Breaking News

ලිට් රූම් සූම් සංවද මාලාවේ දි නන්දෙ සහ මැග්නෝලියා හමුවන්න.

හර්ෂ ප්‍රභාත් කීරවැල්ලගේ “නන්දෙ” සහ දුලාංජලි රණසිංහගේ මැග්නෝලියා කාව්‍ය සංග්‍රහයන් දෙක වෙනුවෙන් ජුනි 14 වන ඉරු දින ලිට් රූම් සූම් සංවාද‍යේ දොර කවුළු විවෘත වනු ඇත.

හිතේ තෙතමනයක් ඇති මිනිසුන් පිළිබඳව මේ දිනවල වීව්ධ අරුතින් අදහස් පළකෙරෙනු අසන්නට ලැබේ. මේ කතාව හිතේ තෙතෙමනයක් ඇති පොලිස් නිලධරියකු අතින් නිමැවුන කවි සිත්තම් ගැනය. හිතේ තෙතමනයක් ඇති පොලිස් නිලධාරියා නමින් හර්ෂ ප්‍රභාත් කීරවැල්ල ය. ඔහුගේ කවි සිත්තම් සහිත කවි එකතුව “නන්දේ” ය. (මේ අර නන්දසේන ගැන කතාවක් නොවේය.)

පොලිස් නිලධාරියකු ලෙස සේවය කරන හර්ෂ ප්‍රභාත් කීරවැල්ලගේ කවියේ සාර්ථකත්වය රැඳී ඇත්තේ සමාජ ගැටළු දෙස ඔහු බලන සානුකම්පිත දෘෂ්ටි කෝණය හේතුවෙන් බව අපට නිරීක්ෂණය වෙයි. කීරවැල්ල නම් පාංශු දේහදාරි පොලිස් නිලධාරියා තුළ ජීවත් වන සහකම්පනයෙන් යුතු සංවේදි මිනිසා කවියකු ලෙස නන්දේ කාව්‍ය සංග්‍රහයේදි අපට මුණ ගැසෙන්නේ එබැවිණි.

“මිස්ටර් ප්‍රභාකරන්” යන හිසින් යුත් කවියත්, “පොකට් සිරි” නමින් ඇති කාව්‍ය නිර්මාණය එම කාරණයට උදාහරණය. පහත ඇත්තේ “පොකට් සිරි” කවියෙන් උපුටා ගත් කොටසකි.

එදා පළවෙනිදා ජනවාරි
උදේ පාන්දර ලෑලි සාලේ
බූට් හප්පල ගොම පොළොවේ
වරෙන් අරගෙන තොගෙ මිනිහ
ගොරවද්දි උඩු රැවුල් හපන්

හඬට ඒකිගෙ පොඩි පපුවේ
රෝස ගවුමෙත් මල් හැලුණා
“කෙල්ලට අසනීපයි ඉක්මනට ගෙදර එන්න”
නොකීව නම් ජංගමෙන්
අම්මපයි මන් මළත්
සිරි තාම උඹ එළියෙ

“සල්ලාල කෝවලන්” නමින් යුතු කවියත් “ඡන්නගේ කට උත්තරය” නමින් යුතු කවියත් “සල්ලාල කෝවලන්: නමින් යුතු කවියත් පුරාණෝක්ති, වෙනත් අරුතකින් නැවත කියවා ගැනීමට කවියා දැරූ වෑයමකි. පහත දැක්වෙන ඡන්නගේ කට උත්තරය කවියේ කොටස බලන්න

මේක හොඳටම ඉරිතලා ගිහින්
හදවතක්දැයි කියන්නට බෑ
බ්ලඩ් ප්‍රෙෂර් කලින් බැලුවද ?
අජානීය රෝයල් අශ්වයෙක්නෙ

හැමදාම සුදොවුන් චෙක් කලා සර්
ඉහෙන් බහින ලෙඩක් නෑ තිබ්බේ
කුමාරය සරඹ දක්වන දවස්වල ඉඳන්ම
හරි අගේට දිව්වා හැමතැන

මෙච්චර ලොකු ශොක් එකක් ?
තරුණ අසෙකුට දැනුණේ කොහොමද ?
කුමාරය ගඟ කෙළවරෙන් නොපෙනුන වෙලාවෙද

නෑ සර් …….

ඔහු තවත් වරෙක් සිය කවියට එකතු කරගන්නේ, ඔහුට රස විඳින්න ලැබෙන අනෙකුත් සාහිත්‍ය නිර්මාණ ආශ්‍රයෙන් ලබන ප්‍රහර්ෂයයි. “ගුරු ගීතය” ඇසුරින් ලියැවෙන දුයිෂෙන්ට පුතෙක් හිටියනම් යන කාව්‍ය පංතිය, ගුරු ගීතය නවකතාවේ අවසානය වෙනස් කෝණයකින් පරිකල්පනය කරනට යෙදුන අවස්ථාවකි. “ඩෝරා” කවියට නිමිත්ත වන්නේ, අඩෝ ටෙලි නාට්‍යයයේ අරවින්ද සහ ඩෝරා ආදර කතාවයි. මහපොළොව ටෙලි වෘත්තාන්තය ඇසුරින් ඔහු නිමවන “ජයසේන සහ සිංගි” නමින් යුත් කවියද එවැනි සාර්ථකත්වයක් පෙන්වනු ලබන කවියකි.

නන්දේ ගොඩගේ ප්‍රකාශනයකි.

ලක්නා දුලාංජලි රණසිංහ විසින් රචිත මැග්නෝලියා කාව්‍ය සංග්‍රහය සාමාන්‍ය කවි ආරෙන් මදක් වෙනස් මගක් ගත කාව්‍ය සංග්‍රහයකි. එහි පද්‍ය මෙන්ම කෙටි ගද්‍ය කාව්‍ය ද අපට හමු වෙයි. මැග්නෝලියා ඇයගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය යි.

දුලාංජලි පද්‍යකරණය කරන්නේ නිදහස් ආරෙන් ය. ඒවා වරෙක හැඟීම් මාත්‍රයන් පමණි. තවත් තැනෙක ගැඹුරු පරිකල්පන ලොවක මැවෙන සිහින කෙඳිරුම් වැනිය. ඇය “මැග්නෝලියා” කවි එකතුව හඳුන්වා දෙන්නේ ද වින්ටේජ් සුන්දරිය නම් ටැග් ලයින් එකක්ද සමඟය. සැබෑවකි කවි එකතුව පුරා අපට හමුවන්නේ වින්ටේජ් සුවඳ ඉහිරුවන මතකයන් ය.

ඇය ලියන කවිය ස්ථානගත වන්නේ වර්තමානයේ ඉතා ජනප්‍රිය සිංහල කෙටි කවියට ඈතය. එබැවින් මැග්නෝලියා කවි එකතුවත් සමඟ දුලාංජලි රණසිංහ සිංහල කවියේ යම් අලුත් මානයක දොරගුලු විවර කරන්නට උත්සහයක් දරන බව පැහැදිලි ය. නමුත් ඇය ලියන්නේ නූතන ම සිංහල කෙටි කවියක් බව කියන්නට වේලාසන වැඩිය. පහත දැක්වෙන්නේ අහඹු ලෙස තෝරා ගත් කවි කොටස් කිහිපයකි.

ප්‍රේමය කියන්නේම
වන් ගෝල් ෆේස් ෂොපින් මෝල් එක වගේ
එකකින් එකකට වෙනස් මිල ගණන් (42 කවිය)

කඩමු තවත් අයිරිෂ් විස්කි ගැලුමක්
මත් වන්නට සදා කල්
මේ මොස්කව් පුරවරයේ

නුඹ සූදානම්ද
පවුලූෂා එයට (44 කවිය)

අනුරාගයත් ප්‍රේමයත් එකට ගැටුනාම
ඒකට කියන්නේ හාදුව (67 කවිය)

මැග්නෝලියා – කතෘ ප්‍රකාශනයකි

නන්දෙ සහ මැග්නෝලියා කාව්‍ය සංග්‍රහයන් දෙක පිළිබඳ ලිට් රූම් සූම් සංවාදය සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ ප්‍රවීණ සාහිත්‍යධරයන් දෙදෙනෙකු වන භූෂන් ප්‍රදීප් සහ නිසංසලා ගම්ලත් විසිනි. එම සංවාදය මෙහෙය වීම හරේන්ද්‍ර යසස් ගමමැදෙගේ විසිනි.

සිරිත් පරිදි, ලිට් රූම් සූම් සංවාදය “සාහිත සංවාද” යු ටියුබ් චැනලය හා “ලිට් රූම් ෆේස් බුක් පිටුව” හරහා සජීවීව විකාශනය කෙරෙනු ඇත.

ජුනි 14 ඉරු දින රාත්‍රි 7 ට පැවැත්වෙන ලිට් රූම් සූම් සංවාද මාලාවේ 22 වන සංවාද වාරය සඳහා, සම්බන්ධ වන ලෙස ඔබ සැමට “ලිට් රූම් සාමුහිකය” ගෞරවයෙන් ආරාධනා කර සිටියි. (Meeting ID: 845 8577 1133 Passcode: 805451)

නිරෝෂ ප්‍රනාන්දු

leave a reply