Breaking News

මොකද්ද මේ ‘තරිඳු අත නොතිබුණු’ මාධ්‍ය හැඳුනුම්පත?

සනත් බාලසූරිය

තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම කියන්නෙ මාධ්‍ය ක්ෂේත්‍රය ගැන අලුත් කතිකාවක් ආරම්භ කරන්න ඇරල දීපු අපූරු දොරටුවක්.
මෙතනදි මං උත්සාහ කරන්නෙ ඒ අතරින් “මාධ්‍ය හැඳුනුම්පත” කියන කාරණේ ගැන සංක්ෂිප්තව අදහසක් දක්වන්න. මේක ඕනෑම සංවාදයකට විවෘතකරල දක්වන සරල අදහස් පෙළගැස්මක්.

තරිඳු අත්අඩංගුවට ගන්න වෙලාවේ ඔහු පොලීසියට මාධ්‍ය හැඳුනුම්පත නොපෙන්වීම ‘නීත්‍යානුකූල වරදක්’ වගේ බහුබූතයක් කට්ටිය කියාගෙන යනවා.
මේක සම්පූර්ණෙන්ම වැරදි අදහසක්.

ඔය කියන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් දෙන හැදුනුම්පත ගැන නේ. මගේ දැනුමේ හැටියට ඒක කිසිම නීත්‍යානුකූලභාවයක් තියෙන එකක් නෙවෙයි. ඒක දෙන්න නිශ්චිත ක්‍රමවේදයකුත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නෑ. තනිකරම අක්‍රමවත් විදියට දෙන, කිසිම නීත්‍යානුකූල බවක් නැති, හිතවත්, ආණ්ඩුගැති මාධ්‍යයක් නම් මාධ්‍යවේදීන් නොවන අනෙක් සේවකයන්ටත් ගන්න පුළුවන් නිකම්ම නිකං කාඩ්එකක්. එයාල අකමැති, විවේචනාත්මක මාධ්‍යයක් නම් සමහර විට ඒ ආයතනයට එකම කාඩ්එකක්වත් නොලැබී යන්න පුළුවන්.
නවමාධ්‍යවලට, වෙබ්මාධ්‍යවලට, නිදහස් මාධ්‍යවලට මේක දෙන්නේ කොහොමද කියන එක ගැන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවවත් හරියට දන්නේ නෑ.

කොච්චර අක්‍රමවත් වුණත්, නිල පිළිගැනීමක් නැතත්, කාලාන්තරයක් තිස්සේ ලබාදීම හා මාධ්‍යවේදීන් කියාගත්තු අය මහා සම්පතක් වගේ හිඟා කකා ඉල්ලගෙන යන නිසා ඒකට යම් නොනිල ‘පිළිගැනීමක්’ ඇවිල්ලා තියෙනවා. ඒත් ඒක අතේ නෑ කියලා කිසිම කෙනෙක් මාධ්‍යවේදියෙක් නොවෙන්නේ නෑ වගේම ඒක අතේ තියෙන හැමකෙනෙක්ම මාධ්‍යවේදියෙක් වෙන්නේත් නෑ. මේකට අනවශ්‍ය පිළිගැනීමක් වලංගු භාවයක් ආවෙත් ජනමාධ්‍යකරණයෙන් නෙවෙයි අයිඩින්ටිය බෙල්ලෙ එල්ලගැනීමෙන් ජනමාධ්‍යවේදීන් වෙන්න දඟලපු අපේම සමහර ‘මාධ්‍යවේදීන්’ හින්ද තමයි‍.
නිකුත්කිරීම ඉතාම අක්‍රමිකයි වගේම මේක තදබල විදියට අවභාවිත වෙන එකක්. අපි කතාවට කියන්නේ ඕක කටු නැති මස් ගන්නයි, නීතිවිරෝධී වැඩක් කරල අහුවුණාම බේරිලා යන්නයි, තමන් මාධ්‍යවේදියෙක් බව රටටම පෙන්නන්නයි පාවිච්චි කරන එකක් කියලා.

කෙනෙක් මාධ්‍යවේදියෙක්ද නැද්ද කියලා තීරණය කරන්නෙ ඔය හැඳුනුම්පතෙන් නම්, ඒකේ තේරුම මේ රටේ මාධ්‍යවේදින් කවුද කියලා තීරණය කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට, ඒ කියන්නෙ ජනමාධ්‍ය අමාත්‍යාංශයට, ඒ කියන්නේ ආණ්ඩුවට බාරදෙනවා කියනඑක නේ. මේක මූලධාර්මිකවම වැරදියි නේ. ආණ්ඩුවක් කොාහොමද ඒ රටේ ජනමාධ්‍යවේදීන් කවුද, එහෙම නොවන්නේ කවුද කියලා තීරණය කරන්නේ? අනිත් අතට අපේ රටේ ජනමාධ්‍යවේදීන් කවුද කියල තීරණය කරනඑක බාරදෙන්න පුළුවන් නල්ලමලේ ආණ්ඩුනේ අපි එදා ඉඳලම පත්කරගෙන තියෙන්න‍ේ!

මාධ්‍යවේදියෙකුට තමන්ගෙ රාජකාරිය කරන්න හැඳුනුම්පතක් අතේ තියෙන්නම ඕනැද?
කොහෙත්ම නෑ. කිසියම් ආයතනයක් නියෝජනය කරනකොට ඒකෙන් දීපු හැඳුනුම්පතක් ළඟ තබාගැනීම හොඳයි. ඒත් පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ හැඳුනුම්පත වගේ ඒක අනිවාර්යයෙන් ළඟ තියාගන්න ඕනැ එකක් කියන එක බහුබූතයක්.
කිසියම් ආකාරයක ‘මාධ්‍ය හැඳුනුම්පතක්’ (බොහෝවිට ආයතනයෙන් නිකුත්කරපු හෝ අදාළ අවස්ථාව ආවරණය කිරීම සඳහාම එහි සංවිධායකයන්/බලධාරීන් විසින් නිකුත් කරපු) අවශ්‍ය වෙන්නේ සංවෘත රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, විශේෂ නියෝජිත සමුළු වගේ නිල මාධ්‍ය ආවරණවලට පමණක් විවෘත වැඩවලට හා යුදගැටුම් හා සන්නද්ධ කැරලි වගේ අවස්ථා වාර්තාකරණය වැනි සුවිශේෂ අවස්ථාවලදී යි. එහෙම නැතුව පොලීසිය ප්‍රසිද්ධියේ මහපාරවල්වල මිනිස්සුන්ට එලව එලවා ගහන ඒවා වීඩියෝ කරන්න හැඳුනුම්ප් කරේ එල්ලන් යන්න ඕනෑ කියල තියෙන්නෙ මොන නීතිපොතේද?

අනිත් වැදත්ම දේ තමයි මහජන බදුමුදලින් නඩත්තු වෙන ආයතනවල රාජකාරි කරන්නන් ප්‍රසිද්ධ ස්ථානවල සිදුකරන නීතිවිරෝධී ක්‍රියා, අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වගේ දේවල් වීඩියෝ කරන්න, පින්තූර ගන්න, ඒවා ගැන ප්‍රචණ්ඩත්වයෙන් තොරව හා කැළඹීම්වලට පෙළඹවීමෙන් තොරව නිදහසේ තම අදහස් ප්‍රකාශ කරන්න කවුරුහරි මාධ්‍යවේදියෙක් වෙන්න අවශ්‍ය නෑ. ඒකට ඕනෑම පුරවැසියෙකුට අයිතියක් තියෙනවා.

මාධ්‍යවේදීන්ට කියලා මොන රටකවත් මොන ව්‍යවස්ථා ප්‍රතිපාදනයකින්වත් අමුතු අයිතියක් දීල නෑ. ඔවුන්ටත් ඒ අයිතිය ලැබෙන්නේ සාමාන්‍ය පුරවැසියාට තියෙන තොරතුරු දැනගැනීමේ හා අදහස් ප්‍රකාශකිරීමේ මූලික මානව අයිතිවාසිකමෙන්. ඒ නිසා මාධ්‍යවේදියෙකුට ප්‍රසිද්ධ අවස්ථාවක් ආවරණය කරන්න තියෙන අයිතිවාසිකම ම හැම පුරවැසියෙකුටම තියෙනවා. ඇත්තම කිව්වොත් අදහස් ප්‍රකාශ කිරීමේ, ඒ කියන්නේ තොරතුරු එක්රැස් කරලා ඒවා ප්‍රකාශයට පත්කිරීමේ අයිතිය තියෙන්නේ ජනමාධයවේදියාට නෙවෙයි‍. පුරවැසියාටයි. ඒ අයිතිය ජනමාධ්‍යවේදියාට ලැබෙන්නෙත් පුරවැසියාගෙන්‍. එක අතකින් ඔහුත් පුරවැසියෙක් නිසා‍. අනිත් අතින් මාධ්‍යකරණය කියනඑක පත්තර ටීවී රේඩියෝ වගේ සීමිත අවකාශයකට සීමාවෙලා තිබුණු යුගයේ හැමෝටම අදහස් ප්‍රකාශ කරන්න අවකාශයක් නැති නිසා පුරවැසියා වෙනුවෙන් ඒ අයිතිය ක්‍රියාත්මක තලයට ගෙනඑන්න පුරවැසි නියෝජිතයකුගේ කාර්යය ජනමාධ්‍ය විසින් පවරාගත් නිසා‍. ජනමාධ්‍යවේදීන් ඒක අර්ථදක්වගන්නවා ‘පුරවැසි එකඟත්වයෙන් සිදුකළ පවරාගැනීමක්’ කියලා.

ඒත් අපි මේ ඉන්න සමාජමාධ්‍ය යුගයේ මේක කණපිට හැරෙමින් තමයි එන්න‍ේ. ඉතින් මේ යුගයේදීත් “අනේ එයා මාධ්‍යවේදියෙක් නං හැඳුනුම්පත බෙල්ලෙ එල්ලගෙන පොලීසියෙන් ගුටිදෙන ඒවා වීඩියෝ කරන්න ඕනැනෙ” කියන අය යවන්න වෙන්නේ ජනමාධ්‍ය කටුගෙට‍.

මේ ගැන තවත් පැතිවල අදහස්, තොරතුරු හා මතවාද එකතුකළ හැකියි කියලා දැනට මතක්වෙන කිහිප දෙනෙක් මේකට ටැග්කරනවා‍. මගේ අදහස්වල ලංකාවේ සන්දර්භයට අදාළව යම් යාවත්කාලීන නොවීමක්, තාක්ෂණික වරදක්, අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් පෙන්වලා දෙන්න ඔවුන්ට පුළුවන්.

සනත් බාලසුරිය

 

 

 

 

 


leave a reply