පොන්නි සම්බා සහල් ආනයනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටත් පෙර, වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහට හිතවත් ඇතැම් ව්‍යාපාරිකයන් විසින් සහල් තොග මෙරටට ගෙන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක ඊයේ (22) පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබුණි.
මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, මෙය වංචාවක් හෝ සොරකමක් බවට සැක පළ කරන අතර, ගැසට් නිවේදනයට පෙරම රජයේ හෝ වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහගේ හිතවතුන් පිරිසක් මෙම සහල් ආනයනය සඳහා සහයෝගය ලබාගෙන ඇති බවයි.
මේ තත්ත්වය යටතේ අනෙක් කිසිදු ව්‍යාපාරිකයකුට සහල් ගෙන්වීමට නොහැකි බව ඔහු සඳහන් කළා.
සහල් ආනයනයට අවසර දෙන ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඔක්තෝබර් 15 වනදා බවත්, එහි නියමයන්ට අනුව හාල් නැව්ගත කිරීම ඔක්තෝබර් 15 සහ 28 අතර සිදු විය යුතු අතර, ඒවා ලබන මාසයේ (නොවැම්බර්) 15 වන විට මෙරටට රැගෙන එන ආකාරයට ගැසට්ටුව පළ කළ බව චාමර සම්පත් පවසා ඇත.
කෙසේවෙතත්, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ගැසට් නිවේදනය නිකුත් කළ ඔක්තෝබර් 15 වනදා වන විටත්, ඊට පෙරත්, වෙළඳ අමාත්‍යවරයාට හිතවත් ව්‍යාපාරිකයන් පස් දෙනෙකු ඇතුළු සමාගම් 9ක් හෝ 10ක් චෙන්නායි සහ තූත්තුකුඩි වරායන්ගෙන් සහල් කන්ටේනර් 20 බැගින් මෙරටට පටවා ඇති බවයි.
ගැසට් නිවේදනය නිකුත් කර දින පහක් වැනි කෙටි කාලයක් තුළදී, වී අඹරා සහල් කර, චෙන්නායි සහ තූත්තුකුඩි වරායන්වලින් නැව්ගත කර, එම සහල් අද වනවිට කොළඹ වරායට පැමිණ තිබීම පිළිබඳව මන්ත්‍රීවරයා එහිදී විමතිය පලකළා.
ගැසට් නිවේදනය නිකුත් කළ දිනයේ රාත්‍රී 12ට පෙරම රජයට හිතවත් පාර්ශ්ව ඒ පිළිබඳ දැනුවත් වී සිටි බවට මෙයින් අනුමාන කළ හැකි බව ඔහු සඳහන් කරයි.
මෙම කාලය ඉන්දියාවේ දීපවාලි නිවාඩු සමය වීම නිසා සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට සහල් ආනයනය කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවත්, මේ නිසා රජයට හිතවත් පිරිසකට පමණක් මෙය සිදු කිරීමට හැකි වූ බවත් චාමර සම්පත් වැඩිදුරටත් පෙන්වාදෙයි.
එමෙන්ම මන්ත්‍රීවරයා සඳහන් කළේ, මෙරට හාල් හාල් සඳහා රුපියල් 260ක පාලන මිලක් නියම කර තිබුණද, කීරි සම්බා සහල් රුපියල් 320ත් 340ත් අතර මිලකට හොර රහසේ විකුණා ඇති බවයි.
කීරි සම්බා සහල් හිඟයට ආදේශකයක් ලෙස පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 520 බැගින් ආනයනය කිරීමට අවසර දෙමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් ඔක්තෝබර් 15 වනදා සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
එමෙන්ම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඔක්තෝබර් 21 වනදා සිට බලපැවැත්වෙන පරිදි ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිල ගණන් නියම කර ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.
“පොන්නි සම්බා සහ පාල් සම්බා කියලා වර්ග දෙකක් ගේන්න දැන් ගැසට් එක ගහලා තියෙනවා. ගැසට් එක ගැහුවේ මං හිතන්නේ මේ මාසේ 13 වෙනිදට ආසන්න දිනයකට. හැබැයි ගැසට් එක ගැහුවෙව් 15 වෙනිදා තමයි. මෙන්න මෙතන වෙලා තියෙනවා ලොකු වංචාවක්ද හොරකමක්ද සහයෝගයක්ද සපෝර්ට් එකක්ද කියන එක අපි දන්නේ නෑ. 15 වෙනිදා ගැහුවා ගැසට් එක. ගැසට් එක ගහලා තියෙන්නෙ 28 වැනිදා වෙනකොට නැව්ගත කරන්න ඕනෙ විදිහට. 15 ගැසට් එක ගැහුවා. 28 වෙනකොට හාල් ගෙනල්ලා ඉවර වෙන්න ඕනෙ. හාල් නැව්ගත කරන්න ඕනෙ, ලබන මාසෙ 15 වෙනකොට හාල් ගේන්න ඕනෙ විදිහට තමයි ගැසට් එක ගැහුවේ. කිසිම කෙනෙකුට දැන් මේ වෙනකොට ආණ්ඩුවට හිතවත් යම් කීප දෙනෙක් එකතු වෙලා මේ වෙනකොට චෙන්නායි වරායෙනුයි තූත්තුකුඩි වරායෙනුයි පටවලා 15වෙනිදා වෙනකොටම ගැසට් එක ගහන්න ඉස්සෙල්ලා චෙන්නායි වරායට හාල් ගෙනාවා
අද කොළඹ වරායට ඇවිල්ලා ඉවරයි හාල්. එතකොට දවස් පහක් ඇතුළත කොහොමද චෙන්නායි මෝල් වලින් අඹරලා තූත්තුකුඩි මෝල් වලින් අඹරලා වී ටික හාල් කරලා චෙන්නායි වලට ඇවිල්ලා ගැසට් එක ගහලා , ගැසට් එක ගැහුවෙ රෑ 12 ට ගැසට් එක ගහපු දවසෙ උදේ වෙනකොට ගැසට් එක ගහන්න ඉස්සෙල්ලා ආණ්ඩුවට හිතවත් ,ආණ්ඩුවටද ඇමතිතුමාටද කියන එක මම දන්නෙ නැහැ ආණ්ඩුව ගැන මං කියන්නේ නෑ. ඇමතිතුමාට හිතවත්තු පස් දෙනෙක් ව්‍යාපාරිකයෝ.. මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. එතකොට ඉන්දියාවෙ අද නිවාඩු. මේ දවස්වල නිවාඩු. දීපවාලි. හරියටම ඇල්ලුවා නිවාඩු දවස. දවස් පහක් චෙන්නායි නිවාඩු. තුත්තුකුඩියේ නිවාඩු මේ දවස්වල. මේ දීපවාලියෙ අස්සෙ කිසිම ව්‍යපාරිකයෙකුට මේ හාල් ටික ගේන්න බැහැ. මේ ආණ්ඩුවට හිතවත් නැත්නම් වෙළඳ ඇමතිතුමාට හිතවත්. ඉස්සරනම් හොරකම් කළා, මේක මාර හොරකම් කෙරිල්ලක්. අහුවෙන්නෙ නැතිවෙන්න මේ හොරකම් කෙරිල්ල කරන්නෙ. අල්ලන්න බෑනෙ. ගැසට් එක ගැහුවා බඩු ආවා. අල්ලන්න බැහැ”