වර්තමාන ශ්‍රී ලංකාව තුළ වෙසෙන මනුෂ්‍ය වර්ගයාට සමාජ, ආර්ථික ,දේශපාලනික බිදවැටීම් හමුයේ ගතකරන්නට සිද්ධ කර ඇත්තේ එදා මෙදා තුරාවට මුහුණ නොදුන් අතිශයම දුෂ්කර වූ කාළ පරිච්ඡේදයකටයි. ඒ හා සමගාමීවම විවිධාකාර විකෘතිකරණයන්ගෙන් මනස තවත් ව්‍යාකූල කරගැනීමට උඩගෙඩි දෙමින් අම්මා මුත්තා කාළේදීවත් නොවූ තරමට ඇති තරම් ලිපි , වාර්තා , බ්ලොග් අස්සෙහි ඕපාදූප , වැල්වටාරාම් , කුණුකන්දල් , රසට උලුප්පවමින් ගොඩගසන මාධ්‍ය භාවිතයක් අද දක්නට ලැබීමත් ඒවා තුළ දවසම කාළකන්නි කරගනිමින් ප්‍රති උත්තර බදිමින් වැළලෙන තරුණ මහළු වයස් බේදයකින් තොර ඩේටා කන්නන් බිහිකරමින් යන කාළයක මොහොතකට හෝ මේ ජාතියේම අක්මුල් වලට එබී බැලීමට ඇත්නම් එක් අතකට එය අතිශයම සුවදායකය. ආතතියෙන් තොරය. අභිමානය මෙන්ම බුද්ධිමය උත්ප්‍රෙර්නය, අභිප්‍රේරනය ආදී එකි මෙකී නොකී ඕනෑම ධනාත්මක මානසික තත්වයක් ඇති කරගැනීමෙහ ලා කදිම ප්‍රවිෂ්ටයකි අතීතාගමනය.
අතීතාගමනයේ මේ තීරුවේ කතා නායිකාව කුසුමාවතීය. 1948, එය ඇය උපත ලැබූ වසරයි. දකුණුලක වැලිගම් පියසේ සුන්දර ගම්මානයකි හල්ලල. උදෑසන 5.00ට අවදිවන ඇයට නිදිගැට හැරීමටත් මත්තෙන් ඔබන්නට ජංගම දුරකතන නැත. අවදිකරන්නට කන පැලෙන්නට ශබ්ද දූෂණය කරමින් යන චූං පාන් සද්ද නැත. හල්ලල සිට නගරයේ පාසල් වලට තරමක් යහමින් මිල මුදල් ඇති ළමුන් උදෑසනම ඇරලවන අශ්වයන් බැදි බක්කි කරත්තයක ටකුස් ටුකුස් හඩ හා සමඟ වැස්සිගේ කිරි යහමින් දොවන අටියෙන් රෑ වෙන් කර බැඳ තැබූ වහු පැටවකු සිය අම්මා තුරුලට දුව විත් බුරුල්ලේ එල්ලී පෙරේතකමින් කිරි උරණ බස බස හඩද පැහැදිලිව ඇසෙන නිස්කලංක උදෑසනකි එය. ස්වභාදමේ සොදුරුතම ස්වාභාවික හඬවල් තුලින් ඇයගේ මනස උදෑසනම උද්දීපනය වී හමාරය. අම්මා 4.00 ට ඇහැරී කිරි හරකුන්ගේ බුරුල තවන්නට ගොජ ගොජ ගා වතුර නටවන සද්දයත් , කහට කෝප්පයක ඉමිහිරි සුවදත් ඇයට සුපුරුදුය. පාසල් යාමට මත්තෙන් ඇයගේ ප්‍රථම රාජකාරිය වනුයේ අම්මා පුරවා තැබූ කිරි බෝතල් වැලිපිටිය හන්දියේ තේ කඩවල් වලට රැගෙන යාමය. අද මෙන් සියල්ල එකලස් කොට මදිපාඩුවට පාසල් බෑගයද කරපින්නා යම්න් ස්වාධීන තීන්දු තීරණ ගතහැකි දරු පරම්පරාවක් කප්පාදු කල දෙමව්පියන් එකල සිටියේ නැත. දරුවන් කරට කර දෙමව්පියන්ගේ ජීවන බර සැහැල්ලුවට දායක විය. අහල පහල ගැමි ළමුන් උදෑසන කිරි බෝතල් කිහිපයක් දමාගත් පන් මල්ලක් , කඩයප්පන් මුල් ටිකක් රැගෙන හන්දියේ කඩපෙලට යාම සුපුරුදු දසුනකි. ඒ මෙදා වැඩසටහන් පවත්වමින් මුදල් අයකරමින් කරන මෝටිවේෂන් ව්‍යාපාර වල ප්‍රායෝගීකරණයයි. ව්‍යවසායකයන් බිහිකිරීමේ පංති වල ප්‍රායෝගික මුහුණු වරයි. අපි විසින් මේ අගාදයෙන් ගොඩ ඒමට අවුස්සා හෙළි කරගතයුතු මහ දාගැබ් වැව් බැදි සිංහලයන්ගේ උකටලී නොවූ මහා මානසික ශක්තියක මූල බීජයයි. එය ඉබේ පහල වූවක් නොව ක්‍රියාව තුලින්ම ජනිත වූවකි.
පාසල ඇයට සොදුරු පරිසරයක් මැවීය. ගුරුභවතුන් තම කාර්යය ඉහටත් උඩින් සිදුකරණ ලදී. ඔවුන් විභාග ආසන්නයේ හවස පංති පවත්වමින් තම සිසු සිසුවියන් දැණුමෙන් සන්නද්ධ කරවූයේ කිසිදු මුදලක් හෝ වෙනත් ලාභ ප්‍රයෝජනයක අභිලාෂයෙන් තොරවමය. දහවල පංති කාමරයක කිරි අම්මා කිරි උණු කරණ සුවඳ මුළු පාසල පුරාම පැතීරී ගියාය. මුලින් කිරි සමඟ බනිස්ද, පසුව ඇදිහැස බිස්කට්ද එකල පාසල් දරුවන්ගේ පාසල් කිස පිරවීය. එදවස දේශපාලකයන් මූලිකත්වය දිය යුතු තැන් නිසි ලෙස හදුනාගැනීමට තරම් ඥානාන්විත පිරිසක් වන්ට ඇත. ජාතියක පැවැත්ම රැදෙනුයේ නිසි මානසික කායික පෝෂණය ලබන ළමා පරපුරක් බිහිකිරීම තුළින් පමණ්ක්ම බව හදුන්වා දීමට ඔවුන්ට උපදේශකයන්ගේ උපදෙස් වත් කමිටු නිර්දේශ වත් අවශ්‍ය වූයේ නැතුවා විය හැක. පාක්ෂිකයන් මෙන්ම විපාක්ෂිකයන්ද කකුල් මාට්ටු, වෙට්ටු නොදා එවන් නිර්දේශයන් එකහෙලාම අනුමත කොට ළමා ප්‍රගමනය වෙනුවෙන් තීන්දු තීරණ ගත්තා විය හැක. පාසැල අවසානයේ කරන්නට කප්පරක් හොම් වර්ක් ගුරුවරුන් විසින් නොපරවන ලදී. ඇය කියන පරිදි අමතර පංති වලට සහභාගී නොවූ එකල ළමුන් පාසලේ ගුරුවරුන් ගේ ඉගෙනීම් සාවධානව අසා සිටීමටත් මනාලෙස ග්‍රහණය කරගැනීමටත් තරම් නිදහස් මනසකින් යුක්ත වූවන් විය.
ඇයගේ හවස් වරුව බැඳි වල එරමිණි ගාල වල ද වියළි ගස්ලබු කොළ කරවල ලෙසද , ගඩොල් කුඩු මිරිස් කුඩු ලෙසද ආදී වශයෙන් විවිධාකාර ආදේශකයන් භාවිතා කොට කඩවල් තනා කළ කෙළි සෙල්ලම් වලින් පෝෂණය වූවාය. එය ප්‍රායෝගිකව අත්හදා බැලූ ඇය ඇතුළු අවට ගම්වාසී ළමුන් ඉරිදා පොළට ගෙන ගොස් විකීණිමට තරගෙට විකුණුම් ද්‍රව්‍ය එක්කාසු කර ගැනීමද දවසේ එක් රාජකාරියක් කොටගෙන තිබිණි. . කජු කාලයට කජුද, දිවුල් ,බෙලි වලින් නොනැවතී තම ශ්‍රම දායකත්වය ඇතුව ගෙවතු වල වගා කල එළවළු පලතුරු බොහෝවිට ළමුන් විසින්ම ඉරිදා පොළෙහි විකුණා ඉන් තම පාසල් අවශ්‍යතා මෙන්ම ගේ දොර අඩුපාඩු පිරිමසා දීමෙහිලාද සැළකිය යුතු දායකත්වයක් සපයන ලදී. වැටුන නාමල් රේණු එකතු කොට වියලා බෙහෙත් බඩු කඩවලට විකිණීමෙන්ද වැටෙන ගොරක ගෙඩි අහුලා වියලා විකුණා ගැනීමෙන්ද කුරුඳු හේන්වල තණකොළ ඇහීමෙන් පසුව මතුවන ගොටුකොළ කඩා පොළට ගොස් විකිණීමෙන්ද ඇය ඇතුළු එකල පාසල් යන වයස් දරුවන් බොහොමයක් ආදයම් උපයා ගන්නා ලදී. දර පොල් කොළ සොයා යෑමත් කුරුඳු හේන් වල කුරුඳු කපන කාළයට තැලෙන්නේ නැති කුරුඳු දර ගෙනවිත් නිසිපිළිවෙලට දර මැසි වල අඩුක් කිරීමත් දිගෑලී කල හරක් ගෙනවිත් ගාල් කිරීමත් , හරකුන්ට තණකොළ කැපීමත් තමන් ඇදි රෙදි පෙරදි සෝදා වියලා ගැනීමත් ඇය කියූ පරිද්දෙන් එකල දරුවන්ට අරුම රාජකාරී නොවීය.
හැල්මේ දුවන අධ්‍යාපන රටාවකට හැඩගැසී අවසන මානසික ආතතියකට ගොදුරු වන වර්තමාන දරුවා හා එදා මෙම දරුවන් සැසදීමට සමීක්ෂණ අනවශ්‍ය වනුයේ අගාදයට යන නොයෙකුත් මානසික ව්‍යාදීන්ගෙන් පෙළෙන දරු පරම්පරාවක ඛේදවාචකය අපට ඇස්පනාපිටම දක්නට සලස්වා ඇති නිසාවෙනි. ඇය මේ ප්‍රායෝගික යොමු වීම් තුලින් දරාගැනීමට , අභියෝගයන්ට මුහුණ දීමට, කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට මෙන්ම ප්‍රශ්ණයක් නිරාකරණය කරගතයුත්තේ කෙසේද යන්න කුඩා කාලය තුලම මනාකොට පුහුණු වන්නට ඇත.
දියුණු යැයි සම්මත බටහිර රටවල් මේ සියල්ල ඔවුන්ට ආවේණික මට්ටමින් අදටත් ප්‍රායෝගිකව යොදාගන්නා අධ්‍යාපන ක්‍රමයක් සකස් කොට ඇති කාළවකවාණුවක අප බිහි කළ යුත්තේ එකල සිටි මෙවන් ආතතියෙන් ප්‍රහීන නිදහස් දරු පරපුරක් නොවේද? සියල්ල වානිජකරණය කොට බිත්ති හතරක උගන්නනවා වෙනුවට මේ භාවිතයන් තුලින් ගමන් කල හැක්නම් කෙතරම් අගනේද.
ගෙවත්තේ වවන එළවළු පලතුරුද වත්තෙහි නොමැතිනම් ගමේ ගොඩේ ඇවිද සොයා ගන්නා ලද කොස්, අටු කොස් , දෙල්, බතල ඇතුළු නොයෙකුත් අල වර්ගද උදෑසනම මාළු කද කරතියන් එන මාමාගේ නැව්ම් මාළු වලින්ද කවදාවත් හිස් නොවූ කොළ මිටක් සහිත සමබර ආහාර වේලද එළහරක් නිසාවෙන්ම ඇයගේ වචන වලින්ම කියතොත් තුන්මුල්ලම පිරෙන්නට බිවූ කිරි වලින්ද ඇය ඇතුළු එදා ගැමි ළමුන් පෝෂණය විය. අද එවන් බිමකම දරුවන් මන්දපෝෂණයට ගොදුරු වීම කාගේ වරදක්ද? අපිට වැරදුණ තැන කොතැනද? ඇගේ කතාව අසාගෙන යද්දී සිතෙනුයේ අපි විසින්ම අපිට වරද්ද ගත් සෙයකි. එදා වුන් අතපය සොලවා කට සෙලවීය. ස්වභාදර්මයේ පහස ලබමින් මනස සුවපත් කරවාලීය.
උදෑසන 4.00 ට ඇහැර රාත්‍රී 7.30ට කුප්පි ලාම්පුව නිවා නින්දට යන්නට පෙර ජාතක කතා සියල්ලන්ටම ඇසෙන ලෙස කියවීමද රටේ තොටේ වූ එදිනෙදා සිදධීන් අළලා ලියා තිබූ කවි කොළ, පොත් , පත්තර කියවීමද ඇගේ දවසේ නිමාව සනිටුවහන් කරණ රාජකාරිය වී තිබුණ එදවස කෙතරම් අර්ථාන්විත වීද. ඔවුන් මුං වැපිරවූයෙන් මුං ලැබීය, තල වැපිරවීමෙන් තල ලැබීය. එය ආඬින්ට පවරා අන්ධයන් සේ අලින්ගේ තරම සොයන්නට අතපත ගාමින් මේ අප යන්නේ කිනම් ගමනක්දැයි අපවම විමසීම වටිනවා නොවෙද?