උරුමක්කාරයා 2 කොටස –
එලෙස ගෙවුනු කාලය මාස කීපයක් විය යුතුය. දිනක් තාත්තාත් මමත් කොණ්ඩා කපන්නට ගියෙමු. අප දෙදෙනාගේම කොණ්ඩා කැපීමට බාබර් මාමාට වරුවක පමණ කාලයක් ගත වන්නට ඇත. අප දෙදෙනා ආපසු නිවසට එද්දී නිවසේ නාඳුනන ගැහැනුන් දෙදෙනෙක් උන් අතර ඉන් තරමක් වයස්ගත වූ ගැහැනිය පොඩි අක්කා මෙන්ම කෙසඟ අත පය සහිත තැනැත්තියකි. චීත්ත ඔසරියක් ඇඳ , තරමක් ඉදුනු කොණ්ඩය පිටුපසට කර බැඳ සිටි ඇය දෙස මා බැලුවේ තාත්තාගේ සරමට මුවා වී ගෙනය. අප ආ ශබ්දය ඇසී, පොඩි අක්කා කුස්සියේ සිට සාලයට පැමිණි අතර, ඇය පිටුපසින් තවත් ගැහැනු කෙනෙක්ද පැමිණියාය ඇයද පොඩි අක්කා තරමටම උස නමුත්, ඊට වඩා මහතය. ඇගේ දෑසේ මා දුටුවේ නපුරු බැල්මකි. පොඩි අක්කා පැමිණ මා අතින් අල්ලාගත්තේ “ නාන්නට යමු” යැයි කියමිනි. “අම්මා” පෙනෙන්නට නැත්තේ ඇයි දැයි සිතුනු නමුත්, ඒ ගැන විමසන්නට මට සිතුනේ නැත. තාත්තා කිසිවක් නොකියා නිහඬව සිටියේය. කිසිවෙක් කතා කලේද නැත.
” ඒ ඇවිත් ඉන්නෙ අපේ අම්මයි අක්කයි..” පොඩි අක්කා කීවේ ගෙයින් එලියට බැස ළිඳ ළඟට යන අතරතුරේය.
” එතකොට මගේ අම්ම කෝ.. අර ගොල්ලො මගෙ අම්මට ගැහුවද.. අම්ම අඬ අඬා ද ගියෙ..ඇයි අම්ම මං එනකල් උන්නෙ නැත්තෙ.. එතකොට අම්ම කොහෙද ගියේ..” මා එක හුස්මට ඇසුවේ හැඬුම් පිටවීමට ආසන්නවය..
” ගැහුවෙ නෑ. ඒ වුනාට රණ්ඩු නං වුනා. අපේ අක්ක කිව්වෙ යන දේවාලෙක ඔහෙත් එක්ක යන්නය කියල. අපේ අම්ම කිව්ව කොල්ලව කාලකන්ණි නොකර තියල පලයං උඹට වැඩිය හොඳට මම ඌව හදා ගන්නං කියල. එහෙනං තියා ගන්න එකයි ඇත්තෙ මගෙ උන් මාව අහක දාන්නෙ නෑ .මම කෝන්ගොඩ යනව කියල යන්න ගියේ..”
” එතකොට මං.??.” මට දැනුනේ මහා තනිකමකි. මට ඇඬෙන්න තරම් දුක සිතුනි. “අම්මා “ මා එනතෙක් වත් නොසිට යන්නට ගොසිනි. ඇයට අඩුම තරමේ මා එනතෙක් පාරට වී හෝ ඉන්නට තිබිණි. මට ඉකි ගසා හැඬුන මුත් මගේ හඬ පිට වූයේ නැත. පොඩි අක්කා මඳ වේලාවක් මා තුරුළු කරගෙන සිටියාය. මගේ හැඬුම ඇගේ ආදරය ඉදිරියේ වැඩි වුන බැවින් ඇය මා හඬද්දීම නෑව්වාය.
” ඔහේ මොකටද අඬන්නෙ.. අපි ඉතින් නෑදෑයො නෙ. අපි ඉන්නවා ඔහේට…එයැයිට ඔහේ ඕන නම් ඉන්න තිබුනනෙ ඔහේ එනකල්..” පොඩි අක්කා එසේ කියූවද මගේ කියා කිසිවෙක් නැතිව මා මේ නිවසේ ඉන්නේ කෙසේද..මටද කෝන්ගොඩ යන්නට ඇත්නම් කියා සිතුනි. එහෙත් කෝන්ගොඩ යන බස්රිය කුමක්දැයි මා දන්නේ නැත. කෝන්ගොඩ හන්දියෙන් බැස, සමූපකාරය පසු කර ගොස්, ඇඩ්ඩිං මාමලාගේ ගේ ලඟින් වෙලට බැස, නියර දිගේ ගෙදරට යන පාර මට මතක තිබූ නමුත්, කෝන්ගොඩට යන විදිය මා දැන සිටියේ නැත. පසු දවසක පොඩි අක්කාගෙන් පාර අසා ගෙන කෝන්ගොඩ යන්නෙමියි මම තීරණය කලෙමි. නාගෙන ගෙට පැමිණි මා දුටු පොඩි අක්කා අම්මා යැයි හඳුන්වා දුන් ගැහැනිය ” මෙහාට වරෙන් මයෙ පුතේ ” කියමින් මා අල්ලා උකුලේ හිඳුවා ගත්තාය. ඇගේ චීත්ත ඔසරියෙන් පිච්ච මල් සුවඳක් විහිදුන.අතර ඒ මොහොතේ මගේ ඇඟ වටා දැවටුණ ඇගේ කෙසඟ දෑත් මට ගෙන දුන්නේ ආරක්ෂිත හැඟීමකි. කිසිවෙක් ඒ මොහොතේ කතා නොකලද මා නාගෙන එන්නට ගිය අතරේ මොනවා හෝ කතා වෙන්නට ඇති බව මට වැටහිනි.
” උඹ ඉස්කෝලෙ යනවද පුතේ..”
පොඩි අක්කාගේ අම්මා නැවතත් ඇසුවාය.මම නැතැයි කීමට ඔළුව වැනුවෙමි. ඇය තාත්තා දෙස බැලුවේ කෝපයෙන් යැයි මට සිතුනි.
” පොඩ්ඩියේ..මල්ලිට බත් බෙදල දීපන්..දැන් නාල බඩගිනි ඇති.” පොඩි අක්කා අම්මා ගේ වචන අවසන් වන්නටත් පෙර මා කැඳවාගෙන කුස්සියට ගියාය. ඒ මා “අම්මා “ ඉවූ බත් කෑ අවසන් දවසයි. “අම්මා” දහවල් බතද සාදා අවසන් කලා නම්, මා එනතෙක් නොසිටියේ ඇයිදැයි සිහි වී මගේ දෑසට නැවතත් කඳුළු පිරීගෙන ආවේය.”අම්මාට” මා එපා වීද..? කෙසේ වෙතත් ඇය මා අතහැර යන්නට ගොසිනි. කවදා හෝ මට තනිවම යන්නට හැකි වූ දවසට ඇයව සොයා ගන්නෙමියි මම රහසේම සිතුවෙමි. බත් පිඟාන අත ගාමින් කඳුළු පෙරනා මා දුටු පොඩි අක්කා ගේ අම්මා මට බත් අනා කැව්වාය.
” මොකෝ මේ නාකි හුරතලේ ” මෙතෙක් වේලා වචනයක් වත් කියනු නොඇසුනු ලොකු අක්කා එසේ කියාගෙන කුස්සියට ආවාය.
” කෑ නොගහ හිටපන් ලොක්කියේ ..මහ එවුන්ගෙ වැරදි වලට නොදන්න කිරි සප්පයො පලි නෑ..මහ මිනිහට මතකත් නෑ ලොකු මහත්වුන දරුවො ඉන්න තාත්ත කෙනෙක් කියල..ඒ ගෑනිට මතකත් නෑ මේ අනුන්ගෙ මිනිහෙක් කියල..” පොඩි අක්කාගේ අම්මා පසුව කියූ ටික කීවේ පහත් හඬිනි.
” කොහොම හරි මේකව ඉස්කෝලෙකට දාන්න ඕන. මුන්ට විසේ වැහිල හදා ගත්තට දරුවන්ගෙ ඇස් පාදන්න ඕන කියල මතක නෑ..” ඇය ඒවා කීවේ කාටදැයි නොදන්නා නමුත් ඒ වචන මා වෙනුවෙන් කියවුනු ඒවා බව ඒ වයසේදී පවා මට වැටහීමක් තිබිනි. තාත්තා එදා හවස කොහේදෝ ගියේය.
” ඔය යන්න ඇත්තෙ හොයන්න වෙන්න ඇති..ඒකි ගියෙ හරියට යන්නෙ කොයි වෙලාවෙද කියල බලන් උන්න වගේනෙ..අම්මයි මමයි ගෙට ගොඩ වෙනකොට ඇඳුම් කැඩුම් ලෑස්ති පිට තියන් හිටියෙ ..”
” කවුරු දන්නවද බං ලොක්කියේ… ඔන්න ඔය වැඩකට නැති කතා පැත්තකට දාපං.. මම මේ කල්පනා කරන්නෙ මේකගෙ උප්පැන්නෙ වෙනස් කරගන්නෙ කොහොමද කියල.. ” පොඩි අක්අකාගේ අම්මා කීවේ මගේ හිස අත ගාමිනි. ඒ කතාබහ කිසිවක් නොතේරුනත් මා පොඩි අක්කාගේ අම්මා අසලටම වී උන්නේ මට පොඩි අක්කා හැරුණු විට මේ නිවසේදී හමුවූ විශ්වාසවන්තම තැනැත්තිය ඇය යැයි සිතුනු බැවිනි. රැයේ නිදියන්නට ගිය විටදී ඇය පැදුරක් එලා මා සමගම එහි නිදාගත්තාය.
” අම්මටත් උදේ නාන්න වෙයි මෙයැයි එක්ක නිදාගෙන..” නිදන්නට පෙර පොඩි අක්කා කීවේ සිනාසෙමිනි. කිසිවක් නොකියූ ඇය මා කැඳවාගෙන ගොස් මුත්‍රා කෙරෙව්වාය. මා නිදාගත්තේ සැහැල්ලුවෙනි. ” අම්මා ” තාත්තා සමග ඇඳේ නිදා ගත්තද පොඩි අක්කාගේ අම්මා බිම නිදාගත්තේ මා එක් අතකින් තුරුළු කර ගෙනය. රෑ මැදදී ඈ මා ඇහැරවාගෙන ගොස් නැවතත් මගේ සුළු දිය බර හිස් කෙරෙව්වාය. පළමු වතාවට මම වියළි පැදුරක් මත උදෑසන පිබිදුනෙමි. මගේ හිතට දැනුනේ අප්‍රමාණ සතුටකි. ඒ සතුටු සිත් ඇතිවම මම පොඩි අක්කා සොයා කුස්සියට ගියෙමි. පොඩි අක්කාගේ අම්මා කුස්සියේ කුඩා හිරමණය මත හිඳගෙන පොල් ගාමින් සිටියාය. මම ඇය පිටුපසින් ගොස් ඇගේ ගෙල වටා දෑත් යවා පිට මතට බර වුනෙමි.
” උඹට බඩ ගිනිද මයෙ පුතේ..” ඇය ඇසූ විට , මම නැතැයි කීමට හිස වැනුවෙමි.
” ඔලුව වනල උත්තර දෙන්න එපා පුතේ. කට ඇරල කතා කරපං..” ඇය කීවේ මා උකුළේ හිඳුවා ගනිමිනි .
” හා…”
” අන්න එහෙම..” ඇය සතුටින් සිනාසුනාය. මමද සිනාසුණෙමි. තාත්තා රැයේ ආපසු පැමිණ තිබුනේ නැත. උදෑසනට කිරිබත් උයා මට කන්නට දුන් පොඩි අක්කාගේ අම්මා , ලොකු අක්කාත් ,පොඩි අක්කාත් එකතු කරගෙන ගෙයි බඩු මුට්ටු තිබූ තැන් වෙනස් කලාය.තාත්තාත් ” අම්මා ” ත් නිදාගත් ඇඳට අමතරව තවත් ඇඳක් ඒ කාමරයේ සවි කර, තවත් කුඩා ඇඳක් ඉස්තෝප්පුවේ කෙලවරක සවි කලාය. ඒ ඇඳන් මෙතෙක් දවස් ගලවා දමා තිබූ ඒවා බව මම තේරුම් ගතිමි. එදා සිට අක්කලා දෙන්නා එක් ඇඳක නිදාගත් අතර පොඩි අක්කාගේ අම්මාත් මමත් අනෙක් ඇඳේ නිදා ගත්තෙමු. තාත්තාට වෙන් කලේ ඉස්තෝප්පුවේ වූ ඇඳය. ඔහු නැවත ගෙදර ආවේ දින කිහිපයකට පසුය. ඔහු කිසිවෙකු හා කතා බහක් නොකල අතර සියළු ආවතේව කටයුතු කලේ පොඩි අක්කාය. ඇය ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන තැනැත්තියක් බව මම වටහා ගතිමි. තාත්තා මා ලඟට ගෙන සුරතල් කලේ නැත. ඔහු ඕනෑම දෙයකට කතා කලේ පොඩි අක්කාටය. බත් පංගුවද, වතුර කෝප්පයද සියල්ල ඔහු ලඟට සැපයිය යුතු විය. පොඩි අක්කාගේ අම්මා උදෑසනින්ම උයා පිහා තබා හැඳ පැළඳ ගෙයින් පිටව යයි. ඇය “අම්මා” මෙන් ගවුම් නොඇඳ, ගෙදරදී රෙදි හැට්ට ඇන්ද අතර, ගමනක් යද්දී ඇන්දේ චීත්ත ඔසරියකි .
” ඔහෙටත් තියෙන අමාරුවක්..නිකන් ඉන්න බැරි හැටි..හදාගත්ත උන්ටම ඕව කරගන්න කියන එකනෙ ඇත්තෙ..”
දහඩිය පෙරාගෙන ගෙට ගොඩ වී හති අරිනා පොඩි අක්කාගේ අම්මාට ලොකු අක්කා ඇතැම් විට එසේ කියන්නේ මා දෙසද රවා බලමිනි. මා කවදත් ලොකු අක්කාගේ බැල්ම හැකි සෑම විටම මග හැරියෙමි. පමණට වඩා විසල් වූ ඇගේ ඇස් මා බියපත් කරවන්නට සමත් විය. මා ඇයට කල වරදක් නැතත් , ඇය කිසිදු විටෙක මා හා සිනා නොවූවාය . නිවසට පැමිණි දවසේම ඇය කාමරයේ මුල්ලක තිබූ මහන මැසිම සාලයට ගෙන, දූවිලි පිස , තෙල් දමා පාවිච්චියට ගත්තාය. මැසිමේ පා පුවරුව ඇගේ දෙපා සමග වේගයෙන් දෙපසට වැනෙද්දී ඒ දෙස බලා සිටීම මට ගෙන දුන්නේ විනෝදයකි. පා පුවරුව දෙස බලා සිටියත් ඇගේ මුහුණ දෙස නොබැලීමට මම පරිස්සම් වීමි. ගැහැණු අය පැමිණ ඇය ලවා ඇඳුම් මස්සවා ගෙන ගියහ. ඇගේ මැසිමේ ලාච්චුවේ, මැසූ ඇඳුම් වෙනුවෙන් ඈ ලද මුදල් දමා තිබුණි. ඒ මුදල් ඇය වැය කලේ ගෙදරට බඩු මුට්ටු ගෙන ඒමටය. පාරේ මාළු වෙළෙන්දෙක් යන විට “පොඩ්ඩී.. ” යැයි හඬ තලන ඈ
” මාළු අර ගනින්..අර මනුස්සය කන්න කැමති නෙ.. “යයි කියන්නීය. ඇය “අර මනුස්සයා” යැයි කීවේ තාත්තාටය. කිසිදු තෙතමනයක් නොපෙන්නුවද ඇගේ හිත මෘදු බව මා තේරුම් ගත්තේ , මුහුණ වත් නොබලන තාත්තාගේ කැමැත්ත වෙනුවෙන් තමා වෙහෙසී උපයා ගන්නා මුදල් වියදම් කල නිසාවෙනි. ලොකු අක්කා කිසිදු මසක් මාළුවක් නොකෑ අතර ඒවා මිලට ගත්තේ අප වෙනුවෙනි. දින ගණනාවක් උදේ පිටව හවසට ගෙදර ආ පොඩි අක්කාගේ අම්මා දවසක් ගෙදර ආවේ අතින් කටින් බඩු එල්ලාගෙනය.
” ඇති යන්තම් ලොක්කියේ…මම උප්පැන්නෙ හදා ගත්තා. ඒ ගමන්ම ඉස්කෝලෙට ගිහින් ලොකු මහත්තය හම්බ වෙලා විස්තර කතා කර ගත්තා..මම කොල්ලට කලිසම් දෙකකුයි කමිස දෙකකුයි මහන්න රෙදිත් අරන් ආවෙ..උඹට පුළුවන් නේද ඒ ටික මහල දෙන්න..”
” බලමු ..මට මේ හදිස්සි ඕඩරයක් තියෙනව බාර දෙන්න . මෙච්චර කල් ගෙදර හිටපු එකේ මොකෝ හෙටම ඉස්කෝලෙ යන්න ඕනෙ කියල නැහැනෙ..”
” උඹට ඉඩ තියෙන විදියකට බලපන්කො.. ” පොඩි අක්කාගේ අම්මා බයාදු ස්වරයෙන් කීවේ ඈ අත තිබූ බෑගයෙන් කොලයක් එලියට ගන්නා අතරේය.
” මේ බලපන් ලොක්කියේ.. මවගේ නම…රත්නායක මුදියන්සේලාගේ කරුණාවතී…. මට මේක විසඳගන්නකල් රෑට නින්ද ගියෙත් නෑ ලොක්කියෙ…අපරාදෙ කියන්න බෑ මට ග්‍රාම සේවක රාළහාමි හරියට උදව් කලා..දරුවෙක්ගෙ අනාගතේ හදල දෙන එක දාන හතක් දෙනවට වැඩිය පින්කමක් ය කියල.. “අම්මා ඒ කඩදාසිය ලොකු අක්කාට පෙන්වමින් කීවේ විශාල සතුටකිනි.
” .ඒක නෙවෙයි..කෝ ඔහේගෙ අතේ තිබුන වළල්ල..” ලොකු අක්කා ඇසුවේ කෝපයෙනි.
” මම ඒක වික්කා..ඒක මාත්තු රත්තරන් එකක්. මට උඹල දෙන්නට බඩු මුට්ටු හදල දෙන්න බැරි වුන එක ඇත්ත. ඒත් ඒක හදල දීපු මගේ අම්මටත් පින් සිද්ද වෙනවා මේකා දවසක ඉගෙනගෙන රටට ලෝකෙට බරක් නැති කෙනෙක් වුනාම..”
පොඩි අක්කාගේ අම්මා කීවේ මගේ හිස අත ගාමිනි. ඇය මේ සියලු කතා බහ කරන්නේ තාත්තා ගෙයි නැති වේලාවලදීය. තාත්තා නිවසේ ඉන්නා සෑම මොහොතකම අම්මා වැඩි කතා බහක් නොකරන අතර, ඔහු ද බුම්මාගෙන ඇඳට වී සිටියි. නැතහොත් ගෙයින් පිටවී යන ඔහු , ආපසු එන්නේ දහවල හෝ රැයෙහි කෑම වෙලාව ලං වෙද්දීය. කවදත් අපට උදේ කෑමක පුරුද්දක් තිබුනේ නැත. ලොකු අක්කා බොහෝ විට ඉවුම් පිහුම් නොකල අතර, පොඩි අක්කාත් ඇගේ අම්මාත් එක්ව හෝ මාරුවෙන් මාරුවට හෝ ඉවූහ. පොඩි අක්කාගේ අම්මා මගේ පාසල් ගමන වෙනුවෙන් උවමනා බොහෝ දෑ ගෙනවිත් තිබුනාය. සපත්තු , මේස් පොත් බෑග් , පාට පෙට්ටි සහ පොත් ද ඒ අතර විය. පාසල් යාම මට අළුත් අත්දැකීමකි. ගේ දොරකඩින් පාසලට යන එන ළමුන් දුටුවද මට ඒ ගැන වැඩි අදහසක් තිබුනේ නැත. මා වෙනුවෙන් ගෙන ආ ඒ භාණ්ඩ වලට මම ආදරය කලෙමි. ඒවා අතපත ගා බැලුවෙමි.
” මෙහාට වරෙන් මයෙ පුතේ..” පොඩි අක්කාගේ අම්මා මා උකුලේ හිඳුවා ගත්තේ පොත් බෑගය කරේ දමා මා හැඩ බලමින් ඉන්නා විටදීය.
” උඹ ඉස්කෝලෙ ගිහින් හොඳට ඉගෙනගන්න ඕන..ලොකු මහත්තයෙක් වෙලා රස්සාවක් කරන්න ඕන. .තේරුනාද පැටියෝ..මම උඹේ නම ඉස්කෝලෙට බාර දුන්නා. අපි සඳුදා ඉඳන් ඉස්කෝලෙ යමු..ඉස්කෝලෙ ළමයි ඇහුවත්, කවුරු ඇහුවත් උඹ කියන්න ඕන උඹේ අම්මා මමයි කියල තේරුනාද .කියනව නේද මයෙ පුතේ..”
ඇය ඇසුවේ කෙසඟ ඇඟිලි තුඩු වලින් මගේ හිස පිරිමදිමිනි. මගේ දෑසට කඳුළු පිරුණේ මගේ “අම්මා” සිහිවීමෙන්ද එසේත් නැතිනම් අළුත් අම්මා මට දක්වන මේ දරාගත නොහැකි ආදරය සෙනෙහස වෙනුවෙන්දැයි මට වැටහුනේ නැත. “අම්මා” මා අතහැර ගිය පසු ඇයට මා සිහි වූවාදැයි මා දන්නේ නැත. ඇය කුමන මොහොතක හෝ මා කැඳවාගෙන යාමට එතැයි මම මග බලා සිටියෙමි. එහෙත් ඇය ආපසු ආවේ නැත. මේ නිවස ඉදිරිපිට ඇති පාරේ යන බස්රියක නැගී මා මිදුලේ ඉන්නවාදැයි බලමින් ඇය යනු ඇතැයි සිතමින් මම මිදුලට වී යනෙන බස් රිය දෙස බලා සිටියෙමි. එහෙත් ඇය කවදාවත් බසයක නැගී කවුළුවෙන් පිටත බලාගෙන යනු මා දුටුවේ නැත. තාත්තා ඇය සොයා ගොස් මා ගැන තොරතුරු ඇයට කීවාදැයි මා දන්නේ නැතත් , තාත්තා ඇය ගිය පසු කිසිම දිනෙක මා ලඟට කැඳවා ” පොඩි එකෝ උඹට පාළුදැයි” ඇසුවේ නැත. නමුත් පොඩි අක්කාගේ අම්මා පැමිණි දා පටන් ඇය මට තනිකම දැනෙන්නට ඉඩක් තැබුවේ නැත. “අම්මා” ගෙන් පවා නොලද සුරතල් කිරීම් මා වින්දේ පොඩි අක්කාගෙන් සහ ඇගේ අම්මාගෙනි. ඒ මගේ ජීවිතයේ මා ලද හොඳම ආදරයයි. ඇතැම් විට කෙදිනක වත් මට එතරම් ආදරයක් නොලැබෙනු ඇත. මම දෙවරක් නොහිතා මගේ කුඩා දෑත් ඇගේ ගෙල වටා යවමින් ඇයට තුරුළු වී ” අම්මා..අම්මා…” යැයි කෙඳුරුවෙමි. ඇය ඇගේ කෙසඟ දෑතින් මා වඩාත් සුරක්‍ෂිත ලෙස තදින් තුරුළු කර ගත්තාය.
” මයෙ පුතේ..” ඇය මා සිප ගනිමින් කීවේ අප්‍රමාණ ප්‍රීතියකිනි. ඇගේ උණුසුම මටද ගෙන ආවේ ප්‍රීතියකි. ලොකු අක්කා අම්මාගේත් මගේත් සුරතලය දෙස බැලුවේ නොපහන් දෑසිනි.
” මල කෝලං..”
යයි තමාටම කියා ගත් ඇය මට ලඟට එන්නැයි හිසින් සන් කලාය. මම වහා අම්මාගේ උකුළෙන් බිමට පැන ඇය ලඟට ගිය අතර ඇය මා ඒ පැත්ත මේ පැත්ත හරවමින් මිණුම් පටිය තබා මැන්නාය. මා බියපත්ව සිටියේ කුමන මොහොතේ ඇගෙන් බැණුම් අසන්නට සිදු වේදැයි සැකයෙනි. ඉරිදා හවස් වනතෙක්ම ඇය මගේ ඇඳුම් නොමැසීම ගැන අම්මා සිටියේ කණගාටුවෙන් වුවද ඇය ලොකු අක්කාට දොසක් නොකීවාය. ලොකු අක්කා කෝප වූ විට සියල්ලන්ටම බැන වදියි.මමද හැකිතාක් දුරට ඇය කෝප ගැන්වෙන කිසිවක් නොකර සිටීමට වගබලා ගතිමි. ඊලඟ දවසේ පාසලට යමු යැයි අම්මා කියා තිබුනද මා නිදා ගත්තේ ඒ සඳහා කිසිදු සූදානමක් නැතිවය.පසුදා මා අවදි කලේ අම්මාය. ඇය පාන්දරින් අවදිව පොඩි අක්කා හා එක්ව කිරිබත් උයා තිබුනාය. ලොකු අක්කා නිදා සිටියාය. ඇගේ මහන මැසිම මත අළුත් සුදු කමිසයක් සහ නිල් කලිසමක් තිබුනි. ලොකු අක්කා කුමන මොහොතේ ඒවා මසා නිමකලාදැයි මා දැන සිටියේ නැත. මා අම්මා සමග පාසල් යන්නට පිටත් වන විටද ඇය අවදිව සිටියේ නැත. තාත්තාට දණගසා වැන්ද මොහොතේ ඔහු මගේ හිස අත ගෑවේ ” හොඳින් ඉගෙන ගෙන අම්මට සලකපන් පොඩි එකෝ ” යැයි කියමිනි. ඒ මොන අම්මාට දැයි මා ඇසුවේ නැත.
එතැන් පටන් මගේ ජීවිතයේ අළුත් පිටුවක් පෙරලින. අම්මා ගුරුවරුන්ට හඳුන්වා දුන්නේ මා ඇගේ පුතු ලෙසිනි.අවුරුද්දේ අතරමැද පන්තියට ආ මා දෙස සියළු ළමුන් බලා සිටියේ අමුතු සතෙකු දෙස බලන්නාක් මෙනි. ගැහැනු ළමයි මෙන්ම පිරිමි ළමයි ද සිටි එම පන්තියේ මා හිඳුවා අම්මා පිටව යද්දී මා ඈ දෙස බලා උන්නේ කඳුළු පුරවාගත් දෑසිනි.
” අඬන්න එපා මයෙ පුතේ..මම දවල්ට එන්නම් පුතාව ගන්න..” අම්මා කීවේ මගේ හිස සිප ගනිමිනි.
” ඒ ඔහෙගෙ ආච්චිද..” අම්මා පිටව ගිය පසුත් මා සිහින් හඬින් ඉකි ගසද්දී මා ලඟ උන් ගැහැණු ළමයා ඇසීය.
” නැහැ..ඒ මගේ අම්මා..” මා කීවේ දැඩි ස්වරයෙනි . අම්මාට ආච්චි යයි යැයි කිවූ බැවින් මට ඇය එපා විය. මගේ මුල්ම ගුරුතුමිය මට ඉතා කරුණාවන්ත විය. මට නොතේරුණු සියළු දෑ ඇය ඉතා ආදරයෙන් පැහැදිලි කර දුන් නිසාම මගේ පළමු පාසල් දිනය නීරස නොවුනු අතර මම ක්‍රමයෙන් පන්තියටද ,පාසලටද ,සමාජයට ද හුරු වෙමින් සිටියෙමි. අම්මාත් මාත් අතර ඇතිව තිබූ බැඳීම දිනෙන් දින වැඩි වූ අතර ඇය ඇතැම් අවස්ථාවල ඇගේ දරුවන් දෙන්නාටම වඩා මට ආදරය කලා නොවේදැයි මට නොසිතුනාම නොවේ. මම ඉගෙනීමේ අතිදක්ෂයෙක් නොවුනෙමි. එහෙත් පන්තියේ උන් කීකරු සිසුන් අතරින් එක් අයෙක් මම වීමි. එනිසාම කිසිදා පාසලෙන් මා පිළිබඳ පැමිණිලි ගෙදරට ආවේ නැත.