශ්නකිරීමක් සිදුවන්නේ එවකට සිටි සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් වෙතිනි. ගම්ලත්ගේ “දැන්ම්දීමට අනුව මේ විමර්ශන සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර, ඉහත පරිදි (නීතිපතිවරයා විසින්) ලබාදී ඇති උපදෙස් සම්බන්ධයෙන් නැවත සලකාබැලීම සඳහා විමර්ශන උදෘත” ද නැවත වතාවක් මගින් ඉදිරිපත් කැරී තිබේ.සිද්ධිය ආරම්භ වනවිට විපක්ෂයේ, එනම් එක්සත් ජාතික පක්ෂයේ සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු, ආණ්ඩු පක්ෂය වෙත පිල් මාරුකරමින ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට ඉදිරිපත් වීමෙන්, මේ ලිපිගොනුව වැසී, ඒ ගැන කතාකළ කටවල් ද වැසීගොස් මේ කතාන්තරය නිමාවක් නැති නිමාවකට එළැඹිණි.
එහෙත් රහසිගත තොරතුරු මාර්ගවලට අනුව ඒ ලිපිගොනුවෙන් රාජපක්ෂලා ජොනී අල්ලේ නටවමින් ගත් වාසි අපමණ ය. ඒ අවශේෂ කාරණා පසෙක තබා, දැන් අර විමර්ශන ලිපිගොනුව හා තවත් විශ්වාස කටයුතු මූලාශ්‍රවලින් ලද තොරතුරු ඇසුරෙන් අප යළි ගොඩට අදින්නේ මෙතෙක් වසංගා තබනලද ඒ කතාව යි.
කාක්කා මැරීමේ උත්සාහයේ සඟවන ලද කතාව
2009 වසර ආරම්භයේ හෝ ඒ ආසන්නයේ එක්තරා දිනෙක බස්නාහිර පළාත් බුද්ධි අංශයට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා විසින් එක්තරා පුද්ගලයෙක් හඳුන්වා දෙනු ලබයි. දේවානන්දාගේ සම්බන්ධීකරණ නිලධාරිනියකගේ සහෝදරයෙක් වන ජෙයරත්නම් නොහොත් ‘ජෙයා’ වන මේ පුද්ලගලයා අනාවරණයකර සිටින්නේ තමන් වසර 02ක් LTTE අත්අඩංගුවේ සිටි බවත්, ඒ අත්අඩංගුවෙන් මුදාහැරීමට කොන්දේසියක් ලෙස කිසියම් පුද්ගලයෙක් කොළඹ රඳවාගැනීමට LTTE සංවිධානයෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බවත් ය.
බස්නාහිර පළාත් බුද්ධි අංශයේ ප්‍රධානී, ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී (SSP) රවී සෙනෙවිරත්නගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ විමර්ශනාක්ෂිය යොමුකරන්නට ඔවුහු කටයුතු කරති.
ඒ අනුව මේ කියන ජෙයරත්නම්ට ඔහුගේ තඹුත්තේගම නිවසේ දී LTTEය විසින් කිසියම් පුද්ගලයෙක් බාරදෙන අතර, ඔහු කොළඹ රැගෙනගොස් මංමාවත් පෙන්වාදෙන මෙන් දැනුම්දෙයි. 2009.02.28 දින මේ පුද්ගලයා කොළඹ ගෙනඑන ජෙයරත්නම්, ඔහුගේ රහසිගත සම්බන්ධතා තිබූ බුද්ධි නිලධාරීන්ද හවුල්කරගෙන මේ පුද්ගලයා කොළඹ 11 මැලිබන් වීදියේ පිහිටි එක්තරා පුද්ගලික ලැගුම්හලක නවත්වා ඇත.
මේ පුද්ගලයා කුමන ඉලක්කයක් සපුරාගැනීම පිණිස කොළඹ එවන ලදදැයි ඒ කිසිවෙක් ඒ වනවිට දැනසිටියේ නැත. එහෙත් මේ කියන රහසිගත පුද්ගලයා සම්බන්ධයෙන් තවත් සූක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබූ බව ද ඒ සමගම හෙළිවෙයි. ඒ වැඩපිළිවෙලට අනුව ඔහු ඉහත ලැගුම්හලේ නවත්වන ලද දිනයේම සවස මෙරූන් පැහැති ඩබල්කැබ් රථයකින් අකුරුගොඩ පිහිටි ‘දෙල්ගහළඟ වලව්ව’ නම් නිවස වෙත රැගෙනගොස් එහි නවත්වනු ලැබේ.
මේ රහසිගත පුද්ගලයා ඉහත කී ඩබල්කැබ් රථයේ රියදුරාට පිටකොටුව බෝගහ අසළදී භාරදෙනු ලබන්නේ තවරාජසිංහම් සුභාෂ් නොහොත් ස්ටීවන් නැමැත්තෙකි. මේ කියන මෙරූන් පැහැති ඩබල්කැබ් රථයේ පමණක් නොව අංක 160/10, කුමාරගේ වත්ත, වැවපාර, තලංගම යන ලිපිනයේ පිහිටි ‘දෙල්ගහළඟ වලව්ව’ නම් නිවසේ හිමිකරු ද අන් කිසිවෙක් නොව අපේ කතානායකයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙවත් ජොනී ය. මේ නිවස ඔහුගේ නීත්‍යානුකූල භාර්යාවට අයත් ය.
තමන් විසින් ලැගුම්හලක නවත්වන්නට මැදිහත්වූ සැකකාර පුද්ගලයා මෙලෙස වෙනත් ස්ථානයකට රැගෙන යනබව නිරීක්ෂණය කරන බුද්ධි අංශ සාමාජිකයෝ ඔහු ගැන විමසිලිමත් වී ඇති අතර, ‘දෙල්ගහළඟ වලව්ව’ නම් නිවස අයත් ග්‍රාමසේවක වසමේ ග්‍රාමසේවකගෙන් ඔවුහු මේ ගැන විමසා සිටිති.
මේ ග්‍රාමසේවක ජොනී හා හැඳුනුම්කම් ඇත්තෙකි. තමන්ගේ නිවස පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් විමසීමක් කරන ලදදැයි ජොනී මේ ග්‍රාමනිලධාරියාගෙන් දුරකතනයෙන් විමසා සිටි බව පසු අවස්ථාවක ග්‍රාමනිලධාරීවරයා දුන් සාක්කියකින් තහවුරු වේ.
දෙල්ගහළඟ වලව්වට ගිය රහසිගත අමුත්තා
මේ රහසිගත පුද්ගලයා ජොනීට සම්බන්ධ කරන්නේ 2004 වසරේ පැවැති මහා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් වන සෙනාතිරාජා ජයනන්දමූර්ති ය. ඔහු මඩකලපුවෙන් දෙමළ ජාතික සන්ධානයේ (TNA) අපේක්ෂක ලයිස්තුවට එන්නේ LTTE සහයෝගය ලබන නියෝජිතයෙක් වශයෙනි.
නවක TNA මන්ත්‍රී ජයනන්දමූර්තිත්, ඔහු හා විපක්ෂයේ සිටි එවකට එජාප මන්ත්‍රීවරයෙක් වූ ජොනීත් අතර මිත්‍රත්වයක් ගොඩනැගී තිබේ.
ජොනීලාගේ පන්නයේ බිස්නස්කාරයන්ගේ කරල යහමින් පැහෙන්නේ ආණ්ඩු බලය ඇති කල ය. මන්ද ඒ බිස්නස් බොහෝවිට බැඳී පවතින්නේ බදු වංචා, රේගුවේ හොර පාරවල්, විශේෂ වරප්‍රසාද හා අනීතික අනුග්‍රහයන් වැනි දේ මත ය.
ආණ්ඩු බලය රහිතව විපක්ෂයේ සිටි ජොනී මේ කාලයේ ව්‍යාපාරවල ගැටලු ආදිය හේතුවෙන් තමන් මූල්‍ය අර්බුදවල කරවටක් එරී සිටින්නේයයි කියමින් සිටඇති අතර, පාර්ලිමේන්තුව තුළ නිතර හමුවන විපක්ෂයේ මිතුරන් ලෙස ජොනීගේ මෙම ආර්ථික ගැටලු ජෙයනන්දමූර්තිට දැනගන්නට ලැබේ.
ජෙයනන්දමූර්ති ජොනීට ආර්ථික අතින් වාසි සැලසෙන අපූරු යෝජනාවක් කරයි.
කිසියම් ප්‍රහාරයකට කොළඹ ගෙනඑන මරාගෙන මැරෙන LTTE සාමාජිකයෙකුට කොළඹින් ආරක්ෂිත නවාතැනක් හා ආරක්ෂාව ලබාගැනීම අවශ්‍ය වී ඇති බවත්, ඊට උදව්කළහැකිනම් ජොනීට සැලකිය යුතු මුදලක් ලබාදිය හැකි බවත් ය, ඒ යෝජනාව.
ජොනී ද මේ යෝජනාවට කැමැති වන අතර, ප්‍රහාරකයා ඉලක්කය කරා යනතුරු ආරක්ෂිතව කොළඹ නවත්වා ගැනීමට පහසුකම් සැලසීමට ඔහු එකඟ වේ.
ඒ වෙනුවෙන් ජොනීට ගෙවන්නට පොරොන්දු වන මුදල රුපියල් කෝටි 03කි.
මේ LTTE සාමාජිකයා ඔහුට භාරකළ අවස්ථාවේ පටන් අත්තිකාරම් වශයෙන් අවස්ථා 03කදී ජොනීට ගෙවා ඇති මුදල රුපියල් කෝටියකි. මරාගෙන මැරෙන කොටි සාමාජිකයා
ඒ අනුව ඩග්ලස් දේවානන්දා විසින් බස්නාහිර පළාත් බුද්ධි අංශ වෙත හඳුන්වා දෙනලද ජෙයරත්නම් නොහොත් ජෙයා විසින් කොළඹට රැගෙන එන මරාගෙන මැරෙන කොටි සාමාජිකයා ජොනී වෙත භාරවෙයි. කොළඹ පිටකොටුවේ බෝගහ අසළ දී මෙම පුද්ගලයා ජොනීගේ රියදුරාට භාරදෙන තවරාජසිංහම් සුභාෂ් නොහොත් ස්ටීවන් යනු ජෙයනන්දමූර්ති මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියා ය. එසේම ඔහු මන්ත්‍රීවරයාගේ වැඩිමහල් සොයුරියගේ පුත්‍රයා වන අතර, මන්ත්‍රීවරයාට අයත් මාදිවල මන්ත්‍රී නිවස්නයේ නතරවී සිට ඇත.
මෙසේ රැගෙන විත් ‘දෙල්ගහළඟ වලව්වේ’ නතරකරගන්නා මරාගෙන මැරෙන භටයා නමින් සිවරාසා සුභාක්‍රිෂ්ණන් නොහොත් අබ්දුල් මොහොමඩ් අසීස් වන අතර ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය 763XXXX48V වේ. එල් ටී ටී ඊ සංවිධානයෙන් ඔහුට ලැබීතිබූ නම ඉලන්තෙන්ඩ්‍රන් ය. ඔහු ගේ පදිංචිය සඳහන් වූයේ ත්‍රිකුණාමලයේ අම්බිවල්ලිපුම් ලෙසිනි.