Breaking News

බේකරියේ කූඩුවත් මල්

වැලන්ටයින් එකෙත් මල්. වෙසක් එකෙත් මල්. මළ ගෙදරත් මල්. නත්තලෙත් මල්. බේකරියේ කූඩුවත් මල්

පන්නිපිටිය මහල්වරාව බේකරියේ කට්ටිය කියලා කියන්නෙ, අද දවසේ ලංකාවේ සමකාලීන කලා අවකාශයේ විශාල වැඩක් කරගෙන යන කූඹියෝ රංචුවක්. ඔවුන් මෙවරත් වෙසක් නිමිත්තෙන් පහන් කූඩුවක් නිර්මානය කරලා. හැබැයි මේක නිකං පහන් කූඩුවක් විතරක් නෙවෙයි. නාට්‍ය, සංගීතය, නිරූපන කලාව, වීඩියෝ ස්ථාපන වගේ නවීන කලාවන් එකතු කරගත්ත අමුතු පන්නයේ වෙසක් කූඩුවක්.

මනස් දිවි සැරිය – 3 කියලා අපිට මේක නම් කරන්න පුළුවන්. අද වෙසක් දවසේ ඉදලා දින හයක් හවස 6 ඉදලා රෑ 12 වෙනකම් මේ පහන් කූඩු අවකාශය පවතිනවා. කලාවන් ගොඩක එකතුවක් විදිහට. ඉතිං අපි හිතුවා බේකරිය කලා අවකාශයේ නියමුවා විරාජ් ලියනආරච්චි එක්ක මේ ගැන ටිකක් කතා කරන්න.

ඇත්තටම මොකද්ද මේ කරන්න යන්නේ..

මේ සැරේ අපි වෙසක් එකට කරන වැඩෙත් අපේ පරණ වැඩේම දිඟුවක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි මේකට “මනස් දිවි සැරිය 3″කියලා කියමු. මේ පාර අපි කරන මේ වැඩේ වෙසක් පෝය දවසේ තමයි අපි පටන් ගන්නේ. මැයි දොළහ. එතන ඉඳලා අපි දින හයක් පුරාවට මේක පෙන්නන්නයි උත්සාහ කරන්නේ. හවස හය හමාරේ ඉඳලා මධ්‍යම රාත්‍රිය ඉක්මවන තෙක් අපි මේක පෙන්නනවා. හැබැයි අපි මේක පෙන්නන්නේ පෝළිම් කොච්චර ආවත් ෂෝ විදියට තමයි. ඒ කියන්නේ සංදර්ශන විදිහට.

සම්පූර්ණ වැඩේම සංවිධානය වෙලා තියෙන්නේ ප්‍රසාංගික අත්දැකීමක් විදිහටනේ?

ප්‍රසාංගික අත්දැකීමක් විදිහට තමයි. හැබැයි එකේ විශේෂත්වය තමයි විවිධ දෘශ්‍ය රූප, එකෙන් අදහස් කරන්නේ දෘශ්‍ය කලාව කියන එකනේ.

එතකොට සමස්තයක් විදියට ගත්තහම මේක දෘශ්‍ය කලා කෘතියක්. හැබැයි එතකොට ශබ්දයත් ආයෙ සම්බන්ධ උනාම දෘශ්‍යයෙන් එහාට යනවා. ඊළඟට කැටයම් කලාව මේකට සම්බන්ධ වෙනකොට, යාන්ත්‍රිකභාවය එනවා.

අපිට මේක පුළුල් අර්ථයෙන් එසම්බල් ආර්ට් එකක් කියලත් කියන්න පුළුවන් නේද?

ලංකාවේ තොරණ් අවකාශය කියන එක තාම පවතින්න හේතුවක් තියෙනවා. ඒ තොරණ කියන එක හැදිලා තියෙන්නෙත් ටිකක් ව්‍යාපාරික ලෝකයේ ව්‍යාපාරික වැඩක් විදිහට. නමුත් ඒක කලා වැඩක් තමයි. තැනක ඉදිකරලා ලයිට් පත්තු කරලා ජාතක කතාවක් ප්‍රදර්ශනය කරනවා වුණාට ඒකට තියෙනවා නිශ්චිත රූපයක්. වෙසක් කූඩු කලාව එහෙම එකක් නෙමෙයි. වෙසක් කූඩුව මාස ගාණක් තිස්සේ හෙමින් ගොඩනගන්න ඕනෑ කලාවක්. ඇත්තටම ඔබ හරි ඒක එසම්බල් ආර්ට් එකක් විදිහට තමයි එදා ඉදලාම පැවතුනේ. ඒ හින්දම තමයි ලංකාවේ දැන් වෙසක් කූඩු අඩු වේගෙන යන්නෙ. කුරුකුලසූරිය මහත්තයා ලංකාවෙ ප්‍රමුඛ කෙනෙක් වෙසක් කූඩු කලාවේ. ඇල්බට් අයියා ප්‍රමුඛ කෙනෙක්. මේගොල්ලො තමයි මේකෙ හිටිය කාලයක්. මහල්වරාව අපිත් මුල් කාලේ ඉදලම මේකේ හිටියා. සාමාන්‍යයෙන් මහල්වරාවේ වෙසක් කූඩු කලා ශිල්පීන් නැහැ. ගමක් විදියට තමයි අපි හැමදාම මේක කළේ. ඒ නිසා අද බේකරිය කලා කෘතියටත් කලා ශිල්පියෙක් නෙමෙයි ප්‍රමුඛ වෙන්නෙ. සාමූහික වැඩක් මේක.

අපේ වැඩේ අපි පටන් ගත්තේ නොවැම්බර්. ඇත්තටම කිව්වොත් සැප්තැම්බර් තමයි හරියටම අපි මේක සැලසුම් කරේ. ඊට කලින් අපි නිර්මාණය හිතලා ඉවරයි. ඉතින් ඒ විදියට විශාල කාලයක් මේකට ගතවෙලා තියෙනවා. වෙසක් කූඩුව සංකීර්ණ වෙන්නෙ ඒ හේතුව නිසා. වෙසක් කූඩුවක් කියන්නෙ කැටයම් කරපු දෙයක්. වෙසක් කූඩුවක් කියන්නෙ ආලෝකමත් කරලා තියෙන දෙයක්. වෙසක් කූඩුවක් කියන්නෙ යාන්ත්‍රික කලාවක්, චලනය කියන එක සම්බන්ධයි. ඔන්න ඔතනින් තමයි වෙසක් කූඩුවක් වෙනස් වෙන්නේ. වෙසක් කූඩුවක් අවකාශය පාවිච්චි කරනවා. ෆ්ලැට් පර්පස් එකක් නෙවෙයි පාවිච්චි කරන්නේ. 3D පර්පස් එකක් හැමවිටම වෙසක් කූඩුව පාවිච්චි කරනවා. ඒ වගේම වෙසක් කූඩුවක අපි රූප අඹනවා, චිත්‍ර තියෙනවා එහෙමනේ. එතකොට මේක එසම්බල් ආර්ට් එකක් කියලා අපිට කියන්න පුළුවන් පුළුල් අර්ථයෙන්. ඒක හැමදාම පැවතුනේ එහෙම.

එතකොට “මනස් දිවිසැරිය” වෙසක් කූඩුවක් විතරක් වෙන්නේ නෑ. අපි ඒක ඇසෙම්බල් කළා තව සංකීර්ණතා එක්ක. අපි ඒකට මියුසික් කියන එක එකතු කරා. ඒක ෆීල් එකක්, හඬක් ඇහෙනවා. ඇහෙන දේ කලාවේ කොහොමද විස්තීරණය වෙන්නේ කියන එක අපි හොයන්න ගන්නවා. ඊට පස්සේ අපි මොකක්ද කරේ? ඊට පස්සේ අපි මේකට රංගනය එකතු කළා. අභිවාහක කලාව කියලා එකක් තියෙනවා. අභිවාහක කියන්නේ රඟපානවා කියන එක නෙවෙයි. එතැනින් එහාට ගිහින් කිසියම් විදියකට එයා උත්සාහ කරනවා අභිනය හරහා කිසියම් අදහසක් ජනනය කරන්න. ඔන්න ඕක අපි ගන්නවා මෙතනට නාට්‍ය කලාවේ යම් අනුසාරයක් ආශ්‍රයෙන්..

චිත්‍රපටි කලාව එහෙම නැත්නම් වීඩියෝ ආර්ට් කියන එක අපි මේකෙදි පාවිච්චි කරන්න උත්සාහ දරනවා. අපි අවුරුදු දෙකක් මේක උත්සාහ කළා. ඒ නිසා අපිට මේක අද වෙනකොට අමුතු නෑ. අපි තව ටිකක් ඉස්සරහට ගිහිං තිබෙනවා. ඊළඟට අපි කූඩුව කියන මූලික සැකැස්ම හදන්න මැටීරියල් එකක් විදියට බුදුන්ට පූජා කරපු මල් එකතු කළා. ඒ මල් පරවෙන්න කලින් නැවත අරගෙන, අපි ඒ මල් වියලලා ඒකෙන් තමයි කූඩුව කියන නිර්මිතය වැහුවේ. ඊටපස්සේ අපි මල් පෙති උඩ කැටයම් කැපුවා.

ඊළඟට අපි අපේ කූඩුව හරහා ලයිටින් වල විශාල වෙනසක් කරලා තියෙනවා. ෆ්ලෑෂර් කොටවලින් අයින් වෙලා. මෙදාපාර අපි ඩේටා පද්ධතියක් හරහා තමයි මේක කරන්නේ. ඒක සංකීර්ණයි. තොරන් වලත් ආලෝකරණය ඉතාම සංකීර්ණයි. හැබැයි තොරන් කැරකෙන්නේ නැති නිසා සංකීර්ණත් නෑ. නමුත් කැරකෙන කූඩුවකට ඩේටා වලින් පාට දෙනවා කියන එක තාම අමාරු වැඩක් ලංකාවේ. ඉතින් අපි ඒක මේ පාර කරනවා.
ඇත්තටම කිව්වොත් මේක පෙරහැරක් වගේ දෙයක්. පෙරහැරකදී වෙන්නේ මිනිස්සු එක තැනක ඉන්නවා, පෙරහර යනවා. මෙතන අපි කියන්නේ පෙරහැර එක තැනක තියනවා. ඔබ යන්න කියලා. ඒක හරියට පෙරහැර එකතැන නවත්තලා තියනවා, මිනිස්සු දැං ඇවිදිනවා වගේ වැඩක්.


කූඩුව හදන වැඩේට මල් පාවිච්චි කිරීම ගැන තව ටිකක් කතා කරමු..

අපිට මතකයි දෙවෙනි මනස් දිවිසැරියේදී අපි පාවිච්චි කරෙත් මල්. අපි සාමාන්‍යයෙන් ඔය මල් කියන එක දිගට පාවිච්චි කරපු සබ්ජෙක්ට් එකක්. මොකද ඒක පූජනීය දෙයක් විදියටත් තියෙනවා. ආදරණීය දෙයක් විදියටත් තියනවා. වැලන්ටයින් එකෙත් මල්. වෙසක් එකෙත් මල්. නත්තලෙත් මල්. මල්වල එහෙම අනුහසක් තියනවා, මිනිස්සු එක්ක ෆැමිලියර් වෙන. මළ ගෙදරත් මල් නේ.

එතනිනුත් එහාට ගිහිං මෙදාපාර අපේ තේමාව පරාගණය කියන එක. ඒ කියන්නේ අපි දන්නවා ලෝකයක් පවතින්න මූලික විදියට මෙහෙවරක් කරනවා මී මැස්සෝ, ඔය කෘමි සතුන්, සමනලයෝ. ඔවුන් තමයි පරාගණය කියන එක සිද්ධ කරන්නෙ. දැන් පොඩි ළමයෙක් වුණත් දන්නවා පරාගණය කියන්නේ මොකක්ද කියලා. අපි ස්වභාවිකත්වය රැකෙනවා කියලා විශ්වාස කරන්නෙත් පරාගණය තියනවද කියන එක චෙක් කීරීම උඩ. මානවයා මේ ස්වභාවික ලෝකය වෙනස් කරනකොට ඒ ගැටුම විසින් කළේ පරාගණය නතර කරන්න උත්සාහ කරන එක. හැබැයි ඒක නැවැත්තුවොත් අපි විශාල ගැටළුවකට යනවනේ. ඉතිං අපි උත්සාහ කළා අටලෝ දහමට අනුව මේක තේරුන් ගන්න. ඒ උත්සාහය තමයි බෞද්ධ සංකල්පයන් ගොඩක් හරහා ගිහිං මෙහෙම නිර්මානය වෙලා තියෙන්නේ. ඔබත් ආවොත් මේ අවකාශයට ඔබට ඒක බලලා විඳලා තේරුන් ගන්න පුළුවන් වෙයි.

මම කැමතියි විද්‍යාව හා තාක්ෂණය එක්ක බැඳුන වෙසක් කූඩුව ගැන තව ටිකක් කතා කරන්න

චිත්‍ර ශිල්පියකුට චිත්‍රයක් ඇදගෙන පාඩුවේ ඉන්න තිබ්බ ලෝකෙ නැති කරේ මේ කාර්මික සමාජය.. විද්‍යාව හා තාක්ෂණය. ඒක අපි පිළිගන්න ඕනෑ. කාර්මික සමාජය කලාවට කරපු බලපෑම අතිවිශාලයි. චිත්‍රපටි ශිල්පියෙක් විදියට උඹ දන්නවා කැමරාව අපිට කරපු විකාරෙ. අපේ සිතුම් පැතුම් කොච්චර දුරකට ධාවනය කරන්න එයාට පුලුවන් වුණාද? එතකොට මේ එසෙම්බල් ආර්ට් ගොඩනැඟෙන්න හේතුව මූලිකව මට අනුව මේ කාර්මිකරණය. කාර්මීකරණය විවිධ තැන්වල තිබ්බ දේවල් එක මිටකට එකතු කළා. අපි ලතින් අමෙරිකාව ගැන දැනගෙන හිටියේ නෑ නේ. හැබැයි කැමරාවක් හන්දා එහෙ ෆොටෝ එකක් අපිට බලන්න පුළුවන් වුණා. මීට කලින් චිත්‍රයක් ඇඳලා ගෙනත් තිබුණට විශ්වසනීයත්වයේ ගැටළු තිබුණා. අපි අප්‍රිකාව කොහොමද කියලා දැනගත්තා. ආසියාව කොහොමද කියලා දැනගත්තා.

එක එක මියුසික් වර්ග තියනවා, එක එක බෙර වර්ග තියනවා, එක එක ගිටාර් වර්ග තියනවා, එක එක කෝඩ්ස් තියනවා, එක එක පින්සල්, බ්‍රෂ් පාරවල් තියනවා, එක එක ඇඳුම් ආයිත්තම් තියනවා, එක එක ප්‍රේම හුටපට තියනවා, එක එක ලිංගික හුටපට තියනවා. මේ විදියට මේ ඔක්කොම දැනගන්න ගන්නවනෙ අපි. අන්න ඒ කාලය තමයි එසෙම්බල් ආර්ට් වලට මරු කාලය විදියට මං දකින්නෙ. මොකද දැන් එසෙම්බල් ගොඩාක් තියනවනෙ ලෝකෙ පුරා විහිදිලා. දැන් අපිට ඒවා එකතු කරලා එසෙම්බල් කරන්න පුලුවන්නෙ. අන්න ඒ වෙලාව ඇවිත් තියනවා. ඒක අපි යූස් කරන එක හොඳයි කියලයි මගේ අදහස. මම විශ්වාස කරනවා තාම හරියට නැති වුණත් ඉදිරි යුගය එසෙම්බල් කියලා.

විශේෂයෙන්ම වෙසක් කූඩු, පොසොන් කූඩු, තොරන් කියලා කියන්නේ කූඩුවට අමතරව විරිඳු තිබුණා, නාට්‍ය තිබුණා, රූකඩ පෙන්නුවා. එහෙම කලාවන් ගොඩක් එකතු කරපු තැනක් නෙ. එකතු කරපු අවකාශයක්. අන්න ඒ අතීතයත් එක්ක මේක කොහොමද ගැටගැහෙන්නේ?


ඔන්න ඔතන තමයි හොඳම ප්‍රශ්න එන්නේ. වෙසක් කූඩු කියලම කියන්නේ ඉන්ස්ටොලේෂන්ස් තමයි. අපි අද කියනවානම් වෙසක් කූඩු පරණයි කියලා හරියට බැලුවොත් වෙසක් කූඩු අපිට කලින් එසෙම්බල්. මොකද මිනිස්සු කැටයම් කලාව දැනගත්තෙ පිරිත් මණ්ඩප ගහන්න ගිහිල්ලා, ගොක් කොළ වැඩ වලදී, දෙවියන්ට කන්නලව් කරද්දී, දහ අට සන්නිය නටන්න ගිහිල්ලානෙ. නැත්නම් වෙසක් කූඩු ගහන එකෙන් නෙමෙයිනේ. හැබැයි ඒ ආභාෂය වෙසක් කූඩුවලට එකතු කරගත්තා එක කාලෙකදි.

අපි කියමු අනගාරික ධර්මපාල යුගයෙන් පස්සේ කියලා. අසාධාරණ නෑනෙ එහෙම කියන එක. එතකොට විරිඳු කියන එක? හිටිවන කවි කොහොමත් කිව්වා. කොහොමත් කුඹුරුවල මිනිස්සු කවි කිව්වා. වෙස්සන්තර ජාතකය කොහොමත් මේ වගේ සමාජවල කිව්වා. නෙළුම් කවි කිව්වා, පාරු කවි කිව්වා. ඒක ගෙනාවා දැන් ඔන්න බෞද්ධ විදිහට.. හිටිවන කවි ඒකෙ කෑල්ලක් විදියට.. දැන් එක තව කෑල්ලක් ආවා. ඉතිං ආලෝකකරණය කියන එකත් තාක්ෂණික දෙයක් කියලා අපි හැමෝම දන්නවා. අපිට බකට් එකක් පත්තු කරන්න පුළුවන් ඉටිපන්දමකින්. නමුත් විද්‍යුතය ආවට පස්සේ අපි ඒක පාවිච්චි කරානේ.

මං එක දෙයක් කියන්න ඕනෑ, ලංකාව තමයි ෆ්ලෑෂර් කොට හොයාගත්තෙ. වර්ණ කඩ කඩ දෙන්න පුළුවන් නිශ්චිත ස්වරූප පද්ධතියක් අපිට හදන්න පුළුවන් කියන විශිෂ්ට වැඩේ ලංකාවේ මිනිස්සු හොයාගත්තේ. ඒකෙන් මං අදහස් කරන්නේ නෑ ඒකෙ උපත ලංකාවේ කියලා. ඒක එහෙම නෙවෙයි මං කියන්න හදන්නේ. නමුත් ඒක හරි සංකීර්ණ තලයක ඉඳන් හොයාගත්ත පිරිසක් ලංකාවෙ හිටියා. ෆ්ලෑෂර් කොටෙන් අපිට පුළුවන් වුණා විවිධ වර්ණ හදන්න. හරි ලස්සන වැඩක් ඒක. මේක කොටයක් කරකවලා බෙලෙක් පටියක ගෑවි ගෑවි ගිහිං රතු, නිල්, කොළ පාට වර්ණ එනවා. ඒක හරි වැඩක්.

අද කොම්පියුටර් එකේ තියෙන සිස්ටම් එක බැලුවහම අපිට පේනවා ඒකෙ තියෙන්නෙත් ෆ්ලෑෂර් කොටේ ම තමයි කියලා.

අපි දන්නවා ලංකාවේ බෞද්ධ දර්ශනය මහායාන පද්ධතියට වැඩිය තෙරවාදී පද්ධතියට බර දීලා තමයි රෝපණය වෙලා තිබුණෙ කියන එක. ඕකෙ ඉතින් රණ්ඩු වෙන්න දෙයක් නෑ. හාමුදුරුවෝ යූටියුබ් වල දෙපැත්තට කොච්චර කෑ ගැහුවත් ඒක එහෙම තමයි තියෙන්නේ. හැබැයි අපි දන්නවා තෙරවාදය සම්ප්‍රදාය ඇතුලේ සාහිත්‍ය පෝෂණය වෙද්දි ජාතක කතා පද්ධතියක් උඩ තමයි මේක පෝෂණය වුණේ කියන දේ.

ඉතිං හැමවිටම වෙසක් කූඩුව වේවා, තොරණ් කලාව වේවා, බෞද්ධ හැම වැඩක්ම කිසියම් විදියකට ජාතක කතා එක්ක තමයි ගියේ. එතකොට අපිට බැරිවුණා මේ කලාවන් ජාතක කතාවෙන් එහාට අරගෙන යන්න, අන්න එතන තමයි ප්‍රශ්නය හටගත්තේ. ඔබ ඇහුවා රූකඩ වගේ දෙයක් මේකට ඇයි එකතු කරගත්තේ නැත්තේ කියලා. ඇත්තටම රූකඩ වගේ කලාවක් අභාවයට යන්න ප්‍රධානම හේතුව තමයි ඔවුන් තවමත් ජාතක කතා උඩ විතරක් පදනම් වීම. අපිට බැරිවුණා රූකඩේ එතනින් උඩට ගන්න. හැබැයි අපි විරිඳු කලාව මේකට එකතු කරගෙන තිබෙනවා. ඒකත් සාම්ප්‍රදායික විරිඳු අර්ථයෙන් නෙවෙයි. ඉතිං අපි කරන මේ වැඩේ බලන්න එන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

කේ .සංජිව

leave a reply