මම උන්නෙ පොත් ප්‍රදර්ශනයෙන් ගත්තු අතොරක් කවි පොත්වල කවි නැතිවීමේ ස්වල්ප සෝකයකින්. එහෙව් සෝකයට වැඩි දුර නොයා බෙහෙත් කීපයක් ලැබුණා. සමහර බෙහෙත් කවිවලින්ම, තවත් සමහරක් කෙටිකතා, නවකතා, චරිත කතා ආදියෙන්.
‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන’ ගේන්නෙ බොහොම ශෝකාකූල හැඟීම් බෑගයක් විතරක් නෙවෙයි. මේ අපි නොදන්නා වෙනත් කලාපයකට භාෂාව පාවිච්චි කරලා ඇතුළු වෙන්න ජනේලයක්. දොරක් නැතිව ජනේලෙකින් ඇතුළු වෙන්න කියන්නෙ ඇයිද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. හරිහමන් දෙමළ භාෂාවක් නොදැන අපි කොහොමද දොරක් ඇරන් ඇතුළු වෙන්නෙ? එහෙම ප්‍රශ්නයක් කවදාවත් ඔළුවට රිංගුවෙ නැතුවත් ඇති. භාෂාව කියන්නෙ ඕනෑම දේකට පිවිසීමේ ප්‍රධානම යතුරක්. ඔබ කෙනෙකුගෙ ශරීර භාෂාව දන්නවා ඔහු/ඈ තුළට පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන්කම කියන යතුර ලැබෙනවා. ඔබ ඒක දන්නෙ නැතිනම් ඉවසීමෙන් ඉගෙනගන්න වෙනවා. ඔබ වෙනුවෙන් එහි ප්‍රවේශයක් වෙනත් කෙනෙක් ගන්නවා නම් අන්න ඔබට ස්වීප් ටිකට් එකක් ඇදෙන්නයි යන්නෙ. දැන් අනූෂා සිවලිංගම් කරලා තියෙන්නෙ එහෙම දෙයක්. ඉතිං ඔබට දැනට ජනේලයක් ඇති වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මට නම් ඇති. දොරක් ගැන හිතන්න පුළුවන් වෙයි පහුකාලෙක.
“මේ නගර බිමෙහි
කිනම් අයුරකින් හෝ
මිනිස්සු
අවසන් වෙමින් තිබුණි…”
එහෙමයි පොතේ අන්තිම කවිය පටන් ගන්නෙ. නගරයක මිනිස්සු ඉවර වෙනවා කියන්නෙ මොකක්ද? මිනිස්සු රහිතව නගරයක මොන පැවැත්මක්ද? මේ බෝවෙන රෝගයක් හැදිලා මිනිස්සු ඉවර වීමක් නෙවෙයි. ශෙල් වැදිලා, වෙඩි වැදිලා, බිම්බෝම්බවලට අහුවෙලා මිනිස්සු ඉවර වීමක්. දරුවන්ගෙ ඇට සැකිලි දැවිච්ච අළු මතින් මල් පිපිලා කියලා තැනක කියනවා. ඒ මල් උඩ සුදු කාකයෝ වාඩිගෙන කියලා කවියා ඊළඟට කියනවා. මේ රූපමය සත්කාරය ඔහුගෙ කවි බහුතරයේම දකින්න පුළුවන් ලක්ෂණයක්. ඉතාම ශක්තිමත් වගේම පොහොසත් භාෂා භාවිතාවක් කවියා සතුයි. නොකියා කීමේ කලාව වගේම වේදනාව, කළකිරීම, ශෝකය, කෝපය ආදී හැඟීම් සියල්ලක්ම යම් කෝවක ලා රත් කරමින් තමයි ඔහු කවිය ඇතුළට දමන්නෙ. මේ රත් බව කවි කියවන අයට දැනෙන්නෙ කවිය කියවීමෙන්ම නෙවෙයි. කවි කියවා අහවර වුණාට පස්සෙ එළැඹෙන ඊළඟ කාලය ඇතුළෙදියි. කවියක් කියවන්නා තුළ වැඩකරන්නෙ එහෙමයි. එහෙම වැඩ නොකරන කවිත් තියෙන්න පුළුවන්. ඉතිං ඒ අයට අයිති සත්කාරය ඒ අයට දෙන්න ඔබට පුළුවන්.
“….වීදියේ බිඳී තිබෙන
කඩදාසි සයිකල් අතර
මළකඩ කෑ මගේ සයිකලය
අතුරුදන් වූ ආදරිය සොයා යයි..”
මෙහෙමයි ප්‍රේමය වරනැඟෙන්නේ. අතුරුදන් වූ ආදරිය සොයා යන්නෙ ඔහුගෙ මළ කෑ සයිකලය.
මේ කවිය ඇතුළේ තේ කඩය චිත්‍රයක් වෙන්නෙත්, බියර් බෝතල් ඇතුළේ නයි දාලා වහලා ඉන්නවා පේන්නෙත්, කිකිළියෙක් අළු කනවා පේන්නෙත්, ගමනක් යන අම්මෙක්ගෙ අතේ අතුරුදන් වූ තරුණයන්ගෙ සෙරෙප්පු, කුඩ, හෙල්මට් තියෙන්නෙත් එකම වෙලාවෙ. කළු-අළු පාට සිතුවමක් ඔහු අඳින්නෙ. වරදකාරී හැඟීමක් එන්නෙ නොහිතන කලාපයක ඉදන්. ‘අන්න කවිය වැඩකරන්න පටන් අරන්.’ දැන් ඔබ එහෙම කියාවි. ඔව්. කවි එහෙම තමයි. හොඳ කවියක වැඩ බිම ඕනෑම මිනිහෙකුගෙ හිතේ හැදෙන්නෙ ලොකු කැපකිරීමක් ඉල්ලීමෙන් නෙවෙයි.
“….කුමක් හෝ හිස්තැනක
බෙදාගත යුතු දේ
පිරී ඇත…”
හිස්තැනක මොනවද තියෙන්නෙ? ශූන්‍යයි කියලා හිතපු බොහොම දේවල්වල තනියෙම භුක්ති විඳින්න නෙවෙයි, බෙදාගන්න පවා දේවල් ඇතිය කියලා ලේසියෙන් කෙනෙකුට නොහිතේවි. ඒත් මේ පිරිලා තියෙන හිස්තැන්වල ඔයාකාර දේවල් තියෙන බව මීට කලින් දැනිලා නැතුවත් ඇති. ඔහුගෙ කවි බස වෙන මානයක් අපිට පෙන්වන සුළුයි. සුලබ භාෂා යෙදුම් ඕවර්ටේක් කරලා නිපදවෙන මේ භාෂාව අපිට ආගන්තුක තරමටම රසවත්, ශෝකීයි, පොහොසත්.
මේ කවි පොතේ මගේ හිතගන්න මේ කවිය සම්පූර්ණයෙන්ම සටහන් කරන්නම්. කවියේ මාතෘකාව,
අම්මාගේ නිවාස සැලැස්ම
අටවපු බංකරයක හිඳ
අලුත් නිවසක් ගැන
සැලසුමක්
අම්මත් මමත්
අඳිමින් සිටියෙමු
පළමුව නිවසක්
ළිඳක්
වැසිකිළියක්
මෙපමණ දෑ ඇවැසිය
අපේ සැලැස්මට
අතුරුදන් වුවද
තාත්තගෙ කැඩපතින්
අම්මාගේ රතු තිලකය
ඔපවත් වෙයි
අතක් අහිමිව
අම්මා
අපවද තුරුළු කරගෙන
තනි අතින්
නිවසේ සැලැස්ම අඳියි
සොහොන් බිම නිදන
අයියා සමඟ ද
අම්මා
මේ සැලැස්ම ඇඳ තිබුණි
නිවසට වැසි වසී
වරුවක්ම ගත කොට
අල්ලපු ගෙදර සමඟ
එකඟතාවකට පැමිණුනි
වතුර පොදක් ගැනුමට
විවෘත වැසිකිළිය
ලදු කැලෑවක්ය
අපිදු එහි
මළපහ කළෙමු
මගේ සරසවි වියදම්
නංගීගේ
පාසැල් වියදම්
කෑමට බීමට
ඇඳුමට-පැලඳුමට
තවත් වියදම්
අම්මාගේ මාස් පඩිය
හිඳී වැළලී ගොසිනි
එසේ වුව,
හැම මසක් අවසන
මමත් අම්මත්
අලුත් නිවාස සැලසුම
අලුතින් අඳින්නෙමු•
56-67 පිටු
තාත්තගෙ කැඩපතින් අම්මාගේ තිලකය අතුරුදන් වෙලා කීමේ භාෂා පාවිච්චිය කොච්චර ලස්සනද? ඒ තරමටම ශෝකීද? ඒත් අම්මාගේ තිලකය ඔපවත් වෙලා කියනවා. කවියා අවශ්‍යම තැන්වල දේවල් ඉතාම ලුහුඩෙන් කියලා දානවා. ඊළඟට ඊටත් වඩා වැදගත් දෙයකට පනිමින් ඒකත් ලුහුඩෙන් කියනවා. මේ වැල්වටාරම් නොකියා සැඟවීමේ ගුණය බොහෝ කවීන් මඟහැර ගන්නේ අපරාදේ. ඔවුන් නිතරම උත්සාහ කරන්නේ යම් වැදගත් කඳු මුදුනක් වගේ අවස්ථාවක් හැකි තරම් විස්තර කරන්න, ඒකට නොයෙක් සැරසිලි එල්ලන්න. එතනදී කියවන්නාගේ සිතීමේ අවකාශය පටු දෙබොක්කාවක් ගානට කුඩා වෙන බව ඔවුන් නොදන්නවා නොවේ, ඒත් තමන්ගෙ දරදඩුකම පෙන්නනවා. කවිය ඉල්ලන සෝබාව අන්න එතනදි පළුඳු වෙනවා. කවියේ ආත්මය ඔවුන් තුවාල කරන්නෙ තරමක් නරුම ආකාරයට. පාණ්ඩිත්‍ය පෙන්වීම හරි සියල්ල කීම හරි කවි ශරීරය නොඉල්ලනවා වෙන්න පුළුවන් බව විස්වාස නොකරන එකයි ඒකට හේතුව. කවිය කියන්නෙ භාෂාව කුඩාම ඒකකයට හකුළුවා දක්වන්න තියෙන සමත්කම මිසක් වෙනකක් නෙවෙයි කියලයි මගේ විස්වාසය.
දැන් මේ පේන්න තියෙන්නෙ භාෂාව කුඩාම ඒකකයට හැකිළීමයි. ලුහු බවයි. සුළු බවයි. වචනවලට ලෝබ වීමයි. වචන අතර ඉඩ තැබීමයි.
‘අතක් අහිමි
අම්මා
අපවද තුරුළු කරගෙන…..”
අම්මාට අතක් නෑ කියන්න කවියා පාවිච්චි කරන කෙටි අවස්ථාව බලන්න. ඔහු බරපතලම දේ කියන්නෙ මෙන්න මේ විදිහෙන්. අතිශය ලුහුඬුවෙන්. නමුත් ඒ වචන අතර තියෙන ඉඩ අරගෙන කියවන්නාට යන්න පුළුවන් දුර කොයිතරම්ද? ශෝකය පවා තනුක කරයි ඔහු කියන්නෙ. මේ තනුක කළ ශෝකය කාන්දු වෙන්නෙ බැරල් ගණනින්. එය දිගහැර ගන්නෙ කියවන්නා විසින්. ඒක පැවරුමක්. ඔබ කැමති වුණත් නැතත් ඒ පැවරුම ඔබට අයිතියි.
‘නිවසට වැසි වසී’
මේ අය වරුවක් තිස්සෙ අල්ලපු ගෙදර අය එක්ක සාකච්ඡා කරන්නෙ අටෝගත්ත බංකරෙන් එළියට ඇවිත් අර වහින වැස්සෙන් වතුර ටිකක් එකතු කරගන්නව ද, නැති ද කියලයි. ඊළඟට ඔවුන්ගෙ වැසිකිළිය ලඳු කැලෑවක්ය කියනවා. අත්දැකීමේ ස්වභාවය ඉල්ලා හිටින ආකෘතියේ පිහිටලයි මේ හැම කවියක්ම ලියවිලා තියෙන්නෙ. වර්ණනා රහිත, අලංකාරය ගැන වද නොවෙන ඔහුගේ කවි එකවර ගිල ගන්න අපහසුයි කියලා හිතීම අරුමයක් නෙවෙයි. මේ කවි පොත කියවලා ඉවර වුණාම දැනුණ නොසන්සුන්කම නැතිකර ගන්න පැයක් විතර බයිසිකලය ඉබාගාතේ පදින්න වුණේ ඒ නිසා වෙන්නත් ඇති. හැම වෙලාවකම කවියේ අලංකාරය ගැන වද වෙන මට, කළු දුමාරයකට යටත්ව ඉන්න වුණෙත් ඒ නිසාම වෙන්න ඇති.
“…තරප්පු අහිමි
මගේ කුටියට
ආ නොහැකි යැයි
ආදරවන්තිය කියයි..”
“…මම රාත්‍රිය ගෙන
ජෝගුවක පුරවා
බලා සිටියෙමි…”
“තරප්පු පෙළ බැස එන
මා ගිල දැමීමට
තිරිසනෙකු පහළ ඇවිදියි”
අලංකාරය ගැන ඔහු වද වෙන්නැති බවට මෙන්න සාක්කියක්. ආදරවන්තිය ගැන කියන්නෙත් එකම හිස් ගතියකින්. තරප්පු පේලිය බැහැගෙන එද්දි තමන්ව ගිලින්න තිරිසනෙක් පහළ ඇවිදිනවා කියන්නෙත් ඒ එකම තානයකින්. මේ රිද්මය ප්‍රේමයයි, බයයි කියලා කොහෙදිවත් වෙනස් වෙන්නෑ. බය ඇතුළෙන්ම නැඟුණ ප්‍රේමය සහ ජීවිතයක් ගැන ඔහු මේ කියන්නෙ. හැම හැඟීමකම තියෙන හිස්කම වගේම ඒවා ඇතුළේ තියෙන සර්පයො නලියන බය කවි ඇතුළෙන් විස වගේ වෑහෙනවා. ඒවා පාගන්නෙපා. පාඩුවෙ යන්න කියලා මම කියනවා.
“අපේ හැම හමුවීමක්ම
ආයු කාලයටත් වඩා දිගය
ඒ තැන්, වචන
නො වේලී
තේ කෝප්ප පිරී ඇත…..”
ඔහු තේ කෝප්ප පාවිච්චි කරන්නෙ දුර්භාග්‍ය කාලයක් ගැන කියන්න. හැබැයි මේ කතාවෙන් හින්දි සිංදුවල තනුවත්, දෙමළ සිංදුවල තනුවත් වාදනය වෙන්නෙ නෑ. කවියේ එහෙම අරමුණක් නෑ.
“….මං
බොහෝ කවි ගීත
සොරා ගත්තේ ඔබෙනි
ඔබේ වචනවලිනි…”
කවියේ මාතෘකාව ‘ නුඹෙ ලේ ගැලූ මාර්ගය’ ඕනෑ නම් ඒ මාර්ගය දිගට ඇවිදලා බලන්න පුළුවන්.
“දරුවන් උදුරා වීසි කළ
දේශයකට
හිරු උදාවෙයි….”
“මහ රෑ ඇහැරවා
හඬලන
කොණ්ඩ කුකුළකුගේ
උගුරු දණ්ඩේ
සෙල් වෙඩිල්ලක් හිරවුණි…”
මේ යෙදුම් අපට බොහොම ආගන්තුකයි. නමුත් කවියේ ශරීරයට නියම මිම්මට මහපු ඇඳුමක් වගෙයි. ජේත්තුකාරයි.
“…..සිහින පිරුණු
සමනල ජීවිතයක
පණුවෝ
දගලමින් සිටිති….”
“අප පැලඳ සිටි මුදු
හිමි හිමින්
දියව වැගිරෙයි…”
මේ කවිය පුරාම තියෙන අපේක්ෂා භංගත්වය වගේම තරුණ ජෝඩුවකට යුද්ධය බලපවත්වපු විදිහ හොඳටම කියන්නෙ කවියෙ මාතෘකාවෙන්. ‘නාගයෙකු ගිලගත් බිමක මුදු දෙකක්’. මුදු දෙකක් මිස ගැහැනියක් සහ මිනිහෙක් කියන්නෑ. මුදු දරන්න නම් ඔවුන් විවාහකයි කියලා අපට හිතාගන්න පුළුවන්. ඒ අය දාගෙන ඉන්න මුදු දියවෙලා වැගිරෙනවා. උකුලෙ මරණය ඇලවෙලා. බොන්න තිබ්බ කැඳ කෝප්පෙටත් ශෙල් වෙඩිල්ලක කෑල්ලක් වැටිලා. දැන් ශරීරෙටත් විස බෝ වෙලා. ත්‍රාසජනක දාම චිත්‍රපටියක් වගේ කියවන්නා නරඹන්නෙ යුද්ධයක්. නැරඹුම් වාර ගණන එකයි.
“ධාන්‍ය පිරුණු නිවෙස්ය
නිවෙස් පිරුණු ගම්ය
ඒත්, අත්හැර
අපි පිටත් වීමු….
“…එබී බලනු!
මෙහේ කළුවරයි හොඳටම
අපි කළු මිනිස්සු
කළු පොදි දරාගත්
සෙවණැති නිවෙස් අහිමි
පුංචිම සෙවණක් සොයා
ඉබාගාතේ යන”
මෙහේ කළුවරයි හොඳටම, කළු මිනිස්සු, කළු පොදි දරාගත්….හරියටම නිශ්චිතවම කවියා බෙදුම් රේඛාව සලකුණු කරනවා. මේ කවිවල එහෙම ඇණෙන ඉඳිකටු තුඩු ගණනාවක්ම තියෙනවා. ඇණ ගැනීමත්, නොගැනීමත් තම, තමන්ට භාරයි.
රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන | දීපචෙල්වන් | පරිවර්තනය: අනූෂා සිවලිංගම්•
කාංචනා අමිලානි