Breaking News

” මම ගියාම ඔහේට පාළුයිද..” – උරුමක්කාරයා 3 කොටස

යසිකා විජේසිංහ

පොඩි අක්කා බලන්නට මනමාලයෙක් එද්දී මා සිටියේ හතේ පන්තියේය. ලොකු අක්කා කිසිදාක විවාහ නොවනා අදහසක සිටි බැවින් අම්මා පොඩි අක්කා විවාහ කරදීමට තීරණය කරන්නට ඇත.

” මම ගියාම ඔහේට පාළුයිද..” පොඩි අක්කා ඇසුවේ මගේ පාඩම් වැඩට උදව් වෙන අතරේය.
” ඇයි..පොඩි අක්කා කොහෙ යන්නද ”
” අර එදා ආව අයියලගෙ ගෙදර”
” නවතින්න..??”
” ඔව්..”

” මාත් එනව..” මා කීවේ තේරුමක් ඇතිව නොවේ. පොඩි අක්කා මගේ මුල්ම යෙහෙළියයි. මේ නිවසේ මා මුලින්ම හඳුනා ගත්තේ ඇයයි. ඇය නැති වූ මේ නිවස මට පමණක් නොව නිහඬව ඉන්නා තාත්තාට ද පාළුවක්ද පාඩුවක්ද වන බව නොරහසකි. පොඩි අක්කා මගේ කීමට දුක් මුසු ලෙස සිනාසුනාය.පොඩි අක්කාගේ මංගල්ලය සූදානම් වූයේ ඉතා චාමෙටය. අම්මා කැවිලි වර්ග කීපයක් සෑදුවාය. මංගල්ලයට දින තුනකට කලින් දවසේ තාත්තා වෙනදා වෙලාවට අවදි වූයේ නැත. උදෑසන තේ කෝප්පය රැගෙන තාත්තාගේ ඇඳ ලඟට ගිය පොඩි අක්කාගේ කෑ ගැසීම නිසා අපි සැවොම එතනට දිව ගියෙමු. තාත්තා ගේ කට ඇද වී තිබූ අතර , ඔහුගේ දෑසින් නොනවත්වා කඳුළු ගලමින් තිබිණි .අත ඔසවා යමක් කීමට උත්සාහ කලද , ඔහුට එය කර ගත නොහැකි විය. ඔහුගේ ස්වරූපය දුටු ලොකු අක්කාගේ දෑසින් කඳුළු කඩා හැලින. අම්මා යෝධ ශක්තියක් ලැබුවාක් මෙන් තාත්තා ඔසවන්නට තැත් කලද, ඔහු අප්‍රාණිකව කඩා වැටුනා මිස ඔහුගේ ශක්තියෙන් නැගී සිටියේ නැත.. තාත්තා හැකි ඉක්මනින් රෝහල් ගත කල නමුත්, ඔහු නැවත කිසිදා දෙපයින් සිට ගත්තේ නැත. පොඩි අක්කාගේ මංගල්ලය දින නියමයක් නැතිව කල් තබනු ලැබුවේ සිදුවූ හදිසි කරදරය හමුවේ අම්මා වඩාත් අසරණ වීම නිසාය. දින කිහිපයක් රෝහලේ නතරව සිට, නිවසට කැඳවා ගෙන ආ තාත්තා තව දුරටත් තමාගේ දෛනික කටයුතු තමාටම කරගත හැකි පුද්ගලයෙකු නොවීය. ඔහුට කැවීම්, පෙවීම්, මුහුණ අතපය සේදීම් ආදිය පමණක් නොව ශරීර කෘත්‍ය කටයුතු පවා කරගත යුතු වූයේ අප කාගේ හෝ උදව්වෙනි.

එතැන් පටන් අම්මා සම්පූර්ණයෙන්ම වාගේ තාත්තා වෙනුවෙන් කැප වුනාය.ඔහු යහතින් ඉන්නා කාලයේ අම්මාට බොහෝ වෙනස්කම් කල බව මා සමග කීවේ පොඩි අක්කාය. බීමත්ව පැමිණ අම්මාට බැණ වදිමින් ඇතැම් විට පහර දීම් ද කරන බවත් අක්කලා දෙදෙනාම එකතුව අම්මා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන්ටද තාත්තාගේ පහර කෑමට සිදුවන බවත් කී ඇගේ ස්වරය දුක් මුසු වුවද ඇගේ මුහුණේ ඒ මොහොතේදී පවා කිසිදු හැඟීමක් පලවූයේ නැත . තාත්තා කෝන්ගොඩ ගොස් ඇත්තේ වෙළඳාමක් අරඹන අටියෙනි. ඊට පෙර ඔහු රියදුරෙක් ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ වරදින් මිනිසෙකු රියට යටවී මිය යාම නිසා රැකියාව අහිමි වී ඇත. එයටද ඔහු බැන වැදී ඇත්තේ අම්මාටය. පහත් තැනින් වතුර ගලන්නාක් මෙන් ඔහුට වරදින සෑම තැනකදීම, අසරණ අම්මාට එයට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ ඔහුගෙන් එල්ලවන තාඩන පීඩන වලට මුහුණ දීමෙනි. තාත්තා ගේ කෝන්ගොඩ ගමනෙන් ඔහු ලද ලාභය මාය. එහෙත් එය ලාභයක්දැයි මා නොදන්නේ ඔහු කෙදිනක වත් මට ඒ ගැන නොකී බැවිනි. “අම්මා” මේ නාඳුනන මිනිසාට ආදරය කලාද ..එසේත් නැතිනම් හදිසියේ ඇති වූ හැඟීමකට අවනත වුනාද, කියා මට අසන්නට කෙනෙක් සිටියේ නැත. එවැනි යමක් මවකගෙන් හෝ පියෙකුගෙන් ඇසීමද සදාචාර සම්පන්න නොවනු ඇත. කෙසේ වෙතත් මා සුජාත දරුවෙකු කලේ මා හැදූ මගේ අම්මාය. කුසේ තබා රැකීමෙන් පමණක් අම්මා යන නාමයට හිමිකම් කිව නොහැකි බව දැන් මට හොඳින් වැටහේ. එහෙත් ඒ හැඟීම මගේ සිතට හරියාකාරව වැටහුනේ පසු කලකදීය . තාත්තා කෝන්ගොඩ කඩ කෙරුවාවට ගිය පසුවත්, වරින් වර නිවසට ආවද ,ඒ සෑම විටකම අම්මා සමග දබර කරගත් බැවින් ,ඇය නිවස අතහැර තමන්ගේ සොයුරියක ගේ නිවසට යද්දී, ලොකු අක්කා ද ඇය හා එක්ව ඇතත්, පොඩි අක්කා නිවසේ නතර වී ඇත. දන්නා විදියෙන් බතක් මාළුවක් උයා දුන් ඇය, තාත්තා බඩගින්නේ නොතියූ බවත් වැඩි දවසක් නොගොස් තාත්තා මමත් අම්මාත් මේ නිවසට කැඳවා ගෙන ආ බවත් ඇය කීවාය. තාත්තා කෝන්ගොඩ සිටි කාලයේ වරින් වර අතුරුදහන් වූ හේතුවත්, ඔහු කදමළු බැඳගෙන යලිත් පැමිණියද “අම්මා” මුහුණ පුළුටු කරගෙන ඉඳීමේ රහසත් මට වටහා ගත හැකි විය. මේ සියල්ල දැන ගත් පසු මට අම්මා පිළිබඳව දැනුනේ ගෞරවය මුසු විමතියකි. තමාට කෙතරම් කරදර හිරිහැර කලද ඇය තාත්තාට සාත්තු කලේ දිවි හිමියෙන් තමා රැක බලාගත් සැමියෙකුට උවැටන් කරන්නාක් මෙනි. කුඩා දරුවෙකුට මෙන් තාත්තාට බත් අනා කවන ඇය, මා තාත්තාගේ වැඩට හවුල් කරගත්තේ ද කලාතුරකිනි.

” ඉස්කෝලෙ වැඩ කරගනින් පුතේ..මම මේවා කරගන්නම්..” ඇය කීවේ එලෙසය.

පොඩි අක්කාගේ මංගල්ලය පිලිබඳ කතාව යලිත් වතාවක් මතු වී ආවේ මේ අතරය. තාත්තා නැවත දෙපයින් නැගී නොසිටින බව සහතික වී ඇති මොහොතක, මංගල කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට හෝ මුදල් වැය කිරීමට හැකියාවක් අම්මා සතුව තිබුනේ නැත. තාත්තා කෙලින් කටින් හිටියත් ඔහුගෙන් පවුල වෙනුවෙන් ඉටුවූ යුතුකමක් තිබූ බව මා දුටුවේ නැති වුවද , අම්මාට උවමනා වූයේ පොඩි අක්කා දීග දෙන දවසේ තාත්තා යුතුකම් දන්නා පියෙකුගේ තත්වයට ඔසවා තබන්නටය. ඇතැම් විට ඇයද එමගින් යම්කිසි ගෞරවණීය හැඟීමක් විඳින්නට බලාපොරොත්තු වූවා විය හැකිය. අඩුම තරමේ ඇය බලාපොරොත්තු වූ ඒ සිහිනයවත් සැබෑ කරන්නට තාත්තාට .නොහැකි වූයේ කාගේ අවාසනාව නිසා දැයි මා දන්නේ නැත.

අවසානයේ පොඩි අක්කා කැන්දන් යාම සිදුවූයේ කාගේවත් සහභාගීත්වයකින් තොරවය. මංගල ඡායාරූපයක් ගන්නට ඇගේ සැමියාට උවමනා වූ නිසාම, ලොකු අක්කා ඇයට සාරියක් හැට්ටයක් මැසුවාය. ලා කහ පැහැති සාරිය නිසා ඇගේ පාණ්ඩු පාට තවත් වැඩි වී පෙනුනු අතර ඇය ගෙදරින් පිටත් වූයේ හඬමිනි. තාත්තාගේ ඇඳ ලඟ ඇය දණ ගසා වැන්ද මොහොතේ තාත්තාගේ දෑසින් කඳුළු ගැලුවේ උල්පතකින් දිය උනන්නාක් මෙනි. ඔහු කුමක් හෝ කීමට උත්සාහ කලද මුවින් පිටවූයේ ” ගොර ..ගොර ..” හඬක් පමණි. තාත්තා රෝගී වූ මොහොතේ පමණක් මා දුටු ලොකු අක්කාගේ කඳුළු, ඇගේ විසල් දෑස අතහැර ගලා හැලුනේ පොඩි අක්කා ඇයව වැළඳ සමුගත් මොහොතේදීය. අයියාත් ඔහුගේ අම්මාත් පැමිණි කුලී රථයේම නැගී අම්මාත් මමත් ටවුමේ ඡායාරූප ශාලාව දක්වා ගියේ , තාත්තා ටික වේලාවකට ලොකු අක්කාට බාර දෙමිනි. ඡායාරූප ගැනීමෙන් පසු පොඩි අක්කා මා බදාගෙන හැඬුවාය. අම්මාත්, තාත්තාත් ,ලොකු අක්කාත් බලා ගන්නා ලෙස මට කී ඇය, තමා ගෙදරින් පිටව යන්නේ මට එම වගකීම සම්පූර්ණයෙන්ම පවරා බව කීවේ මා ඒ වනවිටත් වැඩිහිටියෙකු සේ ඇයට පෙනුනු නිසාද, එසේ නැතහොත්, ඇය ඉසිලූ වගකීම මගේ හිතට යන්තමට හෝ දැනවීමටදැයි මට වැටහුනේ නැත. අම්මාට තුරුළු වී පොඩි අක්කා ඉකි ගසා හැඬු නමුත්, අම්මා දැඩි සෙනෙහසින් ඇගේ හිස පිරිමැද්දා මිස කඳුළු සැලුවේ නැත. ඔවුන් රැගත් රිය නොපෙනී යන තෙක් බලා සිටි අම්මා, මගේ අතකින් අල්ලාගෙන පා ගමනින්ම නිවසට ආවේ කිසිදු කතා බහකින් තොරවය. ගෙට ගොඩ වන විටම පොඩි අක්කා නොමැති නිවසේ දැනුනු හිස් බවත්, ශෝකී අඳුරු බවත් එක්ව මගේ හිත වෙව්ලුම් කෑවේය. ඇගේ කතා බහද, සිනාවද මට මැවී පෙනෙන්නට විය. ඇය ඉන්නා තැනකට මටද යන්නට ඇත්නම් යයි සිතුනද, එතෙක් වේලා කඳුළු නවතා ගෙන උන් අම්මාගේ ඉකි බිඳුම් හඬ මගේ සිතිවිලි වෙනස් කරන්නට සමත් විය. මම අම්මාගේ හිස පිරිමැද්දේ ඇය ඉන් සැනසේදැයි විශ්වාසයක් ඇතිව නොවේ. එහෙත් මා තුරුළු කරගත් ඇගේ හැඬුම තුනී වී යද්දී පොඩි අක්කා මට පවරා ගිය වගකීම මා ඉටු කලා යයි මට සතුටක් දැනුනි.

ලොකු අක්කා වැඩි වැඩියෙන් ඇඳුම් මසන්නට පටන් ගත්තාය. ඇය බොහෝ විට රැය පහන් කලේ අවදියෙනි. මහන මැසිමේ ලාච්චුවට වැටෙන මුදල්, ගෙදර කෑමට බීමට අමතරව තාත්තාගේ බේත් හේත් වලටද , ඔහුට අමතර පෝෂණය ලැබීම සඳහා දෙන විශේෂ පිටි වර්ග වෙනුවෙන්ද, මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද, වැය වූ අතර ,ගෙදර සියළු කටයුතු කෙරුනේ ඇය උපයන මුදලිනි. ඇගේ ගණුදෙනුකරුවන් නොසිටින බොහෝ වේලාවල ඇය සිටියේ කෝපයෙනි. දවස පුරා තාත්තාගේ වැඩ වෙනුවෙන් හෙම්බත් වන අම්මා රැයෙහි පැදුරේ වැතිරුණු සැනින් කෙඳිරි ගාමින් නින්දට වැටෙයි. තාත්තා ලෙඩ වූ දා පටන් අම්මා නිදා ගත්තේ ඔහුගේ ඇඳ පාමුල එලා ගත් පැදුරකය. එතරම් දුෂ්කරක්‍රියා කරමින් ඇය පෙරුම් පිරුවේ මොනවාදැයි මා කෙදිනකවත් දැන ගත්තේ ද නැත.


leave a reply