Breaking News

2/3 ඉල්ලනකොට එකක් – බඩු මිල වැඩිකරන කොට තව එකක්

ගෑස් මිල, සිමෙන්ති මිල, කිරිපිටි මිල , තිරිඟු පිටි මිල වැඩිවී තිබේ. තිරිඟු පිටි මිල ඉහළ යාමට සාපේක්ෂව පාන් සහ අනෙකත් බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවන බවට බේකරි හිමියන්ගේ සංගමය දැනටමත් දැනුම් දී ඇත.

ඊට අමතරව ගෑස් සහ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් ආපන ශාලා හිමියන්ද අර්බුදයට ගොස් තිබෙනවා. මේ නිසා සිය නිෂ්පාදනවලද මිල ඉහළ දැමීමට සිදුවන බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එසේම ඛනිජ තෙල් සභාපතිවරයා පවසන්නේ ඛනිජ තෙල් මිලද ඉහළ දැමීමට සිදුවෙන බවයි. තෙල් මිල ඉහළ දැමීම හේතුවෙන් දැනටමත් වැඩිවී ඇති භාණ්ඩ බොහොමයක මිල තවත් වැඩිවෙනු ඇත. ඊට අමතරව බස් ගාස්තුද ඉහළ යනු ඇත.

එසේනම් සිදුවීමට නියමිත දේ වන්නේ ජනතාවට දරාගත නොහැකි ආකාරයට බඩු මිල තව තවත් ඉහළ යාමයි. සමාගම්වලට අවශ්‍ය ආකාරයෙන් මිල ඉහළ දැමීමට ඉඩ ලබාදීම හැර මෙම ගැටලුවට ආණ්ඩුවට විසඳුමක් නැති බව දක්නට ලැබේ.

ආණ්ඩුවට ඇති එකම විසඳුම ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙලට එරෙහිව හඬ නගන පිරිස් මර්දනය කිරීම පමණි.

ජනාධිපතිවරයා ඊයේ පැවති යුද්ධ හමුදාවේ 72 වන සංවත්සර උත්වසයට සහභාගී වෙමින් පවසා තිබුණේ ආණ්ඩුවේ අසමත්කම පිළිගන්නා අතරම නිදහසට කරුණු නොකියන බවත් එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව, නිවැරදිව ඉදිරියට යාමට සහාය දෙන්න යැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

නමුත් ජනතාව එක නීතියක්, එක රටක් යටතේ දූෂණයෙන් තොරව රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය යයි කියූ බලය ඕනෑවටත් වඩා ලබාදී තිබේ. ආපසු ඉල්ලන්නේ මොන කෙන්ගෙඩියක් දැයි ජනතාව ඇසිය යුතුය.

මේ අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොව දහයෙන් නවයක බලයක් තිබුණත් ලෝක වෙළඳපලේ මිල වැඩිවීම් පාලනය කිරීමේ හැකියාවක් නැතැයි බලශක්ති අමාත්‍ය උයද ගම්මන්පිල පවසා ඇත.

මැතිවරණවලදී සහ 20වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේ උදය ගම්මන්පිලලා පැවසුවේ වෙන කතාවකි. එනම් සියලු දේ කිරීමටනම් තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බවයි. 20වන ව්‍යවස්ථා සංශෝධනයෙන් බලය වැඩිකරගත යුතු බවයි. දැන් බලය ලබාගත් පසු පවසන්නේ ඒ බලයටත් ලෝක වෙළඳ පොළ පාලනය කිරීමට නොහැකි බවයි.

මේ හැරෙන හැරෙන පැත්තට විවිධ ප්‍රකාශ සිදුකරමින් අවසානයේ ආණ්ඩුව රැවටීමට උත්සාහකරන්නේ ජනතාවයි.

leave a reply