Breaking News

රනිල් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට? නඩුව දියාරු කිරීමේ නීතිපති වෑයම පරාජය වන හැඩ!

ඉල්ලා අස්කරගත් තවත් නඩු 4ක් ගැනත් යළි සලකා බැලීමේ තීරණ

රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන මෙන් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටිය යුතු බවට නිතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ⁣ අදහස් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් වාර්තා කරන්නේ, රනිල්ට එරෙහි අධිකරණ ක්‍රියාවලිය අඩපණ කිරීමට හා කඩාකප්පල් කිරීමට නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ඔහුට හිතවත් පිරිස් දැරූ බලවත් උත්සාහය පරාජය වන තත්ත්වයක් දැන් උද්ගත වී ඇති බව ය.

අතිශය ආන්දෝලනාත්මක ලෙස පසුගිය කාලයේ නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කරගන්නා ලද නඩු 6කට අදාළ ලිපිගොනු සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා වී ඇති අතර, ඉන් 4ක් නැවත පැවරීමට කටයුතු කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් වෙතින් අදහස් පලවී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් පසුගිය 22වැනිදා, සඳුදා, නීතිපති දෙපාර්තමේන්තුවේ දී සාකච්ඡා වට දෙකක් පැවැති අතර, මෙම ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පිළිබඳ කතාබහ සිදුවී ඇත්තේ දෙවැනි සාකච්ඡා වටයේදී ය.

පළමු සාකච්ඡාව

රනිල් වික්‍රමසිංහගේ ලන්ඩන් සංචාරය නිල සංචාරයක්ද නැතිදැ’යි සොයාබැලීමට ලන්ඩන් නගරයට ගිය සීඅයිඩී නිලධාරීන් සමඟ රජයේ ජේෂ්ඨ නීතීඥ සමදරී පියසේන ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර මින් පළමු සාකච්ඡාව පැවැත්වී තිබේ. මේ විමර්ශනය සඳහා ලන්ඩන් බලා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී එස්. වෙදමුල්ල හා ප්‍රධාන පොලිස් පරික්ෂක නලින්ද හේරත් එයට එක් වී ඇත. සීඅයිඩී නිලධාරීන් විසින් ලන්ඩනයේ දී ඒක්රැස් කරගන්නා ලද සාක්ෂි නඩු කටයුත්ත ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට ප්‍රමාණවත් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ නිගමනය වූ බව අපේ ආරංචි මාර්ග වාර්තා කරයි.

දෙවැනි සාකච්ඡාව

සීඅයිඩී නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එදින ම නීතිපති දෙපාර්තමේන්තුවේ පැවැති දෙවැනි සාකච්ඡාවට නීතිපතිවරයා සමඟ, පෙර සාකච්ඡාවට සහභාගී නොවූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාද් නවාවි ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර හා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට සමග පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ද ඊට සහභාගී වී ඇත.

නීතිපතිවරයා විසින් පසුගිය කාලයේ අධිකරණයේ විමසුමකට භාජනය නොකර සිය අභිමතය පරිදි චූදිතයින් නිදහස්කර හරින ලද අතිශය ආන්දෝලනාත්මක නඩු 6කට අදාළ ලිපිගොනු සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා වී ඇති අතර, ඉන් 4ක් නැවත පැවරීමට කටයුතු කළ හැකි බවට නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීහු අදහස් දක්වා ඇත.
(නීතිපති දෙපාර්තමේන්තුව විසින් අතිශය ගැටලු සහගත ලෙස මෙසේ චූදිතයන් නිදහස්කර හරින ලද නඩු සම්බන්ධයෙන් සියලු තොරතුරු අප සතුවන අතර, ඉදිරියේ දී ඒවා සවිස්තරාත්මක ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.)

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නඩුව සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලයක් පත්කිරීම පිළිබඳ යෝජනාව හදිසියේ ඉදිරිපත් වී ඇත්තේ මේ සාකච්ඡාව අතරතුර දී ය.

මෙය මෙරට අධිකරණ ඉතිහාසයේ සුවිශේෂී නඩුකටයුත්තක් වන බැවින් ද, හිටපු විධායක ජනාධිපතිවරයකු අපරාධ වරදකට නීතිය හමුවට පමුණුවන පළමු අවස්ථාව මෙය වන බැවින් ද, පැමිණිල්ල පාර්ශ්වයෙන් නඩු කටයුත්තට සාර්ථකව මුහුණදීම සඳහා ශක්තිමත් පදනමක් පවතින බැවින් ද මේ නඩුව ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට පැමිණවීම සඳහා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටිය යුතු ය යන යෝජනාව ඉදිරපත් වී ඇත්තේ නීතිපතිවරයාගෙන් නොවුණත්, නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙනි‍.

නීතිපති ‘නොසන්සුන් කළ’ යෝජනාව

වාර්තා වන අන්දමට මේ යෝජනාව ඉදිරිපත් වීම නීතිපතිවරයා දැඩි අපහසුතාවට පත්කරන ලද බව ඔහුගේ ඉරියව්වලින් පෙනුණත්, ඊට එරෙහි වීමේ හැකියාවක් ඔහුට තිබී නැත‍. එම ඉල්ලීම නුදුරේදී ම විධිමත්ව අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.

බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සඳහා පොදු දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය කරන ලදැයි රනිල් වික්‍රමසිංහට එරෙහිව පනවා ඇති නඩුවේ මීළඟ නඩුවාරය මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි 28 වැනිදා ය.

නීතිපති පාරින්ද හා හිටපු ජනාධිපති රනිල් අතර ‘ළබැඳියාවන්ගේ ගැටුම’

නීතිපති ධූරයට සුදුසුකම් සපිරූ තමන්ට වඩා ජ්‍යෂ්ඨ නිලධාරිනියක නීතිපති දෙපාර්තමේන්තුවේ සිටියදී තමන් නීතිපති ධූරයට පත්කිරීමට ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ‘පත්කිරීම් භාර නිලධාරී’ ලෙස ළබැඳියාවන් අතර ගැටුමක් ඇති බැවින්, නීතිපති පාරින්ද රණසිංහ රනිල්ට අදාළ නඩු කටයුත්තේ දී අනවශ්‍ය මැදිහත්වීම් නොකර සිටිය යුතු බවට නීති ක්ෂේත්‍රයේ සැලකිය යුතු අභ්‍යන්තර කතිකාවක් සිදුවෙමින් පවතී. එහෙත් ඉතාම ප්‍රශ්නකාරී ලෙස නීතිපතිවරයා පසුගිය කාලය මුළුල්ලේ ම අදාළ නඩු කටයුත්තට මැදිහත් වූ බව නිරීක්ෂණය කළ හැකි ය.

කෙසේ වෙතත්, මේ ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමේ යෝජනාව හමුවේ මේ වනවිට රනිල් වික්‍රමසිංහ පවා දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

සනත් බාලසූරිය

leave a reply