Tag: human rights

  • ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලියට ආණ්ඩුවෙන් දැඩි ප්‍රතිචාරයක්

    ලංකාවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාවලියට ආණ්ඩුවෙන් දැඩි ප්‍රතිචාරයක්

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවලිය ලංකාවේ ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබේ.

    මෙම යෝජනාවලියට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා රජය ද නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම නිවේදනයේ මෙසේ දැක්වෙයි.

    ‘මෙම යෝජනාව පිළිබඳ සාකච්ඡාවලට ශ්‍රී ලංකාව සහභාගී වූයේ, විවෘත හා ඵලදායී මැදිහත්වීමක ස්වභාවයකින් වන අතර, මෙම කවුන්සිලය සමග අපගේ අන්තර්ක්‍රියාවලදී අප එය පෙන්නුම් කර ඇත.

    ශ්‍රී ලංකාව විසින් යෝජනා කරන ලද භාෂා සංශෝධන සම්බන්ධයෙන් ප්‍රධාන කණ්ඩායමේ මැදිහත්වීම අපි අගය කරමු. කෙසේ වෙතත්, අපට ඇති ඇතැම් ප්‍රධාන ගැටලු සම්බන්ධයෙන් එකඟතාවක් සොයා ගැනීමට නොහැකි වීම ගැන අපි කනගාටු වෙමු.

    කෙටුම්පත් පෙළට ඵලදායී සහභාගීත්වය සඳහා සියලු ම නියෝජිතයින්ට අපි ස්තූතිවන්ත වන අතර, අවිධිමත් උපදේශන සහ ද්විපාර්ශ්වික රැස්වීම්වලදී ධනාත්මක යෝජනා ඉදිරිපත් කළ රටවලට ශ්‍රී ලංකාව විශේෂයෙන් ඉතා අවංකව ස්තූති කිරීමට කැමති යි.

    ශ්‍රී ලංකාව ආරම්භයේ සිට ම ප්‍රධාන කණ්ඩායම දක්වා පෙන්වා දී ඇති පරිදි, යෝජනාවලිය සම්බන්ධයෙන් අපගේ මූලික ගැටලුව වන්නේ, 2022 දී 51/1 යෝජනාවට යොමු කිරීම වන අතර එය OHCHR තුළ ශ්‍රී ලංකාව පිළිබඳ බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය දක්වයි. එය අපගේ දැක්ම අනුව කවුන්සිලයේ බලතලවල පෙර නොවූ විරූ සහ තාවකාලික ව්‍යාප්තියකි.

    සැප්තැම්බර් 8 වන දින ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයට සහභාගී වෙමින්, විදේශ කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරයා, අපගේ ම ජනතාවගේ අවශ්‍යතා සඳහා සංහිඳියාව සහ මානව හිමිකම් සඳහා සැබෑ කැපවීම මත පදනම්ව දේශීය ආයතන ශක්තිමත් කිරීම සඳහා රජය අඛණ්ඩව කටයුතු කරන අවස්ථාවක, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් පිහිටුවන ලද බාහිර සාක්ෂි රැස් කිරීමේ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව පිළිනොගන්නා බව නැවත අවධාරණය කළේ ය. දැනට ක්‍රියාත්මක වන දේශීය ක්‍රියාවලීන් අතරට අතුරුදන්වූවන් සහ වන්දි ගෙවීමේ ස්වාධීන කාර්යාල සහ ජාතික එක්සත්කම සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ශක්තිමත් කිරීම මෙන් ම සත්‍යය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමක් සහ ස්වාධීන රජයේ අභිචෝදක කාර්යාලයක් ක්‍රියාත්මක කිරීම ඇතුළත් වේ.

    ශ්‍රී ලංකාව මෙන් ම තවත් බොහෝ රටවල්, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය තුළ මෙම ව්‍යාපෘතිය ස්ථාපනය කළ ආකාරය, එහි කටයුතු සහ අයවැය ඒ සඳහා වෙන් කළ ආකාරය පිළිබඳ විශ්වසනීයත්වය සහ විනිවිදභාවය පිළිබඳව නැවත නැවතත් ප්‍රශ්න කර ඇත. එහි පැවැත්මෙන් වසර 4කට පසුවත්, මෙම කවුන්සිලය තවමත් ශ්‍රී ලංකාවේ ජනතාවට මෙම ව්‍යාපෘතියෙන් ලැබුණු කිසිදු ප්‍රතිලාභයක් දැක නැත. මෙය මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ අන්තර්ගතයෙන් ද පැහැදිලිව පෙනේ. එහි නියෝගය දීර්ඝ කිරීම ශ්‍රී ලංකාවේ බෙදීම් ඇති කිරීමට සහ ප්‍රජාවන් බෙදීමට උත්සහ කරන පාර්ශව සඳහා පමණක් සේවය කරනු ඇති අතර, එක්සත්කම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ උත්සහයන්ට විරුද්ධ ප්‍රතිඵලයක් අත් වනු ඇත.

    මානව හිමිකම් සම්බන්ධ කරුණු ආමන්ත්‍රණය කිරීම සඳහා සැබෑ ජාතික අයිතිය සහිත ක්‍රියාවලීන් වඩාත් සුදුසු බව අපි තරයේ විශ්වාස කරමු. ජාතික ක්‍රියාවලීන් දේශීය සන්දර්භය තුළ මුල් බැස ඇති අතර, වැඩි හිමිකාරිත්වයක් සඳහා ඉඩ සලසයි, අද්විතීය සංවේදීතාවන් හඳුනා ගනී, සහ ක්‍රියාවන් ක්‍රියාත්මක කිරීම වඩාත් කාර්යක්ෂම හා ඵලදායී කරයි.

    මෙම වසරේ ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාට ශ්‍රී ලංකා සමාජයේ සියලු ම පාර්ශව හරහා “වෙනස් වීමේ වේගය” සහ “ගැටලු විසඳීමට රජයේ සැබෑ විවෘතභාවය” අත්විඳීමට අවස්ථාව ලැබිණි. මෙම කවුන්සිලයට ඉදිරිපත් කළ සිය වාර්තාවේදී ද මහ කොමසාරිස්වරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඓතිහාසික අවස්ථාවක් ඇති බව ය. මෙම කවුන්සිලයට කළ ප්‍රකාශයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දක්වා ඇති පරිදි, ඉතා කෙටි කාලයක් තුළ, රජය සංහිඳියාව සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ස්පර්ශ්‍ය හා තීරණාත්මක පියවර මාලාවක් ගෙන ඇත. එබැවින්, දේශීය ක්‍රියාවලීන් හරහා තමන්ගේ ම ජනතාවගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාම සඳහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ශ්‍රී ලංකාවට ඉඩ දීම සාධාරණ වේ.

    මෙම හේතූන් නිසා, අපි ජාත්‍යන්තර බලහත්කාර ක්‍රියාමාර්ග සමග එකඟ නොවන අතර, මෙම කවුන්සිලයට ඉදිරිපත් කරන ලද 60/L.1/Rev.1 යෝජනාවලිය අපි ප්‍රතික්ෂේප කරමු.’

  • හමුදාපතිට අපහාස කිරීම සම්බන්ධයෙන් ‘විදුලි සන්දේශ’ පනත යටතේ සිතාසි

    හමුදාපතිට අපහාස කිරීම සම්බන්ධයෙන් ‘විදුලි සන්දේශ’ පනත යටතේ සිතාසි

    යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය ,ද්වේශ සහගත හා අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝ හා ප්‍රකාශ නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ බවට චෝදනා ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාලිය රණවකට විදුලි සන්දේශ නියාමක කොමිෂන් පනත ප්‍රකාරව සිතාසි භාරදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (29) නියෝග කර තිබේ.

    විතාරණගේ තුෂාර සාලිය රණවක විත්තිකරු අද දින අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.‍

    වග උත්තරකරුට ඊමේල් පණිවිඩ මගින් යැවූ සිතාසිය ලැබී ඇති බවට ඔහු දැක්වූ ප්‍රතිචාර මගින් පෙනී යන බවත්, පිස්කෙල්වරයා මගින් සිතාසි භාරදීමට නොහැකි වී ඇති බැවින් යලිත් සිතා සිය යොමු කරන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ එම්. මොහොමඩ් ෆර්ෂාන් අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

    යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරිණි.

    යුද හමුදාපතිවරයා පසුගිය 15 වැනි දින මෙම නඩුව පැවරූ අතර පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපහාසාත්මක කරුණු ඇතුළත් වීඩියෝ ප්‍රකාශ සහ දර්ශන අන්තර්ජාලයට උඩුගත කිරීම ,බෙදා හැරීම වළක්වමින් කොන්දේසි සහිත තහනම් ආඥාවක් විත්තිකරුට එරෙහිව නිකුත් කරමින් අද දින අධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලෙසට නියෝග කර තිබිණි.

  • දේශබන්දුගේ උත්සාහය නැවතත් පොලිස් ඝාතන සංස්කෘතියක් හැදීමද?

    දේශබන්දුගේ උත්සාහය නැවතත් පොලිස් ඝාතන සංස්කෘතියක් හැදීමද?

    පාතාල ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් වලට ඉදිරියේදී තේරෙන භාෂාවෙන් උත්තර දීමට තමා සූදානම් බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසා තිබේ.

    අම්බලන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවල පසුගිය දිනවල සිදුවූ පාතාල වෙඩි තැබීම්වලින් අහිංසක පුද්ගලයන් කිහිප දෙනෙකුම මියගොස් ඇතැයි පෙනී යන බව පොලිස්පතිවරයා දැනට කරගෙන යන ආරක්ෂක වැඩපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය නම් එය කිරීමටද නොපැකිලෙන බව ඔහු සඳහන් කර ඇත.

    ඔහු මේ කියන තේරෙන භාෂාවෙන් උත්තර දීම යනු කුමක්ද යන සැකය ඇතිවේ. ගම්පහ මල්වතුහිරිපිටිය කහටාන ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේ වැඩ සිටි 45 හැවිරිදි හිමි නමක වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සඟවා ඇති ආයුධ පෙන්වීමට බව පවසමින් රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කෙරුනේ පෙරේදා දිනයේදීයි.

    දේශබන්දු යනු මානව හිමිකම් කඩකිරීම සම්බන්ධ චෝදනාවලට වරදකරුවූ පුද්ගලයෙකි. ඊට අමතරව ඔහු පොලිස්පති ධූරයට පත්කිරීම සිදුවූවේ නීතිවිරෝධී ලෙස බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වෙමින් පවතියි.

    දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීමේ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංගමය අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

    ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති තරිඳු ජයවර්ධන, ලේකම් එම්.එෆ්.එම්. ෆසීර්, කැඳවුම්කරු ශාලිකා විමලසේන, භාණ්ඩාගාරික නිරෝෂ් මෛත්‍රී, කාරක සභික තරිඳු උඩුවරගෙදර, උප සභාපති බී. නිරෝෂ් කුමාර් සහ එහි සාමාජිකා රේකා නිලුක්ෂි යන පිරිස විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

    දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනි, නීති විරෝධී අත්තනෝමතික තීරණයක් බව පෙත්සම්කරුවන් මෙමඟින් පෙන්වා දෙනවා.

    මේ අතර, ඊයේ (12) දිනයේදී දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් කිරීමේ තීරණයට එරෙහිව අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින්ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළා.

    දේශබන්දු තෙන්නකෝන් පත් කිරීම අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගයේ නිරෝෂන් පාදුක්ක සහ මහාචාර්ය සාවිත්‍රී ගුණසේකර විසින්ද තවත් පෙත්සම් දෙකක් ඉකුත්දා ගොනු කර තිබුණා.

  • නාරම්මල වෙඩි තැබීමට වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    නාරම්මල වෙඩි තැබීමට වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා මරා දැමීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ, සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනී විසිනි.

    පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර, නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ.

    ඇය පෙත්සමේ දක්වා ඇත්තේ, ඉකුත් ජනවාරි මස තම සැමියා ලොරියක යමින් සිටියදී “යුක්තිය” මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තම සැමියා මරණයට පත් වූ බවයි.

    මීට අදාළව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තම සැමියා වෙඩි පහරකින් මියගිය බව අනාවරණය වූ බවත් එහි සඳහන්ය.

    කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකළ වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත්, වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

    ජීවිතයක වටිනාකම ලක්ෂ 10යි
    පොලිස් වෙඩි තැබීමෙන් තම සැමියා මිය යෑමෙන් පසු රුපියල් ලක්ෂ 10ක් ලබා දුන්න ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් පොරොන්දු වූ පරිදි ඒ වෙනුවෙන් කිසිඳු සහයෝගයක් මේ දක්වා ලබා නොදීම නිසා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ද බාධා එල්ල වී ඇතැයි මිය ගිය රොෂාන් කුමාරසිරිගේ බිරිඳ මාධ්‍ය වෙත පවසා තිබුණි.

    ”දේශබන්දු මහත්තයා ඇවිල්ලා ඒ වෙලාවේ මගේ අතට ලක්ෂ 10ක් දීලා මහත්තයගේ වටිනාකම තීරණය කළා එයා ඒ වෙලාවේ.ඉන් පස්සේ කිසිම දෙයක් අපි ගැන හොයලා බැලුවේ නැහැ.” යනුවෙන් කමනි රූපිකා පැවසුවාය.

    2024 ජනවාරි 18 වැනිදා නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදු විය.

    මේ සිදුවීම වන අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයේ සිටිය ද පොලීසිය සැකකරුවෙකු ලෙස එක් අයෙකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සහ විමර්ශන කටයුතු සිදු කෙරෙන අකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි බව අගතියට පත් පාර්ශවයේ නීතිඥයෝ පවසති.

    මේ අතර අනෙක් පොලිස් නිලධාරියා සැකකරුවෙකු ලෙස නම් කිරීමේ අවශ්‍යත්වයක් මේ දක්වා විමර්ශන වලදී පෙනී ගොස් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසා තිබේ.

    BBC වෙබ් අඩවියේ ඇසුරිණි

  • ‘ UN හියුමන් රයිට්ස් ලියුම තුට්ටු දෙකකට ගණන් ගන්නේ නෑ’ – පොලිසිය බාර ඇමති

    ‘ UN හියුමන් රයිට්ස් ලියුම තුට්ටු දෙකකට ගණන් ගන්නේ නෑ’ – පොලිසිය බාර ඇමති

    යුක්තියේ මෙහෙයුමේ දී මානව හිමිකම් උල්ලංඝනය වන බවට නිසි සොයා බැලීමකින් තොරව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ ලිපිය තුට්ටු දෙකකට මායිම් නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (ජනවාරි 18) පැවසුවේය.

    ” UN එකේ ඉහළ පෙළේ මහත්තයෙකුට මම ඊයේ පෙරේදා ආවහම එයාගේ මූණටම කිව්වා කරුණාකරලා ඔය හියුමන් රයිට්ස් එකේ අයට කියන්න මෙහෙම ස්ටේට්මන්ට් දෙන්නේ නැතුව අපෙන් ඉස්සෙල්ල අහන්න. අපෙන් ඉස්සෙල්ලා දැනගන්න අපි කරන්නේ මොකද්ද?. ඊට පස්සේ වැරදි යමක් කරනවනම් මොනවාහරි කිව්වට කමක් නෑ.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

    යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කළ මාසය තුළ රටේ සමස්ත අපරාධවලින් 17% ක් අඩුවී ඇති බව අමාත්‍යවරයා පවසයි.

    කොළඹ නගරයට ඇතුළුවන රියදුරන් කරන වැරදි CCTV ඔස්සේ නිරීක්‍ෂණය කර දඩකොළ නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ජනවාරි 22වෙනිදා සිට ආරම්භ කරන බවත්, තමන් ලංකාවේ කුමන පලාතක සිටිය ද අදාළ පොලිස් ස්ථානය හරහා වරදට අදාළ චෝදනා යොමු කෙරෙන බවත් මෙම මාධ්‍ය හමුවට එකතුවූ වැඩ බලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් කියා සිටියේය.

    ටිරාන් සහ දේශබන්දුගේ මෙම ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ ඔවුන් නීතිය යනු ඔවුන් බව සිතන බවයි.

  • පොලිසියේ මානව හිමිකම් උල්ලංඝන – පූජිත්, සීඩී, දේශබන්දු ඇතුළු පිරිසකට වන්දි ගෙවන්න නියෝග

    පොලිසියේ මානව හිමිකම් උල්ලංඝන – පූජිත්, සීඩී, දේශබන්දු ඇතුළු පිරිසකට වන්දි ගෙවන්න නියෝග

    2023 වසර තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදල්වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක (රුපියල් 152,370,000) මුදලක් අගතියට පත්වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇති බව බීබීසී සිංහල පුවත් සේවය පවසයි.

    ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා පෙන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා වසරක් තුළ පොලිස් නිලධාරීන්ට සිය පුද්ගලික මුදල්වලින් ගෙවීමට සිදු වූ වැඩිම වන්දි මුදල් ප්‍රමාණය මෙය බවයි.

    ඒ අනුව 2023 වසර මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා අගතියට පත්වූ වින්දිතයන් රැසකට යුක්තිය ඉටු වූ වසරක් ලෙස සැලකේ.

    මානව හිමිකම් පෙත්සම්වලට අදාළ නඩු තීන්දු 8ක් මගින් මෙසේ වන්දි ගෙවන ලෙස නියම වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 20කි.

    මේ ආකරයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් අතරට හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර සහ සී.ඩී වික්‍රමරත්න, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඇතුළත් වේ.

    එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් රජයට ගෙවීමට සිදුව ඇති වන්දි මුදල රුපියල් 3,250,000 ක් බව වාර්තා මඟින් අනාවරණය වී තිබේ.

    පුද්ගලයන් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, වධහිංසාවට ලක්කිරීම, රාජකාරිය පැහැර හැරීම, බලය අයුතු ලෙස පරිහරණය කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් මෙම නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරුවන් ලෙස නම් කර ඇත.

    හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 75 බැගින් සිය පෞද්ගලික මුදල්වලින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් වසරේ ජනවාරි මස නියෝග කර තිබිණි. ඒ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක තීන්දුව ලබාදෙමිනුයි.

    එමෙන්ම 2010 වසරේ මිල්ලව ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධහිංසනයට භාජනය කිරීම තුළින් වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දෙසැම්බර් මාසයේදී තීන්දු කරන ලදි.

  • ‘යුක්තියට’ සාපේක්ෂව පොලිසිය අරගලකරුවන් හඹායාම උත්සන්න කරයි

    ‘යුක්තියට’ සාපේක්ෂව පොලිසිය අරගලකරුවන් හඹායාම උත්සන්න කරයි

    ආණ්ඩුව ගෙනයමින් සිටින යන ආර්ථික වැඩපිළිවෙලට සාපේක්ෂව මර්දනය දැඩි කරන බවට විවිධ පැතිවලින් පෙනෙන්නට තිබේ. ඒ අනුව මර්දනයේ තවත් පියවරක් දියත් කරමින් අරගල සමයේ අරලිය ගහ මන්දිරයට ඇතුල්වූවන්ගෙන් යළි ප්‍රශ්න කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ.

    පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් අරගලකරුවන් පහළොස් දෙනෙකුට පමණ නඩු පවරා ඇති අතර ඒ සඳහා ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම දැන් සිදුකරන බවයි.

    අරලිය ගහ මන්දිරයට ඇතුල්වූ තරුණ ක්‍රියාකාරීන් යුවලක් වන නලින්ද කුරේ හා නදීරා ෆ්‍රැන්සිස්, දාබරේ ගමගේ ඇතුළු තවත් අරගලකරුවන් දෙදෙනෙකු ඉකුත් 18 වැනිදා රහස් පොලිසිය වෙත කැඳවා තිබිණි.

    අරගල සමයේදී මෙම තරුණ ක්‍රියාකාරීන් යුවල අත්අඩංගුවට ගත් පොලිසිය පසුව නීතිඥයන්ගේ මැදිහත් වීමෙන් ඇප මත මුදා හැරිණි.

    අරගලකරුවන් පවසන්නේ අරලිය ගහ මන්දිරයට ඇතුල්වීම එහි දේපල වලට හානි කිරීම හෝ සොරා ගැනීම ගැන මෙහිදී පොලිසිය ඔවුන්ගෙන් විමසා ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

    අරගලකරුවන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කරන්නට අනුබල සැපයු බවට චෝදනා එල්ලවූ වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් යටතේ යළි කැඳවා ඇති මෙම පරික්ෂණ වල ස්වාධිනත්වය ගැන ඔව්හු සැක පළකරති.

     

    මෙම කැඳවීම් කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් කාර්යාංශයේ ස්ථානාධිපති වෙත වාර්තා කරන ලෙස දැනුම් දීම නොමග යන සුළු ක්‍රියාවක් බව අරගලකරුවෝ පෙන්වා දෙති.

     

    2022 මැයි මස 09 වැනිදා ගාලු මුවදොර පිටියේ පැවැති “ගෝඨා-ගෝ-ගම” අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස එවකට බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් ලිපියක් නිකුත් කර තිබිණි.

    පසුව දේශබන්ධු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණයට යොමු කළ රිට් පෙත්සමකට ලබා දුන් ආඥාවක් මගින් එම ලිපිය බල රහිත කරනු ලැබුවේ අරගලකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට අධික මුදලක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව සැකකරුවකු වශයෙන් පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය ද අවලංගු කරමින්ය.

    ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් එම මුදල් පොලිසිය වෙත ලබා දීමෙන් අනතුරුව එවකට නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් බාරයට ගත් මුත් නියෝගයක් නිකුත් කරන තෙක් එය උසාවියට ලබා දීමට ඔහු ක්‍රියා කර නොතිබිණි.

    මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබළා 2010 වසරේදී අත්අඩංගුවට ගෙන, නීති විරෝධී ලෙස රඳවාගෙන අමානුෂික වධ හිංසාවලට ලක් කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහ බැගින් වන වන්දි සිය පෞද්ගලික මුදලින් එම පුද්ගලයා වෙත ගෙවන ලෙස එවක නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ සිවිල් පුද්ගලයකු වන අජිත් වනසුන්දරට නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය 14 වැනිදා නියෝග කළේය.

    කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු විනිසුරන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් මෙම තීන්දුව ලබා දුන්නේ වධ හිංසාවට ලක් වූ හිටපු හමුදා සෙබලා ගොනු කළ මුලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.

    පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන බලතල හුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු බවත්, ඒවා බලය පෙන්වන ආභරණ නොවන බවත් නඩු තීන්දුව මඟින් අවධාරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කෙරිණි.

    අජිත් වනසුන්දර නමැති සිවිල් පුද්ගලයාත් එක්ක ආපු මිරිහාන පොලිසියේ බණ්ඩාර සහ භාතිය ජයසිංහ කියන නිලධාරීන් දෙදෙනා 2010 වසරේ දෙසැම්බර් මස 18 වැනිදා ත්‍රිරෝද රථයකින් පැමිණ මාව අත්අඩංගුවට අරන් දඹර පැත්තේ මිනී කනත්තකට රැගෙන ගිහින් මේ වග උත්තරකාර පොලිස් නිලධාරින් එම ප්‍රදේශයේ වෙන මංකොල්ලකෑම් හා යුද හමුදාවේ සිටියදී භාවිත කළ ගිනි අවියක් ගැන ප්‍රශ්න කරමින් මට අමානුෂික ලෙස පහර දෙමින් මිරිස් කුඩු තැවරු ප්ලාස්ටික් උර දෙකක් ඔළුවට බහා හුස්ම ගන්නැයි බල කළා, යැයි රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලා විසින් ගොනු කළ පෙත්සම මගින් පෙන්වා දී ඇත.

    මිරිහාන පොලිස් ස්ථානයේදී දේශබන්දු තෙන්නකෝන්ම වධහිංසා කළ බව අධිකරණයේදී තහවුරු විය.

    මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව හමුවේ වැරදිකරුවකු වූවද දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස වැඩ බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ අප්‍රසාදයක් එල්ල වී නොමැත.

    ආර්ථික අර්බුදය, ජිවන වියදම ඉහල යාම, පොදු දේපල විකිණීම ඇතුළු කාරනා හේතුවෙන් නැගී එන විරෝධය හමුවේ ජනතාව බියපත් කිරීමට මෙවැනි ක්‍රියාමාර්ග දියත් කිරීම ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි අරගලකරුවෝ පවසති.

    ගාලු මුවදොර අරගලයට එක්ව සිටී තරුණ ක්‍රියාකාරියෙකු වූ ප්‍රියත් නිකේෂල අඟහරුවාදා (19) රහස් පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගෙන තිබිණි.

    ඉදිරි දිනයන්හි තවත් ක්‍රියාකාරීන් පොලිසියට කැඳවා යළිත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

  • නඩු තියෙන දේශබන්දු පොලිස්පති උනේ කොහොමද – නීතිඥ සංගම්

    නඩු තියෙන දේශබන්දු පොලිස්පති උනේ කොහොමද – නීතිඥ සංගම්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු ගණනාවක් විභාග වෙමින් තිබියදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන ‘නීතිඥ සාමූහිකය’ කනස්සල්ල පළකර තිබෙනවා.

    හිටපු හමුදා සෙබළෙකුට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදුන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාද වන ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විසින් විමසා සිටියා.

    වැඩබලන පොලිස්පති තෙන්නකෝන් එම තනතුරට පත්කිරීමේදී ඔහුට නඩු කිහිපයක් තිබූ බවත්, ඔහුට තවදුරටත් මහජන විශ්වාසයක් නොමැති බවත්, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

    දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස වසර ගණනාවකට පෙර පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරුවන් වූ බැවින්, ඔවුන්ට එරෙහිව වධහිංසා පනත යටතේ චෝදනා ගොනුකිරීම නීතිපතිවරයාගේ වගකීම බවද ඔහු අවධාරණය කළා.

    නීතීඥ එකමුතුව විසින් පසුගිය සෙනසුරාදා (16) කොළඹදී සංවිධානය කරන ලද ජනමාධ්‍ය සාකච්ඡාවකදී උපුල් ජයසූරිය මෙම අදහස් පළකළා.

     

  • පුද්ගලයෙකු වදහිංසාවලට ලක් කිරීමේ සිද්ධියකට දේශබන්ධුට වන්දි ගෙවන්න වෙයි

    පුද්ගලයෙකු වදහිංසාවලට ලක් කිරීමේ සිද්ධියකට දේශබන්ධුට වන්දි ගෙවන්න වෙයි

    2010 වසරේ දී, හිටපු හමුදා සෙබළෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා වදහිංසාවලට ලක් කිරීම තුළින්, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිව්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

    අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් එවක නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරීවරයා වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ සිවිල් පුද්ගලයකු වන අජිත් වනසුන්දර යන අය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් පෙත්සම්කරුට වන්දි ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් විය.

    එම වන්දි මුදල් අද දින සිට මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට, කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෛරාජා විසින් නියෝග කෙරිණි.

    එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.

    මිල්ලව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    2010 වසරේ දෙසැම්බර් මස 18 වනදා ත්‍රීරෝද රථයකින් පැමිණි අජිත් වනසුන්දර නමැති සිවිල් පුද්ගලයා සමග ආ මිරිහාන පොලිසියේ සේවය කළ බණ්ඩාර සහ භාතිය ජයසිංහ යන නිලධාරීන් දෙදෙනා ඔහු අත්අඩංගුවට ගෙන දඹර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකට රැගෙන ගිය බව, පෙත්සම්කරු කියා සිටියි.

    එම සුසාන භූමියේ තුළ දී වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඔහුට අමානුෂික ලෙස පහරදුන් බවත්, එසේ පහර දෙමින් ප්‍රදේශයේ සිදුවන මංකොල්ලකෑම් හා යුද හමුදාවේ සිටිය දී භාවිත කළ ගිනි අවිය පිළිබඳව ප්‍රශ්න කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

    ඉන් අනතුරුව මිරිස් කුඩු තැවරූ ප්ලාස්ටික් මලු දෙකක් ඔහුගේ හිසට බහා හුස්ම ගන්නා ලෙස වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුට බලකළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

    ඉන්පසු ඔහුගේ කටින් ලේ ගැලීමට පටන්ගත් බවත්, අවසානයේ දී භීතියට පත් ඔහු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එල්ල කළ චෝදනාවලට වරද පිළිගත් බවත් ඔහු පැවසීය.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සහ පොලිස් නිලධාරී බණ්ඩාර යන නිලධාරීන් පෙත්සම්කරු වධහිංසනයට ලක්කර තිබෙන ආකාරය මනාව තහවුරු වන බව අධිකරණ විනිසුරුවරුන් පවසා තිබේ.

    එම සිද්ධිය වූ අවස්ථාවේ දී ප්‍රදේශය භාරව කටයුතු කළ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද තුරෛරාජා විනිසුරුවරයා ඔහුගේ තීන්දුවේ කරුණු පහදා තිබේ.

    “මෙම පෙත්සම්කරු රඳවා සිටි ස්ථානයට වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පැමිණ තිබෙන බව නඩු විභාගයේ දී කරුණු අනාවරණය වුණා. ඔහු ත්‍රිරෝද රථ රබර් පටියකින් පෙත්සම්කරුට පහර දී තිබෙනවා. පසුව පෙත්සම්කරුව නිරුවත් කරන ලෙස අණකර තිබෙනවා. පෙත්සම්කරුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට සිද්ධාලේප ආලේප කරන ලෙස ඔහු අණකළ බවත් නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් වුණා. පොලිසියේ පහළ නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලය අවභාවිතා කිරීම වැළැක්වීමට ඉහළ නිලධාරීන් වග බලාගත යුතු යි. තමන් යටතේ සිටින නිලධාරීන්ගේ හැසිරීම සුපරීක්ෂණයට ලක් කළ යුතු යි. පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන තරු, බලය පෙන්වන ආභරණ නොවේ. ඒවා හුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු යි.”

    උපුටා ගැනීම – BBC සිංහල

  • මානව හිමිකම් කොමිසම දුන් නියෝගවලින් 91%ක් ක්‍රියාත්මක කර නැහැ

    මානව හිමිකම් කොමිසම දුන් නියෝගවලින් 91%ක් ක්‍රියාත්මක කර නැහැ

    ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විවිධ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස රාජ්‍ය ආයතනවලට ලබා දෙන ලද නියෝගවලින් බහුතරයක් එම රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වෙයි.

    2022 වසරේ (පසුගිය වසරේ) මානව හිමිකම් කොමිසම එලෙස රාජ්‍ය ආයතන වෙත ලබාදුන් නියෝග 72කින් 66ක්ම ක්‍රියාත්මක කර නැත.

    එය සමස්ත නියෝගවල ප්‍රතිශතයක් ලෙස ගත් කල 91% කි.

    ඊට පෙර 2021 වසරේ මානව හිමිකම් කොමිසම ඒ ආකාරයෙන්ම රාජ්‍ය ආයතන වෙත ලබාදුන් නියෝග 88කින් 59ක් හෙවත් 67% ක් කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් ක්‍රියාත්මක කර නැත.

    එබැවින් වහාම මානව හිමිකම් කොමිසම මෙම තත්ත්වය වැළැක්වීමට දැඩි අවධානය යොමුකර පියවර ගත යුතු බව මේ ගැන විමර්ශනය කොට පාර්ලිමේන්තුවට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කළ රාජ්‍ය ගිණුම්කාරක සභාව නිර්දේශ කර ඇත.