Breaking News

පැණි කෝප්ප ගණන් බීපු පියල් නිශාන්තටත් කොවිඩ් – ධම්මික පැණි ප්‍රවර්ධනය කළ ආණ්ඩුව සද්ද නෑ

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නැමැත්තා විසින් නිෂ්පාදනය කරනු ලැබූ පැණි පානය කළ බොහෝ දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතිබව මේවනවිට අනාවරණය වෙමින් පවතියි.

එහි අලුතින්ම වාර්තා වූ සිදුවීම වන්නේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී තිබීමයි.

මේ හේතුවෙන් අමාත්‍යවරයා ගේ කාර්ය මණ්ඩලයේ සේවකයින් 10 දෙනෙකු නිරෝධායනයට යොමු කොට ඇති බවයි වාර්තා වේ.

මේ අතර සමාජ මාධ්‍යවල සංසරණය වෙන ඡායාරූප හරහා පෙනී යන්නේ ආසියාවේ ලොකුම ටයර් කර්මාන්තශාලාව යයි හඳුන්වමින් පසුගියදා හොරණ ප්‍රදේශයේදී ජනාධිපතිවරයා විසින් විවෘත කෙරුණු කර්මාන්තශාලාව විවෘත කිරීමේ උත්සවයටද ඔහු සහභාගී වී ඇති බවයි.

පසුගිය දෙසැම්බර් 10 වෙනිදා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි විසින් එම ධම්මික බණ්ඩාර නැමැත්තා පාර්ලිමේන්තුවට කැඳවාගෙන විත් එම පැණීය කථානායක මහින්ද යාපා අබේවර්ධනට පිළිගන්වා තිබුණු අතර එහිදී පියල් නිශාන්ත ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම එම පැණිය පානය කර තිබිණි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වැලකී සිටීමට හැකිවනු ඇති බවට වූ විශ්වාස කර කෑගල්ලේ ධම්මික පැණිය තමා ද බිරිඳ ද සිව් නිවුන් දරුවන්ද පානය කළත් වෛරසය තම පවුලටම ආසාදනය වූ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල ප්‍රකාශ කර තිබේ.

“ලංකාදීප” පුවත්පත සමග සාකච්ජාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් ඇතුළු පවුලේ සියලු දෙනා මේ වන විට ඇඹිලිපිටිය ප්‍රදේශයේ යොවුන් සේනාංක ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි.

ධම්මික පැණිය පානය කළ තමාගේ සහෝදරයාට ද ඇතුළුව ඥාතින් සහ හිතවතුන් සැලකිය යුතු පිරිසකට ද වෛරසය ආසාදනය වී ප්‍රතිකාර සඳහා යොමු කොට ඇති බවයි මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ.

” මට අවුරුදු 08 ක් වයසැති සිව් නිවුන් දරුවන් ඉන්නවා. ධම්මික වෙද මහත්තයා ඉන්න මගේ නිවසේ ඉදන් කිලෝමීටර් 02ක් දුරින්. ඔහුගේ අතින්මයි මම පැණි බෝතලය අර ගත්තේ.

මස් මාළු හෝ බිත්තර නොකා මමයි පවුලේ අයයි කිව්ව විදිහට මගේ පවුලේ නෝනා, දරුවන් එක්ක පැණිය පාවිච්චි කළා.

මුලින් ලොකු දුවට උණ හැදුනා. ඇන්ටිජන් පරීක්ෂණයෙන් හෙළිවුණා ඇය කොවිඩ් ආසාදිතයි කියලා. පස්සේ අනිත් දරුවන් තිදෙනාගේ, බිරිඳ සහ මගේ පරීක්ෂණ කළා. අපිත් කොරෝනා ආසාදිතයින් කියලා හෙළිවුණා. දැන් අපි පවුලම ඇඹිලිපිටියේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා.

මම මේ පැණිය සාර්ථක වෙන්න කියලා මුහුණු පොතේ සටහනක් පවා තැබුවා. මේ පැණිය ලබා ගන්න ලංකාවේ හැම තැනින්ම මිනිස්සු ආවා. ඒ නිසා අපේ පළාතේ වෛරසය ව්‍යාප්ත වෙන්න එය බලපෑවා. නමුත් මේ පැණිය කොරෝනා වෛරසයට ප්‍රතිකාරය නොවේ” ඔහු කියා සිටියා.

මෙම පැණිය කොවිඩ් වෛරසයට එරෙහි ඖෂධයක් ලෙස හඳුන්වා දෙමින් එය ප්‍රවර්ධනයට දායක වූවේ ආණ්ඩුව සහ ආණ්ඩු හිතවාදී මාධ්‍ය විසිනි. විශාල ජනතාවක් පැණි ලබා ගැනීම සඳහා එක්රැස් වූවේ ඊට පසුවයි. නමුත් ඉන්පසු දිගින් දිගටම කෑගල්ල ප්‍රදේශයේ පැණි පානය කළ ජනතාවට කොවිඩ් අසාදනය වීමේ පුවත් වාර්තා වෙමින් පවතියි. නමුත් පැණි ප්‍රවර්ධනය දායක වූ ආණ්ඩුව එහි වගකීම බාරගත යුතු වුවත් මෙතෙක් එවැනි දෙයක් සිදුව නැත.

leave a reply