” උරුමක්කාරයා ” කෙටි කතාව පළමු කොටසයි.
කනත්තට පැමිණි සියල්ලන්ම පිටව ගොසිනි. අම්මාත් මමත් පමණක් තවමත් මෙහි රැඳී සිටින්නෙමු. මා ද යා යුතුය. ඒ බව මට සිහිපත් කලේ ටික වෙලාවකට පෙර පිටව ගිය ලොකු අක්කා මගේ උරහිසට ඇන ” ඔය ඇති.. දැන් යමන් .. ” යයි කීමෙනි. එවේලේ මා සිටියේ බිම ඉඳගෙන දෙදන මත හිස හොවා කඳුළු වගුරුවමිනි. මගේ ආදරණීය බිරිඳ දර්ශනී ද දරුවා රැගෙන අනෙක් පිරිස සමගම පිටත්ව යන්නට ඇත. පැමිණ සිටි නෑ හිතවතුන් සියල්ලෝම යන්නට පෙර මූනිච්චාවට හෝ මා ලඟට පැමිණ ආචාර කර පිටව ගියහ. එහෙත් මා එසේ සිතුවද මේ ගමේ අහිංසක ගැමියන් එසේ මූනිච්චාවට වැඩ කරනා අය ද නොවේ.
මට සමු නොදී පිටව ගොස් ඇති එක් අයෙක් වේ. ඒ මගේ ” අම්මා “ පමණය. ඇය මළ ගෙදර ආවේද කැමැත්තෙන් නොවන්නට ඇත. ඇයත් සමග අවුරුදු විස්සක පමණ ගැහැනු ළමයෙක් පැමිණ සිටි අතර ඒ ඇගේ දරුවන් දෙදෙනාගෙන් බාලයා බව කවුදෝ කියනු ඇසිනි. ඇය මා අතහැර දමා ගිය පසු වැඩි කල් නොගොසින්ම විවාහ වන්නට ඇතැයි මට සිතුනි. අවුරුදු විසිපහකට පමණ පසු ඇය මා දුටු පළමු වතාව වූ අද දවසේ , ඇයට කිනම් හැඟීමක් දැනුනාදැයි මා දන්නේනැති නමුත්, ඇය දැකීම මසිතෙහි නම් විශාල කම්පනයක් ඇති නොකළ බව මට විශ්වාසය.
මට ඇත්තේද ඇගේ හමේ වර්ණයමය. එපමණක් නොවේ මුහුණුවර ද ඇයට හුරුය. ලොකු අක්කාටත් පොඩි අක්කාටත් වඩා මා අඳුරු සමකින් යුක්ත වීමේ රහස “අම්මා ” බව මම දනිමි. අවමංගල පෙරහර සමග ඇය කනත්තට පැමිණ ඇති බව මා දුටුවේ මගේ කර මතින් ගෙන ආ අම්මාගේ දේහය බිම තබන මොහොතේය . අප දෙදෙනාගේ සිව්නෙත් හමු වූ ඒ මොහොතේ, අප දෙදෙනාම බිම බලාගත් නමුදු, ඇගේ දෑසෙහි කැටිව තිබූ කඳුළු මට නොපෙනුනා නොවේ. ඒ කවුරුන් වෙනුවෙන් උපන් කඳුළු දැයි මට නොවැටහුනු අතර , මගේ දෑසද කඳුළින් පිරී තිබුන නමුත්, ඒ ඇය වෙනුවෙන් නම් නොවේ..
අම්මා අදින් පසු සදහටම නිදා සිටිනා තැන දෙස අවසන් වරටත් බැලූ මම ඇයට නිවන් සුව ලැබේවා කියා පැතුවෙමි. පතනා තරම් ලේසියෙන් නිවන් දකින්නට බැරි වුවත් යලිත් සසරේ උපදින කවර ආත්මයක වත් අම්මාගේ හිතට දුකක් නොලැබී ඉන්නට තිබුනොත් ඒ හොඳටම ඇත.මා කනත්තේ සිට නිවසට ඇති සැතපුම් දෙකක පමණ දුර ඇවිදගෙන යාමට තීරණය කලේ මට අම්මා ගැන සිහි කිරීමට මීට වඩා හොඳ අවස්ථාවක් නොලැබෙන බැවිනි. අඳුරු වැටී ඇති මේ මොහොතේ මා දෙස බලන්නට කෙනෙක් නැත. කනත්තේ දොරටුවෙන් පිටව ආපසු හැරී බැලූ මට අම්මාගේ සොහොන මත ඇවිලෙන පහනේ ආලෝකය පෙනුනේ ඇය මා දෙස බලා සිටින්නාක් මෙනි.
තාත්තා මෙම නිවසට ” අම්මා” ත් මමත් කැඳවා ගෙන එන විට මගේ වයස අවුරුදු හතරක් හෝ පහක් පමණ වන්නට ඇත. සාදා නිමවන්නටත් පෙර දිරාපත් වූ එම නිවසේ උන්නේ පාණ්ඩු පාට කෙසඟ කෙල්ලක පමණි. ඇය මට වඩා වසර ගණනාවකින් වැඩිමල් තැනැත්තියකි. අපව දුටු මොහොතේ අප දෙස බැලූ හැඟීම් විරහිත දෑස හා සිනහවකින් තොර වූ ඇගේ මුහුණ දුටු මම “අම්මා”ගේ ඇඳුමට මුවා වූ අයුරු මට හොඳින් මතක තිබේ.
” මේ ඉන්නෙ පොඩි කෙල්ල. ඒකි විතරයි ගෙදර නැවතුනේ..” තාත්තා “අම්මා” ට කීවේ ඔහු අත තිබූ අපේ ඇඳුම් බෑගය බිම තබමිනි.
” පොඩි එකියේ..තේ ටිකක් හැදුවනම්..”
ඔහු ඊලඟ මොහොතේ කීවේය. පාණ්ඩු පාට කෙල්ල පා වෙන්නාක් මෙන් කුස්සියට ඇදුනාය.ඇගේ දෑත් දෙපා බෙහෙවින් දිගුය. කෙසඟය. මට කෝන්ගොඩ පන්සලේ පෙරහරේ නටන්න ආ බොරු කකුල් කාරයා සිහිවිය. ඇය ටික වේලාවකින් පීරිසි කෝප්ප දෙකකට තේ දමා ගෙනවිත් මේසය මත තැබුවාය. ප්ලාස්ටික් කෝප්පයකට දැමූ තේ ටිකක් ඉන්පසුව ගෙනත් තිව්වේ මා වෙනුවෙනි.”අම්මා ” තේ කෝප්පය කටට ගෙන ආපසු මේසය මත තැබුවේ වගක්වත් නොමැතිව තේ බොන තාත්තා දෙස පුදුමයෙන් බලමිනි..
” ඇයි ..ගුණවතීට තේ එක හරි ගියේ නැද්ද..”
” අපොයි..සතියක් බිව්වොත් දියවැඩියාව හැදිල නවතින්නෙ”
” අම්මා “කීවේ මුහුණ හකුළුවමිනි. පාණ්ඩු පාට කෙල්ල කුස්සියේ සිට එබී බැලුවාය.
“අම්මා ” ගේ කතාවට ඈ කෝප ගන්නට ඇතැයි මා සිතූ නමුත් ඇගේ මුහුණේ කිසිදු හැඟීමක් තිබුනේ නැත. නිහඬව මා ලඟට පැමිණි ඈ ප්ලාස්ටික් කෝප්පය මා අතට දුන්නාය. එය දුන් ආකාරයට බියපත් වූ නිසාම එක හුස්මට තේ ටික බිවූ මා හිස් කෝප්පය ඇය අත තබද්දී ඇගේ මුහුණේ පළමු වරට සිනහවක් ඇඳී තිබිණි . ඇත්තටම ඒ තේ එක රස යැයි මට සිතිණි.
” කොළුවෝ..මේ උඹේ පොඩි අක්කා ” තාත්තා එසේ කියද්දී මා ඇය සමග සිනහ වුවද ඇය මා නොදුටුවා සේ කුස්සියට ගියාය.
” කෙල්ල ගොළුද..” කට පියාගෙන ඉන්න බැරි නිසාදෝ ” අම්මා ” ඇසුවාය. ඇය එසේ කීවද මට නම් පොඩි අක්කා හොඳ යැයි සිතිනි.
” ඔය ඒකිගෙ හැටි. වැඩි කතා බහ නැති වුනාට හිත හොඳ එකී. ඒකිටත් එක්ක හරියන්න උන්ගෙ අම්මයි අක්කයි කතා කරනවනෙ..”
“එහෙමද..එහෙනම් මෙයැයි මෙහෙම වුන එකත් හොඳයි.” ” අම්මා ” කීවේ සැනසිලි දායක හඬිනි.
තාත්තා කෝන්ගොඩට කඩ කෙරුවාවට ආවේ තමාගේ නරක කලදසාවක් ලැබූ හින්දා යයි කියවෙන “අම්මා”ගේ මන්තරය මට කටපාඩම් වූ එකකි . එකල මට නොතේරුනද තාත්තා කෝන්ගොඩට එන්නට ඇත්තේ ජිනදාස සිංහලේ ගිය ආකාරයට වන්නට ඇතැයි පසු කලෙක මට සිතිණි.. ජිනදාස යලිත් ගමට නොගිය නමුත් තාත්තා වරින් වර කඩය වසා දමා අතුරුදහන් විය. ඔහු ආපසු එන්නේ බරටම කිරි පැණි මෙන්ම රස කැවිලි මල්ලක්ද රැගෙනය. ඒ කදමලු වලට මා වහ වැටුනද ” අම්මා ” ඒ දෙස බලන්නේවත් නැත. එපමණකින් නොනැවතී තාත්තාගේ ආගමනයෙන් දින දෙක තුනක් ගතවන තෙක් ඇය ඉන්නේ පුළුටු කර ගත් මුහුණින් යුතුවය. කෝන්ගොඩ ගමේ ජීවත් වූ වැඩි දෙනෙක් “අම්මා”ගේ නෑයන් වුවද අපත් සමග නෑකම් පැවැත් වූයේ ආච්චි අම්මා පමණය. අනෙක් අය නෑයන් යයි මාදැන ගත්තේ “අම්මා ” අසවල් නැන්දා ..මාමා ..බාප්පා ..යනුවෙන් විවිධ නෑ කම් වලින් ඔවුන් හැඳින්වීම නිසාය.
” උඹට විසේ වැහිල කරගත්ත ඒවට වන්දි ගෙවන්න වුනේ මේ අසරණ කොල්ලට..බලාපන්..කවද හරි මූට තාත්තෙක් ඉතුරු වෙයිද කියල..” මේ ආච්චි අම්මා නිතර දෙවේලේ කියුවකි.
” කෑ නොගහ ඉන්න අම්මේ..ඒක මම බලාගන්නම්..” ඒ සෑම විටකම “අම්මා” පිළිතුරු දුන්නේ එසේය.
“අම්මා” ගේත් ආච්චි අම්මා ගේත් මෙවැනි කතා මට නිතර ඇසුන නමුත් ආච්චි අම්මා බැණ වදින කාරණාව කුමක්දැයි මා දැන සිටියේ නැත. ආච්චි අම්මා ගේ මරණයෙන් ටික කලකට පසු එක්තරා දිනෙක එතෙක් අප ජීවත් වූ නිවස වසා දමා “අම්මා” තාත්තා සමගින් මා ද කැටුව මේ නිවහනට පා තැබීය.පොඩි අක්කා මට හමු වූයේ මේ නිවසේදීය. මේ නුහුරු නිවසේ තනිවෙන්නට බිය වූ මා “අම්මා” ගේ ඇඟේ දැවටෙමින් ඉන්නට උත්සාහ කලද ඇය කලේ මා පසෙකට තල්ලු කර දැමීමය.
” අන්න අරෙහෙට වෙලා හිටපන්..” එසේ කිවූ ඈ ගෙය පුරා ඇවිද්දාය. ගෙය පුරා යැයි කීවද එය මහා විශාල ගෙයක් නොවේ. ඉදිරි දොරෙන් ඇතුල් වූ පසු කුඩා ඉස්තෝප්පුවක් සහ සාලයක් ද , තවත් එක් කාමරයක් ද කුස්සිය යැයි කිවූ අබලන් කාමරයක්ද එහි විය. අප එතෙක් ජීවත් වූ කෝන්ගොඩ නිවස මීට වඩා තරමක් විශාල එකකි. “අම්මා” සියල්ල විපරම් කර බැලීමෙන් පසු කාමරයේ තිබූ ඇඳ අස්පස් කර අපේ ඇඳුම් බෑගයෙන් ගත් ඇඳ රෙද්දක් ඊට එලා කාමරයේ තිබූ ඇඳුම් කිහිපයක්ද, ඇඳේ තිබී ඉවත් කල රෙදි ද, ගෙන ගොස් සාලයේ වූ පුටුවක් මතින් තැබුවාය. පොඩි අක්කා නිහඬවම ඒ රෙදි පෙරදි ටික ගෙන ගොස් කුස්සියේ තිබූ බංකුවක් මත තැබුවේ ඇය කල් තියාම ඒ සඳහා පුහුණු වී සිටියාක් මෙනි. ඒ ඇඳුම් ඇගේ ඒවා යයි මම තීරණය කලෙමි. සමහර විට ඇය ඒ කාමරයේ මෙතෙක් කල් නිදාගන්නට ඇත. “අම්මා ” කිසිවක් නොවිමසාම කාමරය අත්පත් කර ගත්තේ එසේය.
හැන්දෑවේ පොඩි අක්කා මගේ අතින් අල්ලාගෙන ගෙය පිටුපස වූ කුඩා ලිඳ ලඟට කැඳවා ගෙන ගියාය. කෝන්ගොඩ වතුර මෙන් නොව මේ ලිඳේ වතුර යන්තමට ලුණු රසය. බේසමකට වතුර ඇද දැමූ ඇය මගේ කලිසම ගලවා දමන්නට හදද්දී මම දෑතින්ම එය අල්ලා ගතිමි. කෝන්ගොඩ දී හැන්දෑවේ ඇඟ සේදීමක් නොකරන බැවින් මම මේ අලුත් පුරුද්දෙන් ගැලවෙන්නට උත්සාහ කලෙමි. නාඳුනන තරුණියක ඉදිරියේ රෙදි ගැලවීම කෙසේවත් කල නොහැක.
” ඇඟ හෝද ගන්න.” ඇය කීවේ අණ දෙන ස්වරූපයෙනි.ඒ ඇගේ මුවින් මා ඇසූ මුල්ම වචන කිහිපයයි. ඒ හඬ කොහෙත්ම ඇගේ පෙනුමට ගැලපුනේ නැත. කෙසඟ සිරුරක් හිමි ඇයට තිබුනේ ගොරෝසු කට හඬකි.
” මම හෝදගන්නම්..” මම හීන් හඬින් කෙඳුරුවෙමි. ඇය නිහඬව බලා සිටියාය. ඇය මට ඇඟ සේදීමට වතුර ඇද බේසමට පිරෙව්වේත් , මා ඇඟ සේදූ පසු ගෙට කැඳවා ගෙන ගොස් මට ඇඳුමක් අන්දවා පව්ඩර් අල්ලක් රැගෙන මුහුණේ තැවරුවේත්, කවුරුන් විසින් හෝ ඇයට පවරන ලද රාජකාරියක් කරන තරමේ සැලකිල්ලෙනි. ” අම්මා ” රෑ බත පිළියෙල කරන තෙක් පොඩි අක්කා මා සමග සිටියද, වරින් වර ගොස් නුපුරුදු කුස්සියක ඉවුම් පිහුම් කරද්දී, බඩු මුට්ටු සොයා ගත නොහැකිව මැසිවිලි කියන “අම්මාට” නිහඬව ඒවා සොයා දී ආවාය. ඇය තම කෙසඟ දෙකකුල් මත මා හිඳුවාගෙන පද්දමින් සිටියේ කුඩා දරුවකු නලවන්නාක් මෙනි.
රැයෙහි නින්දට යද්දී කවදත් “අම්මා” මා නිදි කෙරෙව්වේ බිම එලූ පැදුරකය. “අම්මාත්” තාත්තාත් ඇඳේ නිදාගත් අතර මම ඒ ලඟ පාතක බිම පැදුරේ නිදා ගතිමි. බොහෝ විට මා උන් තැනම නිදා වැටුනු විට “අම්මා” මා ඔසවා පැදුරේ තබයි. මා පැදුරේ නිදි කරවීමට හේතු වුනු තවත් කරුණක් වූයේ නින්දේදී මට මුත්‍රා පිටවීමය. මෙය මා වඩාත් ලැජ්ජාවට පත් කරවූවකි. උදෑසන “අම්මාගේ” බැණුම් අසමින් මා කොට්ට පැදුරු අකුලා තබන්නේ ලැජ්ජාවෙන් මිරිකෙමිනි. කෝන්ගොඩ නිවසේ සිටියාට වඩා දැන් මට අපහසුතාවයට පත් වන්නට සිදුවන බව සිහි වී මගේ ලැජ්ජාව දෙගුණ විය. පොඩි අක්කා ද මේ බව දැනගන්නා බැවින්, නිදාගන්නට බැරි බව කියමින් , මම හඬ නගා හැඬුවෙමි. පොඩි අක්කා මා ඇගේ තුරුලට ගත් බව මට මතක තිබූ නමුත්, මට නින්ද ගියේ කුමන මොහොතේදැයි මා දන්නේ නැත.
එදින රැයේ ද , සුපුරුදු ලෙස මට මුත්‍රා පිටව තිබූ අතර, ඒ සියල්ල අස් පස් කලේ පොඩි අක්කාය. “අම්මා “ කවදත් මගේ මේ අමිහිරි සිදුවීමට අනුකම්පා කලේ නැත. පොඩි අක්කා ද, ඒ රැයේ මා ලඟ එලූ පැදුරක නිදා සිට ඇති බැවින්, ඇගේ පැදුර ද සුළු දිය දහරින් තෙමී තිබූ අතර ඈ කිසිවක් නොකියා ඒ සියල්ල පිරිසිදු කලේ මා පුදුමයට පත් කරවමිනි. මම පොඩි අක්කාට “අම්මාට” ත් වඩා ආදරය කරන්නට වීමි. ඇගේ පාණ්ඩු පැහැයත් , කෙසඟ අත පයත්, මට පෙනුනේ ඉතා සුන්දරවය. හොද්දක් බතක් හරියට උයන්නට ඉගෙනගෙන නැති බව කියමින් “අම්මා” ඇයට ආඩපාලි කියමින් බැන වදිද්දීද , ඇගේ මුහුණේ මට කිසිදු හැඟීමක් පෙනුනේ නැත. ගහක් ගලක් සේ ඇය ඒවා අසා සිටියාය. බොහෝ වේලාවට මෙවැනි දේ සිදුවන්නේ තාත්තා නිවසේ නැති විටදීය. කෝන්ගොඩ කඩය ද වසා දැමූ බැවින් තාත්තා රැකියාව සඳහා කලේ මොනවාදැයි මා දැන උන්නේ නැත.
” මහ ගෑනි මොනවද ඉගැන්නුවෙ මෙච්චර කල්.. ළමිස්සියෙක් වෙලත් හොද්දකට ලුණු ඇඹුල් දමාගන්නවත් බැරි. “අම්මා” විටෙක මා නොදන්නා වචන කියමින් බැණ වදියි. ඒවා කියන්නේ පොඩි අක්කාට බව මා දැන ගත්තේ ඒ බැණුම් මට නොවනා බැවිනි. ඒවාට පිලිතුරු නොදී මග හරින පොඩි අක්කා මගේ අතින් අල්ලාගෙන වත්ත පහලට යන්නේ “අම්මාගේ” දැසට නොපෙනී ඉන්නටය.
” අම්මයි අක්කයි ආවොත් එහෙම එයැයිට මොනව වෙයිද දන්නෙ නෑ..” එවන් විටෙක ඇය පවසන්නේ තමාටමය. ඇය කියනා අම්මාත් අක්කාත් කවුදැයි මා නොදන්නා බැවින් මට එහි අරුත එකල නොවැටහිණි.
” ඒ කවුද..??” මම ඇගේ අත සොලවමින් අසමි.
” මගේ අම්මයි අක්කයි…ඒ ගොල්ලො ගෙදරින් ගියේ ඔහෙගෙ අම්ම නිසා..ඔහෙ මේවට පලි නෑ..ඔහේ ඉතින් මගේ නෑයෙක් නේ..” ඇය පැවසූ කිසිවක් එකල මට නො වැටහිණි. පොඩි අක්කාගේ සිත රිදී ඇති බව වැටහුන එවන් විටකදී මම නිහඬව ඇයට තුරුළුව සිටියෙමි. පොඩි අක්කා මට ආදරය කිරීම ගැන තාත්තා උන්නේ සතුටිනි.
” උන් ලේ සුවඳ අඳුරනව ඇති..”
” ලේ සුවඳ නම් මම දන්නෙ නෑ.. ඒත් මේකව හුරතල් කරල කරල දැන් ගන්න දෙයක් නෑ..” “අම්මා “කෝපයෙන් කියයි. “අම්මා “ උන්නේ සැම විටම පරල වූ අයුරිනි. ඇගේ මුවින් නිතරම වාගේ ඊතල වැනි තියුණු වචන හතර අතට විහිදුවන බැවින් , මම නිතරම පොඩි අක්කාගේ ගවුමේ එල්ලී ඇගේ ආරක්ෂාව පැතුවෙමි. පොඩි අක්කා අහල පහල පාසල් යන ළමුන්ගෙන් පරණ පින්තූර පොත් , කතන්දර පොත් ඉල්ලා ගත්තේ මා වෙනුවෙනි. ඈ ඒවා ගෙනවිත් මට කියා දුන්නාය.
” මේ කොල්ලව ඉස්කෝලෙකට දාගන්න ඕන. කොහෙද ..මේ මිනිහට ඒවයෙ ඕනකමක් නැහැනෙ..මගේ අම්ම කිව්ව දේවල් නාහපු කමට මට මේවා හොඳ පාඩම්..” පොඩි අක්කා කරන කියන දෑ දකින “අම්මා” බැන වදින්නේ තාත්තාටය. තාත්තා “අම්මා” බැන වදිනා සෑම විටකදීම නිහඬව සිටියේ විශාල වරදක් කර බැනුම් අසනා කෙනෙකු විලසිනි. මේ සියළු ගැටුම් අතර වුවද මම පොඩි අක්කාගේ ඇසුරේ සතුටින් හැදී වැඩුනෙමි.