සාරිය නැතුව නින්ද යන්නේ නැති අධ්‍යාපන නිලධාරීන්

සාරිය නොවන වෙනත් ඇඳුමකින් සැරසී මොඩියුල පුහුණුවක් සඳහා පැමිණි ගුරුවරියකට තර්ජනය කළ නිලධාරියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.

ගිරාගම ගුරු මධ්‍යස්ථානයේදී ඊයේ (17) දින පැවැත්වුණු මොඩියුල පුහුණුව සඳහා ගුරුවරියක් සාරියකින් සැරසී නොපැමිණීම හේතුවෙන් ඇයට බැණ තර්ජනය කරමින් ගුරු මධ්‍යස්ථානයෙන් පලවා හැරීමට එහි සිටි මොඩියුල සම්බන්ධීකාරකවරයෙකු කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, අදාළ ගුරුවරිය එම මොඩියුල සම්බන්ධීකාරකවරයාට එරෙහිව පොලීසියට සිදු කළ පැමිණිල්ල අද (18) කැඳවා තිබුණා.

අද දිනයේ මෙම පැමිණිල්ල පොලීසිය විසින් කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේ සාකච්ඡාවෙන් මෙම ගැටලුව සමතයකට පත් කර ගන්නා ලෙස පොලීසිය යෝජනා කර තිබෙනවා.

කෙසේවෙතත්, සිද්ධියට මුහුණ දුන් පැමිණිලිකාර ගුරුවරිය විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය පවසා ඇත්තේ මෙම අනීතික ක්‍රියාවට විරුද්ධව අදාළ නිලධාරියාට එරෙහිව නඩු මඟට පිවිසෙන බවයි.

ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධ රෙගුලාසිය

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත්කරන ලද 2012/37 අංක දරන ‘ගුරුවරුන්ගේ සදාචාරාත්මක හැසිරීම පිළිබඳ ආචාරධර්ම පද්ධතිය හා පොදු නීති මාලාව’ නම් චක්‍රලේඛයෙහි ගුරුවරුන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් සඳහන්වන්නේ මෙවැන්නකි:

‘සැමවිටම විනීත හා සංවරභාවය රැකෙන පරිදි සංස්කෘතියට අනුකූල වූ, පිරිසිදු, චාම්, මනා පිළිවෙලට සැකසූ ඇඳුමින් සැරසී සිටීම.’

ඊට අමතරව, රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් නිකුත්කරන්නට යෙදුනු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 13/2019(I) හරහා දැනුම්දී ඇති ‘රාජ්‍ය නිලධරයන්ගේ ඇඳුම’ යටතේ, ‘රජයේ නිලධරයන් රාජකාරී වේලාව තුළ ස්වකීය කාර්යාල පරිශ්‍රයට පැමිණීමේ දී පිරිමි නිලධරයන් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර කාන්තා නිලධාරිනියන් සාරිය, ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන සුදුසු සංවරශීලී ඇඳුමකින් සැරසී සිටිය යුතු වේ’ යනුවෙන් සඳහන් වේ.

එසේම, 2022.09.07 දාතම නිකුත් කෙරුණු රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ලිපි අංක 05/2022හි මෙවැන්නක් ද සඳහන් ය:

‘නිලධාරිනියන්ට ස්වකීය කාර්යාල පරිශ්‍රයන් තුළට පැමිණීමේදී ඇඳුම් ලෙස සාරිය හෝ ඔසරිය පමණක් භාවිතා කරන ලෙසට ඇතැම් ආයතන ප්‍රධානීන් විසින් නියම කරනු ලබන අවස්ථා පවතින බව වාර්තා වී ඇත. රජයේ නිලධරයන් ස්වකීය කාර්යාල පරිශ්‍රය වෙත පැමිණීමේ දී හා රාජකාරියෙහි යෙදී සිටිය දී රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන ආකාරයේ සුදුසු කාර්යාලීය ඇඳුමකින් සැරසී සිටීමට ඉඩ දිය යුතු ය.’

ඇඳුම වැනි කාරණාවලදී ගැහැණිය ඇඳිය යුත්තේ කුමක්ද යන්න තීරණය කිරීම තනි තනි පිරිමින්ට පවා අයිතියක් ඇතැයි සිතීම සමාජයක් තුළ නිකම්ම නිකම් පැන නගින්නක් නොවේ. එසේම සුදුසු ඇඳුමක් නියම කළ විට සාරිය නියම කිරීමද නිකම්ම නිකම් ඇති වන්නක් නොවේ. මේ හරහා පෙන්නුම් කරන්නේ සමාජය තුළ කාන්තාව සතු ආකල්පයයි. ඇය අඳින ඇඳුම , ඇය හැසිරිය යුතු ආකාරය වෙනත් කෙනෙකුන් විසින් තීරණය කළ යුතු බවට වන ආකල්පයයි. ගුරු ක්ෂේත්‍රය තුළ වැඩිපුර කටයුතු කරන්න බහුතරය කාන්තාවන් බැවින් ඔවුන්ට පහසු ඇඳුමක් ඇඳීමට නියම කිරීම ඔවුන්ගේද අදහස් සහිතව චක්‍රලේඛයක් හරහා නියම කළ හැක.

Share post:

Popular

වෙනත් පුවත්

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...

හෝමාගම පොලිසියේදී සිදුවූ ඝාතනයට එරෙහිව උද්ඝෝෂණ තහනම්

හෝමාගම පොලිස් සිර මැදිරියේ රඳවා සිටියදී මියගිය බවට සැක...

කාවන්තිස්සගේ පස්චාත් මරණ පරීක්ෂණය

මෙරට වනාන්තරවල දිවි ගෙවූ උසම දළ ඇතා ලෙස බොහෝ...