අත දැරූ තැනෙක කපු කැටියක්
ගල් පහර කා මැරුණු හැටියක්
ඉතිහාස පොත ලිව්වාද?
විජයගේ චපල වූ ප්‍රේමය…..
දරු පැටව් අත නොහැරි අම්මෙක් ය
කුවේණිය, දැන යුතු ය ලෝකය……
වනේ ලා කොටා කිරි කැටියෙක්
මරා ලේ හලා විරු පැටියෙක්
ඉතින් සංහිඳුනාද?
නිරිඳුගේ අසම්මත කාමය…..
මවක් බෝගම්බරත්, නුවර
වැසි කියා වැටෙන්නෙම ශෝකය…..
ගිනි ලමින් එක ටයර් වැටියක්
අළු වුණේ කාගෙ හෝ පැටියෙක්..
බිය මිසක රටට හිමි වුණාදෝ
ආණ්ඩුව කියූ ඒ සාමය..
අම්මලා කඳුළු ගඟ හලන්නේ
ලොවම නිදි ගත් නිහඬ රෑක ය
බැටන් පොලු,බට බම්බු අතරින්
කඳුළු වැසි ජල කඳන් නහමින්
සඳළුතල හොලවාවි දූ පුතුන්
අත් මිටින් විසිරුවා ප්‍රේමය
එදා සිට කළ වැරදි හැදෙන්නේ
නැමුණු කොඳු දිගහැරුණු දාකය
එපා යැයි නොකියාම අම්මලා
බත් මුලත් එවන්නේ ඒකය…