අතීතාගමනය පළවෙනි ලිපිය තුළින් 1948 වසරේ උපත ලැබූ අයෙකුගේ ළමා කාළයේ සමාජ ආර්ථික වටපිටාව හා සමඟම මානසික ස්වභාවය වර්තමානය හා යම්තාක් දුරකට තුලනාත්මක සංසන්දනයක් කිරීමට හැකිවිය.මෙය අතීතාගමනයේ දෙවන ලිපියයි.
කුමන කාළවකවාණුවක ලෝකයේ කිනම් අස්සක මුල්ලක උපත ලැබූවෙකුට වුවද නිල් අහස වියනක්ව මහ පොළොව පාවඩක්ව කොට කිසිදු ගෙවීමකින් තොරවම තම සේවය සැපයීමේ කාර්යය පරිසර මාතාව නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරයි.
“නිල් අහසත් පොළොවේ ඇති උණුසුමත් විකිණීමට හෝ මිලදී ගැනීමට හැකි ද..? එය මට නොවැටහේ.”
“සුළඟේ ඇති පවිත්‍ර බව නැවුම් බව, ජලයේ ඇති ප්‍රභාවත් බව අප සන්තක නොවේ.”
“එසේ නම් ඔබ ඒවා මිලදී ගන්නේ කෙසේ ද..?
මේ මාගේ ප්‍රකාශයන් නොවේ. ක්‍රි. ව. 1854 දී ඇමරිකානු ජනාධිපතිවරයා වූ සුදු ජාතික නායක ප්‍රැන්ක්ලින් පියර් ස්වදේශික රතු ඉන්දියානුවන් සතු ඉඩම් සුදු මිනිසුනට විකුණන මෙන් සඳහන් කළ ලිපියක් රතු ඉන්දියානු නායක සියැටෙල්(1780 – 1866) වෙත යොමු කරන ලද විටදී ඇමරිකානු ජනාධිපතිවරයා වෙත සියැටෙල් විසින් යොමු කරන ලද ලෝක ප්‍රකට පිළිතුරු ලිපියෙහි අඩංගු වැකි කීපයකි ඒ.
එම ලිපිය එතෙක් මෙතෙක් පරිසරය පිළිබදව ලියැවූ අතිශයම දාර්ශනික වූද සාරගර්භ වූද ලිපිය ලෙස සැළකේ.
සියැටල් සිය මාතාව මිහිකත ලෙසද සොයුරා නිල් අහස ලෙසද සමකොට පරිසරය හා ඒකාත්මික වූ මනා ලැබැදියාවකින් කටයුතු කළේය. ඒ ඇමරිකාව තුල සේම මේ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලද ආදීවාසීන් පරිසරය දේවත්වයේ ළා සැළකීය.
අද කතානායකයාගේ උත්පත්තිය අතිශයම රමණීය වූ මහනුවර පුරවරයයි. 1968 වසරේ උපත ලද ඔහු මැඳි වයස් ඉක්මවමින් තම ජීවන ගමන පසුකරමින් සිටියි. පාරිසරික හිතෛෂී බව නිසාම ජීවිතේ හා සහසම්බන්ධ අනේක විද හැලහැප්පීම්, සොබාදම් ලැබැදියාව හා මුසුකොට සුමට කොටගත් අයුරුත් , ඒවාට සාර්ථකව මුහුණ දුන් අයුරුත් පිළිබදව මේ කෙටි කතා බහ තුළ අසා දැනගත හැකිවිය.
” අපි මේ පරිසරයේ කොටසක්, අපිට ඒකෙන් ගැලවෙන්න බැහැ.” ඔහු පවසයි.
අවුරුදු 12 කදී සිය මවගේ අහිමිවීමටත් අවුරුදු 18කදී පියාගේ අභාවයටත් පසුකාළීනව විවාහයේ දෙදරායාමට මෙන්ම තම දරුවන්ගෙන් දුරස්ථ වීම් යන කාරණා හමුවේ වුවද කුමන හෝ භාග්‍යයකට පරිසරය හා ඇති කරගත් අසීමාන්තික ලැබැදියාව නොවන්නට ඔහුටද අද ප්‍රචලිතව අසන්නට ලැබෙන ආතතිය Depressions හෝ වෙනයම් මානසික ව්‍යාදියක ගොදුරක්ව ජීවිතයෙන් හෝ වන්දි ගෙවීමට සිදුවීමට බොහෝ ඉඩප්‍රස්ථා තිබුණි.
” මම ගොඩක් කාළය ගත කලේ පරිසරයත් එක්ක සත්තු එක්ක. “ ඔහු පවසයි.
සියැටෙල් ප්‍රකාශ කරන්නේද අපට පරිසරයෙන් මිදිය නොහැකි බවයි.
අහස කොතරම් නිදහස්ද, ඒත් පොළොවෙහි බෙදුම් රේඛා කොතෙක්ද? අහසෙහි තිබෙන සොඳුරු නිස්කලංක බව නිදහස මේ අප බෙදා වෙන්කළ පොළොව විසින් අපට ලබා දෙන්නේ ද? නිතැතින්ම කොතැනක හෝ ඇවිළෙන යුධ ගිනි වලට හේතුභුත වූ කාරණාව මෙයම නොවෙද?
“මට නම් තිබුණ ලොකුම ප්‍රශ්ණය අලියෙක් එක්ක යාළුවෙන්නෙ හීලෑ කරගන්නෙ කොහොමද කියන එක”
මේ, 1988 ලංකාව තුළ පැවති භීෂණ කාළවකවාණුව පිළිබදව එවකට විසි වයස් නව යොවුන් වියේ පසු වූ ඔහුගෙන් ඇසීමේදී කළ ප්‍රකාශයයි. විටෙක ඒ පරිසර ලැබැදියාව නොවූයේ නම් එකළ සුලභව තැන තැන ඇවිළුණ ටයර් සෑය ඔහුගේද චිතකය වන්නට බොහෝ ඉඩකඩ තිබිණි.
” ඒ කාලේ ඔය කියන stress තිබුණද නැද්ද කියලවත් අපි දැනන් හිටියෙවත් නැහැ.”
” මම හැදුනේ ඉස්කෝලේ hostel එකක, කෑම සම්බන්ධව නම් ප්‍රශ්ණ තිබුණා”
” ඒ නැතුව ඉගෙනීම ගැන නම් පස්සෙන් ඉදන් ලොකුවට හොයා බලන්න කවුරුත් හිටියේ නැහැ” ඒත් අපි ඉගෙන ගත්තා. නිදහසේ හැදුණා.”
අද සැළකිය යුතු රැකියාවක නිරත ඔහුගේ ළමා කාළය එසේ විය.
අද ළමුන්ගේ සියදිවි හානිකර ගැනීමේ ප්‍රතිශතය නොසිතූ ලෙස වර්ධනය වෙමින් පවතී. ගමනක් යාමට නොදීමක්, ආසා කරණ දෙයක් රැගෙන නොදීමක් වැනි සුළුතර කාරණා පවා සියදිවි හානිකර ගැනීමකින් කෙළවර කරගැනීමට පෙළඹවීමට තරම් ළමා මානසිකත්වය පිරිහී තිබීම කිනම් වූ නම් අභාග්‍යයක්ද?
ළමයෙකුගේ මානසිකත්වය එවන් තැනකට ඇද දැමීමෙහි ලා අඩු වැඩි වශයෙන් වැඩිහිටි පරම්පරාව වූ අප කවුරුත් වඟකිව යුතු නොවේද?
බොහෝ විට බිත්ති හතරකට කොටුකර ජංගමයක් අතට දී සත්තු වත්තක සතෙකු ලෙස ළමුන් හදන්නට පෙළඹවී තිබෙන කාළයක පරිසරය හා ඒකාත්මික වීමට එය විඳීමට සැලැස්වීමට , ඉපදුන පොළොවට ආදරේ කිරීමට ළමයා දැනුවත් කිරීමට ඔබට කාළයක් තිබුණාදැයි ඔබෙන්ම අසා දැනගැනුම වටී.
” ඔය පස්සෙ කාලවල love affairs වල ප්‍රශ්ණ නිසා ඉදලා හිටලා අය suicide කරගත්තට එහෙම අද වගේ පොඩි ළමයි ඒවට ගියේ නැහැ ඒ කාළෙ” ඔහු පවසයි.
ශ්‍රී ලංකාව කියන ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන පාරිසරික සුන්දරත්වය අතින් ලොව ඉහලින්ම බබළන රටක මිනිසුන්ගේ කල්ක්‍රියාව පිළිබදව දැන ගැනීමට වැඩිදුර යායුතු නැත. ගෙදර වැටෙන් එපිට ටික දුරක් යනවිට කාණුවක මඟ තොටක කොතරම් නම් පරිසරයට අහිතකර අපද්‍රව්‍ය අප විසින් මුදාහැර තිබේද?
මෙවන් හික්මීමවත් නැති ජාතියක් තව වසර කිනම් කාළයක් ගත වුවද ලොව දියුණු වෙමින් පවතින ජාතියකැයි විරුදාවලිය ලෑම අරුමයක් නොවේ.
” අපට බොහෝ තැන් වැරදී ඇත, වරද්දවා ඇත” යැයි කියමින් අප විසින් සදාචාරාත්මක සමාජයක ජීවත් වීමේදී ඉටුකළ යුතු පිරිසුදු බව වැනි මූලික කාරණා පවා නොසළකා හරිමින් සොබාදම් කෙළසීමෙහි යෙදේනම් එහි අනිටු විපාක විඳීමටද නිසැකවම ලක ලෑස්ති විය යුතුය.
පෙර ගැමියා තුළ තිබු ඒකරාශී වෙමින් තම අවට පරිසරය සුද්ද පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාර පිළිබදව අද වනවිට නොඇසෙන තරම්ය. නොකැළැල් භූමියක් කැළල් කොට බෙදා වෙන්කළ තාප්ප තුල ගෙල වැල ලා මිය යන ජාතියකට හෝ මානසික ව්‍යාදීන්ගෙන් පෙළන පරපුරකට උරුම කම් නොදීමට වඟබලා ගැනීම වහා වහාම කළයුතුමය.
මේ පරිසර මාතාවට අහිතකර ටොෆි කොළයක් හෝ බැහැර නොකරන්න යැයි ඔබේ කුඩා දරුවාට කියා දෙන්න. මේ ගහ කොළ වන සතුන් මෙන්ම අපද සොබාදමේ කොටසක් පමණක්ම බවද තිරව කියා සිටින්න. ඉන් නොනැවතී සොබාදම් අසිරිය අඩුම තරමින් මසකට සැරයක්වත් විඳින්නට එයට ආදරය කරන්නට සලස්වන්න. අහසින් වැටෙන වතුර බිඳුවක ශබ්දය , කුරුළු කූජනයක මිහිරියාව , ගංඟා ඇළ දොළ නඟන්නාවූ ගීතවත් බව විඳින්නට ඉඬහරින්න.
ලෝකයක් හැදීමට මත්තෙන් ලෝකයම අපතුල බව වටහා ගනිමු. තනි තනිව අපතුළ ඇතිකරගනු ලබන ගුණාත්මක සංවර්ධනය අවසන සොඳුරු ලොවකට මඟහසර හෙළිකරණු ඇත. සොබාදහමට ආදරය කරණ ළමා පරපුරක් බිහිකිරීමට පුරෝගාමී වෙමු. එය අදම තම තම නිවස් තුළම ඇරඹීමට වඟබලා ගමු. හිතාමතා හෝ නොහිතා අප විසින් කෙළසමින් යන සොබාදමට, අදැරැති මතු පරපුරක් වත් සාදා කෘතගුණවේදී වීමට නොවලහා ක්‍රියාකාරී වෙමු.
“දවස් ගාණක් තිස්සෙ වැඩකරලා ඔක්කොම හිරවෙලා තියෙන ඔළුව, කැලෑවකට ගිහින් ගස්කොලං සත්තු එක්ක ගත කරලා එනකොට මට zero කරගෙන එන්න පුළුවන්”
” මේ ගස් කොළං , සත්තු මාව නිවනවා, හැබැයි මේක හැමෝටම අදාල වෙනවද කියලනම් මම දන්නෙ නැහැ”
අවසානයට ඔහු එසේ පැවසීය.
මවගේ කුසයෙන් එළියට ආ තැන පටන් හුස්ම දුන් දෙවනි මව් වූ, මනුෂ්‍ය වර්ගයා මවක් ළඟ හැරූණු කොට නිවිය හැකි සැනසිය හැක සෙසු ඇකය නිසැකවම සොබාදම් මාතාව බවනම් අවිවාදිතය.
මේ සියල්ල පසෙකලා, ලොව කොතරම් ප්‍රබල පාලකයන් බිහිවූවද සොබාදම නම් පාලකයාට ඉහළින් යා හැකි කිසිදු පාලකයෙකු මේතාක් බිහි නොවී ඇති බවද අප අවදාරනයෙන්ම වටහාගත යුතුමය.