Breaking News

ලෝකෙ කොහේ හිටියත් කවියකට ඒ තැනට ගිහින් හදවතට කතා කරන්න පුළුවන්

හිල්මි සුපුන් 

මේ කාලය ලේඛක ලේඛිකාවන්ට බොහොම දුෂ්කර කාලයක්. පොතක් ජනගත කිරීමට දෙතුන් වතාවක් හිතන්නට සිද්ධ කර තිබෙන කාලයක්. මේ දුෂ්කරතාවයන් එසේම පවතිද්දී මේ සාහිත්‍ය මාසය තුළ ලේඛක ලේඛිකාවන් කිහිපදෙනෙකු තමන්ගේ නිර්මාණ මුද්‍රිත පොත් ලෙස එළිදක්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා.

සමාජ මාධ්‍යයෙන් විශේෂයෙන්ම මුහුණු පොත හරහා අප හඳුනාගත් කිවිඳියක් සමඟ පුංචි පිළිසඳරක යෙදෙන්නට විවර අපි කල්පනා කළා . සැප්තැම්බර් 10 වැනිදා ඇගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය එළි දක්වනවා. ඇය නමින් ” චමිලා මැණික්ගමගේ “. මේ කතා බහ කරන්නට යන කාව්‍ය සංග්‍රහය ඇය නම් කර තිබෙන්නේ ” සඳ බිඳුණු ගොවිඳු හෙල ” නමින්.


* මේක බොහොම දුෂ්කර අවදියක්. පොතක් මුද්‍රණය කරනවා කියන එක අති දුෂ්කරයි. ප්‍රකාශන සමාගම් පවා පොත් මුද්‍රණය ප්‍රතික්ෂේප කරන මොහොතක් ඉතින් මේ කතාව ආරම්භ කරමු ඒ දුෂ්කරතාවය කොහොම මගහැර ගත්තාද කියන තැනින්.

ඇත්තටම පොතක් කරන්න අදහස ආවෙ කාලෙකට කලින්. එක්තරා ප්‍රකාශන ආයතනයක් පොත කරන්න හිටියත් ඒක පමා වුනා. අන්තිමේ “සක්නද ප්‍රකාශනායක් ” විදිහට පොත කරන්න අවස්ථාව ලැබුනා. විශේෂයෙන් දමයන්ති ගල්පායගේ මහත්මියගෙ කැපවීමෙන් තමා පොත කරන්න අවස්ථාව ලැබුනෙ.ඇත්තටම දැන් මුද්‍රණ වියදම් ආදිය බලද්දි පොත් කරන්න අමාරුයි හැමෝටම .තවත් කල් ඇරියොත් පොත කරන එක එපාවෙන්නත් ඉඩ තිබ්බා.ඒකයි මේක මේ අවුරුද්දේ කරනවා කියල හිතාගත්තෙ.

* ඔබ කවියට අත්පොත් තබන්නේ කොතනින්ද?

ඉස්සෙල්ලාම නම් පරිවර්තනය කවියක් හරහා තමා කවි ලියන්න ගත්තෙ.කවි නොලීව කාලෙ ඒ කීවෙ නවය දහය පන්ති වලදි පොත් කියවන්න නම් මගෙ කාලය වැඩියෙන් වැය වුනා.අවසානෙ සුදත් ගාමිණී බණ්ඩාර ගුරුපියා ගෙ නොමඳ මඟපෙන්වීම යටතෙ තමා කවිය කියන හද බස එක්ක සමීප වුනේ.කවි පොත් කියවන අතරෙ ලියන්න ගත්තා .කවි පොත් පරිශීලනය ඉස්සර අඩුයි.වර්තමානයේ වගේ කවි පොත් තිබ්බෙත් නෑ .සේකරයන්ගෙ ,රත්නශ්‍රී විජේසිංහයන්ගෙ කවි කියවන්න පුදුම ආසාවක් තිබ්බා.ඒ කියවීම් සහ සුදත් ගුරුතුමාගෙ ඇසුර තමා මගෙ කවි අත් පොත.

* කවිය ප්‍රභේද ගත කළ හැකියි. ඔබ වඩා ප්‍රිය කරන කවි කුමක්ද?

මම ඇත්තටම ආස සඳැස් කවියට.වර්තමානයේ කවි වල කතා කරන භාෂාව පවා තියෙනවා .ඒවත් හරි ලස්සන සරල නිර්මාණ විදිහට දකිනවා.නමුත් මගේ පුද්ගලික කැමැත්ත සඳැස් කවියට.හැබැයි පුරාණ සඳැස් කවියට නෙවෙයි .සරල බස් වහරින් ලියැවුණු සඳැස් වලට.

* ඔබ වෘත්තියෙන් ගුරුවරියක්, සමාජය සමග පිළිසඳරක යෙදෙන්නට කවිය තෝරා ගන්නේ ඇයි?

ගුරුවරියක් වුනාට ඒ වපසරිය සීමාවක් තියෙනවා .අපිට දරුවන් එක්ක තියෙන ගණුදෙනු වෙනස් සමාජය එක්ක තියෙන ගණුදෙනු වෙනස්.හැබැයි දරුවන්ට කවියෙන් දෙන්න පුළුවන් දේවල් තියෙනවා .නමුත් විෂය පථය වෙනස් නිසා මට ඒ අවස්ථාව ලැබෙන්නෙ අඩුවෙන්.සමාජයට කවියකින් ආමන්ත්‍රණය කරන්න හරි පහසුයි .ලෝකෙ කොහේ හිටියත් කවියකට ඒ තැනට ගිහින් හදවතට කතා කරන්න පුළුවන් .මොකද දැන් සමාජ මාධ්‍ය නිසා ඕනෑම කවියකට ඉඩක් ලැබෙනවා.සාර්ථක අසාර්ථක බව වෙනස් වුනත් ලියන්න පුළුවන් කෙනා අනුන් වෙනුවෙන් ලිවීමයි වැදගත්.

* සමාජ දේශපාලන සංස්කෘතික පරිහානියට පත් වෙච්ච රටක ජනතාවටයි ඔබ මේ කවි පිළිගන්වන්නේ. එවන් රටක මිනිසුන් වෙනුවෙන් කවිය මෙහෙවර කළ යුත්තේ කිනම් ආකාරයෙන් කියලද ඔබ කල්පනා කරන්නේ ?

ඇත්තටම වර්තමානයේ දේශපාලන වටපිටාව ගැන නම් තියෙන්නේ අන්ත කළකිරීමක් .ඒක මම හිතන්නෙ මට විතරක් නෙවෙයි බොහොමයක් දෙනෙකුට දැනෙන දෙයක් .තවත් අවුරුදු ගානකට ගොඩ එන්න බැරි වලක වැටිලා එළියට එන්න දඟලන මිනිස්සු අපි. ඉතිං ඊට දෙවෙනි නෑ මේ අපේ රටේ තියෙන සාංස්කෘතික පරිහානිය . ඒකට හොඳ ම උදාහරණයක් කියන්නම්. එක්තරා පාසලක මීට කලකට කලින් මට හමුවුනා ලස්සන ගැහැණු දරුවෙක් සුදු ගවුමෙ කොලර් එක ගුලි කරන් ඉන්න. මම ඇහුව ඇයි පුතේ කියල බලද්දි බෙල්ලෙ සුර,යන්ත්‍ර හයක් තියෙනවා .ඒවගෙ නූල් පේනවට මේ වහන් ඉන්නෙ. ඉනේ සුරයක් තියෙනවා කීවා . අතේ ත් බැඳලා. ඒක මොකද්ද අසාමාන්‍ය මිථ්‍යාවෙන් වෙලිල කීවටත් බෑ ,දරුවන් ගෙ ළමා කාලය විනාස කරල. ඒ වගේ මිථ්‍යාවෙන් වැහුන සංස්කෘතියක් එක්ක තමා අපි ජීවත් වෙන්නෙ. කවියෙන් සමහර දේවල් කියන්න උත්සාහ කරනවා . නමුත් කවි කියවන්නෙ සීමාසහිත පිරිසක්. එතනයි අවුල. ඒක හදන්න වගකීම තියෙන්නෙත් පාසලක් ඇතුලෙම කියල මම හිතන්නෙ.මොකද ගුරුවරුන් කියන දේවල් සාමාන්‍යයෙන් දරුවන් පිළිගන්නවා . ඉතිං ඒ වගකීම ලේසියෙන් බැහැර කරන්න අමාරුයි . මුලුමහත් සමාජයේ ම කැඩපත වගේ අපේ සංස්කෘතිය එක්ක බැදිලා තියෙනවා නිසා. ඔය මම කීවෙ සුළු දෙයක් පමණයි . මේ වගේ රටක ඉන්න මිනිස්සුන් ට කවි ලියන එක අමාරු වැඩක්. ලංකාවේ බොහොමයක් කවි කිවිඳියො ඉන්නවා මෑත සමාජයේ යම් කාලීන තේමා වලට පිහිපහරවල් වගේ කවි ලියන. ඒ අතරෙ මංජුල වෙඩිවර්ධන, නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් වගෙ කවියන් ඉදිරියෙන්ම මම දකිනවා. ඒ වගෙම සමාජයේ හරි ම සංවේදී සියුම් තේමා මුල් කරන් හදවතට කවි ලියන බොහෝ කවි කිවිඳියන් තමා අද සතුටින් සිහි කරන්න ඉන්නෙ. කවිය කියන්නෙ ගැඹුරු සමාජ මෙහෙවරක් . ආවට ගියාට කවි ලියන්න බෑ . මමත් තාම පඩිපෙළ පාමුල ඉදල ඉහල බලන කෙනෙක් . මිනිස්සුන්ට හදවතට සහනයක් දැනෙන කවි වගෙම හදවත බර කරන කවි දෙකොටසම අවශ්‍ය බවයි මගේ හැඟීම. මොකද අපි නිරන්තරයෙන් විඳින්නන්.

මගෙ “සඳ බිඳුණු ගොවිඳුහෙල” කාව්‍ය සංග්‍රහය මේ මස 10 වනදා මහනුවර රෝයල් කැන්ඩියන් හෝටල් පරිශ්‍රයේදි එළිදක්වන්න නියමිතයි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති ,ප්‍රවීණ මාධ්‍යවේදී කපිල එම් ගමගේ ,පර්වර්තිකා සහ යොවුන් ලේඛිකා අනුරාධා තිඹිරියාගම යන විද්වතුන්ගේ හරබර අදහස් දැකිවීමක් එහි පැවැත්විමට සූදානම් .කථනයෙන් වෛද්‍ය ඔමේශ් ෂෙහාන් දහනායක සහබාගී වෙනවා.පොතේ මනරම් කංචුකය පවන් අංජන කියන විශ්වවිද්‍යාල යොවුන් පිටකවර ශිල්පියාගෙ .සක්නද ප්‍රකාශනායක් විදිහට තමා “සඳ බිඳුණු ගොවිඳුහෙල “ නිකුත් වෙන්නෙ.පොතේ සියලු කාර්‍යන් සඳහා නන් අයුරින් සහය වුන සියලු දෙනාටම ආදරය පුදකරන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.

leave a reply