Breaking News

“ලොව උසින් වැඩි ම නෙට්බෝල් ක්‍රීඩිකාව” ජිනී ලංකා කණඩායමට සමුදෙයි

“ලොව උසින් වැඩි ම නෙට්බෝල් ක්‍රීඩිකාව” ලෙස සැලකුණු තර්ජිනී ශිවලිංගම් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

සිය සමුගැනීම සනිටුහන් කරමින් ඇය සිය නිල ෆේස්බුක් පිටුවෙහි තබා තිබූ සටහන මෙසේ ය.

“ස්තුතියි ශ්‍රී ලංකාව,

මා ශ්‍රී ලංකා කණ්ඩායමෙන් විශ්‍රාම ගැනීම පිළිබඳව නිල වශයෙන් ප්‍රකාශ කරමි. කෙසේ වෙත ත්, මගේ ක්‍රීඩා ජීවිතය විදෙස්ගතව දිගට ම පවත්වාගෙන යාමට කටයුතු කරමි.

මම මේ තීරණය ගත්තේ දැඩි හදවතකින්. කෙසේ වෙත ත්, මම තීරණය ගෙන ඇත්තේ, සුදුසු ම කාලයේ බව මට හැඟේ.

මෙම විශ්‍රාම ගැනීම පිළිබඳ නිල වශයෙන් දැනුම් දීම ත් සමග මගේ ආදරණීය ලංකා සගයන් සමග මා බෙදාගත් ප්‍රීතිය කිසි දා අමතක නොකරමි.

– ජිනී”

2004 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා උපාධිය හදාරමින් සිටියදී විශ්වවිද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ තර්ජිනී, එහිදී දැක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා දැල් පන්දු පුහුණුකාරිය වන තිලකා ජිනදාසගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ.

අඩි 6 අඟල් 11ක අසාමාන්‍ය උසකින් යුතු ඇය ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෝල විදින්නිය ලෙස ක්‍රීඩා කරනු ලැබුවා.

ජෙනීගේ දක්ෂතා
2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියේ වැඩි ම ගෝල ප්‍රමාණය රැස් කර ගත් ක්‍රීඩිකාව බවට තර්ජිනී පත්වූයේ, ගෝල 348ක් රැස් කරමිනි.

තර්ජිනී, 2011 වර්ෂයේ දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ හොඳ ම විදින්නිය ලෙස ද සම්මානයට පාත්‍ර විය.

2011 ලෝක කුසලාන තරගාවලියේදී තර්ජිනී ගෝල 296ක් ලබා ගත් අතර එවර ගෝල දැමීමේ නිරවද්‍යතාව 98%ක් විය.

ඇය 2009 වසරේදී පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ආසියානු නෙට්බෝල් ශූරතා තරගාවලියට එක්වූ අතර එම වසරේ ත්, 2018 සහ 2022 වසරවල ත් ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ඇය ක්‍රීඩා කළ 2012, 2014 සහ 2016 වසරවලදී ද ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු අනුශූරියන් බවට පත් විය.

2017 වසරේදී ඇයට ඔස්ට්‍රේලියාවේ City West Falcons නෙට්බෝල් ක්‍රීඩා සමාජයෙන් ශිෂ්‍යත්වයක් හිමි විය.

ඒ අනුව, ඇය එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළ අතර, විදෙස් නෙට්බෝල් ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කළ පළමු සහ එක ම ක්‍රීඩිකාව බවට ඇය පත් විය.

එම වසරේදී ඇය ඔස්ට්‍රේලියානු නෙට්බෝල් ශූරතා තරගාවලියේ දක්ෂතම විදින්නිය ලෙස ත්, අවංක ම ක්‍රීඩිකාව ලෙස ත් සම්මානයට පාත්‍ර විය.

leave a reply