Day: August 10, 2020

  • පොලිස් කණ්ඩායම් 4 දාලත් කුරුණෑගල නගරාධිපති හොයාගන්න බැරිලු

    පොලිස් කණ්ඩායම් 4 දාලත් කුරුණෑගල නගරාධිපති හොයාගන්න බැරිලු

    කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට මහෙස්ත්‍රාත් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලීසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් යළි වරෙන්තු නිකුත් කර තිබේ.

    එසේම සැකකරුන්ට රටින් පිටවීම වළක්වාලමින් නියෝගයක් කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න සඳහන් කර ඇත. එසේම ඔහු සෙවීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බවද වාර්තා වේ.

    දෙවැනි බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව ලෙස සැලකෙන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික ගොඩනැගිල්ලේ කොටසක් ඉකුත් ජූලි 14 වැනිදා රාත්‍රියේ කුරුණෑගල නගරාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් ඩෝසර් කර කඩා ඉවත් කර තිබුණි.

    මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට අගමැතිවරයා පත් කළ පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු විද්වත් කමිටුවේ වාර්තාව මගින් කියා සිටියේ මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ දී පුරාවස්තුවලට හානි සිදුව ඇති බවය.

    එසේම එය කඩා බිඳ දැමූ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම වාර්තාව මඟින් උපදෙස් දී තිබුණි.

    ඒ අනුව නීතිපතිවරයා පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්වරයා සහ පොලිස් ප්‍රධානීන් කැඳවා දීර්ඝ වශයෙන් මේ පිළිබඳව කරුණු සොයා බැලූ අතර ඒ අනුව ගොඩනැගිල්ල කඩා බිද දමා දින 23කට පසුව නීතිපතිවරයා පසුගිය 05 වනදා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

    විමර්ශනයේ සෙසු සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ කුරුණෑගල නාගරික කොමසාරිස්වරයා, නාගරික ඉංජිනේරුවරයා, වැඩ පාලක සහ අදාළ බැකෝ යන්ත්‍රයේ රියදුරුවරයාය.කෙසේ නමුත් මේ දක්වා ඔවුන් අත්අංගුවට ගැනීමට සමත් වී නොමැත.

  • රනිල් වසර 26ට පසු නායකත්වයෙන් ඉවත් වෙන්න සූදානම්!

    රනිල් වසර 26ට පසු නායකත්වයෙන් ඉවත් වෙන්න සූදානම්!

    රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

    අද(10) මාධ්‍යවේදීන් අමතමින් ඔහු පැවසුවේ පක්ෂ නායකත්වය ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙන බවත් නව නායකත්වයට නම් 4ක් යෝජනා වී ඇති බවත්ය. අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ හා රවී කරුණානායක යන අයගේ නම් පක්ෂ නායකත්වය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ.

    මේ අතර, එක්සත් ජාතික පක්ෂය තමන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (10) උදෑසන සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.

    මහමැතිවරණ පරාජයෙන් පසුව නායකත්වයේ අසාර්ථකභාවය සම්බන්ධ සුපුරුදු කතිකාව එජාපය තුළ මතුව ඇත. රනිල් මෙයට පෙර අවස්ථා කිහිපයකදී , මෙලෙස නායකත්වයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර තිබූ නමුත් නායකත්වයෙන් ඉවත් නොවීය. මැතිවරණ පරාජය වන අවස්ථාවලදී මෙම කතිකාව ඉදිරියට පැමිණියත් නැවතත් එය යටයනු දක්නට ලැබේ. කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ ඉවත්වී දැනට යෝජනාවී ඇති වෙනත් කෙනෙක් නායකත්වය පත්වුවත් එජාපයේ නායකත්ව ගැටුම විසඳෙනු ඇති බව සිතිය නොහැක.