ශ්‍රී ලංකාව සඳහා වන ලෝක බැංකුවේ සංවර්ධන උගුල

බටහිර සංස්ථාපිතයට ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් හිර කිරීමට සහ ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා ඔවුන්ගේ ආර්ථික ගමන් මඟ සැකසීමට බොහෝ ක්‍රම තිබේ. මූල්‍යකරණය කළ වාණිජ ණය ගැනීම් සහ පටිතද කිරීමේ පියවර මගින් ශ්‍රී ලංකාව උගුලට හසුකර ගැනීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ ) භූමිකාව ගැන මම පුළුල් ලෙස ලියා ඇත්තෙමි. මෙම තීරුවේ, මම වොෂින්ටනයේ අනෙක් බලගතු නිවුන් ආයතනය, ලෝක බැංකුව, සහ ශ්‍රී ලංකාව තුළ එහි ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන භූමිකාව ආමන්ත්‍රණය කරමි.

සති දෙකකට පෙර නිකුත් කරන ලද ලෝක බැංකුවේ 2024 ඔක්තෝම්බර් ‘ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීනය’, අනාගත ප්‍රතිපත්ති සඳහා නියමයන් සහිත පෙර වසරේ ආර්ථික තත්ත්වය පිළිබඳ වාර්තාවකි. මෑත කාලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම වාර්තාව වසරකට දෙවරක් එළි දැක්වෙමින් පවතියි. 2024 අප්‍රේල් මාසයේ අවසන් වාර්තාව ‘ප්‍රකෘතියට පත්වීම ට පාලම’ ලෙස නම් කර ඇති අතර, මේ මාසයේ නිකුත් කළ වාර්තාව නම් කර ඇත්තේ, ‘අනාගතයට විවෘත කිරීම’ යනුවෙනි. ප්‍රවේශමෙන් ලියා ඇති මෙම ආර්ථික වාර්තාවල අලංකාරික සූක්ෂ්මතාවයෙන් යුත් දේශපාලන තෙරපුම් කිරීමක් ඇත.

මෙම වාර්තා 2023 ජූනි මාසයේදී නිකුත් කරන ලද ‘2024 සිට 2027 දක්වා වන ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සහයෝගීතා රාමුව’ ශක්තිමත් කරන අතරම, සහ 2023 මාර්තු සිව් අවුරුදු ජාමූඅ ගිවිසුමට සමාන්තරව දිවෙන අතර, ඒවා මෑත කාලීන ජාතික හා ගෝලීය සංවර්ධනයන් ද ආමන්ත්‍රණය කරයි. ශ්‍රී ලංකාවේ පාලන තන්ත්‍රය වෙනස් වීම සහ ගෝලීය ආර්ථිකය මුහුණ දෙන ගැටළු, විශේෂයෙන් භූ දේශපාලන ගැටුම් හේතුවෙන් ආර්ථික මන්දගාමිත්වය ඇතිවීම සහ අඩු මට්ටමේ වෙළඳාම පිළිබඳ ලෝක බැංකුව දැනුවත් ය.

පසුගිය වසර එකහමාරක කාලය තිස්සේ ඒකාධිකාරවාදී වික්‍රමසිංහ-රාජපක්ෂ පාලනය යටතේ ප්‍රතිගාමී නීති සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා තෙරපුම් කළ ලෝක බැංකුව, දැන් අපනයන විවිධාංගීකරණය සහ වර්ධනය, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සහ “මානව ප්‍රාග්ධනය” සංවර්ධනය යන මාතෘකා පාඨ යටතේ වෙළඳ නිර්බාධීකරණය, ශ්‍රම ආරක්ෂණ පිළිවෙත් ආපසු හැරවීම සහ පුද්ගලීකරණ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටියි.

කාගේ ප්‍රකෘතියට පත්වීම සහ අනාගතය

ප්‍රකෘතියට පත්වීම සහ අනාගතය පිළිබඳ කතිකාව මධ්‍යයේ, ලෝක බැංකුව ජනතාවගේ සමාජ-ආර්ථික තත්ත්වයන් අවංකව පිළිගනී.

“2019 වසරේ සිට මන්දපෝෂණය සහ ළමා මරණ වැඩිවීමට මග පාදමින් ගෘහයන්හි අයවැය හැකිලී ඇත … මිල ගණන් ඉහළ මට්ටමක පවතින අතර මධ්‍යස්ථ ආහාර අනාරක්ෂිත භාවය 2023 දී සියයට 23.7 දක්වා ඉහළ ගොස් පැවැතුණි… නාගරික ප්‍රදේශවල දරිද්‍රතාවය තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත… 2021 ජූලි සහ 2024 අතර අවිධිමත් පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ වැටුප් පිළිවෙළින් සියයට 16.9 කින් සහ 22කින් හැකිලී ඇත. රැකියා අහිමිවීම් සමඟ එක්ව, සෞඛ්‍ය ප්‍රතිඵල පිරිහීම ඇතුළුව ජීවන තත්ත්වයන් ගේ සාමාන්‍යකරණය කරන ලද නරක අතට හැරීමට මෙය හේතු වී ඇත. 2024 ජූලි මාසයේදී වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් සියයට 17.3 ක් අඩු බරින් යුක්ත වූ අතර, මෙය දුප්පත් කමින් වැඩි නුවරඑළිය වැනි දිස්ත්‍රික්කවල සියයට 24.7ක් තරම් ඉහළ අගයක් පවතින අතර දිගින් දිගටම පවතින ව්‍යුහාත්මක අසමානතාවයන් පිළිබඳව සැලකිලිමත් විය යුතු කරුණු මතු කරයි. 2022 සහ 2023 අතර සියලුම අධ්‍යාපන මට්ටම්වල (1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා) ළමුන්ගේ කුරු වීම වැඩි වූ අතර අතර 2023 දී ළමා මරණ අඛණ්ඩව වැඩි විය. (ලෝක බැංකුව, ඔක්තෝබර් 2024, පිටුව 11)

කෙසේ වුවත්, ලෝක බැංකුවට මෙම අහිමි වූ පරම්පරාවට ආධාර කිරීම සහ ජනතාවට සහන දීම පිළිබඳ කීමට කිසිවක් නැත. මේ, වනු ඇතැයි කියනු ලැබෙන ආර්ථික වර්ධනය ඉහළ ගිය විට එහි ප්‍රථිඵල පහලට කාන්දු වීමෙන් ප්‍රකෘති තත්වයට පත්වීම පිළිබඳ පැරණි විශ්වාසයම වේ.

ලෝක බැංකුව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා කම්කරු නීති ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටින්නේ, එවැනි ප්‍රතිසංස්කරණ මගින් කම්කරුවන්ගේ ආරක්‍ෂාව ඉවත් කර, කම්කරු පන්තිය, විශේෂයෙන්ම කාන්තා කම්කරුවන් සූරාකෑමේ අවදානමට වැඩි වැඩියෙන් ලක් කරනු ඇතිව තිබියදීය. එසේ වුවද, අපනයන විවිධාංගීකරණය සමඟ, වෙළඳ නිර්බාධීකරණය සමඟ ඒකාබද්ධව ශ්‍රමයේ එවැනි වෙනස්කම් දිගුකාලීන වර්ධනයකට තුඩු දෙනු ඇතැයි එය කියා සිටී. ජෝන් මේනාඩ් කේන්ස් සුප්‍රසිද්ධව කියා සිටියේ “දිගු කාලීනව අපි සියල්ලෝම මැරිලා!”යන්නයි. ලංකාවේ අපි ඊළඟ පරම්පරාව අපේ ඇස් ඉදිරිපිට මරා දමමින් සිටිමු.

එහෙත් මෙතරම් දැවැන්ත මිනිස් පිරිවැයක් යටතේ වුව ද ලිබරල්කරණයේ ලෝක බැංකු උපායමාර්ගය සාර්ථක වේවිද?

“2024 අප්‍රේල් සහ මැයි මාසවල කෙටි ප්‍රසාරණයකින් පසුව, වෙළඳ භාණ්ඩ අපනයන හැකිලීම, අඛණ්ඩ යුද ගැටුම, සහ අඛණ්ඩ වෙළඳ සීමා භාවිතය මගින් මෙහෙයවනු ලබන ගෝලීය වෙළඳ ප්‍රවාහයන් ඒවායේ හැකිලීමේ ප්‍රවණතාවයට නැවත පැමිණියේය… 2025 දී ගෝලීය වෙළඳ වර්ධනය වේගවත් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය 2015-19 සාමාන්‍යයට වඩා පහළින් පවතිනු ඇත. වෙළඳාමේ මෙම වර්ධනය විදේශ ප්‍රතිපත්ති මත එකතු වූ රටවල් අතර වෙළඳාම මගින් වැඩි වැඩියෙන් මෙහෙයවනු ඇතැයි අපේක්ෂා කෙරේ. (ලෝක බැංකුව, ඔක්තෝබර් 2024, පිටුව 4)

වෙනත් වචන වලින් කිවහොත්, අනෙකුත් රටවල් තම වෙළඳ පොලවල් සීමා කරන මොහොතේම, සහ 2010 අග භාගයේ පූර්ව අර්බුදකාරී වසරවලට පෙර, වඩා නරක තත්වයන් තුළ, අර්බුදයෙන් මිදීමට ඇති මාර්ගය වෙළඳාම විවෘත කිරීම මගින් අපනයනය කිරීම යැයි ශ්‍රී ලංකාවට කියනු ලැබේ.

තව ද, වෙළෙඳාම වැඩි වූ තැන පවා එසේ වූයේ දේශපාලන පෙළගැස්ම නිසා ය. එබැවින්, ශ්‍රී ලංකාව තුළ ලෝක බැංකුවේ තල්ලුව, රට විනාශ කරමින් තිබෙන ආර්ථික අවපාතය ආමන්ත්‍රණය කිරීමේ යථාර්ථයන් පිළිබඳ නොව, ඊට වැඩියෙන් ගෝලීය ප්‍රාග්ධනයේ අවශ්‍යතා වෙනුවෙන් එය ගොඩනඟා ගැනීමට බලාපොරොත්තු වන නිදහස් වෙළඳ ගෝලීය පර්යාය පිළිබඳව ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති තත්වයට පත්වීම පිළිබඳ ලෝක බැංකුවේ එකම ධනාත්මක කියාපෑම වන්නේ සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයීම්වල වර්ධනයයි. නමුත් ඒ කෝවිඩ් වසංගතයත් සමඟ සංචාරකයන් පැමිණීම ශුන්‍යයට ආසන්න පදනමකට පත් වීම නිසාය. සංචාරක ව්‍යාපාරය වටිනා විදේශ විනිමය ගෙන ඒම ව්‍යාප්ත කළ හැකි අතර, මෑත කාලීන අත්දැකීම්වලින් පැහැදිලි වන පරිදි මෙම චංචල අංශයේ ගතිකත්වයන් පිළිබඳව ද අප දැනුවත් විය යුතුය. ශ්‍රී ලංකාවේ ආර්ථික දුෂ්කරතාවලට විසඳුමක් ලෙස සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ලෝක බැංකුවට සහ මහා බලවතුන්ට යටි අරමුණක් ද තිබේ. සංචාරක ව්‍යාපාරය රඳා පවතින්නේ ශ්‍රී ලංකාව තම භූ දේශපාලනික ඵලප්‍රයෝජන වලින් බැහැර වුවහොත් සංචාරක ප්‍රවාහයේ කරාමය පහසුවෙන් වසා දැමිය හැකි බලවත් රටවල හොඳ හිත මතය. තවද, සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මහාමාර්ග හා නාගරික දේපළ වෙළඳාම් සඳහා සිදු කරන ලද විශාල පශ්චාත් යුධ ආයෝජනයන් ප්‍රතිලාභ උත්පාදනය කිරීමට අසමත් වූ අතර ණය අර්බුදය ඉක්මන් කිරීමට හේතු විය. පැහැදිලිවම, ආර්ථික සංවර්ධනයේ උපාය මාර්ගයක් ලෙස සංචාරක ව්‍යාපාරය දෝෂ සහිතය.

මානව ප්‍රාග්ධනය?

මිනිසුන් සහ ඔවුන්ගේ සමාජ ජීවිතය ගැන අප සැලකිලිමත් විය යුතු ලෝකයක, ලෝක බැංකුවේ “මානව ප්‍රාග්ධනය” පිළිබඳ කතිකාව, ගෝලීය ප්‍රාග්ධනයේ එකම උනන්දුව මිනිස් ජීවිතයෙන්ම ලාභ ලැබීමේ ආකාරය පිළිබඳ වන්නේ කෙසේදැයි අනතුරු ඇඟවීමේ සඥාවක් විය යුතුය. නැවතත්, ලෝක බැංකුව ට අපට පැවසීමට ඇත්තේ මෙයයි:

“[ශ්‍රී ලංකාවේ සංක්‍රාන්තිය] ක්‍රමක්‍රමයෙන් පුද්ගලික දේශීය හා විදේශීය ආයෝජන වැඩි කිරීම හා පටලැවී ඇත … මානව ප්‍රාග්ධනයේ සහ වෙළඳපල තරඟයේ වැඩිදියුණු කිරීම් [සමග]. වෘත්තීය පුහුණුව තුළින් ශ්‍රම බලකායේ නිපුණතා ඉහළ නැංවීම සහ ද්විතීයික අධ්‍යාපනය තුළ විද්‍යා-තාක්ෂණ-ඉංජිනේරු-වෛද්‍ය [STEM ස්ටෙම් ] ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම ගෝලීය දැනුම් ප්‍රවාහයට සම්බන්ධිත විශේෂායනය වූ ශ්‍රමිකයන්ගේ සංචිතයක් නිර්මාණය කරනු ඇත.” (ලෝක බැංකුව, ඔක්තෝබර් 2024, පිටුව 28)

දේශීය හා විදේශීය පෞද්ගලික අංශය ප්‍රවර්ධනය කිරීම අධ්‍යාපන පද්ධතියේ විපරිවර්තනය සමඟ මෙහිලා සම්බන්ධ වේ. ස්ටෙම් අධ්‍යාපනය කෙරෙහි තනි අවධානයක් සමගින්, එම තරුණයන්ගෙන් කී දෙනෙක් රට තුළ රැඳී සිටිනු ඇතිද, නැතහොත් ඔවුන් හුදෙක් රටට විශාල ලෙස විදේශ විනිමය උපයන අනෙක් මාර්ගය ලෙසින් කිසියම් මුදල් ප්‍රේෂණ ලබා දෙනු ඇතිද යන ප්‍රශ්නය පැන නගී. “මානව ප්‍රාග්ධනය” යන රාමුව යටතේ, අපගේ අනාගත පරම්පරාවන් වෙළඳපොළවල් වලින් සැදුණු ලෝකයක තරඟකාරී දැති රෝද බවට පත්වීමත් සමඟ ඔවුන්ට තිබෙනු ඇත්තේ ඔවුන්ගේ මනුෂ්‍යත්වයෙන් අල්පයකි. සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ තොරොම්බල් කෙරෙන ලෝක බැංකුවේ මනස් සෘෂ්ටීන් බොහෝ විට නවීන, ගෝලීය සහ වාණිජ වැනි ආකර්ශනීය උපසර්ග සමඟ පැමිණේ.

දැනටත් ක්‍රියාත්මක වෙමින් පවතින, ලංකාව සමග සහයෝගීතා රාමුවේ සඳහන් කර ඇති පරිදි, ලෝක බැංකුව විශ්ව විද්‍යාල වාණිජකරණය කිරීම අපේක්ෂා කරයි. නවීන යටිතල පහසුකම් ධනවත් සංචාරකයින් සඳහා වන පරිද්දෙන්ම, විශ්ව විද්‍යාල යථාවෙන් ගත් කළ ප්‍රධාන වශයෙන් ධනවත් ජාත්‍යන්තර සිසුන් සඳහා අවකාශයන් බවට පත් කරයි. එවිට පවා, ඔවුන් නොපැමිණිමට ඉඩ ඇත, එමෙන්ම ඔවුන් තමන් රිසි පරිද්දෙන් ඒවා හැර දා යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුල මෙන්ම ලෝක බැංකුවේ සංවර්ධන උගුල පිළිබඳව ද අප පරෙස්සම් සහගත විය යුතුය. ශ්‍රී ලංකාව ඉදිරියේ ආර්ථික සංවර්ධන මංපෙත් දෙකක් තිබේ. මූල්‍යකරණය, වෙළඳ නිර්බාධීකරණය, සංචාරක යටිතල පහසුකම් සඳහා ආයෝජනය සහ වාණිජකරණය කළ අධ්‍යාපනය යන මාවත තිබේ. විකල්පයක් වශයෙන්, ආහාර සුරක්ෂිතතාව සඳහා කෘෂිකාර්මික නිෂ්පාදන මාවත, දේශීය ආයෝජන සහ ස්වයංපෝෂිතභාවය සඳහා නිෂ්පාදනය, තම ජනතාව සඳහා උචිත නිර්මිත පරිසරයක් සහ නිදහස් අධ්‍යාපනය පුළුල් කිරීමද ඇතුලත් විශ්වීය සමාජ සුබසාධනයේ මාවත තිබේ. ලබන මාසයේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පැවැත්වෙන සාකච්ඡා, වාද විවාද සහ බලමුළු ගැන්වීම්, අපේ රට ඉදිරියේ ඇති මෙම තියුණු තේරීම පිළිබඳ ජාතික න්‍යාය පත්‍රයක් සකස් කළ යුතුය. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගමන් කරන්නේ කුමන පැත්තටද?

2024 ඔක්තෝම්බර් 21 වැනි දින Daily Mirror පුවත්පත World Bank’s Development Trap for Sri Lanka යන මැයෙන් පළකළ ලිපියේ සිංහල පරිවර්ථනය සංස්කරණය ‘කතිකා’ විසිනි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *