Breaking News

තිළිණි ප්‍රියමාලිට එරෙහිව පැමිණිලි කර ඇත්තේ සුළු පිරිසයි

තිළිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවට හසුවූ ප්‍රසිද්ධ පුද්ගලයින් රැසක් ඇතත්, ඔවුන් බොහොමයක් ඇයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට මැලිකමක් දක්වන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී පසුගියදා අනාවරණය වී තිබේ.

මේවනවිට ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇත්තේ, ඉතා සුළු පැමිණිලි සංඛ්‍යාවක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත. මෙයට හේතුව ඇය ළඟ මුදල් තැන්පත් කළ බොහෝ පුද්ගලයන්ට එවැනි විශාල මුදලක් ලැබුනේ කෙසේද යන්න හෙළිකිරීමට නොහැකි නිසා බවට මත පළවේ.

ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනය කර වැඩි මුදලක් ලබා දෙන බව පවසා, ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් හා හිමිවරුන් ඇතුලු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ලබා ගෙන වංචා කිරීම සහ ආධාර අනුබල දීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට සහ ඔහුගේ ව්‍යාපාරික හවුල්කරු යැයි කියන ඉසුරු බණ්ඩාරට චෝදනා එල්ල වී තිබේ.

තිළිණි ප්‍රියමාලි සහ ඇයගේ ව්‍යාපාරික හවුල්කරු ලෙස සැළකෙන ඉසුරු බණ්ඩාර නොවැම්බර් මස 02 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව වැඩබලන මහෙස්ත්‍රාත්වරිය පසුගිය 19වනදා නියෝග කර ඇත.

රුපියල් මිලියන 22කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත තිළිණි ප්‍රියමාලි පසුගිය 5 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇය විසින් සිදුකරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් මේ වන විට පැමිණිලි 11 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ, සැකකාරියගේ නමින් පවතින ගිණුමක පසුගිය ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලය තුළ රුපියල් මිලියන 300ක පමණ මුදලක් තැම්පත් කර පසුව එවා ලබා ගෙන ඇති බවයි.

තිළිණි ප්‍රියමාලිට එරෙහිව මහාධිකරණ හා මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ, මුළ්‍ය වංචා සම්බන්ධයෙන් වෙනත් නඩු 7ක් පවතින බව අධිකරණයේදී අද අනාවරණය විය.

තිළිණි ප්‍රියමාලි කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කාර්යාල පවත්වා ගෙන ගොස් ඇති අතර ඒවා නඩත්තු කටයුතු වෙනුවෙන් මසකට වැයකර ඇති මුදල් රුපියල් ලක්ෂ 41කි. ආයතන 7ක් ඇය පවත්වාගෙන ගොස් ඇති බවත්, ඉන් ආදායම් ලැබෙන කිසිදු ආකාරයක් අනාවරණය වී නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

leave a reply