අද ලෝකයේ බොහෝ රටවල බාහිර පුද්ගලයන් කෙරෙහි නොඉවසීම සහ සතුරුකම වර්ධනය වෙමින් පවතින බැවින්, ශ්‍රී ලංකාව වෙනස් මාවතක් තෝරාගනිමින් සිටී. ශ්‍රී ලංකාව සියලු ප්‍රජාවන්ට ගරුකරන සහ ජාතික අවශ්‍යතා ඉටුකරන සියලුදෙනා ඇතුළත් ප්‍රවේශයක් අනුගමනය කරයි. මෙම ආකල්පය ශ්‍රී ලංකාවට අන්තර්ජාතික සහයෝගය ද ලබාදෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ්‍රී ලංකාවේ මෑතකාලීන ක්‍රියාමාර්ග හොඳ උදාහරණයකි. ගැටුමක් ඇතිකළ හැකි සහ යෝජනාව ඉදිරිපත් කළ බටහිර රටවලට එරෙහිව ශ්‍රී ලංකාව ස්ථානගත කළහැකි ඡන්දයක් සඳහා බලකිරීම වෙනුවට, රජය ගැටුමක් නොව සහයෝගීතාව තෝරාගත්තේය. මෙය කිරීමෙන්, ශ්‍රී ලංකාව ලෝකයට පෙන්වාදුන්නේ තමන් සහභාගීත්වයට සහ සංවාදයට කැමති බවත්, එක් පාර්ශවයක් ගැනීම හෝ නොසැලකිලිමත් ලෙස ක්‍රියාකිරීම සිය ප්‍රතිපත්තිය නොවන බවත්ය.
මෙම තීරණය, සියල්ලන් ඒකරාශී කරමින් රට පාලනය කිරීමේ රජයේ නව ප්‍රතිපත්තියට ගැලපේ. අතීතයේ දී, සමහර ශ්‍රී ලංකා පාලනයන් ඇතැම් සුළුතර ප්‍රජාවන් පිටස්තරයන් ලෙස සහ රටට තර්ජන ලෙස සැළකීය. 1948 දී ඔවුන්ගේ ඡන්ද අයිතිය අහිමි කරමින්, මෙම ආකල්පය නිදහසින් පසු ආරම්භ වූයේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ (මලයහ දෙමළ) ජනයා සම්බන්ධයෙනි. එකල ඔවුන් රටේ විශාලතම වාර්ගික සුළුතරය විය. මෙම මුල් ක්‍රියාමාර්ග ප්‍රජාවන් අතර අවිශ්වාසයක් ඇති කළ අතර, දිගු හා ප්‍රචණ්ඩ ගැටුමකට තුඩුදුන්නේය. ඊට වෙනස්ව, ආණ්ඩුව විසින් පාලනය කරන රජයේ දැක්ම වන්නේ, සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් සමාන බවත්, කිසිවකු වෙනස්කම්වලට මුහුණනොදිය යුතු බවත්ය.
ආණ්ඩුව තවමත් අලුත් වන අතර, එහි සියලු ප්‍රජාවන් ඇතුළත් කරගැනීමේ දැක්ම තවමත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර නොමැත. කැබිනට් මණ්ඩලයේ හෝ ක්ලීන් ශ්‍රී ලංකා කාර්යසාධක බලකාය වැනි වැදගත් ජාතික වැඩසටහන්වල තවමත් දෙමළ හෝ මුස්ලිම් සාමාජිකයන් නොමැති අතර, මෙය වෙනස් විය යුතුය. පළාත්වලට වැඩි බලයක් ලබාදීමේ මන්දගාමී ප්‍රගතිය සුළුතර ප්‍රජාවන් පාලනයට අර්ථවත් ලෙස සහභාගී වීමෙන් වළක්වයි. රජය බොහෝ විට සියල්ලන් ඇතුළත් කිරීම ගැන කතාකළත්, තීරණ ගැනීමේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රජාවන් පිළිබිඹු කිරීමට තවමත් අසමත් වේ. ධනාත්මක පැත්තෙන්, රජය සැමට සාධාරණ ලෙස සැලකීමට කැමති බවටත්, මෙම ප්‍රවේශය සියලුම ප්‍රජාවන්ට අදාළ කර ගැනීමට උත්සාහ කරන බවටත් සලකුණු තිබේ.
සුළු ජාතීන් ආරක්ෂා කිරීම
රජය දැන් තම සමානාත්මතාවය සහ සාධාරණත්වය පිළිබඳ ප්‍රතිපත්තිය LGBTIQ ප්‍රජාවට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කරයි. ඔවුන් අගතියට සහ අසාධාරණ නීතිවලට මුහුණදෙන සුළුතර කණ්ඩායමක් ද වේ. තත්වය සැමවිටම එසේ නොවීය. ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නීතිවිරෝධී වූයේ 1883 දී බ්‍රිතාන්‍යයන් දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වාදීමෙන් පසුවය. යටත් විජිත යුගයට පෙර, ශ්‍රී ලාංකික සමාජය වඩාත් විවෘත මනසකින් පැවැති අතර, එම ආත්මය යථාතත්ත්වයට පත්කළ යුතුය. සමලිංගික සබඳතා අපරාධයක් බවට පත්කළ පැරණි යටත් විජිත නීති රජය වෙනස් කළ යුතුය. මේවා බ්‍රිතාන්‍යය පවා ඉවත් කර ඇති නීති වන අතර, ඉන්දියාව ද අවසන් කර ඇත. ලොව පුරා සිටින LGBTIQ ප්‍රජාවේ පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීමට සාදරයෙන් පිළිගන්නා බව පවසමින් රජය සංචාරක මණ්ඩලය හරහා ද සහයෝගය දක්වා ඇත.
එලෙසම, රජය තවත් අවදානමට ලක්විය හැකි කණ්ඩායමක, එනම් රටේ දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටී. වැඩිහිටියන් හා සසඳන විට ඔවුන්ට බලය අඩු බැවින් දරුවන් සුළුතරයක් ලෙස සැලකිය හැකිය. බොහෝ විට විනය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමයක් ලෙස අද වනවිට, බොහෝ දරුවන්ට තවමත් වැඩිහිටියන් විසින් ශාරීරිකව දඬුවම් කරනු ලැබේ. සමහර ගුරුවරුන් සහ ආගමික නායකයන් මෙම පිළිවෙත විශ්වාස කරන අතර එය දිගටම කරගෙන යෑමට අයිතියක් අවශ්‍ය වේ. කෙසේවෙතත්, මෙම බලය අනිසි ලෙස භාවිත කිරීම, නිවසේදී හෝ පාසලේදී වේවා, පොලිස් වධහිංසා හෝ විශ්වවිද්‍යාල නවකවධය වැනි සමාජයේ පසුකාලීනව දක්නට ලැබෙන ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතියට ප්‍රධාන හේතුවක් විය හැකිය. මව්පියන් හෝ ගුරුවරුන් වේවා, වැඩිහිටියන් තමන්ව ආරක්ෂා කරගත නොහැකි සහ රැකවරණය හා ආරක්ෂාව සඳහා වැඩිහිටියන් මත යැපෙන දරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිත කිරීම ඉතා හානිකර ය.
LGBTIQ ප්‍රජාවට සහායවීමට සහ දරුවන් ආරක්ෂා කිරීමට රජය ගන්නා උත්සාහයන් ජාතික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන පොරොන්දුවලට අනුකූල වේ. සමහර විචාරකයන් පවසන්නේ, රජය විදේශීය හෝ බටහිර අදහස් අනුගමනය කරන බවයි. එහෙත් කරුණාව සහ අවිහිංසාව වැනි වටිනාකම් ශ්‍රී ලංකාවේම ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායන්හි කොටසකි. මෙම ක්‍රියාවන් පෙන්නුම් කරන්නේ, රජය පාලනය සඳහා සාධාරණ හා සියල්ලන් ඇතුළත් ප්‍රවේශයක් ගන්නා බවයි. සංහිඳියාව යනු ජනවාර්ගික ගැටළු විසඳීම පමණක් නොව, සියල්ලන් ඇතුළත් කිරීම බව රජය තේරුම් ගෙන ඇති බවයි. සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ජනවාර්ගිකත්වය, ලිංගිකත්වය හෝ වයස මත පදනම්ව, එහි සියලුම සුළුතර කණ්ඩායම් ආරක්ෂා කළ යුතුය.
දැන් ක්‍රියාකරන්න
නවතම UNHRC යෝජනාවේ ශ්‍රී ලංකා රජය විසින් ගතයුතු ක්‍රියාමාර්ග රාශියක් ලැයිස්තුගත කර ඇත. අතුරුදහන් වූ පුද්ගලයන්ට සිදුවූයේ කුමක්දැයි සොයාබැලීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින පුද්ගලයන් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම, ඉඩම් ඒවායේ හිමිකරුවන්ට ආපසු ලබාදීම, උතුර හා නැගෙනහිර හමුදා අඩුකිරීම සහ දිගු කලක් ප්‍රමාද වූ පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් පළාත්වලට බලය නැවත ලබා දීම මෙයට ඇතුළත් වේ. මෙම යෝජනාව මගින් පෙර ආණ්ඩු කළාක් මෙන්, රජය විරුද්ධ වූ ‘ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය’ ද දිගටම පවත්වාගෙන යයි. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය පදනම් කරගත් මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ යුද අපරාධ පිළිබඳ තොරතුරු සහ සාක්ෂි රැස්කරයි.
යුද්ධය ප්‍රචණ්ඩ ලෙස අවසන් වූ දා සිට, ප්‍රධාන වශයෙන් දෙමළ ප්‍රජාවගෙන් ඉදිරිපත් වූ, ජාතික අධිකරණවලින් ඔබ්බට ගිය වගවීම සහ යුද අපරාධ නඩු විභාග සඳහා වන ඉල්ලීම්වලට ශ්‍රී ලංකා රජය මුහුණ දී ඇත. මෙයට විදේශීය විනිසුරුවන් සඳහා වන ඉල්ලීම් හෝ පෙර UNHRC යෝජනාවල සඳහන් කළ පරිදි අන්තර්ජාතික අපරාධ අධිකරණයේ ක්‍රියාමාර්ග පවා ඇතුළත් විය. කෙසේවෙතත්, මෙවර ශ්‍රී ලංකා රජය තමන්ගේම ජාතික පද්ධති හරහා සංහිඳියා ක්‍රියාවලිය දිගටම කරගෙන යෑම ගැන බැරෑරුම් සිතන බව අන්තර්ජාතික ප්‍රජාවට ඒත්තු ගැන්වූ බව පෙනේ. රජයේ ස්ථාවර සහ සහයෝගී ප්‍රවේශය UNHRC සාකච්ඡා අතරතුර අන්තර්ජාතික ප්‍රජාවේ විශ්වාසය දිනාගත් බව පෙනේ.
සමස්තයක් වශයෙන්, UNHRC යෝජනාව, ශ්‍රී ලංකාවේ ජාතික පද්ධති හරහා සංහිඳියා ක්‍රියාවලිය සිදුකිරීමේ සැලැස්මට සහාය දක්වයි. එහිදී, අවසාන තීරණ ගනු ලබන්නේ විදේශිකයන් විසින් නොව ශ්‍රී ලාංකිකයන් විසිනි. මෙය අන්තර්ජාතික ප්‍රජාවෙන් ලැබුණු ප්‍රධාන සහනයක් වන අතර, රජය යෝජනාව සම්බන්ධයෙන් බෙදීමේ ඡන්දයක් සඳහා ගමන් නොකිරීම තෝරාගැනීමට එය එක් හේතුවක් විය හැකිය. ගැටුම්කාරී ප්‍රවේශයක් ගැනීම රට තුළ සිටින සමහර දැඩි මතධාරීන් සතුටු කිරීමට ඉඩ තිබිණි. එහෙත් එය ශ්‍රී ලංකාව දැන් නැවත ලබාගැනීමට පටන් ගෙන ඇති අන්තර්ජාතික හොඳහිතට හානි කිරීමට ඉඩ තිබිණි. ඡන්දයක් බලහත්කාරයෙන් නොපැවැත්වීමට හෝ රටවල් එකිනෙකාට එරෙහිව නොතැබීමට රජය ගත් තේරීම දුර්වලතාවයේ ලකුණක් නොව ප්‍රඥාවේ ලකුණකි. අන්තර්ජාතිකව හුදකලා වීමට හෝ මුල්ලකට තල්ලුවීමට නොහැකි බව රජය තේරුම් ගෙන ඇති බව එයින් පෙන්නුම් කෙරිණි.
2022 ආර්ථික බිඳවැටීම හේතුවෙන් ආර්ථිකය තවමත් ඉතා දුර්වල තත්ත්වයක පවතින අතර, එය වත්මන් ආණ්ඩුවේ වරදක් නොවේ. අද වනවිට ජනගහනයෙන් හතරෙන් එකක් පමණ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වෙති. එය 2019 දී මෙන් දෙගුණයක අගයකි. රටට වසර දහයකට ආසන්න සංවර්ධන ප්‍රගතියක් අහිමි වී ඇති අතර අන්තර්ජාතික ප්‍රජාවෙන් හදිසි උපකාර අවශ්‍ය වේ. වත්මන් ආණ්ඩුව යටතේ, ශ්‍රී ලංකාව ඉදිරියට යෑමට සහ රටේ කරදරකාරී අතීතය අතහැර දැමීමට සූදානම් බව පෙනේ. මෙය ප්‍රමාදයකින් තොරව භාවිත කළයුතු තීරණාත්මක අවස්ථාවකි. ජිනීවාහිදී දුන් සංහිඳියාව පිළිබඳ පොරොන්දු උතුර, නැගෙනහිර, මධ්‍යම කඳුකරය සහ යුක්තිය බලාපොරොත්තුවෙන් සිටින සෑම ප්‍රජාවක් තුළම ක්‍රියාත්මක කළ යුතුය. රජය දැන් ක්‍රියා කරන්නේ නම්, විදේශයන්හිදී රටේ විශ්වසනීයත්වය යථාතත්ත්වයට පත්කළ හැකි අතර, රජයේ සියල්ලන් ඇතුළත් ප්‍රවේශය තුළින් දේශීයව එක්සත්කම ශක්තිමත් කළ හැකිය.
ජෙහාන් පෙරේරා