කුඩා කළ සිටම බලහත්කාරයෙන් මව් උණුසුමෙන් දුරස් කරණු ලැබ වන අලි ජාවාරම්කරුවන්ගේ තාඩන පීඩන වලට ලක් වෙමින් සිට, පසුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගනු ලැබද ඒ ඉරණමම විඳි “සුජීවා” ඇතින්න මියගිය බව අසන්නට ලැබුණේ ඉකුත් සිකුරාදා (24) ය. මාස කීපයක් රෝගාතුරව සිටි “සුජීවා” මෙසේ අකාලයේ මරණයට පත්වන්නේ ශ්‍රී ලංකාවේ වනජීවී සංරක්ෂණය, වනජීවීන්ට එරෙහිව සිදුවන අපරාධ සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පමණක් නොව මුළුමහත් සමාජයේම හෘද සාක්ෂියද ප්‍රශ්න කරමිනි. එබැවින් ශ්‍රී ලංකාවේ සිදුවූ අහස පොළොව නුහුළන වනජීවී ජාවාරමක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක නඩු භාණ්ඩයක් වශයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියදී මියගිය ඇයගේ අකල් මරණය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා හෝ පරිපූර්ණ විමර්ශනයක් සිදුකර යම්කිසි වරදක් සිදුවී ඇත්නම් වැරදිකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කළයුතු බව අප අවධාරණය කරමු.
මෙම ඇතින්න මුලින්ම වනජීවී භාරයට පත්වන්නේ 2016 පෙබරවාරි මාසයේදී ය. ඒ අප ඉහත කී පරිදි ශ්‍රී ලංකාවේ වනාන්තරවලින් වන අලින් නීති විරෝධී ලෙස අල්ලා ගැනීම සහ වෙළඳාම් කිරීම සම්බන්ධ නඩුවකට අදාළවය. එතැන් සිට වසර ගණනාවක් උඩවලව ඇත් අතුරු සෙවණේ රැඳවුම් මධ්‍යස්ථානයක වනජීවී අධීක්ෂණය යටතේ ඇය තබා ගන්නා ලදී. මෙම කාලය තුළ වැඩි වියට පැමිණ පැටවෙකු බිහි කළ ඇය සම්බන්ධයෙන් විශාල සමාජ කතිකාවක් ඇති වුණේ 2021 වසරේදීය. එවක රජය විසින් 2021 අංක 01 දරන වන සත්ව හා වෘක්ෂලතා (හීලෑ අලින්ගේ ආරක්ෂාව, සුබ සාධනය සහ ලියාපදිංචිය විධිමත් කිරීමේ) නියෝග මැයෙන් කුප්‍රකට ගැසට් නිවේදනයක් නිකුත්කර (ගැසට් නිවේදන අංක 2241/41) මෙසේ වනජීවී භාරයේ සිටි නීති විරෝධී ලෙස වනයෙන් අල්ලගත් බවට චෝදනා එල්ලවූ අලින් නැවතත් චූදිතයන් වෙතම නිදහස් කිරීමට කටයුතු කළෝය. එසේ අලි පැටවුන් 14 දෙනෙකු නිදහස් කෙරුණු අතර සුජීවාට ද තම කිරි සප්පයා සමග එම ඉරණමම අත්වීමට නියමිත විය.
ආණ්ඩුවේ මෙම ක්‍රියාව එකල දැවැන්ත මහජන විරෝධයක් ඇති කළ අතර, එය අලි ජාවාරමට සහාය දැක්වීමේ අමානුෂික ක්‍රියාවක් ලෙස පුළුල්ව විවේචනයට ලක්විය. පරිසර ක්‍රියාකාරීන් විවිධ අරගල වල නිරතවූ අතර අධිකරණයේද පිහිට පැතීය. මීට අදාළ නඩුව (අංක B 23073/01/15) 2021 සැප්තැම්බර් 24 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා “සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා නිදහස් නොකරන ලෙස දැනුම්දුන් අභියාචනාධිකරණයේ නිරීක්ෂණයන්” මගින් මහේස්ත්‍රාත් අධිකරණය බැඳ නොතබන බවට කරුණු දක්වමින් “සුජීවා ඇතින්න සහ ඇගේ පැටවා මුදාහැරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ඉල්ලා සිටින ලදී”. එම ඉල්ලීම ම ඇතින්නට හිමිකම් පෑ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විසින්ද සිදු කිරීම මගින් මෙම ජාවාරමේ ඇති සැබෑ බරපතලකම මොනවට නිරූපණය විය. එහෙත් එම ඉල්ලීම අභියෝගයට ලක්කරමින් කරුණු දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා සුජීවා සහ පැටවා සැකකරුවන්ට භාර දීම වැළැක්වීම සඳහා නියෝගයක් ලබා ගන්නා ලදී. ඒ අනුව මෙම තරුණ මව සහ සිඟිති දියණිය වනජීවී භාරයේ දිගටම රඳවා තබා ගන්නා ලදී.
අපට දැන් නැගෙන බරපතල ප්‍රශ්නය නම් මෙම නිරෝගී ඇතින්නා රෝගාතුරව සැක සහිත ලෙස මිය ගියේ කෙසේද යන්නයි. ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ සමහර පාර්ශවයන් චෝදනා කරන්නේ ඇතින්න මාස ගණනාවක් තිස්සේ අසනීපව සිටි බවත්, වනජීවීය ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකළ බවත්ය. කෙසේ නමුත් වනජීවීය ඇයට ප්‍රතිකාර කිරීමට කිසියම් පියවරක් ගත්තත් නැතත්, මෙම මරණය සැක සහිත බව අප අවධාරණය කරමු. උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන එන අලි පැටවුන් සැළකියයුතු පිරිසක් අකාලයේ මරණයට පත්වන පසුබිමක සුජීවා එම අභියෝග සියල්ල ජය ගනිමින් වැඩි වියට පැමිණ, සාර්ථක ලෙස ගැබ් ගෙන, නිරෝගී දරුවෙකුද ප්‍රසූත කිරීමට තරම් නිරෝගී වූවාය. වනජීවීයට එවැනි නිරෝගී වැඩිහිටි සතෙකුවත් නිරෝගීව නඩත්තුකර ගැනීමට නොහැකි නම්, සහ වසර කිහිපයකට පසු එවැනි සතුන් කිසියම් හේතුවක් නිසා මිය යනවා නම්, ඒ සඳහා සාධාරණ හේතුවක් තිබිය යුතුය; එසේ නොමැති නම්, මෙය දෙපාර්තමේන්තුව තුළ ඇති පැහැදිලි දුර්වලතාවයක් පෙන්නුම් කරයි. අනෙක් අතට, මෙම මරණය නඩු භාණ්ඩ තම සන්තකයේ තබා ගැනීමට සැකකරුවන් සිදුකරන ඉල්ලීම සාධාරණීකරණය කිරීමටද උපකාරී විය හැකිය. එබැවින්, සැකකරුවන්ට සම්බන්ධ පාර්ශවයක් හිතාමතාම ඇයට හානි කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දොස් පැවරීමට උත්සාහ කිරීමේ අවදානමක් ද පවතී. අප මේ කතා කරන්නේ මෙම රැඳවුම් මධ්‍යස්ථානය පවත්වාගෙන් යාමට ප්‍රමාණවත් ඇත්ගොව්වන් පිරිසක් නොමැතිකමින් ඔවුන් බඳවා ගන්නා ලෙස වනජීවී පශුවෛද්‍ය අංශයෙන් දිගින් දිගටම සිදුකෙරුණු ඉල්ලීම් වනජීවී මුල්පුටු පයිසෙකටවත් ගණන් නොගැනීම වැනි කරුණුද මේ සමග බැඳී තිබීමට ඉඩ ඇති පසුබිමකය.
අනෙක් කාරණය නම් මේ මෙවැනි සිදුවීමක් සිදුවූ පළමු වතාව නොවීමය. මෙවැනිම අලි ජාවාරමක් සම්බන්ධව මහනුවර, ගණ්නෝරුවේදී වනජීවී භාරයට ගත් “සීවලී” නම් අලි පැටවාද කළකට පසු සැක සහිත ලෙස මිය ගියේය. වර්තමානයේ, එවැනිම තත්වයක සිටින “සන්දුල” නමින් හඳුන්වන තවත් අලියෙකු බරපතල රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටින බවද වාර්තාවේ. එබැවින්, විනිවිද පෙනෙන සහ පරිපූර්ණ විමර්ශනයක් පැවැත්වීමට සහ යම් නීති විරෝධී ක්‍රියාවක් අනාවරණය වුවහොත් වගකිවයුතු අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. තවද, අලි ජාවාරම සම්බන්ධ මෙම නඩු කටයුතු සඳහා දැන්වත් ප්‍රමුඛතාවය ලබා දිය යුතු අතර, මෙම අමානුෂික ක්‍රියාව පිටුපස සිටින වගකිවයුතු පාර්ශවයන්ට තවදුරටත් ප්‍රමාධයකින් තොරව දැඩිව දඬුවම් කළ යුතුය. අපි මෙය ඉස්මතු කරන්නේ අපගේ අරගලයේ අරමුණ ශ්‍රී ලංකාව තුළ අලි ජාවාරම නැවැත්වීම පමණක් නොව, හැකි සෑම විටකම ජාවාරම් කරන ලද අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමද වන බැවිනි.
නීති විරෝධී වනජීවී වෙළඳාම ගෝලීය ජෛව විවිධත්වයට ඇති ප්‍රධාන තර්ජනයක් ලෙස සැලකේ. ආසියාතික අලින්ට විවිධ සංස්කෘතීන් තුළ ආගමික හා අධ්‍යාත්මික සන්දර්භයන්හි හිමිව ඇති ආකර්ෂණය හේතුවෙන් විවිධ සංස්කෘතිකාංග වලට යොදා ගැනීම, මෙහෙකාර සතුන් ලෙස යොදාගැනීම සහ මෑතකාලීනව සංචාරක කර්මාන්තයට වැඩි වශයෙන් යොදාගැනීම හේතුවෙන් ගෘහාශ්‍රිතකරණය කෙරුණු අලින්ට විශාල ඉල්ලුමක් ඇතිවී තිබේ. නමුත් ගෘහාශ්‍රිත අලි අභිජනන වැඩසටහන් වලට අලි හිමියන්ගේ උනන්දුවක් නොමැති පසුබිමක මෙම ගෘහාශ්‍රිත අලි ගහනය පවත්වා ගැනීම සඳහා ආසියාතික අලින් වනාන්තරවලින් බොහෝ විට නීති විරෝධී ලෙස අල්ලා ගනු ලැබේ.
2008 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වන අලින් නීති විරෝධී ලෙස අල්ලා ගැනීම සහ වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් අප ප්‍රථම වරට විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කළෙමු. ඒ සඳහා නීති විරෝධී අලි වෙළඳාමේ සැකකරුවන්ට විරුද්ධව පවරනු ලැබූ නඩු වල නඩු වාර්තා වලින් දත්ත ලබාගැනුණු අතර, ඊට අමතරව තවත් විවිධ ලේඛනගත කරුණු සහ විවිධ පාර්ශවකරුවන් සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡා මගින් ද තොරතුරු රැස් කරන ලදී. අලින් නීති විරෝධී ලෙස වෙළඳාම් කළ බවට සැක කෙරෙන අවස්ථා 55 ක් එහිදී අපි ලේඛනගත කළෙමු. අල්ලා ගැනීමේ මෙහෙයුම් වලදී අලින්ගේ මරණ අනුපාතය ඉතා ඉහළ විය හැකි නිසා සහ මෙම ඉහළ සංවිධානාත්මක නීති විරෝධී වෙළඳාම පිළිබඳ දත්ත රැස් කිරීමේ අභියෝග නිසා මෙම සංඛ්‍යාවක බොහෝවිට අඩුතක්සේරු කිරීමක් විය හැකිය. අනෙකුත් සියලුම කාල පරිච්ඡේදවලට වඩා 2014-2015 දී සැලකිය යුතු ලෙස වැඩි අලින් ජාවාරම් ප්‍රමාණයක් අනාවරණය වී ඇත. සංරක්ෂිත ප්‍රදේශ සහ රජයේ වනාන්තරවලින් වන අලින් නීති විරෝධී ලෙස අල්ලා ගැනීමේ සාක්ෂි අපට හමු විය. වඩාත් වැදගත් වන්නේ, වනජීවී නිලධාරීන් අතර දූෂණය, නීති විරෝධී වනජීවී වෙළඳාමට දේශපාලනඥයන් සහ අනෙකුත් ඉහළ පෙළේ පුද්ගලයින් සමග ඇති සම්බන්ධය සහ වනජීවී නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩු පිළිබඳව මෙහිදී කරුණු අනාවරණය කරගැනීමය. වන අලින් නීති විරෝධී ලෙස අල්ලා ගැනීම සහ දේශීය වෙළඳාම නැවැත්වීමට නම් මේවා ජයගත යුතු ප්‍රධාන අභියෝග වේ.
අපගේ අධ්‍යයනය මත පදනම්ව, අප විසින් 2020 වසරේ දී විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් ද ප්‍රකාශයට පත් කළ අතර, මෙරට මෙන්ම ආසියාතික අලින් ජාවාරම සිදුවන අනෙකුත් රටවලද එම ජාවාරම අවම කිරීමට සහ මෙම සත්ත්ව විශේෂයේ සංරක්ෂණ කළමනාකරණය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් නිර්දේශ මාලාවක් ද ඉදිරිපත් කෙරුණි. මෙම ජාවාරම වැලැක්වීම සඳහා කෙටිකාලීන පියවර වශයෙන් සැකකරුවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාවලිය වේගවත් කිරීමට හා ජාවාරම්කරුවන්ට දැඩි දඬුවම් ලබාදීමේ අවශ්‍යතාවය අප එහිදී අවධාරණය කළෙමු. සැකකරුවන්ගේ සමාජ තත්වය, දේශපාලන සම්බන්ධතා හෝ සමාජ භූමිකාව නොසලකා මෙය සාධාරණ හා අපක්ෂපාතී ආකාරයකින් සිදුවිය යුතුය. ජාවාරම්වලට සහාය වීම ඇතුළුව ඊට සෘජුව හෝ වක්‍රව සම්බන්ධවූ වනජීවී සංරක්ෂණ නිලධාරීන් සම්බන්ධයෙන්ද වහාම නීතිමය සහ / හෝ විනය ක්‍රියාමාර්ග ගත යුතුය. අනාගතයේදී මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ වීමට අපේක්ෂාවෙන් සිටින අයට අවවාද කිරීම සඳහා ගනු ලබන ඕනෑම පියවරක් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවද අපගේ අදහසයි. උඩවලව ඇත් අතුරු සෙවණට සහ පින්නවල අලි අනාථාගාරයට එම ආයතන භාරයේ සිටින ජාවාරම් කළ බවට සැක කෙරෙන අලි ඇතුන් නැවත වනයට මුදා හැරීමට තරම් සුදුසු දැයි තක්සේරු කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, විශේෂඥ සම්පත් සහ ප්‍රමාණවත් කාලය ලබා දීමටද අප යෝජනා කරමු.
තවද ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් ලියාපදිංචි කිරීම සහ බලපත්‍ර අළුත් කිරීම සඳහා විද්‍යාත්මක හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් සහිත ගෘහාශ්‍රිත අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හා ඊට අදාළ අනපනත් සංශෝධන කඩිනමින් බලාත්මක කරන ලෙසද අප නිර්දේශ කරමු. ගෘහාශ්‍රිතකරණය කල අලි ඇතුන් සංස්කෘතික, ආගමික හා සංචාරක අරමුණු සඳහා භාවිතා කිරීම සීමා කිරීමට මෙමගින් කටයුතු කල යුතුය. 2016 දී පැවැත්වුණු වඳවීයැමේ තර්ජනයට ලක්‌ව ඇති වන සතුන් සහ පැළෑටිවල ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (CITES) දාහත්වන සාමාජික මහා සමුළුවේදී සහ 2017 වසරේ පැවැත්වූ ආසියානු අලි ජීවත්වන රාජ්‍යයන්ගේ සැසිවාරයේදී යෝජනා කරන ලද ප්‍රමිතිගත ගෘහාශ්‍රිතකරණය කල අලි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද සහ යහ පිළිවෙත් ඒ සඳහා යොදාගැනීමට හැකියාව පවතී. ඩීඑන්ඒ ලියාපදිංචි කිරීම, ගෘහාශ්‍රිතකරණය කල අලින් සඳහා වන අධීක්ෂණ ක්‍රමවේද, කළමනාකරණ හා සුභසාධන මාර්ගෝපදේශ, සතුන් මගින් බෝවන රෝග ඇතුළු රෝග කළමනාකරණය, කාර්ය මණ්ඩලය සහ ඇත්ගොව්වන් පුහුණු කිරීම සහ ධාරිතාව ප්‍රවර්ධනය සහ ගෘහාශ්‍රිතකරණය කල අලි ගහනය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය කරුණු එහි අඩංගු වන අතර මෙරට ගෘහාශ්‍රිතකරණය කල අලින් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිට එකී කරුණු අන්තර්ගත කිරීමෙන් නීති විරෝධී වන අලි ජාවාරම වළක්වා ගැනීමට හැකිවෙතැයි අප අපේක්ෂා කරමු. එබැවින් මෙම මොහොතේ හෝ එම නිර්දේශ පිළිබඳව බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවන්නේ නම් සුජීවාට නැතත් ඇයගේ සගයන්ට හෝ එමගින් යුක්තිය ඉටුවනු ඇති.
සුපුන් ළහිරු ප්‍රකාශ්






