මා එතනය
මුහුදු සුළඟ වැද විවර වූ
ඒ මන්දිරයෙහි කවුළුව අසය
වියන් ඇද තවමත් එලෙසමය
මනස රැඟුම් පෙළහරකය
වැලමිට රිඳුම් බොහොමය
නිය පහර වැදි පපු කැළැල්ය
ඔඬු දුවන තුවාලයක
පෑරෙන හදවතක්ය
පිස හමනුයේ
මා යනෙන මඟ නුඹ තැබූ
රෝස පොකුරෙහි
සුවඳ මුසු පවනමය
එමඟට නුඹ අතැරි
රතු ඇපල් පැන නැඟ
නාස් පුඩු අඟ දැවටෙමින
තහනම් ඵල රස විමසීය
සංවේදී විනිර්මුක්ත රූමතිය
ඒ නුඹේ වදන්ය
බාල්දි වැසිකිලි ඉවතලන්නිය
ඒ මහද හඬය
අසංවේදිත්වය අවැසිය
මන්දිර වලින් ඔබ්බෙහි
කුණු කාණු අධිකය
වැසිකිලි බාල්දි දුර්ගන්ධයය
ආදරණීය පැබ්ලෝ නෙරූඩා
අද රැයේ මා සොම්නසින්
ලියන එකම කවිය ඔබටය
ඒ නම්
ඉඟසුඟද , පුළුල් උකුලද ,
සුපුන් පයෝදර ද
වචනයෙන්ම ඉලිප්පූ
ආදරණීය පැබ්ලෝ
ඔබ කිසිදා නොදත් සත්‍යනම්
මා ඔබට
අසීමාන්තිකව ආදරය කල බවය
අසංවේදීයැයි හැඟෙන ගැහැණියක
ඔලාරික හැඟුම් ලඟ
ඔබ ලියපු කවි වචන ළාමකය.
මම,
ඉන්දියානු මූර්තියකට ඔබ සමකළ
වැසිකිළි බාල්දි සෝදන්නිය
තංගම්මාය.