Tag: යසිකා විජේසිංහ

  • නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ – යසිකා විජේසිංහ

    නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ – යසිකා විජේසිංහ

    ලක්ෂ්මී අබයසේකර මගේ දයාබර මිතුරියගේ “නියඟය පවා දියවෙයි වැහි වලාකුළේ ” කාව්‍ය සංග්‍රහය මා අතට ලැබී, එය රසවිඳ බොහෝ දිනක් ගත වුවද ඒ ගැන වචනයක් ලිවීමට පමා වීම ගැන පළමුව ඇයගෙන් සමාව අයදිමි.

    ඇත්තෙන්ම කවි පොත කියවා අවසන් කරන්නට ගත වූයේ කෙටි කාලයකි. එහි කෙටි කවි ගණනින් හැට දෙකකි. එහෙත් ඒ කවි කෙටි වූ නමුත් එහි ඇති ගැඹුර නැවත නැවතත් කිමිදෙන්නට හැකි තරම්ය.

    ” පරව යන බව
    දැන දැනම
    ඔබේ උයනෙත්
    මල් පිපෙන්නට
    ඉඩ දෙන්න “

    මේ මගේ ඇස මෙන්ම හිත නතර වූ පළමු කවියයි.

    ඇවිත් යන ශීත සෘතුව
    ඇවිත් යන්නට යළි ඇවිත්..

    මල් හිඳුන පත් ලිහුන
    තුරු ලතා දුක්බරය
    රාත්‍රිය දිග වැඩිය
    මහ දවාලෙහි පවා
    ඉර වුනත් නිදිබරය

    වසන්තය එන්න නම්
    ශීත සෘතුව ඇවිත්
    දුක කියා යා යුතුය

    මේ කාව්‍ය සංග්‍රහයේ හය වන කවියයි..ලක්ෂ්මී ගේ කවි වල බොහෝ විට ඇත්තේ පරිසරය හා බැඳුනු අපූරු සිතුවමකි.
    එය,අපේ රටට නුහුරු වන්නට හැකි නමුත් එයින් ව්‍යංගයෙන් කියවෙන අපේ ජීවිත කතාව කිසිදු වෙනසක් නොමැතිව ලොව ඕනෑම තැනක ඉඳ අපට ගලපා ගත හැකි බව මගේ අදහසයි. කෙටි වචන කිහිපයකට මෙතරම් දෙයක් කල හැකි දැයි මම තවමත් සිතමි. ලක්ෂ්මී ගේ කවියක් දෑස් වසාගෙන මනසින් විඳිය යුතුය..ඒ වර්ණ ..ඒ කුඩා කුඩා වචන වලින් ඇය මවනා අපූරු සිතුවම් අප දෑස් ඉදිරියේ මැවෙනවා නොඅනුමානය.

    දොලොස් වන කවිය මගේ සිතෙහි මැවුනේ ආදරය දුරස් වී ගිය විවාහ දිවියේ නේක හැල හැප්පීම් මැද අතරමං වූ ගැහැනියකගේ කතාවකි. ඇතැම්විට මා දුටු අරුත ලක්ෂ්මී අදහස් කල දෙයින් වෙනස්විය හැක.

    නූතන දඩයක්කාරයා ( දහසය වන කවිය) එයද මා සිත් ගත් නිර්මාණයකි. නූතනයේ ගැහැනුන් ගොදුරු වන එක් අනතුරක සේයාව ඇය නිර්මාණශීලී අයුරින් පෙන්වා ඇත.

    ඒ හිතම
    මල් උයනක්
    උයන්පල්ලා
    නිසි ලෙස
    රැක බලා ගත්

    නොරිද්දා මල් පෙති
    නො ඉල්ලා මල් ඉති
    රැගෙන යා හැකිය ඔබටත්
    සුවඳ නම් ඇති තරම්

    ( දහනව වැනි කවිය)

    ගමන් මග අතරමග
    අතරමං විය යුතුමය
    ජීවිතය හරි හැටි
    දකින්නට..
    ( පනස් වැනි කවියෙන්)

    ලක්ෂ්මී..සටහන් කරනවා නම් මගේ ඇසත් හිතත් නතර වූ ඔබේ කවි පොතේ මෙවැනි අපූරු කවි බොහෝය. කියවා අවසන් යැයි නොකියා නැවත නැවතත් කිමිදෙමින් රස විඳිය හැකි කාව්‍ය සංග්‍රහයක් අප වෙත දායාද කල ඔබට මගේ හිත පුරාම සුබ පැතුම් සමගින් ස්තුතිය පිරි නමමි.
    ඔබ කියා ඇති දේ ඇත්තය..නියඟය පවා වැහි වලාකුළකින් දිය කල හැකිය. නැවතත් මෙවන් කවි වලට පන පොවන්නට ඔබට ශක්තියත් ධෛර්යයත් පතමි..

  • පමා වූ සටහන.. – යසිකා විජේසිංහ

    පමා වූ සටහන.. – යසිකා විජේසිංහ

    බුද්ධිකා අබේසුන්දර ගේ “එකයි බාග දෙකයි” කියවා කාලයක් ගත වී ඇයගේ දෙවන පොත ද, නිකුත් වී , ඇය ඇරියස් ද කවර් කර හමාර වී ඇති මේ මොහොතේ එකයි බාග දෙකයි පිළිබඳව සටහනක් තැබීම ඇත්තෙන්ම විහිළුවක් සේ සිතෙන්නටත් පුළුවන. එහෙත් හිතට තදින් දැනුනු පොතක් ගැන අකුරක් නොලියා නිහඬව සිටීමත්, ඒ ගැන කිසිවක් නොපවසාම ඊලඟ පොත කියවන්නට පටන් ගන්නටත් මගේ හිත මට ඉඩ නොදෙයි.

    එකයි බාග දෙකයි පිට කවරේ සිටම වෙනස්ම කතාවකි. ඇතැම් පොතක පිටකවරයද අවසානයේ කියවිය යුතු බව මම දැන් හොඳින් දනිමි. එකයි බාග දෙකයි යනු නිමේෂයකින්..එසේත් නැතහොත් එක් අහඹු සිදුවීමකින් ..වරදවා වටහා ගැනීමකින් ..නිදහසට කරුණු කියන්නටවත් ඉඩ නොලැබීමකින් වෙනස් විය හැකි පරම්පරාවක ඉරණම් කතාවක් යනු කුමන අන්දමේ එකක්දැයි අපට හඳුන්වා දෙන්නකි.

    නිර්මලාගෙන් ආරම්භ වී රසාංගී ගෙන් අවසාන වූ කතා පුවතේ ඇතුලත් වන්නේ එවන් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණ පානා ගැහැනුන්ගේ කතාවයි. එකම තැනක් වෙනස් වුනි නම් පරම්පරාවක වෙනස්වීමක් විය හැකි නොවේදැයි යලි යලිත් සිතන්නට පොලඹවනා කතාවක් ලෙස එකයි බාග දෙකයි දකින්නට මම කැමැත්තෙමි.

    එකිනෙකට පරස්පර පරිසරයන් මෙන්ම එකී පරිසර වල වෙසෙනා මිනිසුන්ගේ ජීවිත වල කතාවන් ..එකී ජීවිත ගලා යන රිද්මයන් අපේ හිත්වල ලියන්නට බුද්ධිකා නංගී සතු හැකියාව ගැන කියන්නට සමත් වචන මා සතුව නැත. හැටේ වත්තේ පරිසරය ඇය අපේ හිත්වල මවන්නේ උපන්දා සිට එහි ජීවත්වන්නියක ලෙසිනි. ජරාවට පත්වූ දේශපාලනයත් , එකිනෙකා පරයා නැගී සිටින්නට පාදඩ ගනයේ උපක්‍රම යොදා ගැනීමත් , එහි ඉත්තන් වන අහිංසක ජීවිත පිළිබඳවත් අවසානයේ එකී මඩ ගොහොරුවේ නොගිලෙන්නට එවැනිම උපක්‍රම භාවිතා කරන්නට සිදුවීමත් එකී ජීවිතවල අවාසනාවන්ත බව කියා පායි. කෙටියෙන් කිවහොත් එකින් එක අංග ගෙන හැර පාන්නට උවමනා නැත. සමස්ත කතාවම ඇගේ දක්ෂතාවය පිළිබඳව අපට නැවත නැවතත් ඔප්පු කර හමාරය.

    මෙතෙක් පොත නොකිය වූ යමෙක් ඇත්නම් එය කියවා බලන්නැයි මම ආරාධනා කරමි. එය අනිවාර්යෙන්ම ඔබ කියවූ හොඳම පොත් අතරින් එකක් වනු ඇත. බුද්ධිකා නංගී..ඔබ රසික හදවත්වල කියවීමේ පිපාසය ඇති කරන්නියක් බව යලිත් තහවුරු කර ඇත.

  • කනේරු මල් ( කෙටි කතාව දෙවන කොටස )

    කනේරු මල් ( කෙටි කතාව දෙවන කොටස )

    අම්මාටත් මටත් සමුදෙන්නට හෝ පසු ගමන් ඇරලවන්නට කෙනෙක් සිටියේ නැත. අප දොඩන්ගොඩ යන බව දැනගත් ආච්චී නොයෙක් දේ කියමින් අම්මාට බැණ වැදුනාය. තමාගේ වාත අමාරු වලට බෙහෙත් කරන්නේ කවුදැයි අසමින් නහයෙන් ඇඬුවාය. එහෙත් අම්මා ගත් තීරණයේම සිටියා මිස වෙනස් වූයේ නැත . අප දෙදෙනාට ගෙන යාමට තිබුනේ ඇඳුම් බෑග් දෙකකුත් , මගේ පාසල් පොත් බෑගයත් පමණකි .

    දොඩන්ගොඩින් බසයෙන් බැස ගත් අපේ වෙහෙසුනු ගතටත් සිතටත් සැනසීමක් දැනුනේ දොඩන්ගොඩ ආච්චිගේ නිවස තිබුනේ ප්‍රධාන පාරේ නොවුනද බස් යන අතුරුපාරක අයිනේ වීමය. එම පාරේ යන එකම බස් රිය නිතර නොගියද , අප යන මොහොතේ ගමනට සූදානම්ව තිබුන බැවින් එදා අපට කරදරයක් නොවී යාමට හැකි විය. දොඩන්ගොඩ ආච්චී අපව පිළිගත්තේ සතුටිනි. ඇය ජීවත් වූයේ තනිවම වුවත් විශාල නිවසකය.

    ” වරෙල්ල වරෙල්ලා.. උඹලට හොඳටම මහන්සි පාටයි ..” ඇය කීවේ අපව ගෙතුලට කැඳවමිනි.
    අපට ඉන්නට කාමරයක් පෙන්වමින් ද , ආගිය කතා විමසමින් ද ඇය කඩිසරව නිවසේ ඒ මේ අත ඇවිද ගියාය. ආච්චී යැයි කීවද ඇය මගේ ආච්චී තරමට මහත නැත. වයසද නැත. මගේ ආච්චී මෙන්ම ඇයද ඇන්දේ දෙපතුල දක්වා දිගු ගවුමකි. අම්මාගේ මහ ගෙදර අප දෙදෙනා උන් කාමරයට වඩා දොඩන්ගොඩ ආච්චීගේ නිවසේ අපට ලැබුන කාමරය විශාලය. ඒ කාමරයේ ඇඳක්, අල්මාරියක්, මහන මැසිමක් හා තරමක පෙට්ටගමක්ද විය. අම්මාටත් අල්මාරියක් තිබුනද , එය තිබුනේ අපේ වසා දැමූ ගෙදරය. අම්මා තරම් ඉක්මනින් නොවුනද , මමද සතුටින් දොඩන්ගොඩ ජීවිතයට හුරු වුනෙමි.

    එහෙත් මගේ සතුට වැඩි වූයේත් , ජීවිතයේ මා ලද එකම හා කෙටිම සතුටුදායක කාලය මා වින්දේත් දොඩම්පෙ මාමා හමුවුන පසුවය.
    අම්මා මා අලුත් පාසලකට ඇතුලත් කලාය. අලුත් පාසල තිබුනේ ලොකු දුරක නොවේ. අලුත් පාසල මට නීරස වූයේද නැත. දොඩන්ගොඩ ආච්චීගේ පුතෙකු එතෙර ඉන්නා බැවින් ඇයට අගහිඟයක් තිබුනේ නැතත් පුතා එවන මුදලින් කා බී සැනසෙන්නට ඇය සූදානම් වූයේ නැති බැවින් දන්නා හඳුනන තරුණයෙකු ලවා කැබලි රෙදි ගෙන්වාගෙන පාපිසි මැසීම කලේ සතුටිනි. දොඩන්ගොඩ ආච්චී අම්මාට ද පාපිසි මැසීමේ කලාව හුරු කලේ

    ” දෑතෙ රස්සාවක් ඉගෙන ගනින්.. එතකොට කවදාවත් බඩගින්නෙ ඉන්න වෙන්නෙ නෑ..උඹලගෙ අම්මටත් එහෙම උවමනාවක් තිබුන ගෑනියෙක්යැ.. දරුවො වැදුව මිසක එකෙක්ගෙවත් ඇස් පාදන්න උවමනාවක් තිබුනෙ නැහැනෙ..” යි කියමිනි.

    දොඩන්ගොඩ ආච්චී මගේ ආච්චිට දොස් පවරද්දී මට දැනුනේ සිහින් සතුටකි. එහෙත් අම්මා ඒ සියල්ල අසා සිටියා මිසක කිසිවක් කීවේ නැත.

    ” මොනව කරන්නද නැන්දේ..මගේ වැරදි වලට අනිත් අයට දොස් කියල වැඩක් නෑ..මේ මගේ කරුමේ..”

    ” ඔව් ඉතින් උඹටත් ඔය නල්ලමලේ කසාදෙ කරගන්න කල් ඕකෙ තරම තේරුනේ නැහැනෙ.. ”

    ” මොනව කරන්නද නැන්දේ ..මිනිස්සු කාල බලන්නයැ..ඒ මනුස්සය මගෙ පස්ස පාරෙම වැටුනෙ පෙර ගත්ත ණයක් බේරගන්න ද කොහෙද..මම මේ හැටි දුක් විඳින්නෙ මගෙ කොල්ල ලොකු වෙනකල් විතරයි නැන්දේ..ඊට පස්සෙ මට දෙයියනේ කියල පාඩුවෙ ජීවත් වුනෑකි..”

    ” උඹ ඉතින් මොනව කරන්නද..මොනව කරන්නද..කිය කිය හිටපං. තවම උඹට මොන වයසක් ද බං..උගෙන් අයින් වෙලා හරි හමන් කසාදයක් කර ගනින්..අනික උඹ තමයි පවුලෙන්ම ඇහැට කනට පේන එකී..”

    දොඩන්ගොඩ ආච්චී එසේ පවසද්දී අම්මා වහා මා දෙස බලනු මා දුටුවේ හොරැහිනි . අම්මාත් ආච්චීත් පාපිසි මැසීමේ කටයුතු වල යෙදෙද්දී ඔවුන් දෙදෙනා කතා බහ කරනා දේ අසා සිටින්නට මම ප්‍රිය කලෙමි. ඇසෙන මානයේ සිට පාසලේදී දුන් ගෙදර වැඩක් හෝ වෙනත් වැඩක යෙදෙමින් මේ කතාබහට සවන්දීමෙන් මා ලැබුවේ සතුටකි.අනුන්ගේ කතාබහකට සවන් දීම වරදක් උවත් මා නොදන්නා බොහෝ දේ මා උගත්තේ ඔවුන්ගේ කතා බහ ඇසීමෙනි. අම්මාට ඒ බව වැටහුනහොත් ඇය වහා මා ඉවතට යවන්නේ

    “කටදිහා බලන් ඉන්න පුරුදු වෙන්න එපා” යැයි කියමිනි.

    දොඩන්ගොඩ ආච්චීගේ උත්සාහය මල්ඵල ගන්වමින් අම්මා ඉක්මනින්ම මහන්නට ඉගෙන ගත්තාය. පාපිසි පමණක් නොව ඇඳුම් පවා කපා මසන්නට ඉගෙන ගන්නට හැකි වීමෙන් අම්මා සිටියේ සතුටිනි. දොඩන්ගොඩ ආච්චී මා දුටුවේ විස්මිත හැකියාවන් ඇති අයෙකු ලෙසිනි. අම්මාටද යමක් දුටු පමණින් හෝ ඉතා කෙටි කැපවීමකින් ඉගෙනගත හැකි විය. මටද පිහිටා ඇත්තේ ඇය සතුවූ ඒ විශේෂ හැකියාවන් විය යුතුය.

    දොඩම්පෙ මාමා යනුවෙන් මා හඳුන්වනු ලැබුවේ දොඩන්ගොඩ ආච්චී රෙදි කැබලි ගෙන්වා ගත් තරුණයාය. ඔහුද මා මෙන්ම තම මව සමග ජීවත් වූ අයෙකි. තලෙළු පැහැයෙන් ද, උසට සරිලන මහතකින් ද යුතු වූ ශක්තිමත් සිරුරකට හිමි කම් කී, දොඩම්පෙ මාමා ජීවනෝපාය ලෙසින් කලේ ගොවිතැන් කටයුතුය. මුහුණ පුරා වැඩුනු රැවුල නිසා ඔහුගේ මුහුණේ පියකරු පෙනුම මට තවත් වැඩි වී පෙනුනි. ඔහු මා ඇමතුවේ ” සුදු මහත්තයා ” යනුවෙනි. අම්මා තරමට තබා දොඩම්පෙ මාමා තරමටවත් සුදු නැති මට සුදු මහත්තයා යන ඇමතුම විහිළුවක් සේ දැනුනද , ඉන් මා අප්‍රමාණ සතුටක් ලැබුවේ එලෙස ඇමතීමෙන් ඔහු මා සරදමට ලක් කිරීමක් නොකල බව හොඳින්ම වටහා ගත් බැවිනි.

    දොඩම්පෙ මාමා මා සමග කතා බහ කලේ සතුටිනි. ඔහු මගෙන් පාසලේදී කල කී දේවල් ඇසුවේත්, මා ඒවාට පිලිතුරු දුන්නේත් උනන්දුවෙනි. පාසලට ගෙනයාමට නොයෙකුත් අත් වැඩ උවමනා වූ විට ඔහු ඒවා කර ගැනීමට මට උදව් වූයේ ඉල්ලීමකින් තොරවමය. මෙතෙක් කලකට අම්මා හැරෙන්නට මගෙන් පාසලේදී මොනවා කලාදැයි ඇසුවා නම් ඒ දොඩම්පෙ මාමා පමණය. රෙදි කැබලි මළු දෙකක් එක පිට තබා පාපැදියේ ගැට ගසාගෙන එන ඔහු එය බිමට බෑ පසු මා බයිසිකලයේ හිඳුවාගෙන මිදුලේ කිහිප වටයක් පැද යන්නේ අම්මා ඔහුට තේ කෝප්පයක් සාදා දෙන පමාවටය. ඇතැම් දිනක ඔහු මා පාපැදියේ ඉදිරිපස පොල්ලේ තබාගෙන පාර දිගේ තරමක් දුරට පැදගෙන යයි. වෙල්යාය පසු කරගෙන යද්දී හමන සුළඟට හසුව දොඩම්පෙ මාමා හැඳ සිටින කමිසය පිම්බෙන්නේ ඔහු තවත් යෝධ ශක්තිය ඇති අයෙකු ලෙස පෙන්වමිනි.

    දොඩම්පෙ මාමා මා සුරතල් කලේය. කාටවත් නොපෙනුන සුරතල් පෙනුමක් ඔහුට මවෙතින් පෙනුනාදැයි නොදන්නා නමුත්, මා එම සුරතලය විඳ ගත්තේ ඉමහත් කැමැත්තෙනි. ඔහුගේ කරමත නැගී යන්නටත්, අම්මා මා කරකවමින් සුරතල් කල අයුරින් , ඔහු ලවා ද රූං පෙත්තක් මෙන් කරකවා ගැනීමට මම ආශා කලෙමි. ඇතැම් දවසක පාසලට අම්මා සමග යන අතරතුර දී දොඩම්පෙ මාමා හමු වුවහොත් ඔහු මා පා පැදියේ නංවාගෙන පාසලට කැටුව යන්නේ අම්මාට ආපසු ගෙදර යන්නැයි කියමිනි. එවන් දිනයක මා පාසල ලඟින් බැස ගන්නේ සියුම් ආඩම්බරයක් සිත තුල ගොඩ නැගෙමින් තිබියදීය. මා ගැන නොදන්නා සිසුවෙක්

    ” ඒ තාත්ත ද ?”

    යනුවෙන් අසද්දී මා ඉහලටත් පහලටත් හිස සොලවන්නේ මුවින් කිසිවක් නොදොඩමිනි. අනේ මටත් මෙවන් තාත්තා කෙනෙක් හිටියා නම් යැයි මට සිතුනු වාර ගණන කොතෙක්දැයි මට මතක නැත. අප දෙදෙනාගේ සමාගමය දෙස බලා සිටිනා ඇතැම්විටක අම්මාගේ මුහුණේ සිනාවක් නැගුනද ,ඇගේ මුහුණේ පැතිර තිබූ දුක්මුසු පෙනුම මකාලන්නට එම සිනහව සමත් වූයේ නැත. දිනක් මා අම්මා සමග නිදාගන්නට යද්දී

    ” අම්මේ..අපටත් දොඩම්පෙ මාමා වගේ තාත්තා කෙනෙක් හිටියා නම් කොච්චර හොඳද..” කියා ඇසුනේ ඉබේටමය.

    අම්මා වහා තම අතින් මගේ කට වැසුවේ මා මෙලොව ඇති නරකම වචනය කියූ කලෙක මෙන් කලබලයෙනි. මගේ කට වැසූ ඇය දිගු සුසුමක් හෙලුවා මිස , මට වෙනත් තරවටුවක් නොකලේ ඇයද මා කී දෙය අනුමත කල නිසා විය යුතුය. අම්මා දොඩම්පෙ මාමා සමග කතා කලේද අකමැත්තකින් නොවේ යැයි මට සිතුනද, ඇය ඒ බවක් ඇඟෙව්වේ නැත. මා තව තවත් දොඩම්පෙ මාමාට ලං වීම අම්මා බලා සිටියේ කර කියා ගත හැකි කිසිවක් නැති කලෙක සේය.

    ” ඔය කමකට නැති කසාදෙ කටුගාල දාල උඹට යන කලදවසක් බලාපං.. උඹට විතරක් නෙවෙයි මේ කොලුවටත් පිරිමි හව්හරණක් ඕන බං..”

    විටෙක දොඩන්ගොඩ ආච්චී, අම්මාට එසේ කියනු ඇසුනද ඒ කුමන කතාවක දී දැයි මා නොදන්නා සේම ඊට අම්මා දුන් පිළිතුර මට ඇසුනේද නැත .

    ” දොඩම්පෙ ළමය නරක කෙනෙක් නෙවෙයි..අහිංසක හිත හොඳ එකා..අනික ඌ මේ කොලුටත් ආදරෙයි නේ..උඹ කැමති නම් කියාපං මම ඒකගෙ අම්ම එක්ක කතා කරන්නම් ”

    දොඩන්ගොඩ ආච්චී යලිත් වරක් කියනු ඇසුනද , ඉන් අනතුරුව පැවති නිහඬබව අම්මාගේ හඬින් බිඳුනේ නැත.

    දොඩම්පෙ මාමා දිනක් මා ඔහුගේ ගෙදර කැඳවාගෙන ගියේ බොහෝ වේලාවක් කන්කෙඳිරි ගා අම්මාගෙන් අවසර ගැනීමෙන් පසුවය. දොඩම්පෙ මාමා බයිසිකලයේ මා හිඳුවාගෙන සෑහෙන දුරක් පැද ගිය පසු වෙල් යායක තිබූ මහ නියරක් ඔස්සේ ගොස් කුඩා නිවසක් ඉදිරියේ බයිසිකලය නවතා කඩුල්ලෙන් මා ඔසවා තැබුවේ

    ” ඕන්න සුදු මහත්තයා ..මේ තමයි මගේ මාලිගාව ” යැයි කියමිනි.

    අපේ නිවස තරම් ලොකු නොවූවද දොඩම්පෙ මාමාත් ඔහුගේ මවත් ජීවත් වූ නිවස ලස්සන යැයි මට සිතිනි. මිදුලේ පැත්තක මඤ්ඤොක්කා වගාවකි. ගෙදරට පහලින් බෑවුමේ කුඹුර දොඩම්පෙ මාමා සතු බව ඔහු මට කීවේ ගෙදරට යන අතරතුරදීය. ගෙය පිටුපස කඳ මහතට හැදුන තැඹිලි ගස් දෙකකුත් පොල් ගස් කිහිපයකුත් තිබිණි. මිදුලේ හැම තැනම වාගේ සිටුවා තිබූ බොහෝ ගස් වල මල් පිපී තිබුණි. ඒ අතරින් වඩාත් මගේ සිත් ගත්තේ රෝස පැහැති මල් පිපී තිබූ නම නොදන්නා ගසකි.

    ” මාමා ..මේ මල් හරි ලස්සනයි..මම ගොඩක් කැමතියි මේ මල් වලට. ”
    මා කීවේ මල් පිරී තිබුණු ගස පෙන්වමිනි.

    “ඒ තමයි පුතේ කනේරු මල් ..මල් ලස්සන වුනාට පුතේ ඒ ගහ විස ගහක්.. ඒ ගහේ කිරි විසයි . හැබැයි මල් ලස්සනයි. අපි ප්‍රවේසමින් මල් වල ලස්සන බලන්න ඕන ..හරියට අපේ ජීවිතත් වෙලාවකට ඒ වගේ. ලස්සන වුනා කියලා,අපි ආස වුනා කියලා අපට සමහර දේවල් ලං කරගන්න බෑ ..” දොඩම්පෙ මාමා කීවේ දුක්මුසු ස්වරයෙනි.

    ” අම්මේ…මෙහෙ එන්නකො පොඩ්ඩක්..”

    ඊලඟ මොහොතේ දොඩම්පෙ මාමා ගේ හඬ ගෑමට ගෙතුල සිට එලියට ආවේ කෙසඟ ගැහැනියකි. ඇය ඇඳ සිටියේ මගේ ආච්චී මෙන් හෝ දොඩන්ගොඩ ආච්චී මෙන් ගවුමක් නොව රෙද්දක් සහ හැට්ටයකි.

    ” මේ යමුනගෙ දරුවා .. ” දොඩම්පෙ මාමා මා පෙන්වමින් කීවේය.

    ” හා..උඹ කසාදෙට කලින් දෑවැද්ද ගෙදර ගෙනාව එහෙනම් .. හොඳා..හොඳා.. බොට හොඳ නම් මට මොකෝ..” කියමින් ඇය හොහ් හොහ් හොහ්.. ගා සිනාසුනේ මා දෙස විපරම් බැල්මක් හෙලමිනි.

    ” ඈ..පොඩි එකෝ ..උඹ උඹලගෙ අම්ම වගේද තාත්ත වගේද..” එවර ඇය ඇසුවේ මගෙන් වුවද මා දොඩම්පෙ මාමාගේ සරමට මුවා වූවා මිස ඊට පිළිතුරු දෙන්නට නොගියේ ඇගේ කටහඬෙහි මට කරුණාවන්ත බවක් නොදැනුනු හෙයිනි.

    ” මේ පොඩි එකාගෙන් නොතේරෙන දේවල් නාහ ඉඳිං අම්මේ.. ” යි කියමින් දොඩම්පෙ මාමා මා කැටුව ගොස් තැඹිලි ගෙඩියක් කඩා මට බොන්නට දුන්නේය. තැඹිලි බොමින් ද , වෙල් යායේ ඉගිලෙන කුරුල්ලන් දෙස බලමින් ද , දොඩම්පෙ මාමා කියා දුන් බොහෝ දේ අසමින් ද ගෙවූ ඒ කාලය මට ඔහුගේ මව අමතක කරවීය. අප නැවත එනවිට ඇය පෙනෙන්නට සිටියේ නැති බැවින් මට නැවත වරක් ඇය මුණ ගැසුනේ නැත.

    ” සුදු මහත්තයා කැමති නැද්ද අම්මත් එක්ක ඇවිත් අපේ ගෙදර නවතින්න ”

    දොඩම්පෙ මාමා බයිසිකලයේ එන අතරතුරදී ඇසූ මොහොතේ මා වහා නැතැයි කීමට හිස දෙපසට සෙලෙව්වේ දොඩම්පෙ මාමාගේ මව සිහිවීමෙනි. ඇය මට ආදරේ නැතැයි මට සිතිනි. දොඩම්පෙ මාමාද මගෙන් යලිත් ඒ ගැන ඇසුවේ නැත.

    කාලය ඉක්මනින් ගෙවී යන්නට ඇතැයි මට සිතුනේ ආච්චී අසනීප වී ඇතැයි ද , සුදු පුංචි අම්මාට ආච්චිගේ වැඩ කටයුතු තනිවම කර ගැනීමට නොහැකි හෙයින් අම්මාට වහාම මහගෙදර එන ලෙසද දන්වා ලොකු මාමා විසින් එවන ලද ලියුම ලද මොහොතේය. ලියුම කියවා අපි දෙදෙනාම හැඬුවෙමු. අම්මා ලියුම කියවා හැඬුවේ ආච්චී අසනීප වී ඇති නිසාද , නැතහොත් නැවත යාමට සිදුවන නිසාදැයි නොදන්නා නමුත් මා නම් හැඬුවේ නැවත වරක් මා අකමැති ඒ පරිසරයට යාමට සිදුවන බැවිනි.

    දොඩන්ගොඩ ආච්චී මා නවතා අම්මාට යන ලෙස කීවත් අම්මා ඇයට කරදරයක් වීමට කැමති වූයේ නැත. අවසානයේ අප දෙදෙනාට ආපසු යාමට හිත හදා ගන්නවා හැර කරන්නට කිසිවක් තිබුනේ නැත. දොඩම්පෙ මාමා මා පාසලෙන් අස් කරවාගෙන යන බව අසා බොහෝ සේ කම්පා විය. මා සිටියේද ඔහු හැර යාමේ ශෝකයෙනි.

    ” මාව දාල යනවද සුදු මහත්තයා ”

    යැයි අසමින් ඔහු මා සිප ගත්තේය. ඔහුගේ දෑසේ කඳුළු පිරී ඇති බව දුටු මටද කඳුළු නවතා ගත නොහැකි විය. මම දොඩම්පෙ මාමාගේ බෙල්ල බදාගෙන හැඬුවෙමි .

    ” සුදු මහත්තයට මාව අමතක වෙයි..”

    දොඩම්පෙ මාමා බැරෑඬි හඬින් කීවේ අපව පාරට ඇරලවන්නට පැමිණ , බසයක් එනතෙක් පාරට වී සිටින මොහොතේය.මම නැතැයි කීමට හිස වැනුවෙමි. ඔහුගේ මුහුණ කළු වලාවකින් වැසුනාක් මෙනි . වෙනදා තිබූ පැහැපත් පෙනුම නැත. මම දොඩම්පෙ මාමාට දණගසා වැන්දෙමි.
    අම්මාද බසය ඈතින් එද්දී දොඩම්පෙ මාමාට වැන්දාය. ඔහු අම්මාගේ හිස අත ගෑවේ ඉවත බලාගෙනය. අප පාරට එන්නට පිටත් වීමට පෙර දොඩන්ගොඩ ආච්චී මෙතෙක් කලක් අම්මා පාපිසි මැසීමට උදව් වීම වෙනුවෙන් ඉතිරි කල මුදල් ඇය අතට දුන්නේ

    ” උඹ මීට පස්සෙ කාගෙවත් වළං හෝදන්න ඕන නෑ..මේ සල්ලි වලින් මොනව හරි කරන්න බලපං..උඹට ඕනම වෙලාවක මගේ ගෙදර දොර ඇරල තියෙන්නෙ කෙල්ලෙ…තේරුනාද..” යි කියමිනි. අම්මා හඬමින් දොඩන්ගොඩ ආච්චීට දණගසා වැන්දාය.

    අවසානයේ අම්මාත් මමත් අම්මාගේ මහගෙදරට යලිත් වතාවක් පා තැබුවෙමු.

    බලාපොරොත්තුවූ තරමට ආච්චීගේ අසනීප තත්ත්වය බරපතල නොවීම එක් අතකින් අම්මාට ගෙන දුන්නේ සැනසීමකි. එහෙත් වරින් වර උඩ මතුවන, දිය යට ඔබන ලද රබර් බෝලයක් මෙන් වූ දොඩන්ගොඩ මතකය මගේ සිතට ආවාක් මෙන්ම අම්මාගේ සිතට ද නොආවායි කිව නොහැක. අම්මාගේ පැමිණීමෙන් පසු ආච්චී ඉක්මනින්ම සුපුරුදු තත්ත්වයට පැමිණියේ අම්මා ගේ කෑම බීම මෙන්ම සාත්තුවද ඇයට හරි ගිය නිසා යැයි ලොකු මාමා කීවේ සිනාසෙමිනි.

    මා යලිත් වරක් ගමේ පාසලට ඇතුලත් කල අතර මා පාසල් ගියේ ඕනෑවට එපාවටය. ලොකු මාමාගේ ත්‍රීවීලයේ නැගී පාසලට යාම වෙනුවෙන් අම්මා ලොකු මාමාට මුදල් ගෙව්වද මට ඒ ගමන නීරස විය. ලොකු මාමා මගෙන් කිසිවක් ඇසුවේ නැත. පාසලේ වැඩකටයුතු ගැන කෙසේ වෙතත් අඩු තරමේ දොඩන්ගොඩදී අප ගත කල කාලය ගැන ඇසුවා නම් දොඩම්පෙ මාමා ගැන කීමට තිබුනා නොවේදැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. දොඩම්පෙ මාමාගේ හොඳ ගතිගුණ ගැන ලොකු මාමාට කියා ඔහුට රිදවීමටත් , ඒවා අසා ඔහුගේ මුහුණ අඳුරු වනු දැකීමටත් අවස්ථාවක් නැති වීමෙන් මට දැනුනේ කණගාටුවකි.

    අම්මා සතියකට වරක් මා ඇතිව හෝ නැතිව , වසා තැබූ අපේ ගෙදර ගොස් අතු පතු ගා පිරිසිදු කර ආවාය. අප නැති කාලයේ ලොකු මාමා අපේ ගෙදර වරින් වර ගොස් සුද්ධ පවිත්‍ර කර ආ බව කීවද , අම්මා කීවේ වසා දමා ඇති බැවින් ගෙදර ජරාවාස වී ඇත යනුවෙනි. තාත්තා පිළිබඳව මිහිරි නොවූ මතක රැඳි අපේ ගෙදරට මා එතරම් කැමැත්තක් නොදැක්වූ නමුත් අම්මාගේ මහගෙදරට වඩා කැමැත්ත තිබුනේ අපේ ගෙදරටය. එහෙත් අම්මාටත් මටත් එහි ගොස් ජීවත් වීම කරදර බව කියමින් ලොකු මාමා ඇතුළු සියල්ලන්ම කැමති වූයේ අප දෙදෙනා ඔවුන් සමග රැඳෙනවාටය. දවස සාමාන්‍ය පරිදි ගෙවුනද සියල්ල වෙනස් වීමට ලොකු කාලයක් ගත වූයේ නැත.

    එදා සිකුරාදා දිනයක් වූ අතර අම්මාත් මමත් ලොකු මාමාගේ ත්‍රීවීලරයෙන් පාසල අවසන්ව ගෙදර එමින් සිටියෙමු. පාසලත් නිවසත් අතර ඇති දුරින් අඩක් පමණ ගෙවා ආ පසුව හමු වන තේ කඩය ඉදිරිපිට දී අහම්බෙන් ඇස ගැටුනු සුපුරුදු රුව දුටු මට කෑ ගැසුනේ ඉබේටමය.

    ” අම්මෙ..අම්මෙ..දොඩම්පෙ මාමා..”

    මම අම්මාගේ අත සොලවමින් කෑ ගැසුවෙමි. අම්මා මට කෑ නොගසන්නැයි කියන්නට මෙන් මගේ අත තදින් මිරිකා ගත්තද පසුපස බලන කණ්නාඩිය ඔස්සේ ලොකු මාමාගේ විමසිලිමත් දෑස් පළමුව මා වෙතටද, දෙවනුව අම්මා වෙතටද පා වී ආවේය . අම්මා තව දුරටත් මගේ අත තද කොට අල්ලා ගෙන සිටියද, මා ආදරය කල මෙන්ම මට ආදරය කල ඒ අපූරු මිනිසා දෙස මා යලිත් වරක් හැරෙමින් බැලුවේ ලොකු මාමා අප සමග ඉන්නා බව අමතක කරමිනි.

    වෙනදා අඳින සරම වෙනුවට කළු පැහැති දිගු කලිසමකින්ද, අත් කොට කමිසයකින්ද සැරසුනු දොඩම්පෙ මාමා වෙනදාටත් වඩා ලස්සන යැයි මට සිතුනි. ඔහු දෑත් බැඳගෙන අප යන දෙසට හැරී බලා සිටිනු දුටු මා ඔහුට අත වැනුවද , ඔහු මට අත වැනුවේ නැත.ඇතැම්විට දොඩම්පෙ මාමා මා අත වනනු නොදුටුවා විය හැක. දොඩම්පෙ මාමා හමු වී එක වචනයක් හෝ කතා කරන්නටත් ඔහුගේ බෙල්ල බදාගෙන එක මොහොතක් ඔහුට කියා වඩවාගෙන ඉන්නටත් ඇති වූ ආශාවෙන් ඒ මොහොතේ මගේ සිත ඇදුම් කෑවේය. ත්‍රීවීලරයෙන් බැස ආපසු හැරී ඔහු ඉන්නා තැනට දිව යන්නට සිතුනද , ලොකු මාමාගේ විදුලි වේගයෙන් යන ත්‍රීවීලරය මට ඊට ඉඩ දුන්නේ නැත.

    අම්මාත් මමත් නිවසට හැරෙන පාර ලඟින් බැස්වූ ලොකු මාමා ආවාට වඩා වැඩි වේගයකින් ආපසු හැරී යන්නට ගියේය. ඔහු සමගම එයට නැගී දොඩම්පෙ මාමා සොයා යන්නට තිබුනා නම් යැයි මට සිතුනද , අම්මා සිටියේ මහ දවාලේ අවතාරයක් දුටුවාක් මෙන් බය බිරාන්තවය. අම්මා මෙපමණ බිය වී සිටින හේතුව මෙන්ම , අපට බොහෝ සේ උදව් කල දොඩම්පෙ මාමා නොදුටුවාක් මෙන් නිහඬව ඒමද මට වටහා ගත නොහැකි වූ කරුණකි. මගේ සිතේ අම්මා කෙරෙහිද , ලොකු මාමා කෙරෙහිද ඇති වූයේ කෝපයකි. මම අම්මා එතනම දමා තනිවම ගෙදර ගියෙමි . හෙමින් හෙමින් පැමිණ ගෙදරට ගොඩ වුනු අම්මාගේ මැලවුන මුහුණ දුටු මට ඇය ගැන දුක සිතුනද , දොඩම්පෙ මාමා හමු නොවීමේ කණගාටුව ඊට වඩා වැඩි වූ හෙයින් මම ඇය දෙස නොබලා ඉවත බලා ගතිමි.

    අම්මා ඉක්මනින් මගේ ඇඟ සෝදවා බත් කැව්වේ දෑසට උනන කඳුළු සඟවා ගනිමිනි . සුදු පුංචි අම්මා ඒ වනවිටත් දහවලට කා බී නිදාගෙන සිටි අතර ආච්චී, අම්මා දෙස විපරම් බැලුම් හෙලුවද කිසිවක් ඇසුවේ නැත. බත් කෑමෙන් පසු මගේ නිදිබර වූ දෑස් වැසුනේ කුමන මොහොතේදැයි නොදන්නා නමුත් මා අවදි වූයේ මහා ගෝරනාඩුවක් සමගම විලාප හඬක් ඇසීමෙනි. මම පැදුරෙන් නැගිට එලියට දිව්වෙමි. අම්මා බිම වැටී හඬමින් සිටි අතර ලොකු මාමා සරමේ කෙලවරක් එක් අතකින් ඔසවාගෙන අත තිබූ කඩුවකින් අසල තිබූ ගසකට කෙටුවේ වියරු වැටුනු පරිද්දෙනි. මම දුව ගොස් අම්මා බදා ගත්තේ ලොකු මාමා අම්මාටද කඩුවෙන් කොටා ඇතැයි සිතමිනි. මා දුටු අම්මාගේ අලුත් වූ හැඬුම ඇසුනු ලොකු මාමා කඩුව පසෙකට ලා පැමිණ අම්මාට අත දිගහැර පහර දෙද්දී මම
    ” මගෙ අම්මට ගහන්න එපා ”
    යැයි කියමින් ලොකු මාමාගේ ඇඟට පැන්නේ ඔහු පෙරලා දැමීමේ අටියෙනි. ලොකු මාමා
    ” අහකට පල ඇටිකිච්චා ” කියමින් මගේ අතකින් ඇද මා පසෙකට විසි කලේ කෑමෙන් පසු ඉවතට දමනා කෙසෙල් ලෙල්ලක් පරිද්දෙනි.

    මෙතෙක් වේලා ලොකු මාමා වලක්වන්නට ලං නොවී විලාප තබමින් උන් සුදු පුංචි අම්මාගේත් , ආච්චීගේත් විලාපයට එවර අම්මාගේ විලාපයද එක්විය. ලොකු මාමාගේ විසි කිරීම නිසා බිම ඇද වැටුනු මගේ පස්ස බිම ඇනීමෙන් දැනුනු රිදුමට වඩා, මට අම්මා පහර කෑම ඉවසිය නොහැකි විය. එවර මම දිව ගොස් අම්මා බදාගත් නමුත් මගේ ඇඟට ද වැදුන තවත් පහර කීපයකින් පසු ලොකු මාමා ඉස්තෝප්පුවේ තිබූ හාන්සිපුටුවේ ඉඳ ගත්තේ හති දමමිනි.
    අම්මා තවදුරටත් මා තුරුළු කොටගෙනම බිම වැතිරී හැඬුවාය. ලොකු මාමා නපුරු බව මා දැන සිටියද , ඔහු මෙතරම් යක්ෂාවේශ වීමටත් අම්මාට පහර දීමටත් හේතුව මට වටහා ගත නොහැකි විය. ආච්චී උන්නේ කම්මුලේ අත ගසාගත් වනමය.

    ” උඹ හිතන්නෙපා ..ආපහු උඹ හිතන නැටුම් නටන්න හම්බෙයි කියල..ඈ..ඊරියෙ, තෝ එක පාරක් මිනිහෙක් කියල එකෙක් එක්ක ගිහින් මේ හිඟන පැටියෙක් කර ගහ ගත්ත..කෝ දැන් මුගෙ මහ එකා..පැදුරටත් නොකිය ගිය වරත්තුවා.. එලියට බැහැපං බලන්න ආයෙත්..තොගෙ අඬු හතර කඩනවා මම..” ලොකු මාමා එසේ කියමින් දත් මිටි කෑවේය.

    ” දැන් ඔය මදෑ බං..නවත්ත ගනිංකො උඹේ ඔය සද්දෙ. මොන ජරාවක් කටේ ගාගෙන ආවද උඹ. .. බලාපං ගන්දස්සාරෙ බෑ ” ආච්චී කීවේ ඉවසා සිටින්නට බැරිම තැන විය යුතුය.

    ” මම දුන්න අරූටත් ආයෙ මේ පැත්ත බලාගෙන බත් කන්න බැරි වෙන්න..ගෑනුන්ව දැපනෙ දාගන්න හදන පෙරේතයො.. මතක තියේ නම් ආයෙ හැරිලවත් බලන එකක් නෑ.. ”

    ලොකු මාමා පාරම්බෑවේය.

    මට ලොකු මාමා කියන කිසිවක අගමුල වැටහුනේ නැත. අම්මාගේ ඉකිබිඳුම් හඬ හැරුන විට කිසිදු හඬක් නෑසී ගෙවුන තවත් ටික වේලාවකට පසු ලොකු මාමාගේ ගෙරවිලි හඬ ඇසෙද්දී අම්මා හිස එසවූවාය. ඇගේ මුහුණ රතු වී ඉදිමී තිබුනේ ලොකු මාමා පහර දීම නිසා විය යුතුය. අම්මා මාද නැගිටුවාගෙන කාමරයට යද්දී ආච්චීත් සුදු පුංචි අම්මාත් නිහඬවම අපේ පසුපසින් ආවේ ලොකු මාමා දෙස යලිත් වරක් හැරී බලමිනි.

    ” මොකාද ඔය ආවයි කියන එකා..කොහෙ එකෙක්ද ඌ..ඌට එන්න පාර කියන්න ඇත්තෙත් උඹනෙ…”

    ආච්චී ඇසුවේ හඬ පහත් කොට වුවද සැරෙනි. අම්මා බිම බලාගෙන සිටියා මිස කිසිවක් කීවේ නැත.

    ” කතා කරපිය.. දැන් ඇටිකෙහෙල් ගිලපු උගුඩුව වගේ ඉන්නෙ නැතුව..උඹ ඔය දොඩන්ගොඩ ගිහින් හොයා ගත්ත එකෙක් නේද..උඹ හදන්නෙ අපේ මූනෙ දැලි ගාන්නද.. රට්ටු මොනව නොකියයි ද බොල අපට.. දීග දෙන්න නගා කෙනෙක් ගෙදර ඉන්නව කියලවත් උඹට මතක තිබුනෙ නැද්ද ආපහු සැරයක් මිනිහෙක් හොයා ගන්න කලින්..”

    ” මම හොයා ගත්ත ඇති මිනිහෙක් නෑ..”

    ආච්චීගේ බැණුම් අසමින් මෙතෙක් වේලා නිහඬව උන් අම්මා බිඳුනු හඬින් කෙඳිරි ගෑවාය.

    ” උඹ තොත්ත බබා.. එහෙනම් ඌ එන්න ඇත්තෙ මාව බලන්න වෙන්න ඇති. හිටපිය මම දොඩන්ගොඩ උන්දැටත් දෙකක් කතා කරන්න. එහෙ ගෙන්නගෙන කලේ මගුල් නටන්න උඩගෙඩි දුන්න එකද කියල”

    අත මිට මොලවා අම්මාගේ උරහිසට ඇන්න ආච්චී , ලොකු මාමා අවදි වේදැයි බලමින්ම අම්මාට බැන වැදුනාය.

    දොඩන්ගොඩ ආච්චීගේ නම ඇසෙනවිට මට සිහි වූයේ දොඩම්පෙ මාමාය. ඔහු මෙපමණ දුරක් එන්නට ඇත්තේ අපව බලන්නට විය යුතුය. අම්මාත් මමත් අපේ ගෙදර සිටියා නම් අඩු තරමේ ගෙට ගොඩ වන්නට කියා දොඩම්පෙ මාමාට තේ ටිකක් වත් බොන්නට දිය හැකිව තිබුනා නොවේදැයි මට සිතුනි. මට සිහි වූයේ දොඩම්පෙ මාමාගේ ගෙදර ගිය දවසේ ඔහු මට තැඹිලි කඩා බොන්නට දුන් අයුරුය. මා දොඩම්පෙ මාමා ගැන සිතමින් සිටියදී, ආච්චී තව තවත් මොනවාදෝ කියමින් අම්මාට බැන වැදී සුදු පුංචි අම්මා සමග කාමරයෙන් පිටව ගියාය. ආච්චී කියූ කිසිවක් මගේ මතකයේ රැඳුනේ නැතත්, ඇය මොනවා නොකියාවිදැයි කියූ රට්ටු කවුද යන්න අම්මාගෙන් පසුව අසා ගත යුතු බව මම මතක තබා ගතිමි.

    එදින රැයේ අම්මාත් මමත් නොකා නිදා ගත්තෙමු. අම්මා මට බත් කවන්නදැයි ඇසුවද මට බඩගින්නක් දැනුනේ නැත. ඇතැම්විට අම්මා දහවලටද බඩගින්නේ ඉන්නට ඇත. අපට අපේ ගෙදර යාමට නොහැකිදැයි රැයේ නින්දෙන්ම වාගේ මම අම්මාගේ කණට කොඳුරා ඇසීමි. අම්මා මගේ මුහුණ සිඹ මට නිදාගන්නැයි කීවා මිස කිසිවක් කීවේ නැත. අප ආපසු අපේ ගෙදර යා යුතු බවත් , දොඩම්පෙ මාමාට කියා රෙදි කැබලි ගෙන්වාගෙන අම්මාට දොඩන්ගොඩ දී කලා මෙන් පාපිසි මැසිය හැකි බවත් , මට දොඩම්පෙ මාමා සමග ඒවා විකුණා මුදල් ගෙන ආ හැකි බවත් , මා පාසල් ඇරී ගෙදර ආවිට තනිව සිටීමේ ගැටළුවක් අම්මා ගෙදර ඉන්නා බැවින් මතු නොවන බවත් උදයේ අම්මා සමග කිව යුතුයයි සිතූ මම කිහිප වරක් තොල් මතුරා ඒ සියල්ල මතකයේ තබා ගතිමි. එහෙත් ඒ කිසිවක් කියන්නට
    පසුදා මා අවදිවන විට අම්මා පෙනෙන්නට සිටියේ නැත.


    කනේරු මල් – කෙටි කතාව පලවෙනි කොටස

  • කනේරු මල් – කෙටි කතාව පලවෙනි කොටස

    කනේරු මල් – කෙටි කතාව පලවෙනි කොටස

    ලොකු මාමාගේ ත්‍රීවීලය පිටත්ව ගොස් අඩ පැයකට පමණ ආසන්න කාලයක් ගත වුවත් මට ඉඳ ගත් තැනින් නැගිටින්නට පවා සිතක් පහල වූයේ නැත. හැර දමා ගිය ගේට්ටුවෙන් ඇතුලට ආ දඩාවතේ යන බල්ලෙක් ගේට්ටු කණුවේ ඇතුල් පැත්තටම පය එස වූයේ මා ගැන කිසිදු සැළකිල්ලක් නොදක්වමිනි. බල්ලෙක් වත් නොසලකන තරමට මා අවලංගු වී ඇතිදැයි මගේම සිත විමසද්දී , මට ඊට දීමට පිළිතුරු තිබුනේ නැත. අවසානයේ සිත වසා පැතිර ගත් මූසල පාළු හැඟීම ගත පුරා ඔඩු දුවන්නට පෙර මම ගේට්ටු පලු දෙක වසා දමන්නට ගියෙමි.

    සුදු පුංචි අම්මා කවදත් දන්නේ වසා ඇති කඩුලු හැර දමන්නට පමණි. අපේ නිවසේ ගේට්ටුව ළඟ ලොකු මාමා ත්‍රීවීලය නැවැත්වූ පසු ඉන් බසින ඇය ගේට්ටු පලු දෙකම හැර දමා නැවත එයට ගොඩ වෙයි. ආච්චී කවදත් අතරමග රියෙන් බසින කෙනෙක් නොවේ. තිදෙනාම අපේ ගෙදරට ගොඩ වැදී කෑමෙන් බීමෙන් සංග්‍රහ විඳ ආපසු යන ගමනේදී සුදු පුංචි අම්මා හෝ ලොකු මාමා ඇස් කොනකින් වත් හැර දැමූ ගේට්ටු පලු දෙස නොබලන්නට පරිස්සම් වෙයි. ඒවා වසා දැමිය යුත්තේ අම්මා හෝ මමය. මුලදී අම්මාට මා මේ ගැන මැසිවිලි කීවද අවසානයේ අම්මා මෙන්ම මමද නිහඬව ගේට්ටුව වසා දමන්නට පුරුදු වීමි.

    සුදු පුංචි අම්මා මගේ අම්මාගේ නැගණියයි. ඇය සුදු පුංචි අම්මා වූයේ තවත් කළු පුංචි අම්මා කෙනෙක් හෝ වෙනත් විශේෂණ පදයක් සහිතව හැඳින්විය හැකි පුංචි අම්මලා මට සිටි නිසා නොව ඇතැම් විට ඇය රුවින් නැතත් පැහැයෙන් අම්මාට වඩා ඉදිරියෙන් උන් බැවින් කවුරුන් හෝ මට එලෙසින් ඇයව හඳුන්වා දෙන්නට ඇත. සුදු පුංචි අම්මා මෙන්ම ලොකු මාමාද තවමත් අවිවාහකය. ලොකු මාමා සියල්ලන්ටම වඩා වැඩි මහල් වුවද , කළු පැහැති ඩයි වලට පින් සිදු වන්නට ඔහුගේ පෙනුමට තවමත් හානියක් වී නැත. සුදු සරමත් සුදු කමිසයත් අඳින ලොකු මාමාගේ ඇඳුමේ තරමට හදවත සුදුදැයි මට තවමත් තේරුම් ගත නොහැකි කරුණකි. නළල දෙපස මතුව ඇති සුදු හිස කෙස් සඟවා අමුතු මෝස්තරයකට හිස පීරන සුදු පුංචි අම්මාගෙන් දිස් වන්නේ අහංකාර පෙනුමකි. මඳක් තරබාරු සිරුර පද්දවමින් ඇය හෙමිහිට පා තබමින් ඇවිදින්නේ ඇගේ බර මහ පොළොවට උසුලා ගත නොහැකි වෙතැයි බියකින් මෙනි. පාසලේ පහ වසරේදී පේරාදෙණිය මල්වත්ත බලන්නට ගිය දා මුල් වරට දුටු තාරාවන් මට එක්වරම සිහි ගැන්වූයේ සුදු පුංචි අම්මාය. තාරාවන් ඇවිද ගියේද සුදු පුංචි අම්මා මෙන් යයි මා සිනාසෙමින් අම්මාට කියූ විටදී අම්මා මට බැන වැදුනේ කිසිදා කිසිවෙකුටත් අපහාස නොකරන්නැයි කියමිනි.

    ඇය දන්නා මිම්මට අනුව මා හොඳ ළමයෙකු කරවන්නට අම්මාට ඕනෑ විය. අම්මාගේ පව්ලේ අයගෙන් මා කැමති වූ එකම කෙනා අම්මා පමණය. ආච්චී හා සුදු පුංචි අම්මා මෙන් ඇය අහංකාර වූයේ නැත. ලොකු මාමා මෙන් කඩප්පුලි කතා කීවේ ද නැත. කඩප්පුලි කතා යනු මොනවාදැයි මා නොදන්නා නමුත් තාත්තා නිතරම ලොකු මාමා හැඳින්නුවේ කඩප්පුලියා යනුවෙනි. ලොකු මාමා අපේ නිවසට එන හැම වතාවකම
    ” ඔය කඩප්පුලියගෙ කතා අහන්න මට ඕන කමක් නැතැ”යි කියමින් පිටුපස දොරෙන් පල්ලම් බසින තාත්තා , ලොකු මාමා පිටව යනවාත් සමගම නැවතත් පිටුපස දොරෙන්ම ගෙට පැමිණෙයි. තාත්තා නිවසින් පිටව යාමත් නැවත පැමිණීමත් අතර කාලය ඔහු කොතන ඉන්නවාදැයි නොදන්නා මුත් ලොකු මාමා ගේ පිටව යාමත් සමගම ඔහු ගෙට එන්නේ දුරක සිට නොවන බව කුඩා මමද වටහා ගත් කරුණකි.

    අම්මාට බාල සොහොයුරෙකු සිටි බවත් හදිසි අනතුරකින් ඔහු මිය ගියේ මා ළදරු වියේ සිටියදී බවත් අම්මා නිතරම සිහි කලේ හැඬු කඳුළින් යුතුවය. ඕනෑම සිත් තැවුලකදී ඇය ” අනේ මගේ මල්ලි හිටිය නම් ” යයි කියමින් සුසුම් හෙලන්නේ ඇයට සිටි එකම හිතවතා ඇයගේ මලණුවන් පමණක් බව අඟවමිනි. පොඩි මාමාටත් , අම්මාටත් ඇත්තේ එකම හැඩ රුව බව මා තේරුම් ගත්තේ සාලයේ ඇති වීදුරු කැබිනෙට්ටුව උඩ තැබූ ඔහුගේ රාමු කරන ලද විශාල ප්‍රමාණයේ සේයාරුව දෙස බැලීමෙනි. අම්මාගේ හෝ තාත්තාගේ එක්ව ගත් පින්තුරයක් තබා වෙන වෙනම ගත් පින්තුරයක් හෝ නොතිබුණු අපේ ගෙදරටම තිබුනේ මා දණ ගාන වයසේදී ගත් කැලැන්ඩරයක් මෙන් සාදන ලද පින්තුරයක් සහ පොඩි මාමාගේ රාමු කරන ලද පින්තුරය පමණි. ආච්චීටත් ලොකු මාමාටත් සුදු පුංචි අම්මාටත් අඩු වැඩි නැතිව පිහිටා තිබූ අහංකාර පෙනුම වෙනුවට , අම්මාගේ හැඩ රුව හිමි වූ නොදුටු පොඩි මාමාට මමද ආදරය කලෙමි.

    ඔවුන් දෙදෙනාම මගේ සීයා වැනි යයි දන්නා හඳුනන සියල්ලෝම කීවද මා සීයා දැක තිබුනේද නැත. ඇතැම් විට ඔහු පොඩි මාමාටත් පෙර මෙලොව හැර යන්නට ඇත්තේ ඔවුන්ගේ සෙනෙහස විඳින්නට හිමිකමක් මට නොතිබුණු නිසා විය හැක. පියෙකුගේ හෝ වැඩිහිටි නෑදෑ පිරිමියෙකුගේ සැබෑ සෙනෙහස විඳ ගැනීමේ ඉටු නොවූ බලාපොරොත්තු පමණක් මා හට ඉතිරි කරමින් මගේ බාල විය ගෙවුනේ මටද නොකියාමය. වයසින් මුහුකුරා වැඩෙද්දී මා පුරුදු පුහුණු කර ගත් ලොකු මාමාගේ ඇනුම්පද සිනහවකින් බැහැර කිරීමේ හැකියාව මගේ සිතට ගෙන ආවේ සැනසීමකි.

    අතීත මතකයන් තුල කිමිදෙමින් ගේට්ටුව වසා පැමිණ ගෙට ගොඩ වූ මම තැන තැන තිබූ හිස් තේ කෝප්ප ටික එකතු කරගෙන ගොස් සෝදා දැමුවෙමි. මා කවදත් පුරුදුව සිටියේ අම්මා මෙන් පිලිවෙලකට වැඩ කිරීමටය. ලොකු මාමා නොරිස්සුවේද , කට අරිනා සෑම විටකම අගට හෝ මුලට එකතු කරගත් ඇනුම්පදයකින් මට සංග්‍රහ කිරීමට හේතු වූයේද මා අම්මා මෙන් වැඩ කටයුතු කිරීම නිසා බව හොඳින් දැන සිටි නමුත්, මට එය වෙනස් කර ගැනීමට උවමනා වූයේ නැත. මෙලොව මා ප්‍රිය කල එකම දෙය නම් මා අම්මා වගේ යයි කවුරුන් හෝ කියනු ඇසීමය . මගේ අම්මා පියකරු ප්‍රසන්න පෙනුමැති ගැහැනියකි. අවාසනාවට මා පුරුදු පුහුණු කරගත් ඇගේ යහපත් ගති පැවතුම් මිස ඇය සතු වූ ඒ රුවෙන් බිඳක් වත් මට උරුමව තිබුනේ නැත. මට හිමි වුනු සෝමාරි පෙනුමැති මුහුනටත් ඉත්ත කූරු මෙන් වූ කොන්ඩයටත් හේතුව තාත්තාය .
    තාත්තා ගැන සුන්දර වූ හෝ යහපත් වූ මතකයක් මට නොතිබුනේ එවන් මතකයක් මසිතෙහි රඳවා ගත හැකි වන වයසට ඒමටත් පෙර ඔහු මාත් අම්මාත් අතහැර පැදුරටත් නොකියා ගිය බැවිනි. එදින රැයේ අම්මා මා තුරුළට ගෙන නිදන්නට යද්දී තාත්තා නොනිඳා උන් බව මට මතකය. උදෑසන අප අවදි වන විට තාත්තා සමග ඔහුගේ සරම් කමිසද අතුරුදහන්ව තිබිණ. නින්දක් නිදාගෙන ඇහැරී පිටව ගියා නම් එලා ගත් පැදුර දැන ගන්නා බැවින් ඔහු අපට නින්ද යන තෙක් පමණක් කල් මරන්නට ඇතැයි කීවේ අම්මාය. තාත්තාගේ නික්ම යාම අම්මා කම්පාවට පත් කල කරුණක් නොවුන නමුදු ඇය අපහසුවට පත් වූයේ දෑතේ වෙර වීරියෙන් පවුල නඩත්තු කල ඇයට මගේ රැකවරණය සලසමින් තව දුරටත් හරි හම්බ කර ගන්නට නොහැකි වීමෙනි.

    අපේ පවුල නඩත්තු කලේ අම්මාය. තාත්තාටත් මටත් කෑම් බීම් ඇඳුම් පැළඳුම් සියල්ල හැකි පමණින් සැපයුවේ අම්මාය. සෝමාරි මිනිසෙකු වූ තාත්තා බොහෝ විට කලේ නිදාගැනීමය . අම්මා පාන්දර අවදිව උයා පිහා තියා මගේ දත් මද්දවා මුහුණ සෝදවයි . ඉන් අනතුරුව මට බත් බෙදා දී කන්නැයි කියන අම්මා තාත්තාට මා බලාගන්නා ලෙස කියමින් එලියට බසින්නේ කහට උගුරක් පමණක් බීමෙන් සෑහීමකට පත් වෙමිනි. අම්මා අවදි වී මේ සියලු කටයුතු තනිවම කර ගනිද්දී තාත්තා කලේ ඇඳට වී හිස සිට දෙපතුල දක්වා වසාගෙන නිදා ගැනීමය. යලිත් හැන්දෑවේ කළුවර සමගින් ගෙට ගොඩ වන අම්මා උදෑසන නැවතූ තැනින් වැඩ අරඹයි. තාත්තාත් මමත් කා බී අවසන් කල පිඟන් කෝප්ප සෝදා දමා ගෙවල් මිදුල් අතුගා දමන ඇය ඉන් අනතුරුව අපගේ රාත්‍රී ආහාර වේල වෙනුවෙන් කුමන හෝ කෑමක් සකසයි. බොහෝ විට එය රොටියක් හෝ , එන අතර මග තැනකින් ගන්නා ලද ඉඳිආප්ප වෙනුවෙන් හදනා පොල් සම්බලක් ,පරිප්පු හොද්දක් වැනි දෙයකි. තාත්තා ඇඳෙන් නැගිටින්නට බැරි අන්දමේ අසනීපයක් ඇති අයෙකු නොවූවද ඉහ වහා ගිය කම්මැලි කමකින් යුතු මිනිසෙකු බව මා කුඩා අවදියේ වුවද වටහා ගත් කරුණකි. අම්මා නිවසින් පිටත්ව ගිය පසු අවදි වන ඔහු උදේට කෑමෙන් පසු වරෙක ඇඳෙහි වැතිරෙමින්ද වරෙක ඇඳ මත ඉඳගෙන පහලට දමා ගත් දෙපා පද්දවමින් ද දවල් වන තෙක් කල් මරමින් සිටියි. බඩගිනි යලිත් අලුත් වන විටදී ඇඳෙන් නැගිට උදෑසන අප දෙදෙනා කෑමෙන් පසු ඉතිරිව ඇති බත් මාලු පිනි අප දෙදෙනාගේ පිඟන් වලට බෙදයි. රුපවාහිනියේ පෙන්වන සියලු කාටූන් , නාට්‍ය , චිත්‍රපට මා සමගම සිනාසෙමින් නරඹයි. අම්මාට රූපවාහිනියක් නිවසේ තිබුනද එහි පෙන්වන කිසිවක් බලන්නට වෙලාවක් නැත. උදේ කෑමෙන් පසු අප දෙදෙනාගේ පිඟන් සෝදා තබන තාත්තා දහවල් කෑමෙන් පසු ඒවා එලෙසම තිබෙන්නට හරින්නේ ,මේවා අපි හේදුවට අම්මට හරි යන්නේ නැතැයි කියමිනි. එහෙත් දවසක් තාත්තාගේ කීමට කන් නොදුන් මම මගේ ඉඳුල් පිඟාන මට හැකි අයුරින් සෝදා දැමුවෙමි. අම්මා එදින සතුටින් මා වැළඳ ගත්තේ
    “මම මේ හැටි දුක් විඳින්නෙ මගෙ කොලු පැටිය ලොකු වෙනකල් විතරයි “කියමිනි .

    අම්මා රැකියාවට ගියේ නිවසක බැලමෙහෙවරකම් කිරීමට බව මා දැන ගත්තේ තරමක් දැනුම් තේරුම් ඇති වූ පසුවය. දහවල රැය එක ලෙසින් කටුකව වළඳන අම්මා නින්දේදී පවා සුවයක් වින්දා දැයි මා දන්නේ නැත. ඇතැම් දිනයක මා නින්දෙන් අවදි වන්නේ අම්මා පරල වූවාක් මෙන් කාට හෝ බැන වදිනු ඇසීමෙනි .
    ” උඹ ඇහැරුනාද පුතේ ..නිදා ගනින් මයෙ උනහපුළු පැටියා ..” යි කියමින් මා තුරුළට ගෙන සිප ගන්නා අම්මාගේ බැනුම් මා වෙනුවෙන් නොවන බව දැන ගත් විට , යලිත් නින්දට වැටෙන්නට මට ගත වන්නේ සුළු මොහොතකි. අම්මාත් මමත් ගහට පොත්ත මෙන් බැඳී සිටීම කවදත් තාත්තාට නොරිසි විය. අම්මා මා සුරතල් කලද තාත්තා කිසිවිටෙකත් මා සුරතල් කලේ නැත.

    තවමත් තීන්ත ගා අවසන්ව නොතිබුණු බැවින් හවස ලොකු මාමලා එනවිටත් ගෙයි බඩුමුට්ටු තිබුනේ සී සීකඩය. ඉනට අත ගසා ගත් ලොකු මාමා හතර අතට ඇස යවා අවසානයේ
    ” හෙනං උඹ තනියෙන්ම වැඩ පටන් ගත්ත ඈ .. නැතෑ ඉතින් මහා ගෑනි වගේම ..ඒකි කලෙත් ඒකිට හරියි කියල හිතුන දේ විතරනෙ ”
    යනුවෙන් කීවේ මිදුලට කෙල පහරක් ද ගසමිනි. මිදුලේ තැන තැන කෙල ගැසීම මා නොරිස්සුවද , කිසිවක් නොකියා ලොකු මාමාගේ කතාව නොඇසුණු ලෙසින් මම ආච්චිට ඉඳ ගැනීමට පුටුවක් තබා ඇයව එහි වාඩි කරවූයෙමි . සුදු පුංචි අම්මා පාවෙමින් මෙන් ගෙයි ඇතුළු කාමර දෙසට ඇවිද ගියේ ලොකු මාමා කී කතාවෙහි ඇත්ත නැත්ත සොයන්නට මෙනි.

    ගෙට තීන්ත ගාගන්නට උවමනා යයි මගේ කටින් වචන පිට වූ සැනින් මට උදව් කරන්නට මගේ මිතුරෝ ඉදිරිපත් වූහ. ගෙයි බිත්තිවලත් දොර ජනෙල් වලත් තීන්ත ගෑමට මට වියදම් වූයේ නම් ඒ ඊට උවමනා බඩු මිලදී ගැනීමට පමණය. මා මෙන්ම, ඉගෙනීමෙන් පරතෙර නොදුටු , එහෙත් හිත හොඳ කොල්ලන් වූ මගේ මිතුරන් තම තමන්ගේ තරමට අනුව කරමින් උන් ජීවිකාවෘත්තීන් පවා අතපසු කරමින් මගේ සහයට ආවේ ආරාධනයෙන් තොරවමය. අම්මා මගේ දෑස් පාදන්නට යයි කියමින් මා පාසල් යවා ඉහලට ඉගැන්වීමට තැත් කලද , මට ඇගේ බලාපොරොත්තු ඉටු කරන්නට හැකි වූයේ නැත. බලෙන් මෙන් වසරින් වසර ඉහලට තල්ලු වී ගිය නීරස පාසල් ගමනක් අවසානයේ අම්මා මා ඇදගෙන ගොස් වෘත්තීය පුහුණු පාසලට බාර දුන්නේ දෑතේ රස්සාවක් වත් ඉගෙනගත්තෙ නැතිනම් උඹ ගස් ගෙඩි කඩන්නදැයි කියමිනි. මගේ නොහැකියාව දුටු විට මෙන්ම මා අසාර්ථක වූ සෑම තැනකදීම ලොකු මාමා මට ඇණුම්පද කීවේ තාත්තා ද සිහි කරවමිනි.

    ” නැතෑ ඉතින් මහ එකා වාගෙම..ඌ දන්නෙත් පින් බත් ගිල ගිල ඉන්න විතරනෙ..”

    ලොකු මාමාගේ මෙවන් වදන් නෑසූ කන්ව හිඳින්නට තරම් ඒ වන විට මා ධෛර්යයමත්ව සිටීම අම්මාටද සැනසීමක් විය. පාසල නීරස වුවද මට වෘත්තීය පුහුණු ආයතනය සතුට මෙන්ම උනන්දුව වඩවන තැනක් විය. පෑස්සුම් ශිල්පියෙකු එනම් වෙල්ඩිං කරුවෙකු වීමට අත්පොත් තැබූ මා පුහුණුව අවසානයේ කණ්ඩායමේ හොඳම සිසුවා වීමෙන් මට වඩා සතුටට පත් වූයේ අම්මාය. මා වෙනුවෙන් සතුටු වීමට අම්මා හැරෙන්නට මෙලොව වෙනත් කිසිවෙක් නොමැති බව දන්නා කරුණක් වූ නමුදු සහතික හා ත්‍යාග බෙදාදෙන උත්සව මොහොතේ නොලද පිය සෙනෙහස වෙනුවෙන් මගේ දෑස් තෙත්වීම වලක්වන්නට අම්මාගේ සෙනෙහස සමත් වූයේ නැත.

    අම්මා දහ දුක් විඳ පෝෂණය කෙරුණු මගේ අත පය යකඩ මෙන් ශක්තිමත් වූ අතර තාත්තාගෙන් මා ලද උරුමය වූ සෝමාරි පෙනුමත් ඉත්තෑකූරු කොණ්ඩයත් තාත්තාගේ ඔතෑනි පෙනුමට ගැලපුනු නමුදු මට ගැලපුනේ නැත. ඇතැම්විට කෙනෙකුට මා පෙනෙන්නට ඇත්තේ නුපුහුණු නිර්මාණකරුවෙක් විසින් නිමවන ලද වැරදුනු නිර්මාණයක් ලෙසින් විය යුතුය. මා කුඩා කාලයේදී පවා අම්මාත් , කෙටි කලකට මට හමු වූ ඒ නාඳුනන මිනිසාත් හැරෙන්නට කිසිවෙකුගේ සුරතල් කිරීමකට හෝ ආදරයකට ලක්වීමට තරම් මා වාසනාවන්ත නොවූයේද මේ අකාරුණික මැවීම නිසා විය හැක. දෛවය මට කල විශාලම සරදම නම් මගේ පිටපතක් බඳු වූ මගේ තාත්තාට ද මා එපා වීමය.
    අම්මා බොහෝ විට ලද විවේකයන්හිදී ඇගේ හිසට ඉහලින් සිටින සේ මා ඔසවා රූං පෙත්තක් මෙන් මා කැරකෙව්වාය. එවන් විටෙක මා ප්‍රීතියෙන් සිනා නගද්දී ඇයද හඬ නගා හිනැහුනාය. මා අම්මාට තුරුළු වන සෑම මොහොතකම
    ” මගෙ උනහපුළු පැටියා ” යි කියමින් ඇය මා සිප ගත්තද තාත්තා කිසිවිටෙකත් මට ආදරය පෙන් වූයේ නැත. තාත්තාගේ උරමත නැගී සුරතල් වන්නට මට බොහෝ වර සිතුනද ඔහු කුමන මොහොතක වත් මට ඊට ඉඩක් තැබුවේ ද නැත. පාසල් යද්දී මගේ මිතුරන් ඔවුන්ගේ පියවරුන් සමගින් පාසලට එද්දී මම අම්මාගේ අතේ එල්ලී පාසල් ගියෙමි. මා පාසලට ඇරලවීමෙන් පසු අම්මා ඇගේ රාජකාරියට යා යුතු වූ බැවින් ඇය ගමන් කලේ දිග අඩි තබමිනි. ඇගේ වේගයට සම වන්නට මට යන්නට සිදු වූයේ දුවමිනි. තාත්තා සමග බයිසිකලයක නැගී පාසල් යන්නට ඇත්නම් යන ආශාවෙන් මගේ සිත ඔත්පල වුවද මම කිසිවිටෙකත් අම්මාට ඒ ගැන නොකීවෙමි. අම්මාගේ හිතට දුකක් දැනේ යයි සිතෙනා කිසිදු යමක් අම්මාට නොකීමට තරම් මා පරිස්සම් වූයේ කුඩා අවදියේ සිටමය. තාත්තා අප අත්හැර ගියදා පටන් අම්මා වඩාත් අසරණ වූයේ මා තනිවම නිවසේ නවතා රැකියාවට යාමට නොහැකි වූ බැවිනි. මා පාසල් ගමන පටන් ගත් පසු දහවල් කාලයේ කෙටි අවසරයකින් දිව එන අම්මා මා පාසලෙන් රැගෙන ගොස් මගේ ඇඟ සෝදවා මට බත් බෙදා දී නැවතත් රාජකාරියට දිව යයි. තාත්තා ඇඳ මතට වී සිටියද මගේ තනියට ඔහු ගෙදර සිටීමෙන් මට ආරක්ෂාව ලැබෙනවා යයි ඇය සැනසෙන්නට ඇත. තාත්තාගේ නික්ම යාමෙන් පසු අම්මා පත්ව ඇති අසරණ කමින් ඇය මුදාලීමට හෝ ඇයට අස්වැසිල්ලක් වන ලෙසින් මට කල හැකි කිසිවක් තිබුනේ නැත.

    අවසානයේ අම්මාට කල හැකි වූයේ අප ජීවත් වූ නිවස වසා දමා ආච්චිලා ගේ නිවසේ පදිංචියට යාම පමණය. අප ජීවත් වූ නිවස ද අපට ලැබී තිබුනේ ආච්චිලාගෙන් අම්මාට ලැබුනු ත්‍යාගයක් ලෙසින් වුවද නැවත වරක් මහගෙදරට කඩා වැදීමෙන් අම්මා පැතූ සහනය ලැබුනාදැයි මා දන්නේ නැත. තාත්තා අම්මාට කිසිදු ලෙසකින් සහය නොවූවද, නිද්‍රාවට පත් වූ අයෙකු ලෙසින් කල් ගෙවූවද , පණ ඇති තවත් ජීවියෙකු ලෙස පමණක් හෝ ඔහු නිවසේ සිටීම නිසාවෙන් මා ලද නිදහස ආච්චිගේ නිවසේ මට ලැබුනේ නැත.
    මා නිවාඩු දවසට ද උදෑසනම අවදි විය යුතු විය. අම්මා සියල්ලන්ටම අහර පිසුවාය. එහෙත් ඇය නිවසින් ගත්තේ රාත්‍රී ආහාරය පමණය. වැඩ අවසන්ව පැමිණෙන අම්මා වෙනදා හදන එක හොද්දක් හෝ සම්බලක් වෙනුවට බත් එලවළු මාළු පිසිය යුතු විය. අම්මාත් මමත් හැරුන විට ගෙදර සිටිනා අනෙක් සියල්ලෝම බත් කෑමට ප්‍රිය කලහ. සුදු පුංචි අම්මා ඉවුම් පිහුම් වලට දැක්වූයේ මැලි කමකි . අම්මාට තනිවම කරගත නොහැකි වූ කටයුත්තකදී සුදු පුංචි අම්මාට අඬ ගැසුවද , අම්මාට ඇති හදිසිය පුංචි අම්මාට තිබුනේ නැත.
    ” ඇඟේ වහපු මැස්ස හෙල්ලෙන්නෙ නැති ගානට ගාටන්නෙ නැතිව ටිකක් අඩිය ඉක්මන් කරල වරෙන්..”
    පුංචි අම්මාගේ නැලවිලි ගමන දකින අම්මා එවන් විටක බැන වැදුනද , පුංචි අම්මා ඒවාට කෝප වූයේ හෝ තම රටාව වෙනස් කලේ නැත. ආච්චී තම තරබාරු සිරුර සොලවා වැඩක යෙදෙනු මා කිසි විටෙක දැක තිබුනේ නැත. සතියේ දිනවල මා පාසලට රැගෙන යාම අම්මා ලොකු මාමාට පවරා තිබුනේ අතට මුදලක්ද මිට මොලවමිනි. අම්මා නොකඩවා වැඩ කලාය. රැයෙහි පැදුරට වැටෙන ඇගේ කෙඳිරිගෑම් ඇසෙනා මා හැකි අයුරින් අම්මාගේ අත පය අතගෑවද , ඉන් අම්මාට සුවයක් දැනුනාදැයි නොදන්නේ ඇය වහා මා වලකාලමින්
    ” ඇති මයෙ රත්තරනේ ..මයෙ පුතාට යෝධ බල යෝධ වීරිය ලැබෙන්න ඕනෑ ” යනුවෙන් බිඳුනු හඬින් කියන බැවිනි.

    අම්මාගේ කෙඳිරි ගෑමට මා අකමැති නොවුනේ ඇගේ කෙඳිරිය ඇසෙනා තුරාවට මට වඩාත් සුරක්‍ෂිත බවක් දැනුන හෙයිනි. ඇය ගැඹුරු නින්දේ පසු වෙද්දී මට ඇතිවන්නේ විශාල බියකි. හදිසියේ මා රැයෙහි නින්දෙන් අවදි වූ මොහොතක අම්මා නිහඬව නිදන්නේ නම් ඇගේ ළය මත අත තබා හුස්ම ගන්නා බව සැක හැර දැනගන්නාතෙක් මට නින්ද යන්නේ නැත. මට මෙලොව ඉන්නා එකම හිතවතා එකම ආරක්ෂකයා අම්මා පමණය. මට උවමනා වූයේ මගේ ළමා විය හැකි ඉක්මනින් ගෙවා නිම කර අම්මාට අත්වැලක් වීමටය.

    සුදු පුංචි අම්මා හැරෙන්නට අනිත් දෙදෙනාම නිරන්තරයෙන්ම තාත්තා ගැන කියමින් අම්මාට ඇණුම්පද කීහ. තාත්තා බැනුම් ඇසීම ගැන මගේ අකමැත්තක් නැතත් තාත්තා වෙනුවෙන් අම්මාට බැණුම් අසන්නට සිදුවීම ගැන මගේ කැමැත්තක් තිබුනේ නැත. ඒකාකාරී වූද දුෂ්කර වූද ජීවිතයෙන් හෙම්බත් වූ අම්මා අවසානයේ තීරණය කලේ අම්මාගේ දුර නෑයෙකු වූ දොඩන්ගොඩ ආච්චිගේ ගෙදර යාමටය . දොඩන්ගොඩ ආච්චී අම්මාට ආදරය කල අතර , මා පිළිබඳව ඇයගේ හැඟීම කුමක්දැයි මට වැටහුනේ නැත. මා පාසලෙන් අස් කරවාගෙන දොඩන්ගොඩ පාසලකට ඇතුලත් කරන්නට හැකි බව දැනගත් අම්මා මගේ හිස සිප ගත්තේ
    ” යමං පුතේ..අපටත් කොහේ හරි ඉඩක් නැතෑ..” කියමිනි.
    මටද උවමනා වී තිබුනේ ආච්චිලාගේ ගෙදරින් පිටවී කොහේ හෝ යාමටය.

    යසිකා විජේසිංහ

  • ” මම ගියාම ඔහේට පාළුයිද..” – උරුමක්කාරයා 3 කොටස

    ” මම ගියාම ඔහේට පාළුයිද..” – උරුමක්කාරයා 3 කොටස

    පොඩි අක්කා බලන්නට මනමාලයෙක් එද්දී මා සිටියේ හතේ පන්තියේය. ලොකු අක්කා කිසිදාක විවාහ නොවනා අදහසක සිටි බැවින් අම්මා පොඩි අක්කා විවාහ කරදීමට තීරණය කරන්නට ඇත.

    ” මම ගියාම ඔහේට පාළුයිද..” පොඩි අක්කා ඇසුවේ මගේ පාඩම් වැඩට උදව් වෙන අතරේය.
    ” ඇයි..පොඩි අක්කා කොහෙ යන්නද ”
    ” අර එදා ආව අයියලගෙ ගෙදර”
    ” නවතින්න..??”
    ” ඔව්..”

    ” මාත් එනව..” මා කීවේ තේරුමක් ඇතිව නොවේ. පොඩි අක්කා මගේ මුල්ම යෙහෙළියයි. මේ නිවසේ මා මුලින්ම හඳුනා ගත්තේ ඇයයි. ඇය නැති වූ මේ නිවස මට පමණක් නොව නිහඬව ඉන්නා තාත්තාට ද පාළුවක්ද පාඩුවක්ද වන බව නොරහසකි. පොඩි අක්කා මගේ කීමට දුක් මුසු ලෙස සිනාසුනාය.පොඩි අක්කාගේ මංගල්ලය සූදානම් වූයේ ඉතා චාමෙටය. අම්මා කැවිලි වර්ග කීපයක් සෑදුවාය. මංගල්ලයට දින තුනකට කලින් දවසේ තාත්තා වෙනදා වෙලාවට අවදි වූයේ නැත. උදෑසන තේ කෝප්පය රැගෙන තාත්තාගේ ඇඳ ලඟට ගිය පොඩි අක්කාගේ කෑ ගැසීම නිසා අපි සැවොම එතනට දිව ගියෙමු. තාත්තා ගේ කට ඇද වී තිබූ අතර , ඔහුගේ දෑසින් නොනවත්වා කඳුළු ගලමින් තිබිණි .අත ඔසවා යමක් කීමට උත්සාහ කලද , ඔහුට එය කර ගත නොහැකි විය. ඔහුගේ ස්වරූපය දුටු ලොකු අක්කාගේ දෑසින් කඳුළු කඩා හැලින. අම්මා යෝධ ශක්තියක් ලැබුවාක් මෙන් තාත්තා ඔසවන්නට තැත් කලද, ඔහු අප්‍රාණිකව කඩා වැටුනා මිස ඔහුගේ ශක්තියෙන් නැගී සිටියේ නැත.. තාත්තා හැකි ඉක්මනින් රෝහල් ගත කල නමුත්, ඔහු නැවත කිසිදා දෙපයින් සිට ගත්තේ නැත. පොඩි අක්කාගේ මංගල්ලය දින නියමයක් නැතිව කල් තබනු ලැබුවේ සිදුවූ හදිසි කරදරය හමුවේ අම්මා වඩාත් අසරණ වීම නිසාය. දින කිහිපයක් රෝහලේ නතරව සිට, නිවසට කැඳවා ගෙන ආ තාත්තා තව දුරටත් තමාගේ දෛනික කටයුතු තමාටම කරගත හැකි පුද්ගලයෙකු නොවීය. ඔහුට කැවීම්, පෙවීම්, මුහුණ අතපය සේදීම් ආදිය පමණක් නොව ශරීර කෘත්‍ය කටයුතු පවා කරගත යුතු වූයේ අප කාගේ හෝ උදව්වෙනි.

    එතැන් පටන් අම්මා සම්පූර්ණයෙන්ම වාගේ තාත්තා වෙනුවෙන් කැප වුනාය.ඔහු යහතින් ඉන්නා කාලයේ අම්මාට බොහෝ වෙනස්කම් කල බව මා සමග කීවේ පොඩි අක්කාය. බීමත්ව පැමිණ අම්මාට බැණ වදිමින් ඇතැම් විට පහර දීම් ද කරන බවත් අක්කලා දෙදෙනාම එකතුව අම්මා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන්ටද තාත්තාගේ පහර කෑමට සිදුවන බවත් කී ඇගේ ස්වරය දුක් මුසු වුවද ඇගේ මුහුණේ ඒ මොහොතේදී පවා කිසිදු හැඟීමක් පලවූයේ නැත . තාත්තා කෝන්ගොඩ ගොස් ඇත්තේ වෙළඳාමක් අරඹන අටියෙනි. ඊට පෙර ඔහු රියදුරෙක් ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ වරදින් මිනිසෙකු රියට යටවී මිය යාම නිසා රැකියාව අහිමි වී ඇත. එයටද ඔහු බැන වැදී ඇත්තේ අම්මාටය. පහත් තැනින් වතුර ගලන්නාක් මෙන් ඔහුට වරදින සෑම තැනකදීම, අසරණ අම්මාට එයට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ ඔහුගෙන් එල්ලවන තාඩන පීඩන වලට මුහුණ දීමෙනි. තාත්තා ගේ කෝන්ගොඩ ගමනෙන් ඔහු ලද ලාභය මාය. එහෙත් එය ලාභයක්දැයි මා නොදන්නේ ඔහු කෙදිනක වත් මට ඒ ගැන නොකී බැවිනි. “අම්මා” මේ නාඳුනන මිනිසාට ආදරය කලාද ..එසේත් නැතිනම් හදිසියේ ඇති වූ හැඟීමකට අවනත වුනාද, කියා මට අසන්නට කෙනෙක් සිටියේ නැත. එවැනි යමක් මවකගෙන් හෝ පියෙකුගෙන් ඇසීමද සදාචාර සම්පන්න නොවනු ඇත. කෙසේ වෙතත් මා සුජාත දරුවෙකු කලේ මා හැදූ මගේ අම්මාය. කුසේ තබා රැකීමෙන් පමණක් අම්මා යන නාමයට හිමිකම් කිව නොහැකි බව දැන් මට හොඳින් වැටහේ. එහෙත් ඒ හැඟීම මගේ සිතට හරියාකාරව වැටහුනේ පසු කලකදීය . තාත්තා කෝන්ගොඩ කඩ කෙරුවාවට ගිය පසුවත්, වරින් වර නිවසට ආවද ,ඒ සෑම විටකම අම්මා සමග දබර කරගත් බැවින් ,ඇය නිවස අතහැර තමන්ගේ සොයුරියක ගේ නිවසට යද්දී, ලොකු අක්කා ද ඇය හා එක්ව ඇතත්, පොඩි අක්කා නිවසේ නතර වී ඇත. දන්නා විදියෙන් බතක් මාළුවක් උයා දුන් ඇය, තාත්තා බඩගින්නේ නොතියූ බවත් වැඩි දවසක් නොගොස් තාත්තා මමත් අම්මාත් මේ නිවසට කැඳවා ගෙන ආ බවත් ඇය කීවාය. තාත්තා කෝන්ගොඩ සිටි කාලයේ වරින් වර අතුරුදහන් වූ හේතුවත්, ඔහු කදමළු බැඳගෙන යලිත් පැමිණියද “අම්මා” මුහුණ පුළුටු කරගෙන ඉඳීමේ රහසත් මට වටහා ගත හැකි විය. මේ සියල්ල දැන ගත් පසු මට අම්මා පිළිබඳව දැනුනේ ගෞරවය මුසු විමතියකි. තමාට කෙතරම් කරදර හිරිහැර කලද ඇය තාත්තාට සාත්තු කලේ දිවි හිමියෙන් තමා රැක බලාගත් සැමියෙකුට උවැටන් කරන්නාක් මෙනි. කුඩා දරුවෙකුට මෙන් තාත්තාට බත් අනා කවන ඇය, මා තාත්තාගේ වැඩට හවුල් කරගත්තේ ද කලාතුරකිනි.

    ” ඉස්කෝලෙ වැඩ කරගනින් පුතේ..මම මේවා කරගන්නම්..” ඇය කීවේ එලෙසය.

    පොඩි අක්කාගේ මංගල්ලය පිලිබඳ කතාව යලිත් වතාවක් මතු වී ආවේ මේ අතරය. තාත්තා නැවත දෙපයින් නැගී නොසිටින බව සහතික වී ඇති මොහොතක, මංගල කටයුත්තක් වෙනුවෙන් වෙහෙසීමට හෝ මුදල් වැය කිරීමට හැකියාවක් අම්මා සතුව තිබුනේ නැත. තාත්තා කෙලින් කටින් හිටියත් ඔහුගෙන් පවුල වෙනුවෙන් ඉටුවූ යුතුකමක් තිබූ බව මා දුටුවේ නැති වුවද , අම්මාට උවමනා වූයේ පොඩි අක්කා දීග දෙන දවසේ තාත්තා යුතුකම් දන්නා පියෙකුගේ තත්වයට ඔසවා තබන්නටය. ඇතැම් විට ඇයද එමගින් යම්කිසි ගෞරවණීය හැඟීමක් විඳින්නට බලාපොරොත්තු වූවා විය හැකිය. අඩුම තරමේ ඇය බලාපොරොත්තු වූ ඒ සිහිනයවත් සැබෑ කරන්නට තාත්තාට .නොහැකි වූයේ කාගේ අවාසනාව නිසා දැයි මා දන්නේ නැත.

    අවසානයේ පොඩි අක්කා කැන්දන් යාම සිදුවූයේ කාගේවත් සහභාගීත්වයකින් තොරවය. මංගල ඡායාරූපයක් ගන්නට ඇගේ සැමියාට උවමනා වූ නිසාම, ලොකු අක්කා ඇයට සාරියක් හැට්ටයක් මැසුවාය. ලා කහ පැහැති සාරිය නිසා ඇගේ පාණ්ඩු පාට තවත් වැඩි වී පෙනුනු අතර ඇය ගෙදරින් පිටත් වූයේ හඬමිනි. තාත්තාගේ ඇඳ ලඟ ඇය දණ ගසා වැන්ද මොහොතේ තාත්තාගේ දෑසින් කඳුළු ගැලුවේ උල්පතකින් දිය උනන්නාක් මෙනි. ඔහු කුමක් හෝ කීමට උත්සාහ කලද මුවින් පිටවූයේ ” ගොර ..ගොර ..” හඬක් පමණි. තාත්තා රෝගී වූ මොහොතේ පමණක් මා දුටු ලොකු අක්කාගේ කඳුළු, ඇගේ විසල් දෑස අතහැර ගලා හැලුනේ පොඩි අක්කා ඇයව වැළඳ සමුගත් මොහොතේදීය. අයියාත් ඔහුගේ අම්මාත් පැමිණි කුලී රථයේම නැගී අම්මාත් මමත් ටවුමේ ඡායාරූප ශාලාව දක්වා ගියේ , තාත්තා ටික වේලාවකට ලොකු අක්කාට බාර දෙමිනි. ඡායාරූප ගැනීමෙන් පසු පොඩි අක්කා මා බදාගෙන හැඬුවාය. අම්මාත්, තාත්තාත් ,ලොකු අක්කාත් බලා ගන්නා ලෙස මට කී ඇය, තමා ගෙදරින් පිටව යන්නේ මට එම වගකීම සම්පූර්ණයෙන්ම පවරා බව කීවේ මා ඒ වනවිටත් වැඩිහිටියෙකු සේ ඇයට පෙනුනු නිසාද, එසේ නැතහොත්, ඇය ඉසිලූ වගකීම මගේ හිතට යන්තමට හෝ දැනවීමටදැයි මට වැටහුනේ නැත. අම්මාට තුරුළු වී පොඩි අක්කා ඉකි ගසා හැඬු නමුත්, අම්මා දැඩි සෙනෙහසින් ඇගේ හිස පිරිමැද්දා මිස කඳුළු සැලුවේ නැත. ඔවුන් රැගත් රිය නොපෙනී යන තෙක් බලා සිටි අම්මා, මගේ අතකින් අල්ලාගෙන පා ගමනින්ම නිවසට ආවේ කිසිදු කතා බහකින් තොරවය. ගෙට ගොඩ වන විටම පොඩි අක්කා නොමැති නිවසේ දැනුනු හිස් බවත්, ශෝකී අඳුරු බවත් එක්ව මගේ හිත වෙව්ලුම් කෑවේය. ඇගේ කතා බහද, සිනාවද මට මැවී පෙනෙන්නට විය. ඇය ඉන්නා තැනකට මටද යන්නට ඇත්නම් යයි සිතුනද, එතෙක් වේලා කඳුළු නවතා ගෙන උන් අම්මාගේ ඉකි බිඳුම් හඬ මගේ සිතිවිලි වෙනස් කරන්නට සමත් විය. මම අම්මාගේ හිස පිරිමැද්දේ ඇය ඉන් සැනසේදැයි විශ්වාසයක් ඇතිව නොවේ. එහෙත් මා තුරුළු කරගත් ඇගේ හැඬුම තුනී වී යද්දී පොඩි අක්කා මට පවරා ගිය වගකීම මා ඉටු කලා යයි මට සතුටක් දැනුනි.

    ලොකු අක්කා වැඩි වැඩියෙන් ඇඳුම් මසන්නට පටන් ගත්තාය. ඇය බොහෝ විට රැය පහන් කලේ අවදියෙනි. මහන මැසිමේ ලාච්චුවට වැටෙන මුදල්, ගෙදර කෑමට බීමට අමතරව තාත්තාගේ බේත් හේත් වලටද , ඔහුට අමතර පෝෂණය ලැබීම සඳහා දෙන විශේෂ පිටි වර්ග වෙනුවෙන්ද, මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද, වැය වූ අතර ,ගෙදර සියළු කටයුතු කෙරුනේ ඇය උපයන මුදලිනි. ඇගේ ගණුදෙනුකරුවන් නොසිටින බොහෝ වේලාවල ඇය සිටියේ කෝපයෙනි. දවස පුරා තාත්තාගේ වැඩ වෙනුවෙන් හෙම්බත් වන අම්මා රැයෙහි පැදුරේ වැතිරුණු සැනින් කෙඳිරි ගාමින් නින්දට වැටෙයි. තාත්තා ලෙඩ වූ දා පටන් අම්මා නිදා ගත්තේ ඔහුගේ ඇඳ පාමුල එලා ගත් පැදුරකය. එතරම් දුෂ්කරක්‍රියා කරමින් ඇය පෙරුම් පිරුවේ මොනවාදැයි මා කෙදිනකවත් දැන ගත්තේ ද නැත.


    උරුමක්කාරයා

    ඒ ඇවිත් ඉන්නෙ අපේ අම්මයි අක්කයි – උරුමක්කාරයා 2

  • ඒ ඇවිත් ඉන්නෙ අපේ අම්මයි අක්කයි – උරුමක්කාරයා 2

    ඒ ඇවිත් ඉන්නෙ අපේ අම්මයි අක්කයි – උරුමක්කාරයා 2

    උරුමක්කාරයා 2 කොටස –

    එලෙස ගෙවුනු කාලය මාස කීපයක් විය යුතුය. දිනක් තාත්තාත් මමත් කොණ්ඩා කපන්නට ගියෙමු. අප දෙදෙනාගේම කොණ්ඩා කැපීමට බාබර් මාමාට වරුවක පමණ කාලයක් ගත වන්නට ඇත. අප දෙදෙනා ආපසු නිවසට එද්දී නිවසේ නාඳුනන ගැහැනුන් දෙදෙනෙක් උන් අතර ඉන් තරමක් වයස්ගත වූ ගැහැනිය පොඩි අක්කා මෙන්ම කෙසඟ අත පය සහිත තැනැත්තියකි. චීත්ත ඔසරියක් ඇඳ , තරමක් ඉදුනු කොණ්ඩය පිටුපසට කර බැඳ සිටි ඇය දෙස මා බැලුවේ තාත්තාගේ සරමට මුවා වී ගෙනය. අප ආ ශබ්දය ඇසී, පොඩි අක්කා කුස්සියේ සිට සාලයට පැමිණි අතර, ඇය පිටුපසින් තවත් ගැහැනු කෙනෙක්ද පැමිණියාය ඇයද පොඩි අක්කා තරමටම උස නමුත්, ඊට වඩා මහතය. ඇගේ දෑසේ මා දුටුවේ නපුරු බැල්මකි. පොඩි අක්කා පැමිණ මා අතින් අල්ලාගත්තේ “ නාන්නට යමු” යැයි කියමිනි. “අම්මා” පෙනෙන්නට නැත්තේ ඇයි දැයි සිතුනු නමුත්, ඒ ගැන විමසන්නට මට සිතුනේ නැත. තාත්තා කිසිවක් නොකියා නිහඬව සිටියේය. කිසිවෙක් කතා කලේද නැත.

    ” ඒ ඇවිත් ඉන්නෙ අපේ අම්මයි අක්කයි..” පොඩි අක්කා කීවේ ගෙයින් එලියට බැස ළිඳ ළඟට යන අතරතුරේය.

    ” එතකොට මගේ අම්ම කෝ.. අර ගොල්ලො මගෙ අම්මට ගැහුවද.. අම්ම අඬ අඬා ද ගියෙ..ඇයි අම්ම මං එනකල් උන්නෙ නැත්තෙ.. එතකොට අම්ම කොහෙද ගියේ..” මා එක හුස්මට ඇසුවේ හැඬුම් පිටවීමට ආසන්නවය..

    ” ගැහුවෙ නෑ. ඒ වුනාට රණ්ඩු නං වුනා. අපේ අක්ක කිව්වෙ යන දේවාලෙක ඔහෙත් එක්ක යන්නය කියල. අපේ අම්ම කිව්ව කොල්ලව කාලකන්ණි නොකර තියල පලයං උඹට වැඩිය හොඳට මම ඌව හදා ගන්නං කියල. එහෙනං තියා ගන්න එකයි ඇත්තෙ මගෙ උන් මාව අහක දාන්නෙ නෑ .මම කෝන්ගොඩ යනව කියල යන්න ගියේ..”
    ” එතකොට මං.??.” මට දැනුනේ මහා තනිකමකි. මට ඇඬෙන්න තරම් දුක සිතුනි. “අම්මා “ මා එනතෙක් වත් නොසිට යන්නට ගොසිනි. ඇයට අඩුම තරමේ මා එනතෙක් පාරට වී හෝ ඉන්නට තිබිණි. මට ඉකි ගසා හැඬුන මුත් මගේ හඬ පිට වූයේ නැත. පොඩි අක්කා මඳ වේලාවක් මා තුරුළු කරගෙන සිටියාය. මගේ හැඬුම ඇගේ ආදරය ඉදිරියේ වැඩි වුන බැවින් ඇය මා හඬද්දීම නෑව්වාය.

    ” ඔහේ මොකටද අඬන්නෙ.. අපි ඉතින් නෑදෑයො නෙ. අපි ඉන්නවා ඔහේට…එයැයිට ඔහේ ඕන නම් ඉන්න තිබුනනෙ ඔහේ එනකල්..” පොඩි අක්කා එසේ කියූවද මගේ කියා කිසිවෙක් නැතිව මා මේ නිවසේ ඉන්නේ කෙසේද..මටද කෝන්ගොඩ යන්නට ඇත්නම් කියා සිතුනි. එහෙත් කෝන්ගොඩ යන බස්රිය කුමක්දැයි මා දන්නේ නැත. කෝන්ගොඩ හන්දියෙන් බැස, සමූපකාරය පසු කර ගොස්, ඇඩ්ඩිං මාමලාගේ ගේ ලඟින් වෙලට බැස, නියර දිගේ ගෙදරට යන පාර මට මතක තිබූ නමුත්, කෝන්ගොඩට යන විදිය මා දැන සිටියේ නැත. පසු දවසක පොඩි අක්කාගෙන් පාර අසා ගෙන කෝන්ගොඩ යන්නෙමියි මම තීරණය කලෙමි. නාගෙන ගෙට පැමිණි මා දුටු පොඩි අක්කා අම්මා යැයි හඳුන්වා දුන් ගැහැනිය ” මෙහාට වරෙන් මයෙ පුතේ ” කියමින් මා අල්ලා උකුලේ හිඳුවා ගත්තාය. ඇගේ චීත්ත ඔසරියෙන් පිච්ච මල් සුවඳක් විහිදුන.අතර ඒ මොහොතේ මගේ ඇඟ වටා දැවටුණ ඇගේ කෙසඟ දෑත් මට ගෙන දුන්නේ ආරක්ෂිත හැඟීමකි. කිසිවෙක් ඒ මොහොතේ කතා නොකලද මා නාගෙන එන්නට ගිය අතරේ මොනවා හෝ කතා වෙන්නට ඇති බව මට වැටහිනි.

    ” උඹ ඉස්කෝලෙ යනවද පුතේ..”

    පොඩි අක්කාගේ අම්මා නැවතත් ඇසුවාය.මම නැතැයි කීමට ඔළුව වැනුවෙමි. ඇය තාත්තා දෙස බැලුවේ කෝපයෙන් යැයි මට සිතුනි.
    ” පොඩ්ඩියේ..මල්ලිට බත් බෙදල දීපන්..දැන් නාල බඩගිනි ඇති.” පොඩි අක්කා අම්මා ගේ වචන අවසන් වන්නටත් පෙර මා කැඳවාගෙන කුස්සියට ගියාය. ඒ මා “අම්මා “ ඉවූ බත් කෑ අවසන් දවසයි. “අම්මා” දහවල් බතද සාදා අවසන් කලා නම්, මා එනතෙක් නොසිටියේ ඇයිදැයි සිහි වී මගේ දෑසට නැවතත් කඳුළු පිරීගෙන ආවේය.”අම්මාට” මා එපා වීද..? කෙසේ වෙතත් ඇය මා අතහැර යන්නට ගොසිනි. කවදා හෝ මට තනිවම යන්නට හැකි වූ දවසට ඇයව සොයා ගන්නෙමියි මම රහසේම සිතුවෙමි. බත් පිඟාන අත ගාමින් කඳුළු පෙරනා මා දුටු පොඩි අක්කා ගේ අම්මා මට බත් අනා කැව්වාය.

    ” මොකෝ මේ නාකි හුරතලේ ” මෙතෙක් වේලා වචනයක් වත් කියනු නොඇසුනු ලොකු අක්කා එසේ කියාගෙන කුස්සියට ආවාය.

    ” කෑ නොගහ හිටපන් ලොක්කියේ ..මහ එවුන්ගෙ වැරදි වලට නොදන්න කිරි සප්පයො පලි නෑ..මහ මිනිහට මතකත් නෑ ලොකු මහත්වුන දරුවො ඉන්න තාත්ත කෙනෙක් කියල..ඒ ගෑනිට මතකත් නෑ මේ අනුන්ගෙ මිනිහෙක් කියල..” පොඩි අක්කාගේ අම්මා පසුව කියූ ටික කීවේ පහත් හඬිනි.

    ” කොහොම හරි මේකව ඉස්කෝලෙකට දාන්න ඕන. මුන්ට විසේ වැහිල හදා ගත්තට දරුවන්ගෙ ඇස් පාදන්න ඕන කියල මතක නෑ..” ඇය ඒවා කීවේ කාටදැයි නොදන්නා නමුත් ඒ වචන මා වෙනුවෙන් කියවුනු ඒවා බව ඒ වයසේදී පවා මට වැටහීමක් තිබිනි. තාත්තා එදා හවස කොහේදෝ ගියේය.

    ” ඔය යන්න ඇත්තෙ හොයන්න වෙන්න ඇති..ඒකි ගියෙ හරියට යන්නෙ කොයි වෙලාවෙද කියල බලන් උන්න වගේනෙ..අම්මයි මමයි ගෙට ගොඩ වෙනකොට ඇඳුම් කැඩුම් ලෑස්ති පිට තියන් හිටියෙ ..”

    ” කවුරු දන්නවද බං ලොක්කියේ… ඔන්න ඔය වැඩකට නැති කතා පැත්තකට දාපං.. මම මේ කල්පනා කරන්නෙ මේකගෙ උප්පැන්නෙ වෙනස් කරගන්නෙ කොහොමද කියල.. ” පොඩි අක්අකාගේ අම්මා කීවේ මගේ හිස අත ගාමිනි. ඒ කතාබහ කිසිවක් නොතේරුනත් මා පොඩි අක්කාගේ අම්මා අසලටම වී උන්නේ මට පොඩි අක්කා හැරුණු විට මේ නිවසේදී හමුවූ විශ්වාසවන්තම තැනැත්තිය ඇය යැයි සිතුනු බැවිනි. රැයේ නිදියන්නට ගිය විටදී ඇය පැදුරක් එලා මා සමගම එහි නිදාගත්තාය.

    ” අම්මටත් උදේ නාන්න වෙයි මෙයැයි එක්ක නිදාගෙන..” නිදන්නට පෙර පොඩි අක්කා කීවේ සිනාසෙමිනි. කිසිවක් නොකියූ ඇය මා කැඳවාගෙන ගොස් මුත්‍රා කෙරෙව්වාය. මා නිදාගත්තේ සැහැල්ලුවෙනි. ” අම්මා ” තාත්තා සමග ඇඳේ නිදා ගත්තද පොඩි අක්කාගේ අම්මා බිම නිදාගත්තේ මා එක් අතකින් තුරුළු කර ගෙනය. රෑ මැදදී ඈ මා ඇහැරවාගෙන ගොස් නැවතත් මගේ සුළු දිය බර හිස් කෙරෙව්වාය. පළමු වතාවට මම වියළි පැදුරක් මත උදෑසන පිබිදුනෙමි. මගේ හිතට දැනුනේ අප්‍රමාණ සතුටකි. ඒ සතුටු සිත් ඇතිවම මම පොඩි අක්කා සොයා කුස්සියට ගියෙමි. පොඩි අක්කාගේ අම්මා කුස්සියේ කුඩා හිරමණය මත හිඳගෙන පොල් ගාමින් සිටියාය. මම ඇය පිටුපසින් ගොස් ඇගේ ගෙල වටා දෑත් යවා පිට මතට බර වුනෙමි.
    ” උඹට බඩ ගිනිද මයෙ පුතේ..” ඇය ඇසූ විට , මම නැතැයි කීමට හිස වැනුවෙමි.

    ” ඔලුව වනල උත්තර දෙන්න එපා පුතේ. කට ඇරල කතා කරපං..” ඇය කීවේ මා උකුළේ හිඳුවා ගනිමිනි .

    ” හා…”

    ” අන්න එහෙම..” ඇය සතුටින් සිනාසුනාය. මමද සිනාසුණෙමි. තාත්තා රැයේ ආපසු පැමිණ තිබුනේ නැත. උදෑසනට කිරිබත් උයා මට කන්නට දුන් පොඩි අක්කාගේ අම්මා , ලොකු අක්කාත් ,පොඩි අක්කාත් එකතු කරගෙන ගෙයි බඩු මුට්ටු තිබූ තැන් වෙනස් කලාය.තාත්තාත් ” අම්මා ” ත් නිදාගත් ඇඳට අමතරව තවත් ඇඳක් ඒ කාමරයේ සවි කර, තවත් කුඩා ඇඳක් ඉස්තෝප්පුවේ කෙලවරක සවි කලාය. ඒ ඇඳන් මෙතෙක් දවස් ගලවා දමා තිබූ ඒවා බව මම තේරුම් ගතිමි. එදා සිට අක්කලා දෙන්නා එක් ඇඳක නිදාගත් අතර පොඩි අක්කාගේ අම්මාත් මමත් අනෙක් ඇඳේ නිදා ගත්තෙමු. තාත්තාට වෙන් කලේ ඉස්තෝප්පුවේ වූ ඇඳය. ඔහු නැවත ගෙදර ආවේ දින කිහිපයකට පසුය. ඔහු කිසිවෙකු හා කතා බහක් නොකල අතර සියළු ආවතේව කටයුතු කලේ පොඩි අක්කාය. ඇය ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන තැනැත්තියක් බව මම වටහා ගතිමි. තාත්තා මා ලඟට ගෙන සුරතල් කලේ නැත. ඔහු ඕනෑම දෙයකට කතා කලේ පොඩි අක්කාටය. බත් පංගුවද, වතුර කෝප්පයද සියල්ල ඔහු ලඟට සැපයිය යුතු විය. පොඩි අක්කාගේ අම්මා උදෑසනින්ම උයා පිහා තබා හැඳ පැළඳ ගෙයින් පිටව යයි. ඇය “අම්මා” මෙන් ගවුම් නොඇඳ, ගෙදරදී රෙදි හැට්ට ඇන්ද අතර, ගමනක් යද්දී ඇන්දේ චීත්ත ඔසරියකි .

    ” ඔහෙටත් තියෙන අමාරුවක්..නිකන් ඉන්න බැරි හැටි..හදාගත්ත උන්ටම ඕව කරගන්න කියන එකනෙ ඇත්තෙ..”

    දහඩිය පෙරාගෙන ගෙට ගොඩ වී හති අරිනා පොඩි අක්කාගේ අම්මාට ලොකු අක්කා ඇතැම් විට එසේ කියන්නේ මා දෙසද රවා බලමිනි. මා කවදත් ලොකු අක්කාගේ බැල්ම හැකි සෑම විටම මග හැරියෙමි. පමණට වඩා විසල් වූ ඇගේ ඇස් මා බියපත් කරවන්නට සමත් විය. මා ඇයට කල වරදක් නැතත් , ඇය කිසිදු විටෙක මා හා සිනා නොවූවාය . නිවසට පැමිණි දවසේම ඇය කාමරයේ මුල්ලක තිබූ මහන මැසිම සාලයට ගෙන, දූවිලි පිස , තෙල් දමා පාවිච්චියට ගත්තාය. මැසිමේ පා පුවරුව ඇගේ දෙපා සමග වේගයෙන් දෙපසට වැනෙද්දී ඒ දෙස බලා සිටීම මට ගෙන දුන්නේ විනෝදයකි. පා පුවරුව දෙස බලා සිටියත් ඇගේ මුහුණ දෙස නොබැලීමට මම පරිස්සම් වීමි. ගැහැණු අය පැමිණ ඇය ලවා ඇඳුම් මස්සවා ගෙන ගියහ. ඇගේ මැසිමේ ලාච්චුවේ, මැසූ ඇඳුම් වෙනුවෙන් ඈ ලද මුදල් දමා තිබුණි. ඒ මුදල් ඇය වැය කලේ ගෙදරට බඩු මුට්ටු ගෙන ඒමටය. පාරේ මාළු වෙළෙන්දෙක් යන විට “පොඩ්ඩී.. ” යැයි හඬ තලන ඈ
    ” මාළු අර ගනින්..අර මනුස්සය කන්න කැමති නෙ.. “යයි කියන්නීය. ඇය “අර මනුස්සයා” යැයි කීවේ තාත්තාටය. කිසිදු තෙතමනයක් නොපෙන්නුවද ඇගේ හිත මෘදු බව මා තේරුම් ගත්තේ , මුහුණ වත් නොබලන තාත්තාගේ කැමැත්ත වෙනුවෙන් තමා වෙහෙසී උපයා ගන්නා මුදල් වියදම් කල නිසාවෙනි. ලොකු අක්කා කිසිදු මසක් මාළුවක් නොකෑ අතර ඒවා මිලට ගත්තේ අප වෙනුවෙනි. දින ගණනාවක් උදේ පිටව හවසට ගෙදර ආ පොඩි අක්කාගේ අම්මා දවසක් ගෙදර ආවේ අතින් කටින් බඩු එල්ලාගෙනය.

    ” ඇති යන්තම් ලොක්කියේ…මම උප්පැන්නෙ හදා ගත්තා. ඒ ගමන්ම ඉස්කෝලෙට ගිහින් ලොකු මහත්තය හම්බ වෙලා විස්තර කතා කර ගත්තා..මම කොල්ලට කලිසම් දෙකකුයි කමිස දෙකකුයි මහන්න රෙදිත් අරන් ආවෙ..උඹට පුළුවන් නේද ඒ ටික මහල දෙන්න..”

    ” බලමු ..මට මේ හදිස්සි ඕඩරයක් තියෙනව බාර දෙන්න . මෙච්චර කල් ගෙදර හිටපු එකේ මොකෝ හෙටම ඉස්කෝලෙ යන්න ඕනෙ කියල නැහැනෙ..”

    ” උඹට ඉඩ තියෙන විදියකට බලපන්කො.. ” පොඩි අක්කාගේ අම්මා බයාදු ස්වරයෙන් කීවේ ඈ අත තිබූ බෑගයෙන් කොලයක් එලියට ගන්නා අතරේය.

    ” මේ බලපන් ලොක්කියේ.. මවගේ නම…රත්නායක මුදියන්සේලාගේ කරුණාවතී…. මට මේක විසඳගන්නකල් රෑට නින්ද ගියෙත් නෑ ලොක්කියෙ…අපරාදෙ කියන්න බෑ මට ග්‍රාම සේවක රාළහාමි හරියට උදව් කලා..දරුවෙක්ගෙ අනාගතේ හදල දෙන එක දාන හතක් දෙනවට වැඩිය පින්කමක් ය කියල.. “අම්මා ඒ කඩදාසිය ලොකු අක්කාට පෙන්වමින් කීවේ විශාල සතුටකිනි.

    ” .ඒක නෙවෙයි..කෝ ඔහේගෙ අතේ තිබුන වළල්ල..” ලොකු අක්කා ඇසුවේ කෝපයෙනි.

    ” මම ඒක වික්කා..ඒක මාත්තු රත්තරන් එකක්. මට උඹල දෙන්නට බඩු මුට්ටු හදල දෙන්න බැරි වුන එක ඇත්ත. ඒත් ඒක හදල දීපු මගේ අම්මටත් පින් සිද්ද වෙනවා මේකා දවසක ඉගෙනගෙන රටට ලෝකෙට බරක් නැති කෙනෙක් වුනාම..”

    පොඩි අක්කාගේ අම්මා කීවේ මගේ හිස අත ගාමිනි. ඇය මේ සියලු කතා බහ කරන්නේ තාත්තා ගෙයි නැති වේලාවලදීය. තාත්තා නිවසේ ඉන්නා සෑම මොහොතකම අම්මා වැඩි කතා බහක් නොකරන අතර, ඔහු ද බුම්මාගෙන ඇඳට වී සිටියි. නැතහොත් ගෙයින් පිටවී යන ඔහු , ආපසු එන්නේ දහවල හෝ රැයෙහි කෑම වෙලාව ලං වෙද්දීය. කවදත් අපට උදේ කෑමක පුරුද්දක් තිබුනේ නැත. ලොකු අක්කා බොහෝ විට ඉවුම් පිහුම් නොකල අතර, පොඩි අක්කාත් ඇගේ අම්මාත් එක්ව හෝ මාරුවෙන් මාරුවට හෝ ඉවූහ. පොඩි අක්කාගේ අම්මා මගේ පාසල් ගමන වෙනුවෙන් උවමනා බොහෝ දෑ ගෙනවිත් තිබුනාය. සපත්තු , මේස් පොත් බෑග් , පාට පෙට්ටි සහ පොත් ද ඒ අතර විය. පාසල් යාම මට අළුත් අත්දැකීමකි. ගේ දොරකඩින් පාසලට යන එන ළමුන් දුටුවද මට ඒ ගැන වැඩි අදහසක් තිබුනේ නැත. මා වෙනුවෙන් ගෙන ආ ඒ භාණ්ඩ වලට මම ආදරය කලෙමි. ඒවා අතපත ගා බැලුවෙමි.

    ” මෙහාට වරෙන් මයෙ පුතේ..” පොඩි අක්කාගේ අම්මා මා උකුලේ හිඳුවා ගත්තේ පොත් බෑගය කරේ දමා මා හැඩ බලමින් ඉන්නා විටදීය.

    ” උඹ ඉස්කෝලෙ ගිහින් හොඳට ඉගෙනගන්න ඕන..ලොකු මහත්තයෙක් වෙලා රස්සාවක් කරන්න ඕන. .තේරුනාද පැටියෝ..මම උඹේ නම ඉස්කෝලෙට බාර දුන්නා. අපි සඳුදා ඉඳන් ඉස්කෝලෙ යමු..ඉස්කෝලෙ ළමයි ඇහුවත්, කවුරු ඇහුවත් උඹ කියන්න ඕන උඹේ අම්මා මමයි කියල තේරුනාද .කියනව නේද මයෙ පුතේ..”

    ඇය ඇසුවේ කෙසඟ ඇඟිලි තුඩු වලින් මගේ හිස පිරිමදිමිනි. මගේ දෑසට කඳුළු පිරුණේ මගේ “අම්මා” සිහිවීමෙන්ද එසේත් නැතිනම් අළුත් අම්මා මට දක්වන මේ දරාගත නොහැකි ආදරය සෙනෙහස වෙනුවෙන්දැයි මට වැටහුනේ නැත. “අම්මා” මා අතහැර ගිය පසු ඇයට මා සිහි වූවාදැයි මා දන්නේ නැත. ඇය කුමන මොහොතක හෝ මා කැඳවාගෙන යාමට එතැයි මම මග බලා සිටියෙමි. එහෙත් ඇය ආපසු ආවේ නැත. මේ නිවස ඉදිරිපිට ඇති පාරේ යන බස්රියක නැගී මා මිදුලේ ඉන්නවාදැයි බලමින් ඇය යනු ඇතැයි සිතමින් මම මිදුලට වී යනෙන බස් රිය දෙස බලා සිටියෙමි. එහෙත් ඇය කවදාවත් බසයක නැගී කවුළුවෙන් පිටත බලාගෙන යනු මා දුටුවේ නැත. තාත්තා ඇය සොයා ගොස් මා ගැන තොරතුරු ඇයට කීවාදැයි මා දන්නේ නැතත් , තාත්තා ඇය ගිය පසු කිසිම දිනෙක මා ලඟට කැඳවා ” පොඩි එකෝ උඹට පාළුදැයි” ඇසුවේ නැත. නමුත් පොඩි අක්කාගේ අම්මා පැමිණි දා පටන් ඇය මට තනිකම දැනෙන්නට ඉඩක් තැබුවේ නැත. “අම්මා” ගෙන් පවා නොලද සුරතල් කිරීම් මා වින්දේ පොඩි අක්කාගෙන් සහ ඇගේ අම්මාගෙනි. ඒ මගේ ජීවිතයේ මා ලද හොඳම ආදරයයි. ඇතැම් විට කෙදිනක වත් මට එතරම් ආදරයක් නොලැබෙනු ඇත. මම දෙවරක් නොහිතා මගේ කුඩා දෑත් ඇගේ ගෙල වටා යවමින් ඇයට තුරුළු වී ” අම්මා..අම්මා…” යැයි කෙඳුරුවෙමි. ඇය ඇගේ කෙසඟ දෑතින් මා වඩාත් සුරක්‍ෂිත ලෙස තදින් තුරුළු කර ගත්තාය.

    ” මයෙ පුතේ..” ඇය මා සිප ගනිමින් කීවේ අප්‍රමාණ ප්‍රීතියකිනි. ඇගේ උණුසුම මටද ගෙන ආවේ ප්‍රීතියකි. ලොකු අක්කා අම්මාගේත් මගේත් සුරතලය දෙස බැලුවේ නොපහන් දෑසිනි.

    ” මල කෝලං..”

    යයි තමාටම කියා ගත් ඇය මට ලඟට එන්නැයි හිසින් සන් කලාය. මම වහා අම්මාගේ උකුළෙන් බිමට පැන ඇය ලඟට ගිය අතර ඇය මා ඒ පැත්ත මේ පැත්ත හරවමින් මිණුම් පටිය තබා මැන්නාය. මා බියපත්ව සිටියේ කුමන මොහොතේ ඇගෙන් බැණුම් අසන්නට සිදු වේදැයි සැකයෙනි. ඉරිදා හවස් වනතෙක්ම ඇය මගේ ඇඳුම් නොමැසීම ගැන අම්මා සිටියේ කණගාටුවෙන් වුවද ඇය ලොකු අක්කාට දොසක් නොකීවාය. ලොකු අක්කා කෝප වූ විට සියල්ලන්ටම බැන වදියි.මමද හැකිතාක් දුරට ඇය කෝප ගැන්වෙන කිසිවක් නොකර සිටීමට වගබලා ගතිමි. ඊලඟ දවසේ පාසලට යමු යැයි අම්මා කියා තිබුනද මා නිදා ගත්තේ ඒ සඳහා කිසිදු සූදානමක් නැතිවය.පසුදා මා අවදි කලේ අම්මාය. ඇය පාන්දරින් අවදිව පොඩි අක්කා හා එක්ව කිරිබත් උයා තිබුනාය. ලොකු අක්කා නිදා සිටියාය. ඇගේ මහන මැසිම මත අළුත් සුදු කමිසයක් සහ නිල් කලිසමක් තිබුනි. ලොකු අක්කා කුමන මොහොතේ ඒවා මසා නිමකලාදැයි මා දැන සිටියේ නැත. මා අම්මා සමග පාසල් යන්නට පිටත් වන විටද ඇය අවදිව සිටියේ නැත. තාත්තාට දණගසා වැන්ද මොහොතේ ඔහු මගේ හිස අත ගෑවේ ” හොඳින් ඉගෙන ගෙන අම්මට සලකපන් පොඩි එකෝ ” යැයි කියමිනි. ඒ මොන අම්මාට දැයි මා ඇසුවේ නැත.

    එතැන් පටන් මගේ ජීවිතයේ අළුත් පිටුවක් පෙරලින. අම්මා ගුරුවරුන්ට හඳුන්වා දුන්නේ මා ඇගේ පුතු ලෙසිනි.අවුරුද්දේ අතරමැද පන්තියට ආ මා දෙස සියළු ළමුන් බලා සිටියේ අමුතු සතෙකු දෙස බලන්නාක් මෙනි. ගැහැනු ළමයි මෙන්ම පිරිමි ළමයි ද සිටි එම පන්තියේ මා හිඳුවා අම්මා පිටව යද්දී මා ඈ දෙස බලා උන්නේ කඳුළු පුරවාගත් දෑසිනි.

    ” අඬන්න එපා මයෙ පුතේ..මම දවල්ට එන්නම් පුතාව ගන්න..” අම්මා කීවේ මගේ හිස සිප ගනිමිනි.

    ” ඒ ඔහෙගෙ ආච්චිද..” අම්මා පිටව ගිය පසුත් මා සිහින් හඬින් ඉකි ගසද්දී මා ලඟ උන් ගැහැණු ළමයා ඇසීය.

    ” නැහැ..ඒ මගේ අම්මා..” මා කීවේ දැඩි ස්වරයෙනි . අම්මාට ආච්චි යයි යැයි කිවූ බැවින් මට ඇය එපා විය. මගේ මුල්ම ගුරුතුමිය මට ඉතා කරුණාවන්ත විය. මට නොතේරුණු සියළු දෑ ඇය ඉතා ආදරයෙන් පැහැදිලි කර දුන් නිසාම මගේ පළමු පාසල් දිනය නීරස නොවුනු අතර මම ක්‍රමයෙන් පන්තියටද ,පාසලටද ,සමාජයට ද හුරු වෙමින් සිටියෙමි. අම්මාත් මාත් අතර ඇතිව තිබූ බැඳීම දිනෙන් දින වැඩි වූ අතර ඇය ඇතැම් අවස්ථාවල ඇගේ දරුවන් දෙන්නාටම වඩා මට ආදරය කලා නොවේදැයි මට නොසිතුනාම නොවේ. මම ඉගෙනීමේ අතිදක්ෂයෙක් නොවුනෙමි. එහෙත් පන්තියේ උන් කීකරු සිසුන් අතරින් එක් අයෙක් මම වීමි. එනිසාම කිසිදා පාසලෙන් මා පිළිබඳ පැමිණිලි ගෙදරට ආවේ නැත.


    උරුමක්කාරයා

  • උරුමක්කාරයා

    උරුමක්කාරයා

     ” උරුමක්කාරයා ”  කෙටි කතාව පළමු කොටසයි. 

    කනත්තට පැමිණි සියල්ලන්ම පිටව ගොසිනි. අම්මාත් මමත් පමණක් තවමත් මෙහි රැඳී සිටින්නෙමු. මා ද යා යුතුය. ඒ බව මට සිහිපත් කලේ ටික වෙලාවකට පෙර පිටව ගිය ලොකු අක්කා මගේ උරහිසට ඇන ” ඔය ඇති.. දැන් යමන් .. ” යයි කීමෙනි. එවේලේ මා සිටියේ බිම ඉඳගෙන දෙදන මත හිස හොවා කඳුළු වගුරුවමිනි. මගේ ආදරණීය බිරිඳ දර්ශනී ද දරුවා රැගෙන අනෙක් පිරිස සමගම පිටත්ව යන්නට ඇත. පැමිණ සිටි නෑ හිතවතුන් සියල්ලෝම යන්නට පෙර මූනිච්චාවට හෝ මා ලඟට පැමිණ ආචාර කර පිටව ගියහ. එහෙත් මා එසේ සිතුවද මේ ගමේ අහිංසක ගැමියන් එසේ මූනිච්චාවට වැඩ කරනා අය ද නොවේ.

    මට සමු නොදී පිටව ගොස් ඇති එක් අයෙක් වේ. ඒ මගේ ” අම්මා “ පමණය. ඇය මළ ගෙදර ආවේද කැමැත්තෙන් නොවන්නට ඇත. ඇයත් සමග අවුරුදු විස්සක පමණ ගැහැනු ළමයෙක් පැමිණ සිටි අතර ඒ ඇගේ දරුවන් දෙදෙනාගෙන් බාලයා බව කවුදෝ කියනු ඇසිනි. ඇය මා අතහැර දමා ගිය පසු වැඩි කල් නොගොසින්ම විවාහ වන්නට ඇතැයි මට සිතුනි. අවුරුදු විසිපහකට පමණ පසු ඇය මා දුටු පළමු වතාව වූ අද දවසේ , ඇයට කිනම් හැඟීමක් දැනුනාදැයි මා දන්නේනැති නමුත්, ඇය දැකීම මසිතෙහි නම් විශාල කම්පනයක් ඇති නොකළ බව මට විශ්වාසය.

    මට ඇත්තේද ඇගේ හමේ වර්ණයමය. එපමණක් නොවේ මුහුණුවර ද ඇයට හුරුය. ලොකු අක්කාටත් පොඩි අක්කාටත් වඩා මා අඳුරු සමකින් යුක්ත වීමේ රහස “අම්මා ” බව මම දනිමි. අවමංගල පෙරහර සමග ඇය කනත්තට පැමිණ ඇති බව මා දුටුවේ මගේ කර මතින් ගෙන ආ අම්මාගේ දේහය බිම තබන මොහොතේය . අප දෙදෙනාගේ සිව්නෙත් හමු වූ ඒ මොහොතේ, අප දෙදෙනාම බිම බලාගත් නමුදු, ඇගේ දෑසෙහි කැටිව තිබූ කඳුළු මට නොපෙනුනා නොවේ. ඒ කවුරුන් වෙනුවෙන් උපන් කඳුළු දැයි මට නොවැටහුනු අතර , මගේ දෑසද කඳුළින් පිරී තිබුන නමුත්, ඒ ඇය වෙනුවෙන් නම් නොවේ..

    අම්මා අදින් පසු සදහටම නිදා සිටිනා තැන දෙස අවසන් වරටත් බැලූ මම ඇයට නිවන් සුව ලැබේවා කියා පැතුවෙමි. පතනා තරම් ලේසියෙන් නිවන් දකින්නට බැරි වුවත් යලිත් සසරේ උපදින කවර ආත්මයක වත් අම්මාගේ හිතට දුකක් නොලැබී ඉන්නට තිබුනොත් ඒ හොඳටම ඇත.මා කනත්තේ සිට නිවසට ඇති සැතපුම් දෙකක පමණ දුර ඇවිදගෙන යාමට තීරණය කලේ මට අම්මා ගැන සිහි කිරීමට මීට වඩා හොඳ අවස්ථාවක් නොලැබෙන බැවිනි. අඳුරු වැටී ඇති මේ මොහොතේ මා දෙස බලන්නට කෙනෙක් නැත. කනත්තේ දොරටුවෙන් පිටව ආපසු හැරී බැලූ මට අම්මාගේ සොහොන මත ඇවිලෙන පහනේ ආලෝකය පෙනුනේ ඇය මා දෙස බලා සිටින්නාක් මෙනි.

    තාත්තා මෙම නිවසට ” අම්මා” ත් මමත් කැඳවා ගෙන එන විට මගේ වයස අවුරුදු හතරක් හෝ පහක් පමණ වන්නට ඇත. සාදා නිමවන්නටත් පෙර දිරාපත් වූ එම නිවසේ උන්නේ පාණ්ඩු පාට කෙසඟ කෙල්ලක පමණි. ඇය මට වඩා වසර ගණනාවකින් වැඩිමල් තැනැත්තියකි. අපව දුටු මොහොතේ අප දෙස බැලූ හැඟීම් විරහිත දෑස හා සිනහවකින් තොර වූ ඇගේ මුහුණ දුටු මම “අම්මා”ගේ ඇඳුමට මුවා වූ අයුරු මට හොඳින් මතක තිබේ.

    ” මේ ඉන්නෙ පොඩි කෙල්ල. ඒකි විතරයි ගෙදර නැවතුනේ..” තාත්තා “අම්මා” ට කීවේ ඔහු අත තිබූ අපේ ඇඳුම් බෑගය බිම තබමිනි.

    ” පොඩි එකියේ..තේ ටිකක් හැදුවනම්..”
    ඔහු ඊලඟ මොහොතේ කීවේය. පාණ්ඩු පාට කෙල්ල පා වෙන්නාක් මෙන් කුස්සියට ඇදුනාය.ඇගේ දෑත් දෙපා බෙහෙවින් දිගුය. කෙසඟය. මට කෝන්ගොඩ පන්සලේ පෙරහරේ නටන්න ආ බොරු කකුල් කාරයා සිහිවිය. ඇය ටික වේලාවකින් පීරිසි කෝප්ප දෙකකට තේ දමා ගෙනවිත් මේසය මත තැබුවාය. ප්ලාස්ටික් කෝප්පයකට දැමූ තේ ටිකක් ඉන්පසුව ගෙනත් තිව්වේ මා වෙනුවෙනි.”අම්මා ” තේ කෝප්පය කටට ගෙන ආපසු මේසය මත තැබුවේ වගක්වත් නොමැතිව තේ බොන තාත්තා දෙස පුදුමයෙන් බලමිනි..
    ” ඇයි ..ගුණවතීට තේ එක හරි ගියේ නැද්ද..”
    ” අපොයි..සතියක් බිව්වොත් දියවැඩියාව හැදිල නවතින්නෙ”
    ” අම්මා “කීවේ මුහුණ හකුළුවමිනි. පාණ්ඩු පාට කෙල්ල කුස්සියේ සිට එබී බැලුවාය.

    “අම්මා ” ගේ කතාවට ඈ කෝප ගන්නට ඇතැයි මා සිතූ නමුත් ඇගේ මුහුණේ කිසිදු හැඟීමක් තිබුනේ නැත. නිහඬව මා ලඟට පැමිණි ඈ ප්ලාස්ටික් කෝප්පය මා අතට දුන්නාය. එය දුන් ආකාරයට බියපත් වූ නිසාම එක හුස්මට තේ ටික බිවූ මා හිස් කෝප්පය ඇය අත තබද්දී ඇගේ මුහුණේ පළමු වරට සිනහවක් ඇඳී තිබිණි . ඇත්තටම ඒ තේ එක රස යැයි මට සිතිණි.
    ” කොළුවෝ..මේ උඹේ පොඩි අක්කා ” තාත්තා එසේ කියද්දී මා ඇය සමග සිනහ වුවද ඇය මා නොදුටුවා සේ කුස්සියට ගියාය.

    ” කෙල්ල ගොළුද..” කට පියාගෙන ඉන්න බැරි නිසාදෝ ” අම්මා ” ඇසුවාය. ඇය එසේ කීවද මට නම් පොඩි අක්කා හොඳ යැයි සිතිනි.
    ” ඔය ඒකිගෙ හැටි. වැඩි කතා බහ නැති වුනාට හිත හොඳ එකී. ඒකිටත් එක්ක හරියන්න උන්ගෙ අම්මයි අක්කයි කතා කරනවනෙ..”
    “එහෙමද..එහෙනම් මෙයැයි මෙහෙම වුන එකත් හොඳයි.” ” අම්මා ” කීවේ සැනසිලි දායක හඬිනි.
    තාත්තා කෝන්ගොඩට කඩ කෙරුවාවට ආවේ තමාගේ නරක කලදසාවක් ලැබූ හින්දා යයි කියවෙන “අම්මා”ගේ මන්තරය මට කටපාඩම් වූ එකකි . එකල මට නොතේරුනද තාත්තා කෝන්ගොඩට එන්නට ඇත්තේ ජිනදාස සිංහලේ ගිය ආකාරයට වන්නට ඇතැයි පසු කලෙක මට සිතිණි.. ජිනදාස යලිත් ගමට නොගිය නමුත් තාත්තා වරින් වර කඩය වසා දමා අතුරුදහන් විය. ඔහු ආපසු එන්නේ බරටම කිරි පැණි මෙන්ම රස කැවිලි මල්ලක්ද රැගෙනය. ඒ කදමලු වලට මා වහ වැටුනද ” අම්මා ” ඒ දෙස බලන්නේවත් නැත. එපමණකින් නොනැවතී තාත්තාගේ ආගමනයෙන් දින දෙක තුනක් ගතවන තෙක් ඇය ඉන්නේ පුළුටු කර ගත් මුහුණින් යුතුවය. කෝන්ගොඩ ගමේ ජීවත් වූ වැඩි දෙනෙක් “අම්මා”ගේ නෑයන් වුවද අපත් සමග නෑකම් පැවැත් වූයේ ආච්චි අම්මා පමණය. අනෙක් අය නෑයන් යයි මාදැන ගත්තේ “අම්මා ” අසවල් නැන්දා ..මාමා ..බාප්පා ..යනුවෙන් විවිධ නෑ කම් වලින් ඔවුන් හැඳින්වීම නිසාය.

    ” උඹට විසේ වැහිල කරගත්ත ඒවට වන්දි ගෙවන්න වුනේ මේ අසරණ කොල්ලට..බලාපන්..කවද හරි මූට තාත්තෙක් ඉතුරු වෙයිද කියල..” මේ ආච්චි අම්මා නිතර දෙවේලේ කියුවකි.
    ” කෑ නොගහ ඉන්න අම්මේ..ඒක මම බලාගන්නම්..” ඒ සෑම විටකම “අම්මා” පිළිතුරු දුන්නේ එසේය.
    “අම්මා” ගේත් ආච්චි අම්මා ගේත් මෙවැනි කතා මට නිතර ඇසුන නමුත් ආච්චි අම්මා බැණ වදින කාරණාව කුමක්දැයි මා දැන සිටියේ නැත. ආච්චි අම්මා ගේ මරණයෙන් ටික කලකට පසු එක්තරා දිනෙක එතෙක් අප ජීවත් වූ නිවස වසා දමා “අම්මා” තාත්තා සමගින් මා ද කැටුව මේ නිවහනට පා තැබීය.පොඩි අක්කා මට හමු වූයේ මේ නිවසේදීය. මේ නුහුරු නිවසේ තනිවෙන්නට බිය වූ මා “අම්මා” ගේ ඇඟේ දැවටෙමින් ඉන්නට උත්සාහ කලද ඇය කලේ මා පසෙකට තල්ලු කර දැමීමය.

    ” අන්න අරෙහෙට වෙලා හිටපන්..” එසේ කිවූ ඈ ගෙය පුරා ඇවිද්දාය. ගෙය පුරා යැයි කීවද එය මහා විශාල ගෙයක් නොවේ. ඉදිරි දොරෙන් ඇතුල් වූ පසු කුඩා ඉස්තෝප්පුවක් සහ සාලයක් ද , තවත් එක් කාමරයක් ද කුස්සිය යැයි කිවූ අබලන් කාමරයක්ද එහි විය. අප එතෙක් ජීවත් වූ කෝන්ගොඩ නිවස මීට වඩා තරමක් විශාල එකකි. “අම්මා” සියල්ල විපරම් කර බැලීමෙන් පසු කාමරයේ තිබූ ඇඳ අස්පස් කර අපේ ඇඳුම් බෑගයෙන් ගත් ඇඳ රෙද්දක් ඊට එලා කාමරයේ තිබූ ඇඳුම් කිහිපයක්ද, ඇඳේ තිබී ඉවත් කල රෙදි ද, ගෙන ගොස් සාලයේ වූ පුටුවක් මතින් තැබුවාය. පොඩි අක්කා නිහඬවම ඒ රෙදි පෙරදි ටික ගෙන ගොස් කුස්සියේ තිබූ බංකුවක් මත තැබුවේ ඇය කල් තියාම ඒ සඳහා පුහුණු වී සිටියාක් මෙනි. ඒ ඇඳුම් ඇගේ ඒවා යයි මම තීරණය කලෙමි. සමහර විට ඇය ඒ කාමරයේ මෙතෙක් කල් නිදාගන්නට ඇත. “අම්මා ” කිසිවක් නොවිමසාම කාමරය අත්පත් කර ගත්තේ එසේය.

    හැන්දෑවේ පොඩි අක්කා මගේ අතින් අල්ලාගෙන ගෙය පිටුපස වූ කුඩා ලිඳ ලඟට කැඳවා ගෙන ගියාය. කෝන්ගොඩ වතුර මෙන් නොව මේ ලිඳේ වතුර යන්තමට ලුණු රසය. බේසමකට වතුර ඇද දැමූ ඇය මගේ කලිසම ගලවා දමන්නට හදද්දී මම දෑතින්ම එය අල්ලා ගතිමි. කෝන්ගොඩ දී හැන්දෑවේ ඇඟ සේදීමක් නොකරන බැවින් මම මේ අලුත් පුරුද්දෙන් ගැලවෙන්නට උත්සාහ කලෙමි. නාඳුනන තරුණියක ඉදිරියේ රෙදි ගැලවීම කෙසේවත් කල නොහැක.

    ” ඇඟ හෝද ගන්න.” ඇය කීවේ අණ දෙන ස්වරූපයෙනි.ඒ ඇගේ මුවින් මා ඇසූ මුල්ම වචන කිහිපයයි. ඒ හඬ කොහෙත්ම ඇගේ පෙනුමට ගැලපුනේ නැත. කෙසඟ සිරුරක් හිමි ඇයට තිබුනේ ගොරෝසු කට හඬකි.

    ” මම හෝදගන්නම්..” මම හීන් හඬින් කෙඳුරුවෙමි. ඇය නිහඬව බලා සිටියාය. ඇය මට ඇඟ සේදීමට වතුර ඇද බේසමට පිරෙව්වේත් , මා ඇඟ සේදූ පසු ගෙට කැඳවා ගෙන ගොස් මට ඇඳුමක් අන්දවා පව්ඩර් අල්ලක් රැගෙන මුහුණේ තැවරුවේත්, කවුරුන් විසින් හෝ ඇයට පවරන ලද රාජකාරියක් කරන තරමේ සැලකිල්ලෙනි. ” අම්මා ” රෑ බත පිළියෙල කරන තෙක් පොඩි අක්කා මා සමග සිටියද, වරින් වර ගොස් නුපුරුදු කුස්සියක ඉවුම් පිහුම් කරද්දී, බඩු මුට්ටු සොයා ගත නොහැකිව මැසිවිලි කියන “අම්මාට” නිහඬව ඒවා සොයා දී ආවාය. ඇය තම කෙසඟ දෙකකුල් මත මා හිඳුවාගෙන පද්දමින් සිටියේ කුඩා දරුවකු නලවන්නාක් මෙනි.

    රැයෙහි නින්දට යද්දී කවදත් “අම්මා” මා නිදි කෙරෙව්වේ බිම එලූ පැදුරකය. “අම්මාත්” තාත්තාත් ඇඳේ නිදාගත් අතර මම ඒ ලඟ පාතක බිම පැදුරේ නිදා ගතිමි. බොහෝ විට මා උන් තැනම නිදා වැටුනු විට “අම්මා” මා ඔසවා පැදුරේ තබයි. මා පැදුරේ නිදි කරවීමට හේතු වුනු තවත් කරුණක් වූයේ නින්දේදී මට මුත්‍රා පිටවීමය. මෙය මා වඩාත් ලැජ්ජාවට පත් කරවූවකි. උදෑසන “අම්මාගේ” බැණුම් අසමින් මා කොට්ට පැදුරු අකුලා තබන්නේ ලැජ්ජාවෙන් මිරිකෙමිනි. කෝන්ගොඩ නිවසේ සිටියාට වඩා දැන් මට අපහසුතාවයට පත් වන්නට සිදුවන බව සිහි වී මගේ ලැජ්ජාව දෙගුණ විය. පොඩි අක්කා ද මේ බව දැනගන්නා බැවින්, නිදාගන්නට බැරි බව කියමින් , මම හඬ නගා හැඬුවෙමි. පොඩි අක්කා මා ඇගේ තුරුලට ගත් බව මට මතක තිබූ නමුත්, මට නින්ද ගියේ කුමන මොහොතේදැයි මා දන්නේ නැත.

    එදින රැයේ ද , සුපුරුදු ලෙස මට මුත්‍රා පිටව තිබූ අතර, ඒ සියල්ල අස් පස් කලේ පොඩි අක්කාය. “අම්මා “ කවදත් මගේ මේ අමිහිරි සිදුවීමට අනුකම්පා කලේ නැත. පොඩි අක්කා ද, ඒ රැයේ මා ලඟ එලූ පැදුරක නිදා සිට ඇති බැවින්, ඇගේ පැදුර ද සුළු දිය දහරින් තෙමී තිබූ අතර ඈ කිසිවක් නොකියා ඒ සියල්ල පිරිසිදු කලේ මා පුදුමයට පත් කරවමිනි. මම පොඩි අක්කාට “අම්මාට” ත් වඩා ආදරය කරන්නට වීමි. ඇගේ පාණ්ඩු පැහැයත් , කෙසඟ අත පයත්, මට පෙනුනේ ඉතා සුන්දරවය. හොද්දක් බතක් හරියට උයන්නට ඉගෙනගෙන නැති බව කියමින් “අම්මා” ඇයට ආඩපාලි කියමින් බැන වදිද්දීද , ඇගේ මුහුණේ මට කිසිදු හැඟීමක් පෙනුනේ නැත. ගහක් ගලක් සේ ඇය ඒවා අසා සිටියාය. බොහෝ වේලාවට මෙවැනි දේ සිදුවන්නේ තාත්තා නිවසේ නැති විටදීය. කෝන්ගොඩ කඩය ද වසා දැමූ බැවින් තාත්තා රැකියාව සඳහා කලේ මොනවාදැයි මා දැන උන්නේ නැත.

    ” මහ ගෑනි මොනවද ඉගැන්නුවෙ මෙච්චර කල්.. ළමිස්සියෙක් වෙලත් හොද්දකට ලුණු ඇඹුල් දමාගන්නවත් බැරි. “අම්මා” විටෙක මා නොදන්නා වචන කියමින් බැණ වදියි. ඒවා කියන්නේ පොඩි අක්කාට බව මා දැන ගත්තේ ඒ බැණුම් මට නොවනා බැවිනි. ඒවාට පිලිතුරු නොදී මග හරින පොඩි අක්කා මගේ අතින් අල්ලාගෙන වත්ත පහලට යන්නේ “අම්මාගේ” දැසට නොපෙනී ඉන්නටය.

    ” අම්මයි අක්කයි ආවොත් එහෙම එයැයිට මොනව වෙයිද දන්නෙ නෑ..” එවන් විටෙක ඇය පවසන්නේ තමාටමය. ඇය කියනා අම්මාත් අක්කාත් කවුදැයි මා නොදන්නා බැවින් මට එහි අරුත එකල නොවැටහිණි.

    ” ඒ කවුද..??” මම ඇගේ අත සොලවමින් අසමි.

    ” මගේ අම්මයි අක්කයි…ඒ ගොල්ලො ගෙදරින් ගියේ ඔහෙගෙ අම්ම නිසා..ඔහෙ මේවට පලි නෑ..ඔහේ ඉතින් මගේ නෑයෙක් නේ..” ඇය පැවසූ කිසිවක් එකල මට නො වැටහිණි. පොඩි අක්කාගේ සිත රිදී ඇති බව වැටහුන එවන් විටකදී මම නිහඬව ඇයට තුරුළුව සිටියෙමි. පොඩි අක්කා මට ආදරය කිරීම ගැන තාත්තා උන්නේ සතුටිනි.

    ” උන් ලේ සුවඳ අඳුරනව ඇති..”

    ” ලේ සුවඳ නම් මම දන්නෙ නෑ.. ඒත් මේකව හුරතල් කරල කරල දැන් ගන්න දෙයක් නෑ..” “අම්මා “කෝපයෙන් කියයි. “අම්මා “ උන්නේ සැම විටම පරල වූ අයුරිනි. ඇගේ මුවින් නිතරම වාගේ ඊතල වැනි තියුණු වචන හතර අතට විහිදුවන බැවින් , මම නිතරම පොඩි අක්කාගේ ගවුමේ එල්ලී ඇගේ ආරක්ෂාව පැතුවෙමි. පොඩි අක්කා අහල පහල පාසල් යන ළමුන්ගෙන් පරණ පින්තූර පොත් , කතන්දර පොත් ඉල්ලා ගත්තේ මා වෙනුවෙනි. ඈ ඒවා ගෙනවිත් මට කියා දුන්නාය.

    ” මේ කොල්ලව ඉස්කෝලෙකට දාගන්න ඕන. කොහෙද ..මේ මිනිහට ඒවයෙ ඕනකමක් නැහැනෙ..මගේ අම්ම කිව්ව දේවල් නාහපු කමට මට මේවා හොඳ පාඩම්..” පොඩි අක්කා කරන කියන දෑ දකින “අම්මා” බැන වදින්නේ තාත්තාටය. තාත්තා “අම්මා” බැන වදිනා සෑම විටකදීම නිහඬව සිටියේ විශාල වරදක් කර බැනුම් අසනා කෙනෙකු විලසිනි. මේ සියළු ගැටුම් අතර වුවද මම පොඩි අක්කාගේ ඇසුරේ සතුටින් හැදී වැඩුනෙමි.

     

  • සුයාමය අසබඩ – කතෘ දිලිප් රෝහණ

    සුයාමය අසබඩ – කතෘ දිලිප් රෝහණ

    සුයාමය අසබඩ නවකතාව කියවා පොත පිළිබඳව එහි කතෘවරයා වන දිලිප් රෝහණයන්ට මගේ අවංක අදහස් පැවසූ මොහොතේ එම අදහස් මුහුණු පොතේ සටහනක් ලෙස තබන්නැයි කරන ලද කාරුණික ඉල්ලීමෙන් ලද දිරියෙන් මෙසේ ලියමි. බොහෝ ඇසූ පිරූ තැන් ඇති වියතුන් අදහස් දක්වන ලද පොතක් පිළිබඳව මා වැනි ළදරුවෙකුගේ අදහස් දැක්වීමේදී අඩු පාඩුවක් සිදු වුවහොත් කමා කරනු මැන.

    සුයාමය අසබඩ කතාව දිව යන්නේ මගේ වයසට සමගාමීව යැයි මට සිතේ. දේශපාලනයෙන් තොර සාහිත්‍යයක් නැතැයි කියමනක් මම මේ පොතෙහිම තැනක කියවූයෙමි. දේශපාලනය මට නීරස මාතෘකාව කි. ඒ එය අද දවසේ පත්ව ඇති ජරාජීර්ණ තත්වය නිසාවෙනි . එහෙත් එවැනි තත්වයක් දක්වා ලාංකීය දේශපාලනය ගමන් කල ආකාරය පිළිබඳව පැහැදිලි විවරණයක් මෙන්ම අමතකව ගිය අතීතය මතක් කර දීමක් සුයාමය අසබඩ නවකතාව තුලින් ඉටු කරලන්නට දිලිප් රෝහණයන් සමත්ව ඇත .

    සුයාමය අසබඩ හි කතා නායකයා තරුණ ගුරුවරයෙකි. ඔහු නමින් නලින් වේ. දුෂ්කර සේවයක නිරත වෙමින් තරුණ සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දෙන අතරේ තාරුණ්‍යය නිසාම මුහුණ පාන්නට වන විවිධ සිදුවීම් මෙන්ම දේශපාලන කරලියේ උඩු යටිකුරු වීම් නලින්ගේ ජීවිතයට මෙන්ම තරුණ සිසුන්ට බලපෑ ආකාරය ඉතාමත් සංයමයෙන් මෙන්ම තාත්වික අයුරින් ඉදිරිපත් කිරීමට කතුවරයා සමත්ව ඇත.

    කාංචනා නමැති සිසුවිය මුල සිටම තම කඩවසම් තරුණ ගුරුවරයා කෙරෙහි පෙමින් බැඳෙනා නමුත් , තම සීමාවෙන් ඔබ්බට නොයනා නලින් කාංචනා වෛද්‍ය විද්‍යාලයට සමත්වූ පසු කඩිමුඩියේ ඇයට තම ප්‍රේමය ප්‍රකාශ කිරීම එක්තරා අන්දමකට ආත්මාර්ථකාමී ව්මක් දැයි සැක සිතුන නමුත් ඔහු ඇය වෙනුවෙන් ආධාර උපකාර කිරීමත් , ගුරුවරයෙකු සතු වගකීම වටහා ගත් අයෙකු සේ හැසිරීම නිසාත් නලින් එම චෝදනාවෙන් නිදහස් කල හැකිය.

    තරුණ බවත් , කඩවසම් බවත් නිසාම ඇතැම් සිදුවීම් වලට මුහුණ පානා නලින්ගේ හැඟීම් පිලිබඳව කතුවරයා කිසිදු අයුරකින් නැවත සඳහනක් නොකිරීම අඩුපාඩුවක් සේ සිතුනද ඇතැම් විට එය පාඨකයා කැමති ආකාරයකට සිතුවම් මවා ගැනීමකට ඉඩ සැලසීමක්දැයි සිතේ. මගේ පෞද්ගලික හැඟීම නම් එවන් තැනක නලින්ගේ සිතෙහි මතුවන පසුතැවිලි වීමක් හෝ කුමන ආකාරයක හෝ හැඟීමක් පිළිබඳව ලියවුනා නම් වඩාත් හොඳය යන්නය. උදාහරණ ලෙස උදේනී පිළිබඳව සිදුවීමත්, කාංචනාගේ උපන්දිනය දා සිදුවීමත් පැවසිය හැකිය.

    අද පවතින මජර දේශපාලනයට ආරම්භය සිදු වූ හැත්තෑ හතේ සිට අද දක්වා දේශපාලන ගමන් මග සැකෙවින් නමුත් , තීරණාත්මක සිදුවීම් ඉතාමත් පැහැදිලි ලෙසින් ඉදිරිපත් කර ඇති ආකාරය විශිෂ්ට බව මගේ හැඟීමයි. පාදඩයන් පාර්ලිමේන්තුවට යාමේ අවස්ථාව උදා කර ගැනීමත්, සැණකෙළි සංස්කෘතියන් නිසා ගම්වල තරුණ පිරිස තුල ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් ඇති වූ වෙනස්වීමත් ඉතාම සාර්ථකව නවකතාව තුලින් ඉදිරිපත් කර ඇත. එමෙන්ම වාමාංශික අදහස් කරතබා ගත් අයුරින් කටයුතු කලද සුදුසුකම් ඇත්තා පසෙකට කර තම සොහොයුරාට ඥාති සංග්‍රහ කල ආර් . බී. වැන්නවුන් ඕනෑම සමාජ තලයක අපට හමුවිය හැකිය යන සත්‍යය කතුවරයා පෙන්වා දෙයි.

    කතාවෙහි අවසානය ද පාඨකයාට කැමති අයුරකින් තෝරා ගැනීමට ඉඩ සලසා ඇත. එය සතුට හෝ දුක යනුවෙන් තෝරාගත හැකි නම් මා තෝරා ගන්නේ බලාපොරොත්තු සහගත සතුටුදායක අවසානයකි. වෛද්‍ය විද්‍යාලයට ගිය කාංචනා කතාවෙහි අවසානයේදී නලින් සොයා එනතෙක් , නලින් කාංචනා පෙම් පුවත පිළිබඳව කිසිවක් සඳහන් නොවීම අඩුවක් සේ මට දැනෙන බව කිව යුතු වුවද , එක් වැකියකින් අවස්ථාව සම්බන්ධ කර එම අඩුව යම් තරමකට අඩු කිරීමට කතුවරයා කටයුතු කර ඇත.

    අවසාන වශයෙන් සාර්ථක කතාවක් කියවීමේ සතුට මා හට ඉතිරි වී ඇත.