දිවයින පුරා පසුගිය දින හතරේදී ක්‍රියාත්මක කෙරුණු සංචරණ තහනම හේතුවෙන් රටේ ආර්ථිකයට වූ පාඩුව රුපියල් කෝටි 6000 ඉක්මවන බව මුදල් ප්‍රාග්ධන සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.
සංචරණ තහනම හේතුවෙන් දේශීය දළ ජාතික නිෂ්පාදිතයෙන් දිනකට අහිමි වූ මුදල රුපියල් කෝටි 1500 කට අධික යැයිද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
රට දින දහයක් වසා දැමුවොත් දළ ජාතික නිෂ්පාදිතයෙන් අහිමි වන මුදල රුපියල් කෝටි 15000ක්(බිලියන 150ක්)ලෙස ගණන් බලා ඇතැයි ද එය මුළු නිෂ්පාදිතයෙන් සියයට එකක ප්‍රතිශතයක් යයිද ඔහු කීය.
එසේම මේ කාලසීමාවේදී සේවකයන් විශාල පිරිසකට වැඩ නැතුව වැටුප් ගෙවීමට රජයට සිදු වූ බවත් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වීමෙන් සිදුවූ පාඩුවද අතිමහත් බවත් කබ්රාල් පවසා තිබේ.
විශේෂයෙන්ම ඇඟලුම් නිෂ්පාදිතයන් නියමිත වේලාවට සැපයීමට නොහැකිවීම නිසා ආර්ථිකයට ලොකු බලපෑමක් මේ දින කිහිපයේදී ඇති වුණු බව ඔහු පවසයි.
කුඩා ආර්ථිකයක් සහිත රාජ්‍යයක් හෙයින් රට නොවසා කොවිඩ් කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලකට ගමන් කිරිම ඉතාම වැදගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.
ඊයේ දිනයේ පානදුර මෝදරවිල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක කොවිඩ් රෝගීන් 450ක් වාර්තා වී ඇති බව මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි. අද දිනයේ තුල්හිරිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් 400ට ආසන්න පිරිසකට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වී තිබේ.
පසුගිය දින කීපයේ කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා තුල සේවය කරන සේවක සේවිකාවන් අතර කෝවීඩ් ව්‍යාප්තිය වේගවත් වී ඇති බව වාර්තා වේ. ආයතන ගණනාවක ආසාදිතයන් වාර්තා වුනත් මේ වනවිට එම ආසාදිත කීපදෙනා පමණක් ඉවත් කර අනිකුත් සේවක සේවිකාවන් පෙර පරිදිම සේවයට කැඳවමින් තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ආර්ථික විද්‍යා සූත්‍ර ගැන සඳහන් කරමින් සිටියදී ආර්ථිකය පවත්වාගැනීම වෙනුවෙන් දහස් ගණනින් ඇඟලුම් සේවිකාවන් කොවිඩ්වලට බිමිවෙමින් සිටියි. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් නැත. ගර්භනී කාන්තාවන්, දියවැඩියාව හෝ වෙනත් බෝනොවන රෝග සහිත රෝගාතුරවීමට ඉඩ ඇති සහ බරපතල රෝගාබාධ සඳහා අනතුරුදායකත්වය ඉහළ කම්කරුවන්ට ද වැඩට යාමට බලකෙරී තිබේ.
ආර්ථිකයේ ආරක්ෂාව ගැන කතා කරන කබ්රාල්ලාට කර්මාන්තශාලා හිමියන්ට තමන්ගේ සේවකයින් ආරක්ෂා කිරීමේ වගකීමක් තිබිය යුතු බව අමතක වී ඇත. වකයින්ට ඔවුන්ගේ නේවාසිකාගාර තුළ දී ප්‍රායෝගිකව ආරක්ෂාව තහවුරු කිරීමට කෙනෙක් නැත.
ක්‍රමානුකූල පීසීආර් පරීක්ෂණ, ආරක්ෂණ ක්‍රියාමාර්ග සහ වේතන සැලසුම් පිළිපදින්නේ ද යන්න පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කම්කරු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නිලධාරීන්ගේ අධික්ෂණයක් නැත.
ඇඟලුම් ක්ෂේත්‍රයේ කම්කරුවන්ට එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් ගැන ඉඟියක් පෙනෙන මානයක නැත.
වැඩට පැමිණීම නිසා කර්මාන්තශාලා තුළ වෛරසයට ගොදුරු වුනාද නිරෝධායන කාල සීමාවේ පඩි ගෙවීමක් සිදුවන්නේ නැත.
සමස්ත වැඩකරන ජනතාවට සිදුවී ඇත්තේ එක්කෝ කොවිඩ් වසංගතයට බිලිවීම හෝ නැතිනම් බඩගින්නේ සිටීමටයි.
මේ වැඩකරන ජනතාව මුහුණ දෙමින් සිටන කිසිම ගැටළුවක් නොදකින අජිත් නිවාඩ් කබ්රාල්ලා ආර්ථිකය ගැන දුක් වෙමින් සිටියි. එම දුක්විම මේ වැඩකරන ජනතාවගේ ආර්ථිකය ගැන නම් නොවන බවත් විශාල සමාගම්වල ආර්ථිකය ගැන බවත් පැහැදිලිය.