දිවයින පුරා බොහෝ මාතෘ සහ ළමා රෝහල් සඳහා ත්‍රිපෝෂ ලබාදීමේදී දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.
මෙම හිඟය හේතුවෙන් මේ වන විට ත්‍රිපෝෂ ලබාදීම සිදු කරනු ලබන්නේ, යකඩ ඌනතාවයෙන් පෙළෙන මවුවරුන්, බර අඩු ගර්භණී මවුවරුන් සහ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වයස අවුරුදු තුනට වැඩි දරුවන්ට පමණක් බව ඔහු පෙන්වා දෙයි.
දැනට වසර කීපයක සිට වයස අවුරුදු තුනට අඩු දරුවන්ට ත්‍රිපෝෂ ලබාදීම අත්හිටුවා ඇති බවත්, අදාළ වැඩපිළිවෙළ යළි ආරම්භ කරන බවට රජය පොරොන්දු වුවද, මේ දක්වා එය ක්‍රියාත්මක කිරීමට රජය අසමත් වී ඇති බවත් වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කර ඇත.
ත්‍රීපෝෂ හිඟය මෙලෙස පවතින තත්ත්වය තුළ, මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පැවැති ත්‍රිපෝෂ සමාගම පසුගියදා ජනාධිපතිවරයාගේ විශේෂ නිවේදනයක් මගින් වසන්ත සමරසිංහ අමාත්‍යවරයා යටතේ ඇති වෙළඳ අමාත්‍යාංශය වෙත පවරා ඇත.
සෞඛ්‍ය වෘත්තිය සමිති මීට පෙර චෝදනා කළේ සමාගම විකිණීමට යම් කුමන්ත්‍රණයක් පවතින බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වූ ත්‍රිපෝෂ සමාගම මේ අන්දමට ගලවා ඉවත්කොට වෙළඳ අමාත්‍යාංශය යටතට පත් කළේ කුමන පදනමක් යටතේද යන්න රජය පැහැදිලි කළ යුතු බවට වෛද්‍ය චමල් සංජීව දැඩිව අවධාරණය කර තිබේ.
මිට සති දෙකකට පමණ පෙර සෞඛ්‍ය ඇමතිවරයා පවසා තිබුනේ දේශීය බඩඉරිඟුවල අෆ්ලටොක්සින් (Aflatoxin) ඉහළ ප්‍රමාණයක් අඩංගු බැවින් ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍යය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 20000 ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බවයි.
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වසරකට අවශ්‍යය බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 18000 ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් එම තොගය කොටස් වශයෙන් ගෙන්වීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවා.
කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව සමාගම්වලට බලපත්‍ර ලබාදී අදාළ ආනයන ක්‍රියාවලිය සිදු කිරීමට කාලයක් ගතවන බැවින් මාසයක පමණ කාලයක් සඳහා ත්‍රිපෝෂ හිඟය පියවා ගැනීමට කඩිනමින් තවත් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 2000 ක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබුණි.
ඒ සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි ද හෙතෙම අවධාරණය කර තිබුණි.
එම තොගය ලැබුණු විගස ත්‍රිපෝෂ නිෂ්පාදනය ආරම්භ කළ හැකි බව ද ඇමැතිරයා පවසා තිබුණි.