මත්ද්‍රවය ජාවාරම මඩින්නයි බන්ධනාගාර තදබදය අඩු කරන්නයි ‘මරු’ උත්තරයක්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මරා දැමිය යුතු බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ නාවලපිටියේදී පැවති උත්සවයක් අමතමින් ප්‍රකාශ කර තිබේ.

ඔහු එහිදී සඳහන් කළේ, එය ජාතිය විනාශ කිරීම වැළැක්වීම සඳහා අනිවාර්‍යයෙන්ම සිදු කළ යුතුම දෙයක් බවයි.

රටේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින දැඩි තදබදයට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් විශාල වශයෙන් බලපා ඇති බව ඔහු එහිදී පවසා ඇත.

මෙරට බන්ධනාගාර 36 තුළ රැඳවියන් 10,500ක් දැරිය හැකි වුවද, දැනට එහි 36,000කට අධික සංඛ්‍යාවක් රඳවා සිටින බවත් මෙම සමස්ත සිරකරුවන්ගෙන් 65%ක්ම මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි හේතුවෙන් සිරගත වූවන් බවත් ජගත් වීරසිංහ වැඩිදුරටත් හෙළි කර ඇත.

මත්ද්‍රව්‍ය භාවිත කරන අයගෙන් බහුතරය සිංහල බෞද්ධ ළමුන් වීම විශේෂයෙන් කණගාටුවට කරුණක් බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම කොමසාරිස්වරයා රටේ බන්ධනාගාර තුළ මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පිළිබඳව සංඛ්‍යා ලේඛන හෙළි කළ අතර ඔහු එහිදී පෙන්වාදුන්නේ, මරණ දඬුවම නියම වූ පිරිමි සංඛ්‍යාව 805ත්, මරණ දඬුවම නියම වූ ගැහැනු සංඛ්‍යාව 21ත් මරණ දඬුවම නියම වූ පාසල් සිසුන් සංඛ්‍යාව (18ට අඩු කාලයේදී වැරදි කළ) 5 මෙම 805 දෙනා අතරට අයත් වන බවයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු බවට නැවතත් අවධාරණය කළ කොමසාරිස්වරයා, “ඔවුන් විනාශ කරන්නේ ජාතියක් බවත් එබැවින් නිරන්තරයෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එල්ලා මැරිය යුතුමයි. ඒක පවක් නැහැ” යනුවෙන් බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ වැඩිදුරටත් පවසා ඇත.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන ආකාරයට මත්ද්‍රවය ජාවාරම මැඩලිය හැක්කේ මහා පරිමාණ ජාවාරම්කරුවන් එල්ලා මැරීමෙනි. එහෙත් නීතියේ රැහැනට මහා පරිමාණ අපරාධකරුවන් හසුවන්නේ කීයෙන් කිදෙනක්ද යන්න මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ නැත. එසේම බන්ධාගාරගතව සිටින මත්ද්‍රවය සම්බන්ධ චෝදනා එල්ලවූ රැඳවියන් සියයට 65 අතර මහා පරිමාණ ජාවාරම්කරුවන් කීදෙනෙක් සිටීද යන්න ඔහු පවසා නැත. අනිත් පසින් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා ඉඟි කරන්නේ මරණ දඬුවම ලබාදීම හරහා බන්ධනාගාරවල තදබදය අඩු කිරීමට හැකි බවයි.

මේ දිනවල මත්ද්‍රවය වැටලීම් සහ ඒ පිළිබඳ චෝදනා ලැබූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් පවතියි. එවැනි තත්ත්වයකදී බොහෝ පිරිසක් මේ සම්බන්ධ වැරදි කරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතු බවට ප්‍රකාශ කරමින් සිටියි.

දැන් නීතියට සම්බන්ධ වගකිවයුතු නිලධාරීන් ද එම මන්තරයම මැතිරීමට පටන්ගෙන ඇත. ගැටළුවක් ලෙස ඇත්තේ මෙම සංවාදය දඬුවම ගැන සිමාවෙන් එහාට රැගෙන යාමට කිසිවෙකු ඉදිරිපත් නොවීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...