Breaking News

කඳුකර ජනතාව අතර සාක්ෂරතාව ජාතික මට්ටමට වඩා බාගයක් අඩුයි – මරණ අනුපාතය දෙගුණයයි

කඳුකර ජනතාවගේ සාක්ෂරතා මට්ටම ජාතික මටටමට වඩා අඩකින් අඩු බවත්, කඳුකර ජනතාව අතර මරණ අනුපාතය ජාතික මට්ටම මෙන් දෙගුණයක් වන බව කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය වෙනුවෙන් එහි සාමාජික ලලිත් අබේසිංහ පවසයි.

ජීවත්වීමට, අනාගතය සම්බන්ධයෙන් වන බලාපොරොත්තු ඉටු කරගැනීමට අත්‍යවශ්‍ය වන ඉඩම් සහ නිවාස අයිතිය අහිමි කර ඇති මෙම ජනතාව, පරම්පරා අටක් තිස්සේ එසේ ජීවත් වීම සම්බන්ධයෙන් සමස්ත ජනතාව සමාව ඉල්ලා සිටිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

ඉඩම් දිනයට සමගාමීව ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය දිනාගැනීම වෙනුවෙන් අද (21) හැටන්හි ක්‍රිෂ්ණ භවන් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ලලිත් අබේසිංහ මේ අදහස් පළකර තිබේ.

සංවිධාන 20කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් මෙම මාධ්‍ය හමුව සහ ඉන්පසු හැටන් නගරයේ පැවති පාගමන පැවැත්විණි.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඉඩම් සහ කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ සඳහන් කළේ මෙය ඉතිහාසගත වරදක් නිවැරදි කරගැනීමේ අවස්ථාවක් බවයි. ඉන්දියාවේ සිට මෙරටට පැමිණ, වසර 200ක් තිස්සේ වෙහෙස වන මෙම කඳුකර ජනතාව වෙනුවෙන් ඉඩම් සහ නිවාස අයිතිය ලබා නොදී සිටීමට වතුකරය නියෝජනය කරමින් එම ජනතාව තමන්ගේ අරමුණු වෙනුවෙන් යොදාගත් දේශපාලනඥයන්, සමාගම් මෙන්ම ඇතැම් වෘත්තීය සමිති ද කටයුතු කළ බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම ජනතාවට ලබාදීමට කඳුකරයේ ඉඩම් හෙක්ටයාර 37,000ක් ඇතැයි වරක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැවසූ බවත්, එහෙත් පසුව ඒවා සමාගම් ඇතුළු වෙනත් කණ්ඩායම්වලට ලබාදුන් බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මේ නිසා සියලු ආණ්ඩුවලින් අසාධාරණයට පත් ජනතාවගේ මෙම අයිතිය ලබාදීම සඳහා සමස්ත ජනතාව එකට එක විය යුතු ව ඇතැයි ද චින්තක රාජපක්ෂ මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

leave a reply