Breaking News

ඔබ මිය ගොස් නැත! – 35 වන ඉල්මහ විරු සමරුව

නොවැම්බරය එළඹෙත්ම වාම දේශපාලනයේ නියැළෙන කෙනෙකුට සිහිපත්වන අඳුරු මතකය වන්නේ මීට වසර 35ට පෙර මරා දැමූ විප්ලවවාදීන්ය. ඒ නිසාම ඔවුන්ගේ විශේෂත්වය, වීරත්වය ගැන විවිධ අත්දැකීම්, සමරු සටහන්, ඡායාරූප, සිතුවම් මෙන්ම කවි සමාජ මාධ්‍ය තුළ පළ වේ.

ඒ සියල්ල ඉල්මහ විරුවන් කෙරෙහි මෙන්ම ඔවුන් අපෙක්ෂා කළ සමාජ අරමුණු වෙනුවෙන් සාධනීය මැදිහත්වීම් වේ. ඔවුන් සිදුකළ අරගලය, දේශපාලන මැදිහත්වීමක් ලෙස එවකට සමාජ දේශපාලන සන්දර්භය හා වෙන් කළ නොහැකි වර්ධනයකි. ඒ අරගලයේ උදාරත්වය, ඔවුන්ගේ මැදිහත්වීමේදී දක්නට ලැබුණ විවිධ දුර්වලතා ගෙන හැර පෑමෙන් යටපත් කර දැමිය නොහැකිය. එසේම, සාපේක්ෂව දීර්ඝකාලීන දේශපාලන නැගිටීමක් සඳහා සමාජයක් ලෙස පෝෂණය හා රැකවරණ දුන් බවද අමතක කළ නොහැකිය. ඒ පසුබිම ගැන නැවත ආවර්ජනය කිරීම විසින් නව දේශපාලන දැනුමක් එකතු කරයි.

70 දසකය අවසානයේ එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන ආ නවලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණවලින්1977 මැතිවරණයේදී ජනතාව වෙත දිනා දෙන්නට පොරොන්දු වූ කිසිවක් ඇත්ත වශයෙන්ම හිමි වූයේ නැත. තොරොම්බල්කාර විවෘත ආර්ථිකයේ කැඳවුම්කාරු වූ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා, අරගලයේ බලයෙන් වේදිකාවෙන් ඇද දමන තුරුම ජනතාවට කීවේ තමන් අභිභවනය කරන්නට සමතකු නැති බවය.
මර්දනකාරී පාලනයක් සඳහා ඒකාධිපති ව්‍යවස්ථාවක් අටවා, ඉන්පසුව ඡන්දයෙන් පත් කළ නියෝජිතයන්ද හුදු රූකඩයන් ලෙස පෙළගස්වා, දසවසරක් ඔහු ගෙන ගිය පාලනය තුළ ජනතා පරමාධිපත්‍ය නොසළකා හරින ලදී. වැඩකරන ජනතාව ගෙන ආ සාධාරණ ඉල්ලීම් යටකර මර්දනයම ස්ථාපිත කරන ලදී. ඒ දසවසර ඉවසා සිටි ජනකායක් අවිගත් නැගිටීමකට අනුබල දීම අහම්බයක් නොවේ. 1987 ආරම්භ වී 1989 අග භාගය දක්වා සන්නද්ධ අරගලයක් ඇදී යන්නේ ඒ අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට අභියෝග කරමිනි. ඒ නිසාම ඒ අරගලයේ අවශ්‍යතාව මෙන්ම අනිවාර්යතාව සම්බන්ධ සැකයක් නැත.

වර්තමානයට එන විට, ජනතාව මෙතෙක් පැවති ප්‍රධාන දේශපාලන බලවේගවල ගතානුගතික හා සමාජ ප්‍රගමනයට හරස්වන පිළිවෙත් ප්‍රතික්ෂේප කරමින් නව දේශපාලන බලයක් තෝරාගෙන ඇත. ජනාධිපතිවරණයේදී බහුතර බලයක් හිමි නොවූවද ජාතික ජනබලවේගයේ නායකයාට 42%ක් ඡන්ද ලැබීමෙන් පෙන්නුම් කරන්නේ මෙරට දේශපාලනයේ කිසියම් තීරණාත්මක හැරවුමකි. එම දේශපාලන හැරවුම නිශ්චිතවම 2022 වසරේ ජයග්‍රාහී වූ මහජන නැගිටීමේ ඉදිරි අවස්ථාවකි. ජනතාව ඉල්ල සිටි වෙනස්කම් අතර ක්‍රම වෙනසක් මූලික විය. මේ කියන ක්‍රම වෙනස යනු සමාජයක් විසින් අත්විඳි දේශපාලන ආර්ථික රටාවේ යල්පැන ගිය ස්වභාවයට පිළියමක් ලෙස සරලව තේරුම් ගත හැකිය. එහෙත් දේශපාලන අර්ථයෙන් ක්‍රම වෙනසක් යනු පද්ධතිමය වෙනසකි, ව්‍යුහාත්මක වෙනසකි. එම ක්‍රම වෙනස සාක්ෂාත් කරගැනීම අද දවසේ සමාජයේ පොදු උවමනාව වන අතර හෙට පැවැත්වෙන මහමැතිවරණයේදීද ඒ අරමුණ ප්‍රකාශයට පත්වනු නොඅනුමානය. නමුත් බලවත් අඩුවක්ව ඇත්තේ ඒ විවිධ සමාජ ස්ථර පීඩිත බලවේග ඒකරාශි කරමින් එවැනි ව්‍යුහාත්මක වෙනසකට පදනම දැමීමක් සිදු නොවීමය.
කවර බරපතළ අඩුපාඩු පැවතියද නිශ්චිත වශයෙන්ම සමාජ ක්‍රමයේම වෙනසක් ව්‍යුහාත්මක වෙනසක් ලෙස සමාජවාදය අරමුණු කරගත් පෙරටුගාමී කාර්යයක් ඉල්මහ විරුවන් විසින් නියෝජනය කළ බව අමතක කළ නොහැකිය. 1978 ක්‍රියාවට නැගුණ වෙළඳපොළ මුල්කරගත් සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණවලට ප්‍රතිවිරුද්ධ දේශපාලනයකට ජනතා සහාය අත්පත් කරගෙන යම් සැළකිය යුතු කාලයක් බලය හැසිරවීමට ඔවුහු සමත් වූහ. එනම්, ධනේශ්වර රාජ්‍යයේ මුලු මහත් අනභිභවනීයත්වය අභිභවනය කරමින් ජනතාව සමග ඊට එරෙහිව සිටගන්නට අරගලයේ සදාචාරමය, සංවිධානාත්මක බලය සමත් විය.

නමුත් එදා එම අරගලය විසින් මතු කළ වැදගත් දේශපාලන සිතීමක් වූයේ පාලක පන්තියේ අර්බුදය එක් පාලක කණ්ඩායමකින් අනෙක් කණ්ඩායමට බලය හුවමාරු කරගෙන ජනතා විරෝධය පාවාදීමට ඉඩක් නොතැබීමය. ලිබරල්වාදීන් පවසන්නේ එදා සිරිමා බණ්ඩාරණායකගේ ජයග්‍රහණය වෙනුවෙන් ‘මවුබිම සුරැකීමේ ව්‍යාපාරය‘ හරහා වාම දේශපාලන නැගිටීම කප්පාදු කළේ නම්, දහස් ගණනක්ගේ ජීවිත විනාශයක් සිදු නොවන බවය. සාමාන්‍යයෙන් ආණ්ඩු බලය පවත්වා ගෙන යන පාලක කන්ඩායමක් සිය අසමත්කම හා පොදුවේ සමාජ ආර්ථික ක්‍රමයේ අසමත්කම නිසා ජනතාවගේ විරෝධයට මුහුණ දී වේදිකාවෙන් බැස යන්නේ සෙසු පාලක කණ්ඩායමට ඉදිරි පාලනය භාරදීමේ සහාය දිවීමේ තරගයක ස්වරූපයෙනි. 87-89 අරගලයේදී ජනතා ජයග්‍රහණ වෙනුවෙන් ගෙන ගිය දේශපාන සාකච්ඡා බලය අත්කරගැනීමේ කෙටි මාවතක් බවට පෙරළා ගන්නට සිරිමා බණ්ඩාරණායක ඇතුළු පාලක කල්ලිය දැරූ උත්සාහය නිවැරදිව වටහා ගෙන ඔවුන්ගේ අරමුණු පරාජය කිරීමේ උපක්‍රම තොරා අරගලයේ ජයග්‍රහණ වෙනුවෙන් දේශපාලන උපක්‍රම තෝරන්නට කටයුතු කරන ලදී.

වසර 35ට පසු අදත් වාමාංශික ව්‍යාපාරයේ සටන්කාමී ශක්තිය එදා තරම් ඉහළ මට්ටමකින් නොවුවද පාලක කණ්ඩායම් තැත් කරන්නේ පවතින ජනතා විරෝධය ඉහගෙන කෑමටය.
මැතිවරණ තුළ පීඩාවට පත් ජනයාගේ අරගලකාරිත්වය දියාරුකිරීමට හා නිරර්ථක කිරීමට ඉඩ දිය යුතු නැත. ජනතා අරගලයට සැබෑ අගයක් හිමිවන්නේද 2022 පෙළගැසුණු ආකාරයේ මහා මිනිස් මැදිහත්වීමක් ඔවුන්ගේම ජයග්‍රහණයක් වන්නේද එවැනි තට්ටුමාරු පෙළගැසීම්වලින් මුදාගෙන ජනතා අරගලය ධනවාදයට එරෙහි අරගලයක් ලෙස පෙරමුණට ගැනීමෙන් පමණි. යම් සීමිත ජයග්‍රහණයක් වෙත හෝ ජනතා අරගලයක් පලදායක වනු ඇත්තේ එවැනි පෙරටුගාමී මැදිහත්වීමකින් පමණකි.

වාමාංශික දේශපාලනයේ ලෝක පරිමාණ අත්දැකීම් තුළ පෙරටුගාමී කාර්යභාරය යනු සමාජ විප්ලවයක් සම්පූර්ණ කිරීමේ අභිලාශයෙන් අඛණ්ඩව, අනවරතව, සංවිධානාත්මකව මැදිහත්වීමය. පෙරටුගාමී කාර්යභාරය වෙනුවෙන් සටන්කාමී බලවේගවල පෙළගැසීම් පමණක් ප්‍රමාණවත් නැත. ඒ බලවේග සමඟ එකට වැඩ කරමින්, ඔවුන් හා දිය වෙමින්, ඔවුන් හා ජය පරාජය ලබමින් සටන් වදින නායකත්වයක් අවශ්‍ය වේ.
අරගලයේ තත්වයන් සියුම්ව නිරීක්ෂණය කරමින් හා සටන්කාමීව මෙහෙයවමින් ප්‍රතිගාමිත්වයේ අවමන්, වද බන්ධන මැද අරමුණු සහගතව අනලස්ව වැඩ කිරීමේ ආදර්ශය ඉල්මහ විරුවන් විසින් සමාජයට දුන් දැවැන්ත ආදර්ශයකි. තියුණු දේශපාලන ආතතියක් මැද පවා තමන් ලද දේශපාලන පරිණතභාවය කරා නැගී සිටීමට ආධුනිකයන්ට මග පෙන්වීමටත් සටන්කරුවන් පුහුණු කිරීමටත් ඔවුහු අමතක නොකළහ.
ඉල් විරුවන්ගේ ආදර්ශය වූයේ දීර්ඝකාලයක් ධනේශ්වර රාජ්‍ය යන්ත්‍රයට අභිමුඛ වෙමින් පියවරෙන් පියවර ජනතාවගේ වඩාත් ඉදිරිගාමී හා සටන්කාමී කොටස් දිනා ගැනීමත් අරමුණු සහගත දේශපාලනයක් වෙත ඒ දැනුවත් ක්‍රියාකාරින් මෙන්ම පොදු සමාජ බලවේග සංවිධානය කිරීමට කටයුතු කිරීමත්ය. මේ නිසා ඉල්මහ විරු සමරුව යනු හුදු සමරුවක් නොවේ. වාම විප්ලවවාදී ව්‍යාපාරය මුහුණ දෙන දේශපාලන අභියෝග ජයගගැනීමේ ප්‍රායෝගික තත්වය සම්බන්ධ අත්දැකීම්, පාඩම් කියා දෙන මහ පොතක් වැනිය.

සැබැවින්ම ඉල්මාසය යනු සංකේතාත්මක කාරණයකි. 1987-89 සමයේදී ඇතැම්විට ඉන්පසුවද වඩා යහපත් සමාජයක් ගොඩනැඟීමේ අරමුණින් සිය ජීවිත පරදුවට තබා සටන් වැදුණු සහ ඒ නිසාම පැහැර ගෙන ගොස් දස වද දී මරා දැමුණු දස දහස් ගණන් විප්ලවවාදී සහෝදරියන් හා සහෝදරවරුන් අපගේ මතකයට එන්නේ එක් මාසයකදී නොවේ. මුලු ජීවිත කාලය පුරාම සෑම තත්පරයකම ඔවුහු අප සිත්හි දරා සිටින වගකීමක්, උත්තුංග පරමාර්ථයක් ලෙස නොමැකී සිටිති.
නොවැම්බර් 13 දිනය තුළ පවා ඉල්මහ විරු සමරුවට ඇති අදාළත්වය හා අවධානය වියැකී මහමැතිවරණය ඉදිරියට එමින් තිබේ. ජනතා විමුක්ති පෙරමුණ, මහමැතිවරණය හේතුවෙන් ඉල්මහ විරු සමරුව නොවැම්බර් 14 වැනිදාට කල්දමා ඇත. නමුත් කාරණය වන්නේ හුදු සමරුවකින් මේ අවස්ථාව පසුකර යාම නොවේ.

මේ වනවිට 35 වසරක ඇවෑමෙන් අප මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික දේශපාලන පරිසරයේ අත්දැකීම් විසින්ද අපට වඩා යහපත් සමාජයක් බිහි කිරීමේ අවශ්‍යතාව වැඩි වැඩියෙන් අවධාරනය කරයි. ජීවිත කැප කරමින් හෝ මේ පවතින අඳුරු අසාර ජීවන ක්‍රමය අවසන් කර මිනිස් සමාජය වඩා යහපත් තත්වයක් කරා උසස් කිරීමේ අරමුණ අදටත් අපගේ ජීවිතයේ පරමාදර්ශය වී ඇත. ජනතාව විසින් මැතිවරණයකදී ගන්නා තීරණවලින් පමණක් සෑහීමකට පත් නොවී, සමාජ ජයග්‍රහණ වෙනුවෙන් ඒ ජනතාවගේ දේශපාලන විඥානය ඉහළ නැංවීමටත්, වැඩකරන ජනතාව සහ විශේෂයෙන් ඔවුන්ගේ සටන්කාමී පෙරටුගාමී කොටස් විධිමත්ව සංවිධානය කරමින් ක්‍රම වෙනසක් සඳහා වූ යෝධ පියවර තැබීමට මේ ඉල්මහ විරු සමරුවේදී අදිටන් කරගත යුතුව ඇත.

leave a reply