Breaking News

ස්වාධීන රූපවාහිනියේ දේශපාලන අවලාද සහ මාධ්‍ය දේශපාලනය

ජනමාධ්‍ය නිදහස උදෙසා එක්සත් ජාතීන්ගේ දිනය අදයි. අද දිනයේ මේ කරුණ ලියන්නට සිදුව ඇත්තේ ඊයේ දින(2) ස්වාධීන රූපවාහිනි සේවයේ ද්වේශ සහගතව ප්‍රචාරය කළ පුවතක් සම්බන්ධවයි.

මැයි 1 වැනිදා පැවැති ජාත්‍යන්තර කම්කරු දින රැලි අවසානයේ කොළඹ නගරයේ ක්‍රීඩාංගන අපිරිසිදුව පවතින ආකාරය පිළිබඳ පුවතක් ස්වාධීන රූපවාහිනි ආයතනයෙන් මැයි 2 වැනිදා මධ්‍යහ්න ප්‍රවෘත්ති විකාශය ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.පසුව ඒ පුවත සමාජ මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය කෙරුණි. මෙම පුවතේදී කොළඹ හයිඩ් පිටියේ තත්වය සම්බන්ධ දර්ශන විස්තර කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් එම පිටිය පිරිසිදු කර නොමැති බවට ඇඟවුමක් ප්‍රේක්ෂකයන් වෙත ලබා දී තිබුණි.

මෙම පුවත සම්පූර්ණයෙන්ම කරුණු විකෘති කර දැක්වීමක් වන අතර ඒ අවස්ථාවේ හයිඩ් පිටිය දුරස්තව කැමරාවට ගන්නා දුර රූපය අනුවම ඒ බව පැහැදිලිය. හයිඩ් පිටියේ රැලිය අවසන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සහෝදරියන් හා සහෝදරවරුන් පිටිය පිරිසිදුකර කොළඹ නගර සභාවෙන් මුදල් ගෙවා ලබා ගත් කසළ බඳුන්වලට කසළ දමා තිබුණු අතර ඒ බඳුන්වලට පිරවිය නොහැකි ලී පටි සැරසිලි ද්‍රව්‍ය ආදිය කසළ බඳුන් අසළ එක් රැස්කර තබන ලදී. ස්වාධීන රූපවාහිනි පුවතේ හයිඩ් පිටිය දක්වන මුල්ම දර්ශනයෙන් සහ අවසන් දුර රූපවලින් මෙම තත්වය වාර්තාකර ඇති අතර ඉන් පසුව පෙන්වන දර්ශන හයිඩ් පිටිය තුළ ලබාගත් දර්ශන නොවන බව පැහැදිලිය.

කොළඹ නගර සභාවේ පාලනයට අයත් හයිඩ් පිටිය මුදල් දී භාවිත කර කසළ නිසි පරිදි එක්රැස් කර තිබුණද ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණය කරන්නේ එසේ පිරිසිදුකර නොමැති බවය. ඒ සඳහා යොදා ගෙන තිබුණු දර්ශන හයිඩ් පිටියේ ගොඩනැගිල්ල පසුපස,පෙරදිනවලදී එක්රැස් කර තිබුණු කසළ ප්‍රමාණයකි.ඒ්වා නගර සභාවෙන් ඉවත් කළ යුතු නමුත් මැයි 1 වැනිදා වන විටත් එහි තිබුණු අතර නගර සභාවෙන් ඉවත් කර නො තිබීම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වගකීමකට බැර කරමින් දේශපාලන අවලාදයක් නැගීම ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ අවශ්‍යතාවක් වූවා විය හැකිය. මෙය ද්වේශ සහගත යැයි කිව හැකි වන්නේ ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ජාත්‍යන්තර කම්කරු දිනයට පෙර ඒ පිළිබඳ නිවේදනය කිරීමේදී හෝ කම්කරු දිනය අවසන කොළඹ පැවති කම්කරු දින සම්බන්ධ වාර්තාකරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දින පෙළපාළිය හෝ රැලිය පිළිබඳ කිසිවක් වාර්තා නොකර මෙවැනි අවලාදයක් නැගීම හේතුවෙනි.

අද ජනමාධ්‍ය‍ නිදහස පිළිබඳ දිනයේ මෙම කරුණ අවධාරණය කරන්නේ ඉදිරියට හෝ සමබර ලෙස වාර්තා කිරීමට ස්වාධීන රූපවාහිනි ආයතනයේ බලධාරින්ගේ අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂාවෙනි. දේශපාලන පත්වීම් ලද රාජ්‍ය මාධ්‍ය පවත්වා ගෙන යනු ලැබුවේ ආණ්ඩුවේ හොරණෑ ලෙසින් බැවින් ඒ තත්වය ජාතික ජනබලවේගය වෙනස් කරතියි ඇතැමුන් විශ්වාස කළද අප එවැන්නක් විශ්වාස කළේ නැත. නමුත් මෙවැනි බාල ප්‍රචාරක ක්‍රම හරහා දේශපාලන පක්ෂයකට අවලාද නැගීමෙන් පෙන්නුම් කරන සහ ජාතික ජනබලවේගය ආණ්ඩුව යටතේද නොනවත්වාම ගෙන යන පහත් මාධ්‍ය දේශපාලනය වහාම නවතා දමන මෙන් ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සහ සභාපතිවරයාට මතක් කර සිටිමු.එසේම ‌දේශපාලන පත්වීම් ඔස්සේ පැරණි අවර ගනයේ දේශපාලනය අවසන් කිරීමට ජනතාව ලබා දුන් ඡන්දයේ ගෞරවයට හානි කිරීමෙන් එකී වරදම සිදුකළ ජනමාධ්‍ය ඇමතිවරයාට, ප්‍රමාද වී හෝ ඒ වරද නිවැරදි කරන මෙන්ද මේ රටේ යහපත් මාධ්‍ය සංස්කෘතියක් වෙනුවෙන් හඬ නගන සියලු දෙනා වෙනුවෙන් අපි යෝජනා කරමු.

හැමදාම පවතින ආණ්ඩුවට කඩේ යන රාජ්‍ය මාධ්‍ය පරණ කුණු ගොඩවල් සූම් කරයි

leave a reply