Breaking News

වසර 200ක මූලයන් සොයා යන පා ගමන

මෙරට කඳුකරයේ වතුවල සේවය සඳහා මීට වසර දෙසීයකට පෙර මෙරටට ගෙන එන ලද දෙමළ ජනයා කඳුකරයට රැගෙන ආ මාර්ගය ඔස්සේ පා ගමනක් සංවිධානය කර තිබෙනවා. ‘මූලයන් සොයමින් අයිතීන් දිනාගමු (මාන්ඹුමිගු මලෛයහ මක්කල්)’ ලෙස නම් කර ඇති මෙම පා ගමන 1823 දී පළමු වතු කම්කරු පිරිස ගෙන තලෙයිමන්නාරමෙන් ආරම්භ විය. පසුගිය 28වනදා ආරම්භ වූ මෙම පා ගමන දින 16ක් අවසානයේ මාතලේ ප්‍රදේශයෙන් අවසන් වීමට නියමිතයි.

“1823 දී මෙරටට මුලින්ම රැගෙන එන අපේ මුල් පරම්පරාවේ ගැහැණුන් සහ පිරිමින් කණ්ඩායම් පැමිණ තිබුණේ තලෙයිමන්නාරමෙන්. ඒ දුෂ්කර ගමන අපි යළිත් සොයමින් සිටිනවා. වසර ගණනාවක් මුළුල්ලෙහි දහස් සංඛ්‍යාත පිරිසක් මන්නාරමට ගොඩබැස එතැන් සිට මාතලේ දක්වා අනතුරුදායක පා ගමනින් තමයි ගිහිං තියෙන්නේ. ඒ මුල් පරම්පරාවේ අය විවිධ රෝග විඳදරා ගනිමින්, අමු කැලෑ එළිපෙහෙළි කරමින්, වන සතුන්ට නිර්භයව මුහුණදෙමින් ගමන් කර තිබුණා. බොහෝ දෙනෙක්, ඇතැම් කණ්ඩායම්වල සීයට හතළිහකට වඩා වැඩි දෙනෙක් මේ දුෂ්කර ගමන නිසා මිය ගිහිං. ගමන අතර මඟදී මියගිය අගෙන් සමහර දෙනෙක්ගේ සිරුරු භූමදානය කරලා. තව දෙනෙක්ගේ සිරුරු කැලෑවට අතහැරලා. අදින් අවුරුදු දෙසියයකට පෙර මෙම දුෂ්කර මඟ පියමං කළ අපේ මුල්ම පරම්පරාව පිළිබඳ ආවර්ජනයකර, ඔවුන් සමඟ සම්බන්ධවන එක්තරා විදිහක වන්දනා ගමනක් මේ පා ගමන. මේ ගමනට අප සමඟ එක්වන ලෙස අපි හැම කෙනෙකුටම ආරාධනා කරනවා.

මේ පා ගමනේ යෙදෙමින් අපි කියන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් හා සමාන පුරවැසියන් ලෙස අපිව පිළිගන්නා ලෙසයි. මලෛයහ දෙමළ ප්‍රජාව විදිහට මෙයට වසර දෙසීයකට පෙර මෙරටට පැමිණි දා සිට අපේ පැවැත්ම සඳහා අරගලයක නිරතවීමට සිදුවී තිබෙනවා. ශ්‍රී ලංකාවේ වෙනම සහ මුලික ජන කණ්ඩායමක් ලෙස පිළිගනිමින් සමාන සැලකීමක් ලබාදෙන ලෙස ඉල්ලා වරින්වර බලයට පත්වූ රජයන් වෙත ඉදිරිපත් කළ අඛණ්ඩ ආයාචනාවලින් අපගේ ඉල්ලීම් සමන්විත යි. මෙය අනෙකුත් ප්‍රධාන ප්‍රජාවන් හා සමානව ස්වාධීන මේ රටේම ජන කණ්ඩායමක් ලෙස අනන්‍යතාවක් සඳහා වන අරගලය ප්‍රතිරාවයක්.
මලෛයහ දෙමළ ප්‍රජාවගේ ඉතිහාසය, අරගල, ජයග්‍රහණ, ඔවුන්ගේ දායකත්වය, වත්මන් සමාජ,ආර්ථික හා දේශපාලන තත්ත්වය සහ අභිලාෂයන් පිළිබඳව සිංහල, ශ්‍රී ලාංකික දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් සහෝදර ජනතාව අතර මූලික අවබෝධයක් ඇති කිරීම මෙම ගමනේ අරමුණ යි.

සියවස් දෙකක කාලයක් පුරා මලෛයහ දෙමළ ගැහැණුන් හා පිරිමින් විසින් ලබාදුන් දායකත්වය පිළිබඳ සමාජය වෙත ඇගයීම ප්‍රදර්ශනය කිරීම සඳහාත්, මලෛයහ දෙමළ ප්‍රජාව වෙත සහයෝගීතාව දක්වමින් අපේ හඬ එක් කිරීම සඳහාත්, අප සමඟ එක්ව ඇවිදීමට අපි සෙසු සහෝදර ජනතාවට ආරාධනා කරනවා. එක්කෝ මේ දුෂ්කර මුළු ගමනම අපිත් එක්ක එන්න. එහෙමත් නැත්නම් කිලෝමීටර කිහිපයක්, සම්පූර්ණ දවසක් හෝ අපිත් සමඟ මේ ගමනට එකතු වෙන්න” යි ඔවුන් ආරාධනා කරනවා.

මුළු දුර කිලෝ මීටර් 288ක් ඉක්මවන මෙම පාගමන අවසන් කිරීමට සැලසුම් කර ඇත්තේ අගෝස්තු 12 මාතලේ දී යි.
මෙම පා ගමන පුරා විවිධ සංස්කෘතික ක්‍රියාකාරක, සාකච්ඡා හමුවී ආදිය පැවැත්වෙන බව ‘මාන්ඹුමිගු මලෛයහ මක්කල්’ සංවිධායක කමිටුව පවසනවා.

leave a reply