නාරම්මල වෙඩි තැබීමට වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා මරා දැමීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනී විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර, නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

ඇය පෙත්සමේ දක්වා ඇත්තේ, ඉකුත් ජනවාරි මස තම සැමියා ලොරියක යමින් සිටියදී “යුක්තිය” මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තම සැමියා මරණයට පත් වූ බවයි.

මීට අදාළව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තම සැමියා වෙඩි පහරකින් මියගිය බව අනාවරණය වූ බවත් එහි සඳහන්ය.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකළ වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත්, වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

ජීවිතයක වටිනාකම ලක්ෂ 10යි
පොලිස් වෙඩි තැබීමෙන් තම සැමියා මිය යෑමෙන් පසු රුපියල් ලක්ෂ 10ක් ලබා දුන්න ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පොරොන්දු වූ පරිදි ඒ වෙනුවෙන් කිසිඳු සහයෝගයක් මේ දක්වා ලබා නොදීම නිසා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ද බාධා එල්ල වී ඇතැයි මිය ගිය රොෂාන් කුමාරසිරිගේ බිරිඳ මාධ්‍ය වෙත පවසා තිබුණි.

”දේශබන්දු මහත්තයා ඇවිල්ලා ඒ වෙලාවේ මගේ අතට ලක්ෂ 10ක් දීලා මහත්තයගේ වටිනාකම තීරණය කළා එයා ඒ වෙලාවේ.ඉන් පස්සේ කිසිම දෙයක් අපි ගැන හොයලා බැලුවේ නැහැ.” යනුවෙන් කමනි රූපිකා පැවසුවාය.

2024 ජනවාරි 18 වැනිදා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු විය.

මේ සිදුවීම වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයේ සිටිය ද පොලීසිය සැකකරුවෙකු ලෙස එක් අයෙකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සහ විමර්ශන කටයුතු සිදු කෙරෙන අකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශවයේ නීතිඥයෝ පවසති.

මේ අතර අනෙක් පොලිස් නිලධාරියා සැකකරුවෙකු ලෙස නම් කිරීමේ අවශ්‍යත්වයක් මේ දක්වා විමර්ශන වලදී පෙනී ගොස් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසා තිබේ.

BBC වෙබ් අඩවියේ ඇසුරිණි

Share post:

Popular

වෙනත් පුවත්

මලක් සේ පැවතීමේ මරණීය වරද හෙවත් පරාගනයෙ පළමු පාඩම

කළ්‍යාණි රූපසිංහ පසුගියදා ඇයගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණා සංග්‍රහය "මලක්...

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...