Breaking News

වසර අනූහතරකට පසු ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ නව ආවේණික වනාන්තරවාසී මීයන් විශේෂය

වර්ෂ 2004 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකාවේ නකල්ස් කඳු වැටියේ උතුරු මායිමේ පුවක්පිටිය නම් කුඩා නිම්නයේ, කුඹුරක් අසල වනාන්තර මායිමක වනජීවී පර්යේෂණ සඳහා අටවා තිබූ වළ උගුලකින් (pitfall trap) එතෙක් වාර්තාවී තිබූ විශේෂයන්ට සමාන නොවන කුඩා මීයෙකු අල්ලා ගැනීමට පර්යේෂකයන් පිරිසකට හැකි විය. ඉන්පසු ඔවුන් එම ක්‍රමයම යොදාගනිමින් තවත් නිදර්ශකයක් ද සපයා ගන්නා ලදී. දෙදෙනාම ගැහැණු සතුන් වූ අතර, ශරීර ප්‍රමාණය කුඩා දරුවෙකුගේ අත්ලකට වඩා විශාල නොවීය. කටු සහිත ආරක්ෂක රෝම කබායෙන් පිටතට පැමිණි දුඹුරු-අළු පැහැති කන්පෙති වලින් සමන්විතවූ මෙම සතුන් ශරීරයට වඩා තරමක් දිගු සිහින්, නිරුවත් වලිගයක් ද සහිත විය. බාහිර රූපාකාරය අනුව මෙම සත්වයා වඩාත් සමීපව ගැලපෙන ශ්‍රී ලාංකික මීයන් විශේෂය වූයේ Mus mayori වූ නමුත් වලිගයේ දිග සහ හිස හැඩයෙන් වෙනස් විය.

ඒ ඔස්සේ සිදුකෙරුණු දීර්ඝ අධ්‍යයනයකින් පසුව මේ වන විට මෙම මීයන් විශේෂය දුම්බර කටු හීන් මීයා (විද්‍යාත්මක නාමය: Mus dumbara) ලෙස විද්‍යාත්මකව ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට අදාළ පර්යේෂණ පත්‍රිකාව ලොව ප්‍රකට ZooKeys විද්‍යා සඟරාවේ පසුගිය මැයි 26 දින පල විය. මින් පෙර වර්ෂ 1932 දී ඩබ්. ඩබ්. ඒ. පිලිප්ස් විසින් ශ්‍රී ලංකා ක‍ටු හීන් මීයා (Mus fernandoni) විස්තර කිරීමෙන් පසු මෑතකදී නම් කරන ලද පළමු ආවේණික ශ්‍රී ලාංකික කටු සහිත මූසික විශේෂය මෙයයි. ඒ වසර අනූ හතරකට පසුවය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ, සත්ව විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්ය සුයාමා එච්. බෝයගොඩ, චීනයේ ගුවැන්සි විශ්වවිද්‍යාලයේ, වන පරිසර විද්‍යාව සහ සංරක්ෂණය සඳහාවූ ගුවැන්සි ප්‍රධාන පර්යේෂණාගාරයේ මහාචාර්ය මාධව මීගස්කුඹුර සහ කැලණිය විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ආචාර්ය කැළුම් මනමේන්ද-ආරච්චි යන පර්යේෂකයින් මෙම නව සොයාගැනීමට දායකවී ඇත.

මුල් සොයාගැනීම සිදුකළ 2004 වසරෙන් පසු අතරමැදි වසර ගණනාව ගෙවී ගියේ අක්‍රීයව නොවේ. මහාචාර්ය බෝයගොඩ 2014 දී පුවක්පිටියට ආපසු ගිය අතර 2015 දී නැවතත් මුල් ක්‍රමවේදයම භාවිතා කරමින්, එම වනාන්තර මායිමේම මෙම සතුන් සෙවීය. නමුත් එම ආගන්තුක මීයන් විශේෂය නැවත හමු වුණේ නැත. පෙනෙන්නට තිබුණේ මීයා අතුරුදහන් වී ඇති බවය. එබැවින් ඒ වන විටත් පර්යේෂකයන් සතුව තිබූ නිදර්ශක දෙක, ප්‍රවේශමෙන් ලබාගත් මිනුම් සහ DNA මගින් අධ්‍යයනය දිගටම කරගෙන යාමට සිදු විය.

දුම්බර කටු හීන් මීයා (Mus dumbara), ශ්‍රී ලංකාවට ආවේණික කටු හීන් මීයන් විශේෂය.

මහාචාර්ය බෝයගොඩ රූප විද්‍යාත්මක අධ්‍යයන කාර්යය සිදු කළේය. නියපොත්තකට වඩා තුනී හිස් කබල්, අන්වීක්ෂීය හකු දත් කුහර වැනි ශරීරාංග අධ්‍යයනය සංකීර්ණ විය. මින් පෙර විස්තර කරන තිබූ Mus ගණයට අයත් Pyromys උපගණයේ කිසිම නිදර්ශකයක් සමග හෝ එතෙක් වාර්තා වී තිබූ ශ්‍රී ලාංකික කටු සහිත මීයන් දෙදෙනාට අදාළ රෝම සහ හිස් කබලේ මිනුම් මෙම ආගන්තුක සතුන්ගේ මිනුම් සමග සැසඳුණේ නැත. ජාන විද්‍යාත්මක අධ්‍යයනයන්ද මහාචාර්ය මාධව මීගස්කුඹුරයන්ගේ මූලිකත්වයෙන් සමාන්තරව සිදු වූ අතර, මයිටොකොන්ඩීය ජාන කලාප දෙකක් සහ එක් න්‍යෂ්ටික ජානයක් සමීපතම ඥාතීන් සමඟ සංසන්දනය කළේය. Mus dumbara සහ අනෙකුත් ශ්‍රී ලාංකික කටු මීයන් අතර ජානමය දුර සාමාන්‍යයෙන් මීයන් පවුල තුළ හොඳින් ස්ථාපිත විශේෂ වෙන් කරන අගයන්ට සැසඳිය හැකි විය. ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ Mus mayori සහ Mus fernandoni විශේෂ වල නිදර්ශක, ඉන්දියානු උප මහද්වීපය සහ අග්නිදිග ආසියාව පුරා විස්තර කර ඇති Pyromys උපගණයට අයත් විශේෂවල සම්පූර්ණ පරාසය සමඟ සැසඳීම් සිදු කෙරිණි. ඒ අනුව Mus dumbara යනු තමන්ටම ආවේණික ප්‍රවේණියක් සහිත නව මී විශේෂයක් බවත් Mus mayori ගේ දේශීය ප්‍රභේදයක් හෝ Mus fernandoni ගේ තවත් ගහනයක් නොවන බවත් තහවුරු විය. මෙම නව විශේෂය හිස් කබලේ ලක්ෂණ දෙකක් මත Pyromys උප ගණයට අයත් වේ.

ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාවේ බටහිර ඝාට්ස් ප්‍රදේශය සමඟ එක්ව ලොව පිළිගත් ජෛව විවිධත්ව උණුසුම් කේන්ද්‍රයක් ලෙස නම්කර ඇත. ප්ලයිස්ටොසීන ග්ලැසියර සමයේදී පෝක් සමුද්‍ර සන්ධිය හරහා වරින් වර ගොඩබිම් පාලම් නිර්මාණයවී තිබුණි. නමුත් දිවයිනේ ජෛව ස්කන්ධය එහි කඳුකර සහ තෙත් කලාපීය වනාන්තර සැලකිය යුතු ආවේණිකත්වයක් රැස් කිරීමට තරම් දිගු කාලයක් තිස්සේ ප්‍රධාන භූමියෙන් වෙන්ව පැවති බව මෙම නව සොයාගැනීම පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය මාධව මීගස්කුඹුරයන් පැවසුවේය. ගෙම්බන්, කටුස්සන්, මිරිදිය කකුළුවන් සහ මූසිකයන් මෑත දශක කිහිපය තුළ බොහෝ නව විශේෂ බිහි කර ඇත. එහෙත් ක්ෂීරපායින්, විශාල හා වඩාත් කැපී පෙනෙන බැවින්, බොහෝ දුරට එසේ නොවේ. නමුත් Mus dumbara දැන් එම කෙටි ලැයිස්තුව තව දුරටත් පොහොසත් කිරීමට සමත්ව තිබේ.

මෙම නව විශේෂය මධ්‍ය උන්නතාංශ මී විශේෂයකි. ඔවුන් දක්නට ලැබුණේ කුඹුරු යායන්ට යාබද වනාන්තර මායිමක මීටර් 370 ක් උසින් වූ ප්‍රදේශයකය. ඒ අනුව කෘෂිබිම් සහ ඊට යාබද නැවත වර්ධනය වන ස්වභාවික පරිසර පද්ධති සහිත මැද-උන්නතාංශ වනාන්තර දාර විද්‍යාත්මක සමීක්ෂණ සඳහා වැඩි අවධානයක් යොමු කළයුතු, මෙතෙක් විදු ඇසින් සැඟවුණු කුඩා වනජීවීන්ගේ තෝතැනි විය හැකිය. එමගින් මෙරටට ආවේණික සොබා උරුම ලේඛන තවදුරටත් පොහොසත් කිරීමේ සැළකියයුතු විභවයක් පැවතිය හැකි බව මහාචාර්ය මීගස්කුඹුරයන්ගේ අදහසයි.

දැනට මෙම විශේෂය පිළිබඳව අප සතු දැනුම සීමාවී ඇත්තේ තනි නිම්නයකට පමණි. තවදුරටත් Mus dumbara අඩු ඝනත්වයකින් හෝ අපගේ ඇස නොගැසුණු හුදෙකලා වනාන්තර කුට්ටි වල සැඟවී සිටීද, නැතහොත් පසුගිය වසරවලදී තවදුරටත් ඔවුන්ගේ ගහනය පහළ වැටී තිබේද යන්න තවමත් නොදනී. නකල්ස් කඳු වැටිය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස කඩදාසි මත සංරක්ෂණය වී ඇත. නමුත් ජනප්‍රිය විශාල වනජීවී විශේෂ කෙරෙහි දක්වන අවධානය කුඩා ක්ෂීරපායින් වෙත යොමු වන්නේ කලාතුරකිනි. එවැනි පසුබිමක වනාන්තර මායිම් වාසස්ථාන එළිපෙහෙළි කිරීම, මාර්ග ඉදිකිරීම සහ වතු වගාවන්හි අඛණ්ඩ ව්‍යාප්තියට වඩාත් නිරාවරණයවූ මෙවැනි ක්ෂුද්‍ර වන ප්‍රාණීන් තමන්ගේ පැවැත්ම සම්බන්ධ අභියෝග රැසකට මුහුණදී සිටින බව මහාචාර්ය මීගස්කුඹුරයන්ගේ අදහසයි. දේශගුණික විපර්යාස මගින්ද වඩාත් පටු උන්නතාංශ පරාසයන් සහ හුදෙකලා ස්ථාන කිහිපයක පමණක් වාර්තාවන විශේෂ මත ඇතිකරන පීඩනය බලවත්ය. එබැවින් තවදුරටත් ගහනය සහ ව්‍යාප්තිය පිළිබඳ සාක්ෂි හමුවන තුරු Mus dumbara වඳවීමේ අවදානමට ලක්විය හැකි යැයි උපකල්පනය කළ යුතුබව ඔහු වැඩි දුරටත් පැවසීය.

අවුරුදු අනූ හතරක් යනු දිගු කාල පරාසයකි. නමුත් ශ්‍රී ලංකාවේ වනාන්තර තවමත් ඒවායේ සැඟවුණු ජෛව උරුමයන්ගෙන් පොහොසත් අතර, ඉවසිලිවන්ත ක්ෂේත්‍ර කටයුතු හරහා තවදුරටත් මෙරටට හිමි ජීවී විශේෂ ලැයිස්තුව දිගු කිරීමට ඉඩ ප්‍රස්ථා පවතී. දුම්බර කටු හීන් මීයා තවත් සියවසකට පසුත් දුම්බර අඩවියේ සුරැකී පවතින්නේද යන්න රඳා පවතින්නේ, අප කොපමණ අවධානයක් මෙම කුඩා වනජීවීන් සම්බන්ධයෙන් යොමු කරනවාද යන්න මතය.

ZooKeys විද්‍යා සඟරාවේ පළවූ මීට අදාළ සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකාව බාගත කිරීමට http://doi.org.10.3897/zookeys.1280.163907

සුපුන් ළහිරු ප්‍රකාශ්

leave a reply