Breaking News

ශ්‍රී ලංකාවට අවශ්‍ය රැඩිකල් ස්ත්‍රින්ය

අරුණි සමරකොන්

ශ්‍රී ලංකාව තුල ස්ත්‍රී හිංසනය පිළිබද ආසන්නම  සිදුවීම මා දුටුවේ, බටහිර ඉවුරේ දාර්ශනික පිරිමියෙකු විසින් , ස්ත්‍රියක් වෙත කරන සයිබර් ප්‍රචණ්ඩත්ව ප්‍රකාශනය වේ. එම සිදුවීමට ප්‍රථම මාගේ මිතුරියක් වූ නදී ජයවීර එවන ලද පණිවිඩයක වුයේ ධරණී නම් සිංහල පුවත් පතේ වූ ලිපියකි. එය ජිවන කුසලතා සහ පෞරුෂවර්ධන උපදේශිකාවක වන අනිෂා ජයකොඩි විසින් රචනා කර තිබුණි. එහි සිරස්තලය වුයේ, රැඩිකල් ස්ත්‍රී බැලු බැල්මට ලස්සනයි – හැබැයි ටිකක් බලන් ඉන්නකොට අප්පිරියයි (ධරණී , ජුනි 30 බදාදා ප්‍රකාශනය, පිටුව 15).

මුලින්ම කිවයුතු කරුණ නම්, කිසිදු මනුෂ්‍යයෙක් ක්‍රියාව හේතුවෙන් මිස , දුෂ්‍යමාන වන ආකාරය මත අප්‍රිය නොවන බවය. මෙම ලිපිය වෙත යොදා තිබෙන රුපකය තුල වන්නේ, පා පැදියක් මත සිටින , දුමක් පිටකරන ස්ත්‍රී රූපයකි. මුලින්ම අනිෂා වටහා ගත යුතු කරුණ නම්, මාරාන්තික covid 19 වසංගතය තුලදී , ජන ඝාතනයට ඉඩ දෙමින් , අධිසුඛෝපබෝගී රථවාහන ණයට ගෙන්වීමට කටයුතු කරන , රුවන්වැලි සෑය ඉදිරියේ දී රාජ්‍ය පාලනයට පොරොන්දු වූ , පොදුජන පෙරමුණු ආණ්ඩුවේ ප්‍රධානින් ගේ ලෝකයේ දී මෙන් නොව, පාපැදිය දියණු රාජ්‍යන් තුල ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යක් වී තිබෙන බවය. අනිෂා ඔබ යන්න නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් නගරයට. එහි ජනප්‍රිය ප්‍රවාහන ක්‍රමයක් වනුයේ පාපැදිය වේ. ශ්‍රී ලංකාවේ සිටි නෙදර්ලන්තතානාපතිනිය ද , පාපැදිය ලංකාවේ ප්‍රචලිත කිරීම වෙනුවෙන් කටයුතු කල බවද ඔබට කියවිය හැකිය (http://www.colombopage.com/archive_19A/Jul06_1562375269CH.php).

එසේම මීළඟ කරුණ නම්, ස්ත්‍රිය යනු කවුරුන්ද ? ස්ත්‍රීට ස්ත්‍රීන් වීම නිසා ගැටලුවක් වේද ? Sheila Rowbotham තම Dreams and Dilemmas (1968)හි මෙසේ පවසයි . “රීනියා ස්ත්‍රීන් ගේ ප්‍රශ්නය යනුම සමස්ථ ජනයාගේම ප්‍රශ්නය බවය. පවතින සමාජ සම්බන්දතා සම්පුර්ණයෙන් ම පරිනාමනය කිරීම හේතුවෙන්, මෙම ප්‍රශ්නයේ මුලධර්ම වෙනස් වේ යන පහසු කියවීමක් ලෙස මෙය සැලකිය නොහැකිය. ස්ත්‍රී ගැටලුව හරහා ගොඩ නගනු ලබනුයේ නව ස්ත්‍රියක් පමණක් නොවේ. එය නව පිරිමියෙක් ද නිර්මාණය කරයි ” (පිටුව 01). ස්ත්‍රිය යනු පවතින ක්‍රමය එලෙසම පවත්වා ගනිමින් ද එහි යම් යම් සංශෝධන හරහා තව දුරටත් ස්ත්‍රීන් වස්තුකරණය වෙමින් පිතෘ මුලික සමාජය පුනර්නිෂ්පාදනය කරන පිරිසකි ලෙස අනිෂා ඔබ කරන යෝජනාව මම ප්‍රතික්ෂේප කරමි. එයින් තහවුරුවන්නේ පිතෘමුලික සමාජයක වස්තුකරණය වූ පුරුෂ සහ ස්ත්‍රී ලිංග හිමි ජීවී කොටසක් පමණක් බව මාගේ කියවීම වේ .

“ගැහැණු කියන්නේ උපතින්ම මැජික්කාරයෝද?” මැජික් යනු දෑස් බැඳුමක් බවත් ගැහැණු කියන්නේ උපතින්ම මනුෂ්‍යන් බවත්, පුරුෂමුලික සමාජයක ඇයගේ ශරීරය සහ ශ්‍රමය සූරාකන බවත් මම යෝජනා කරමි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ඩොලර් උපයන මාධ්‍යයේ ශ්‍රම හිමි ඇඟලුම් සහ තේ දළු කර්මාන්තයේ බහුතර ශ්‍රමය නියෝජනය කරනුයේ ස්ත්‍රීන් වේ. ඔවුන්ගේ ශ්‍රමයෙන් රටේ ආර්ථිකය දුවන බවත්, අවම අවශයෙන් මෙම ස්ත්‍රීන් ගේ මුලික අවශ්‍යතාවත් නොසලකා හරින පුරුශාත්ම රාජ්‍යයක සිංහල – බෞද්ධ තවකාලික මැජික් විනෝදය සමඟ අපට ජිවත් වීමට සිදුවී තිබේ.

දරුවන් නිෂ්පාදනය කිරීම ස්ත්‍රීන් ගේ වගකීමද ? අනිෂා ඔබ Angela Davis ගැන අසා තිබේද ? ඇයගේ Women , Race and Class (1981) පොතේ එක් ආඛ්‍යානයක් ඔබ සමඟ බෙදා ගැනීමට මා කැමතිය. ඇමරිකානු භුමිය තුල වූ කපු හේනෙහි , නිග්‍රෝ ජාතික වහල් සේවිකාවට දරුවා වැදීම ට සිදුවුයේ , සැවොම ඉදිරියේ කිසිදු ආවරණයක් ද නොමැතිවය. දරුවන් වැදීමට ගත වූ කාලය වෙනුවෙන් ඇය තව දුරටත් එදින ශ්‍රමය වැගිරීම අනිවාර්ය විය. එසේම ඔබ කුඩා කල හෝ Harriet Beecher Stoweගේ Uncle Tom’s Cabin (ටොම් මාමාගේ කුටිය ) කියවා තිබේද? එහි ද අඩංගු වන්නේ, නිග්‍රෝ ජාතික වහල් දරුවන් වැදීම ,එම දරුවන් තමන්ගේ ශ්‍රම වස්තුවක් ලෙස සැලකීම සමඟ බැදෙන මානුෂික අර්බුධය ගැනය. මේ සියලු අඛ්යානයන් උපුටමින් මම තිරසාරව කියා සිටිනුයේ, දරුවන් වැදීම සහ එහි තීරයන පිළිබද වරණය තව දුරටත් වහල් සමාජයේ දී මෙන් නොවිය යුතු බවට, ශිෂ්ටත්වයට පත් වන මනුෂ්‍යා තීරණය කර තිබෙන බවය. එය ස්ත්‍රිය ගේ කැමැත්ත වන අතර ඇය දරුවන් නොවදා, ජීවිතය විදීමට තීරණය කරන්නේ නම්, එයද ඇයගේ වරණය වේ. ඒ වෙනුවෙන් ඇයට හිමි අයිතිය කිසිවෙකුට අභියෝගයට ලක්කළ නොහැකිය.

ඔබ දන්නවා ඇත යන උපකල්පනයේ සිට පවසන කරුණ නම්, දරුවකු වැදීම වෙනුවෙන් ස්ත්‍රිය තම ජීවිතය සහ සෞඛ්‍ය පරදුතැබීමය. ප්‍රසූතිශල්‍යකර්මය හරහා දරුවන් ප්‍රසුත කල මාගේ බංගලාදේශ මිතුරිය පැවසුවේ, එම වේදනාව හේතුවෙන් වසර 08 කට පසුවද තමන් හට කොන්දේ දැඩි වේදනාවක් ඇති බවය. එසේම මගේ මවගේ කුස මතුපිට පවතින කැළැල් පිලිබඳ ඇය පැවසුවේ, ගර්භනී සමයේ දී කුසේ හම ඇදෙන විට නියපොතු මගින් සෙමින් සිරීමේ ප්‍රතිපලයක් ලෙස එය පවතින බවය. එසේම, මගේ මවගේ භාෂාවෙන්ම පැවසුවහොත් “මා ප්‍රසුත කිරීමේ දී ඇතිවුන වේදනාවෙන් පොලවේ පස් කෑ”බවය . එසේම මට මුණ ගැසුණු ආඛ්‍යාන අතර මා කම්පිත කල තවත් අවස්තාවක් ඔබ සමඟ බෙදාගමි .එම ස්ත්‍රිය එක්තරා විශ්ව විද්‍යාලයක බාහිර කථිකාචාර්ය ලෙස කටයුතු කිරීම හේතුවෙන් ගර්භනී සමය තුල නිරන්තර දුරගමන් කිරීමට සිදුවිය. එහි ප්‍රතිපලය වුයේ, නොමේරු ළදරු උපත සහ මරණය වේ. එහි කම්පනය ඇය ගේ හදවත තුල සදාකාලිකව රැදී තිබේ.

එසේ වේදනාවක් දරමින් වදන දරුවන් අවසානයේ දී පියාගේ උරුමයක් සහිත වස්තුවක් වේ. ශ්‍රමික ගල්බොඩඅත්තේ ඤාණ සාර හෝ අතුරලියේ රතන මෙම වේදනාවන් පිළිබද සංවේදී නොවන හෙයින් ඔවුන් ස්ත්‍රීන් දරුවන් හඳන මැෂින් විය යුතු බවට ප්‍රකාශ කරන ලදී.

එසේම නොවිදිනා දුක් විද වදන දරුවන් , මහමඟදී මරා දැමීමට, මුදල් ලබාගැනීමට පැහැර ගත් පසු මරා මුහුදට දමන විට , අතුරුදහන් කිරීමට සහ ආයුධ පෙන්වීමට ගොස් වෙඩි තැබීමකට ලක්වන විට , මෙම ස්ත්‍රීන්, රාජ්‍යයේ එම අහිමි කිරීමේ වේදනාව ද දරා ගනිමින් යුක්තිය වෙනුවෙන් සටන්කලයුතු වේ .

ලිපිය අවසන් කිරීමට මම මෙසේ ලියා තබමි. මේ මොහොතේ ශ්‍රී ලංකාවට ඕනේ රැඩිකල් ස්ත්‍රීන් ම පමණකි. මන්දයත් රැඩිකල් ස්ත්‍රීන් යනු , බලහත්කාර යුද්ධ සහ මාරාන්තික වසන්ඝත හේතුවෙන් වන ජන ඝාතන ප්‍රශ්න කිරීමනින් නව දේශපාලනයක් සොයන පිරිස වේ. ඔවුන් ආකෘතිගත කිරීම පිළිගැනීමට සුදානම් නොමැත. එසේම, තම “අනෙකා ” අවසන් කිරීමෙන් සෞබග්‍යයේ දැක්ම වෙත ප්‍රවේශ විය හැකියැයි නොපිළිගනී. මිත්‍යාව වපුරමින්, නාථ හෝ වෙනත් දේවාශිර්වාද ලැබ , පොලවේ යථාර්තය ව්‍යජත්වයෙන් නොවසයි. එසේම අධිවන්දනියත්වය වෙනුවට නිරන්තරයෙන් ප්‍රශ්න කිරීමේ අයිතිය පිළිගනී. ඉතින් අනිෂා ඔබත් එන්න, ඒ රැඩිකල් ස්ත්‍රියක් වන්න .

අරුණි සමරකෝන්

leave a reply