Breaking News

පිළිකා රෝගීන් කෙරෙහි දක්වන අවධානය දුප්පත් රටවල 30% ක් සංවර්ධිත රටවල 90% ක් 

හිල්මි සුපුන් 

ලංකාවේ පිළිකා රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව පසුගිය දවස් වල වාර්තා පළ වෙලා තිබුණා. මේ වාර්තාවලට අනුව දිනකට  අලුතින් පිළිකා රෝගීන් 64  පමණ වාර්තා වන බවත්  දිනකට මරණ තිස් අටක් පමණ සිදුවෙන බව  වාර්තා හෙළිදරව් කරනවා.  මේ වර්ධන අගය 2018 වාර්තාවලට සාපේක්ෂව  දෙගුණයක වැඩිවීමක්. පිළිකා වර්ධනයට හේතුව ලෙස වෛද්‍යවරු ප්‍රකාශ කරන්නේ සෞඛ්‍යාරක්ෂිත නොවන පුරුදු  වැඩිපුරම බලපාන බවයි.

මොනවද මේ සෞඛ්‍යාරක්ෂිත නොවන පුරුදු. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සෞඛ්‍යයට අහිතකර ආහාර  රටාවන්, මත්ද්‍රව්‍ය භාවිතය , මත්පැන් භාවිතය ,  දුම් පානය සහ සමහර සුවකළ හැකි රෝග  සඳහා ප්‍රතිකාර නොගැනීම  මගින් එම රෝග  නිරතුරුව පැවතීම හේතු කොටගෙන පිළිකා ඇතිවීමට ඉඩකඩක් තියෙනවා.

 2018 වසරේ වාර්තා වලට අනුව  විවිධ පිළිකා තත්ත්වයන් හේතුකොට ගෙන මිලියන 9.6 ක්  මරණයට පත් වෙලා තිබෙනවා. ගෝලීය මරණ  දර්ශකයට අනුව  සිදුවන සෑම මරණ 6 න් 1 පිලිකා හේතු කොට ගෙන සිදුවන මරණ.  මේ අතර වැදගත්ම හෙළිදරව්ව වන්නේ  පිලිකා රෝගය හේතු කොට ගෙන සිදුවන මරණ වලින් 70% කට වැඩි ප්‍රමාණයක්  දුප්පත් රටවලින් වාර්තා වීමයි. මෙලෙස දුප්පත් රටවල පිළිකා රෝගීන්ගේ මරණ ප්‍රතිශතය ඉහළ යෑමට හේතු වන ප්‍රධාන කරුණ වන්නේ  පිළිකා රෝහල් සඳහා රාජ්‍ය මැදිහත්වීමේ දුබලතාව යයි. රෝගීන්ට නිසි ආකාරයට නිසි කලට  බෙහෙත් ලබා නොදීම  හේතුවෙන් රෝගය මර්දනය කිරීමට ඇති ඉඩකඩ අවම වීම ,පිළිකා රෝගීන් කෙරෙහි අඩු ආදායම්ලාභී රටවල අවධානය 30% ක් වන අතර  එය සංවර්ධිත රටවල 90% ක ඉහල අගයක් ගන්නවා. සාපේක්ෂව මරණ ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා  පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් පද්ධතිය වෙත රාජ්‍ය මැදිහත්වීම   අත්‍යවශ්‍ය ධකයක් බවට පත්වෙලා තිබෙනවා.

2020 යුරෝපා සංගමයේ රටවල්  වල පිළිකා මරණ පිළිබඳ මිලාන් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය  Carlo La Vecchia විසින් සම්බන්ධීකරණය කරන ලද පර්යේෂන කණ්ඩායම් වාර්තාවට අනුව 2015 සිට මරණ 7% කින් අඩුවී ඇති බවයි. 2015 සිට 2020 දක්වා කාලය තුළ සියලුම පිළිකා සඳහා මරණ අනුපාතය පිරිමින්ගෙන් 5% කින් සහ කාන්තාවන්ගෙන් 4% කින් පහත වැටෙනු ඇතැයි පර්යේෂකයෝ අනාවැකි පළ කරති.

1988 දී නිරීක්ෂණය කළ ඉහළම පිළිකා මරණ හා සසඳන විට, 1989 සිට 2020 දක්වා වසර 32 ක කාලය තුළ යුරෝපා සංගමය තුළ පිළිකා මරණ මිලියන 5.7 කට වඩා වළක්වා ඇති බවයි . 2020 දී පමණක් පිළිකා මරණ 406,000 ක් වළක්වා ගැනීමට අපේක්ෂා කෙරේ  (පිරිමින්ගෙන් 282,000 ක් සහ කාන්තාවන් 124,000 ක්).

ගෙවුණු දශක පහට වැඩි කාලය තුළ ලංකාවේ පිළිකා රෝගීන් වර්ධනය කිරීමට ඉවහල් වෙච්ච ප්‍රධානම කරුණ තමයි ආහාර රටා  වෙනස්වීම සහ කෘෂිකර්මාන්තය තුළ අධික  රසායනික පොහොර පාවිච්චිය. පාලනයකින් තොරව සිදුකරන මේ රසායනික පාවිච්චිය නිසා පිළිකාව සේම වකුගඩු  රෝගය ද ඉතා දරුණු ලෙස ලංකාව තුළ පැතිර යමින් තිබෙනවා. ඉන් සිදුවන මරණ ප්‍රමාණය ද දිනපතා වැඩි යමින් පවතිනවා. මේ තත්වයන් තුළ ලංකාවේ ඉදිරි අනාගතය  දරුණු ඛේදවාචකයක පෙර නිමිති  අප හමුවට ගෙන එමින් තිබෙනවා.

leave a reply