ඉතිහාසයේ කිසිඳු කාලයකට වඩා මේ වන විට විශ්වවිද්‍යාල පද්ධතිය සිය දේශපාලන න්‍යාය පත්‍රයට යට කිරීමට හා මිලිටරීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. එය සිදු කරනු ලබන්නේ වසංගත තත්ත්වය පාවිච්චි කරමින් විශ්වවිද්‍යාල වසා දමා තිබෙන තත්ත්වයක් තුළයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, සිසුන් හා අනධ්‍යන කාර්යමණ්ඩලයට හෝ ජනතාවට මෙම ක්‍රියාවලීන් සම්බන්ධ කිසිඳු සංවාදයකට හෝ සාකච්ඡාවකට ඉඩක් නොතබා ඉතා නින්දිත ලෙස මෙම ක්‍රියාවන් සිදු වේ. පසුගිය කාලය තුළ විශ්වවිද්‍යාල කුලපතිවරුන්, උපකුලපතිවරුන් පත් කිරීමේ ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේදී ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙල ඉතා හොඳින් පැහැදිලි වේ.
2020 මැයි 04 දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් නිකුත් කළ 20/2020 චක්‍රලේකය තුළින් එතෙක් විශ්වවිද්‍යාලවලට උපකුලපතිවරුන් පත් කිරීම සඳහා තිබූ ක්‍රමවේදය වෙනස් කරන ලදී. තිබුණු ක්‍රමවේදය වන්නේ පාලක සභාව තුළ ඡන්ද විමසීමකට ලක් කොට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයට අයදුම් කළ නම් අතුරින් තුනක් තෝරා ජනපතිට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව උපකුලපති පත් කිරීම ජනපති විසින් සිදු කළ ද ජනපතිට නම් නිර්දේශ කිරීමේ පූර්ණ බලතල විශ්වවිද්‍යාල පාලක සභාවට හිමි විය. මෙම ක්‍රමවේදය මගින් විශ්වවිද්‍යාල පරිපාලනය පිළිබඳ යම් සාපේක්ෂ මට්ටමේ ස්වාධීනත්වයක් හෝ ආරක්ෂා වී තිබිණි. නමුත් 20/2020 චක්‍රලේඛයට අනුව පාලක සභාව සතු වූ නම් නිර්දේශ කිරීමේ බලතලත් ජනපති යටතට ගෙන තිබේ. එහිදී සිදු කෙරෙන්නේ විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ ස්වාධිකාරය ඉක්මවා යන පරිදි පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමයි. එම පස් දෙනාගෙන් තිදෙනෙක් පාලක සභාවට පිටතින් පත් කරන අතර උපකුලපති ධූරය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත් අතුරින් ලකුණු දීමේ පටිපාටියක් අනුව තෝරාගත් නම් පහක් නැවත පාලක සභාවට ඉදිරිපත් කරයි. පාලක සභාව ද එම තෝරා දුන් නම් අතුරින් නැවත ලකුණු ලබාදීමේ පටිපාටියක් අනුව නම් තුනක් නිර්දේශ කොට ජනපතිට යොමු කරයි. මේ කියන ලකුණු දීමේ පටිපාටිය කිසිඳු විනිවිදභාවයකින් යුතු එකක් හෝ නැවත ප්‍රශ්න කළ හැකි ක්‍රමවේදයක් නොවේ. මෙම නව ක්‍රමවේදය මගින් සිදුව තිබෙන්නේ උපකුලපතිවරයා පත් කිරීමට අදාළව නම් නිර්දේශ කිරීමට පාලක සභාවට තිබූ බලතල උදුරාගෙන එය ද දේශපාලන අධිකාරිය යටතට ගැනීමයි. ඒ අනුව උපකුලපතිවරයෙකු පත් කිරීම සඳහා නම් නිර්දේශ කිරීමත්, උපකුලපති පත් කිරීමත් දෙකම ජනපති යටතට ගෙන තිබේ.
පසුගිය කාල සීමාව තුල විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති පත් කිරීමට අදාළව පාලක සභාව මඟින් ලබාදුන් නිර්දේශ ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා වෙනත් නම් කිහිපයක් යෝජනා කරන ලෙස නැවත පාලක සභාව වෙත දන්වා තිබිණ. එම තීරණයට එරෙහිව ආචාර්යවරුන්, සිසුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැඩි විරෝධයක් පල කිරීම හේතුවෙන් එම තීරණය හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය.
රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත්කිරීමට ඉදිරිපත් වූ නාම යෝජනා සඳහා හමුදා නිලධාරියෙකු යෝජනා වන්නේද ආණ්ඩුවේ උමනාව මතය. එයට ද විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් බරපතල විරෝධයක් මේ වන විටත් එල්ල වෙමින් තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී තනතුර සඳහා විශ්වවිද්‍යාලයේ වසර ගණනාවක් සේවය කළ, සුදුසුකම් සහිත නිලධාරීන් සිටියදී හමුදා නිලධාරියෙකු පත් කිරීමට ආණ්ඩුව උත්සාහ කළ අතර බරපතල විරෝධයක් එල්ල වීම හේතුවෙන් එම තීරණය ද හකුලා ගැනීමට ආණ්ඩුවට සිදු විය.
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ ද පසුගිය කාලයක් පුරා උපකුලපති වෙනුවට පත් කර සිටියේ නිසි බලධාරියෙකු ලෙස නම් කළ හමුදා නිලධාරියෙකි.
මෙලෙස විශ්වවිද්‍යාල පරිපාලනය මෙහෙයවන උපකුලපති, ලේඛකාධිකාරී තනතුරු පත් කිරීම ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව ක්‍රියාත්මක කිරීම හා විශ්වවිද්‍යාල මිලිටරීකරණයට එරෙහිව විරෝධයක් ගොඩනැගෙමින් තිබියදී මෙරට ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ විශ්වවිද්‍යාල දෙකක කුලපතිවරුන් පත් කෙරිණ.
කුලපති ධූරය යනු ගරු කටයුතු තනතුරක් වන අතර එයට විශ්වවිද්‍යාල තුළ කිසිඳු පරිපාලනමය බලතලයක් හිමි නොවේ. නමුත් උපාධි ප්‍රධානෝත්සවය වැනි වැදගත් උත්සවයක මුලසුන දැරීමේ වගකීම ඇත්තේ කුලපති ධූරය දරණ තැනැත්තාටයි. එම නිසා එම ධුරය යම් ශාස්ත්‍රීය ප්‍රවීණත්වයක් සහ සමාජ පිළිගැනීමක් සහිත පුද්ගලයින්ට ලබාදීම සම්ප්‍රදායක් ලෙස පවතින නමුත් කොළඹ හා කැලණිය විශ්වවිද්‍යාලවල කුලපතිවරුන් පත් කිරීමේදී එකී සම්ප්‍රදායන් කුණු කූඩයට විසි කර අදාළ පත් කිරීම් සඳහා ආණ්ඩුවට වන්දිභට්ටකම් කරන්නන් පත් කිරීමට කටයුතු කිරීම පිළිකුල් සහගතය. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත් කෙරිණ. මුරුත්තෙට්ටුවේ හිමි මෙම ආණ්ඩුව බලයට ගෙන ඒමට නිර්ලජ්ජිත ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටි හිමි නමකි.
කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස කැලණිය රජ මහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පත් කර ඇත. මෙම හිමි නම පසුගිය මැතිවරණ කාල සීමාවේදී ප්‍රචාරණ කටයුතු නතර කර තිබූ මොහොතක වත්මන් ආණ්ඩුව වෙනුවෙන් මැතිවරණ ප්‍රචාර කටයුතු සිදු කිරීම සඳහා කැලණි ගඟේ නාගයෙක් විසින් ගෙන ආ බව පවසමින් ධාතු ප්‍රදර්ශන පැවැත්වූ හිමි නමකි. ගරු කටයුතු තනතුරක් ආණ්ඩුවේ වන්දිභට්ටයන්ට දොළ පිදේනියක් බවට පත් කර තිබීම ඛේදනීය තත්ත්වයකි. පරිපාලන බලතල කිසිවක් නොමැති වූවද කුලපති ධූරයට දේශපාලන වන්දිභටට්යන් පත් කිරීම සම්බන්ධයෙන් අපට නිහඬව සිටිය නොහැක. කුලපති, උපකුලපති, ලේඛකාධිකාරී යන තනතුරු සියල්ල ජනධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ඍජු මැදිහත්වීමෙන් පත් කිරීම ඉතා බරපතල තත්ත්වයකි. අත්තනෝමතික ලෙස විශ්වවිද්‍යාල පද්ධතිය ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත්‍රයට යට කිරීමකි.
විශ්වදවි්‍යාල පරිපාලන නිලධාරීන් ලෙස මිලිටරි නිලධාරීන් පත් කිරීමත් මේ හා සමගාමීව ක්‍රියාත්මක කරමින් සිටියි. ඉහත ද දැක්වූ පරිදි ගම්පහ වික්‍රමාරච්චි, සබරගමුව සරසවිවල අත්දැකීම් මගිනුත් මේ මොහොතේත් රුහුණ විශ්වවිද්‍යාලයට මිලිටරි නිලධාරියෙකු උපකුලපති ලෙස පත් කිරීමට දරණ උත්සාහය තුළිනුත් ඒ බව පැහැදිලි වෙයි. විශ්වවිද්‍යාල තුළ රාජ්‍ය ඔත්තු සේවා යෙදවීමත්, හීලෑ සරසවි ප්‍රජාවක් නිර්මාණය කරගැනීම වෙනුවෙන් මිලිටරිමය ආකෘතීන් විශ්වවිද්‍යාල තුළ අත්හදා බැලීමත් (රුහුණ, කැලණිය වැනි) මේ වන විටත් ක්‍රියාත්මක කරමින් තිබෙයි. මෙම ක්‍රියාවලියට අප දැඩිව විරෝධය පල කරන අතර විශ්වවිද්‍යාල ප්‍රජාව, ප්‍රතිශීලීන් හා මෙරට ජනතාවගෙන් අප ඉල්ලා සිටිනුයේ මෙම අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයට එරෙහිව එක්ව හඬ නැගීමට පෙළගැසෙන ලෙසයි.
උදාර සඳරුවන්
වැඩ බලන කැදවුම්කරු
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය