Breaking News

සමනළ කන්දෙ සිට සම්බුදු පිරිනිවන වෙත ගලා ආ කවි මඟ

(2026, ජුනි 7 වන ඉරුදින, නාරම්මල නගර ශාලාවේදි වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල කවියාගේ පළමු කවි එකතුව ප්‍රකකශයට පත් කිරීමේ 25 වසර සැමරුමට සමගාමීව “සිත්තරා සහ සම්බුදු පිරිනිවන” කාව්‍ය සරණිය ජනගත කිරීම වෙනුවෙනි)

වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල 2001 වසරේදි සමනළ කන්ද කාව්‍ය සංග්‍රහය ජනගත කරන දවසේ ඔහුගේ කවිය වෙත මහත් බලාපොරොත්තු පහන් වැටි ආලෝක දැල්වූ දෙදෙනෙකි.

ඒ අතරින් කෙනෙක් වනුයේ ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන් ය. සමනළ කන්දට පසුවදනක් සපයමින් ” රජ රටේ වැව් අමුණුත් සරුපසත් හඳුනන වසන්ත ඒ ජනතාවත් සමඟම සිංහල කවිකෙත අස්වද්දන්නට යන ගමන අප තුළ මහත් අපේක්ෂා දල්වාලයි” යනුවෙන් පැවසුවේ ය. රජ රටේ, කර්කෂ පරිසරයේ දුෂ්කර දිවි පෙවෙතක් ගත කර පදම් වී සිටින තරුණ කවියා සිය කවියේ වර්ධනය වෙනුවෙන් දරන වෙහෙස, පළමු කවි පොත එළි දකින්නටත් පෙර රත්න ශ්‍රී විජේසිංහ ප්‍රවීණ කවියා දැන සිටියේ ය. ඔහුගේ ඒ අනවරත වෙහෙස මල් පල දැරීම රත්න ශ්‍රි කිවිඳුන්ගේ ගේ ප්‍රාර්ථනය විය.

අද වන විට නිවුන්හැල්ල කවියා, ඒ ජ්‍යෙෂ්ඨ කවියාගේ අපේක්ෂා මුදුන් පමුණුවා ඇති බව නො රහසකි. හෙතෙම කවි සාහිත්‍යයේ වර්ධනය වෙනුවෙන් දරන අ අනන්ත වෙහෙස සහ කැප කිරීම, “මුතු අතර” – කෙටි කවි විචාර ග්‍රන්ථයත්, “තමාගේම ගීතය ගයන තණ ගිරවා“- ආරියවංශ රණවීර කාව්‍ය විමංසාවත්, සුනිල මිණි නමින් පළ කළ පරිවර්තන කවි එකතුවත් , කෝවිඩ් වසංගත සමයේ අන්තර්ජාල සංවාද මාලාවක් ලෙස පැවැත්වූ සූම් ටු පොයම් සංවාද මාලාවත් මොනවට සාක්ෂි සපයනු ඇත. ඔහු කාව්‍ය විචාරකයෙක් ලෙසින් ද දේශන ඉදිරිපත් කරමින් සැළකිය යුතු වැඩ කොටසක් ඉටු කරමින් සිටින්නේ මෙතෙක් ප්‍රකාශයට පත් කළ කාව්‍ය සංග්‍රහ හතට අමතරව ය.

“සමනළ කන්ද” කවි දැක නිවුන්හැල්ලගේ කවි මග පිලිබඳ බලාපොරොත්තු පහන් වැටි දැල්වූ දෙවැන්නා යමුනා මාලනි පෙරේරා ප්‍රවීණ කිවිඳියයි. සමනළ කන්දට පෙරවදනක් එකතු කරන ඈ ” ප්‍රියංකරගේ හැම කවියක්ම පාහේ සිත්හී ප්‍රියංකර සිත්තමක් අඳියි. මේ කවිය රැගෙන ඔහු මේ වගෙම තවත් දිගු දුරක් යායුතුය” යි පවසන්නීය. එකී ප්‍රියංකර සිත්තම කාලයෙන් කාලයට විවිධ මාධ්‍ය යොදා ගනිමින් වර්ධනය කරගත් ආකාරය “මට දුරද මල් පිපෙන හදවත” (2021) කාව්‍ය සංග්‍රහයෙ දි අපට දැක ගන්නට හැකි විය. මේ එම කෘතියෙන් අහඹු ලෙස උපුටා ගත් කවියකි.

මුවදොර සමීපයට ආ ගංගාව

නිහඬ ව ය ගලා යන්නේ ගඟ
දිය තරඟ මත දුඹුරු පත්
සෙමින් පාවී එයි ඉවුරු දෑලට

දුඹුරු පත් අතරින් පෙනෙයි
දෙපස ඉපල් තුරු මත ලගින
කපුටු ඡායා පැහැදිලි ව

ඉගිළ යනු ඇති උන්
තව ටිකකින්
රාත්‍රී නවාතැන් වෙත

ඉපල් තුරු අඳුරු සෙවණැලි වට
නිහඬ ව ගලන ගං දියෙහි
දිසෙයි අවරින් නික්ම යන වලාකුළු

නුදුරු ව ඇසෙයි
මහ මුහුද රළ නගන හඬ

මේ වූ කලී, ස්වභාව දහමේ එක් නිමේෂයක් ඇසුරු කොට මිනිස් ජිවිත පැවැත්ම චිත්‍රණය කරන්නට කවියා ගත් වෑයම කි. එම කවියේ බස හා හඬ තානය ද යොදා ගන්නා සංකේත රූපද පද බෙදීම ද ඇසුරින් නිම වීම සමාන වන්නේ සිත්තරකු ආලෝකය හා අඳුර, වර්ණ සංයෝග හා අවැසි මාන (Dimensions) අනුව සිය සිත්තමට ජීවය පොවන්නාක් වැනි වෑයමකට ය.

රසවත් වාක්‍ය ලියූ පමණින් කෙනෙකු කවියකු වන්නේ නැත. සැබෑ කවියා ව්‍යුත්පත්තිය ද සතතාභ්‍යාසය ද ලෝකය සමාජය පිළිබඳව හා ජීවිතාවබෝධයෙන් ද පිරිපුන් කෙනෙකි. ඒ අරුතින් ගත් කළ, 2001 වසරේදි කවි පොතක් පළ කරමින් කවි ලොව වෙත පා නැගූ ප්‍රියංකර නිවුන්හැල්ල ඉතාම කෙටි කලකින් සැබෑ කවියකු බවට පත් වී ඇති බව ඔහුගේ කව්‍ය එකතුන් විමසීමෙන් ම සාක්ෂාත් කරගන්නට හැකි ය.

පහත ඇත්තේ ඔහුගේ අලුත්ම කවි එකතුවෙන් උපුටා ගත් කවි නිදසුනකි.

එපස මෙපස නොරැඳී

ඇසෙයි මට
එපසින් මෙපසට
මෙපසින් එපසට
වචන හීසර
වදින හඬ

නොරැඳෙමි
එපස හෝ මෙපස හෝ
කිසි විට

නික්ම ගොස්
ඈතට
තනි වෙමි

එසඳ මට ඇසෙයි
වසර දහස් ගණනකට පෙර
මහිමි සඳ
පාරිලෙයිය වනයට
තනිව
පියමැන යන හඬ

වර්තමාන සමාජයේ පවතින විවිධ ඝට්ටන මැද පක්ෂග්‍රාහි නොවීම හා එදෙස උපෙක්ෂාවෙන් බැලීම කවියේ තේමාවයි. කවියා ආදර්ශයට ගන්නේ කොසඹ නුවර භික්ෂුන් වහන්සේ අතර සිදු වූ භේදවීම ගැන කලකිරී අප බුදුන් වහන්සේ පාරලෙයිය වනයට වැඩම කිරීමේ ක්‍රියාවයි. “නික්ම ගොස් – ඈතට – තනි වෙමි” යනුවෙන් කවියා රසිකයාට කියා පාන්නේ අසරණව තනි වීමක් හෝ පරාජයට පත් වීමක් හෝ නොව, බාහිර සමාජ ඝෝෂාවෙන් ඈත් වී තමා තුළට නැඹුරු වීමෙන් අත් විඳිය හැකි අධ්‍යාත්මික සුවයේ ආදිනවය යි.

සොබාදහමේ ඉතා සුලු සිද්ධීන් අප කවියාගේ නිරීක්ෂණයට ලක් වන්නේ, කවියා යනු ඉතා සුළු දෙය කෙරෙහි පවා සංවේදි වන පුද්ගලභාවයක් ඇති අයෙකු බවට සාක්ෂි දක්වමිනි . සොබා දහම කෙරෙහි ඇලුණු සිත් ඇති කවියකු වීමට නිවුන්හැල්ල වෙත බල පෑ ප්‍රබල කරුණක් වන්නේ ඔහු කාලයක් පුරා හයිකු ආකාර සිංහල කෙටි කවිය සමඟ වෙහෙස වෙමින් ඒ කවි මගේ ද කලක් ගමන් කිරීමෙන් ලත් පරිචය බවට සැක නැත. ඔහුගේ සුළඟ (2009) සහ සුනිල මිණි (2025) කවි එකතුන් දෙක ආරියවංශ රණවීර සමඟ නන්දන වීරසිංහ ප්‍රවීණ කිවිඳුන් පැහැදු ගමන් මගේ දී ලැබූ ආලෝකයන්ගෙන් නිර්මිත හයිකු ආකාර කෙටි කවි එකතුන් ය. පහත දැක්වෙන්නේ සුනිල මිණි කාව්‍ය එකතුවෙන් උපුටාගත් කෙටි කවියකි.

බිජු සමඟ
සුළඟට වැටුණු
කුරුලු කූඩුව
ගසේ එල්ලා
මව් කිරිල්ලිය එනතුරු
බලා ඉමි

එම කෙටි කවිය සමඟ සමීපව කියවාගත යුතු වෙනත් කවියක් අපට සිත්තරා සහ සම්බුදු පිරිනිවන කාව්‍ය සංග්‍රහයෙන් හමු වෙයි. කවියක් යනු ඕපපාතික ජනිත වීමක් නොවේ. ඒ තුළ ඇත්තේ කවියකුගේ සමාජ දේශපාලන ආගමික සංස්කෘතික ආමනත්‍රණයන් ය යන්නට මෙය නිදසුනකි.

ගසක පහත අත්තක කුරුලු කූඩුවක වෙසෙන කුරුලු පැටවුන් කවියාගේ අත්දැකීම ය. කුරුලු මව පෙනෙන්නට නැත

නැළවිලි ගී

චූටි කුරුලු පැටවුන් යුවළක්
පාත අත්තක කූඩුවක

මව් කිරිල්ලිය එනතුරු
මඳ පවන විත්
කුරුලු කූඩුව පද්දයි
තොටිල්ලක් සේ හිමීට

මිනිසා සා සොබාදහම යනු එකින් එක වෙනස් වූ දෙකක් නොව එකම ජීව පද්ධතියක කොටසක් බව කවියා අදහයි. ඔහුගෙ අනවරත අධ්‍යනයේදි ඔහු බැදී ගත්, ජීවවාසික විචාර ක්‍රම වේදය ඔහුට මේ කවි සිත්තම් ද්විත්වයට නිර්මාණාලෝකය නො වීයයි කිව නො හැක. මව් කිරිල්ලී ඈත් මෑත් වූ මොහොතක මද පවනක් විත් ආදරයෙන් කුරුලු පැටවුන් නළවන බවක් දකින්නත්, කුරුලු කූඩුව, පැටවුනට තොටිල්ලක් බැව් හඟින්නටත්, සොබා දම් මැණියන්ගේ මව්වත් ගුණය දන්නා සැබෑ කවියකුට හැර කා හට පුළුවන් ද.

නිවුන්හැල්ල කවියාගේ කවි කෙතේ වෙහෙසීමේ කූටප්‍රාප්තිය, සිත්තරා සහ සම්බුදු පිරිනිවන කාව්‍ය සංග්‍රහය ය යි කියන්නට අප ඉක්මන් නොවන්නේ, ඔහුගේ ඊ ලඟ කවි නිර්මාණ එකතුව සිත්තරා සහ සම්බුදු පිරිනිවන කාව්‍යාවලිය අභිබවා යනු දැක ගැනීමේ සොඳුරු බලාපොරොත්තුව හිතැතිවය.

විසි පස් වසරක් පුරා සිංහල කවියේ උන්නතිය වෙනුවෙන් ඔහු කළ සේවයට ස්තූතිවන්ත වෙමින් ඔහුගේ ඉදිරි සාහිත කටයුතුවල සාර්ථකත්වයට සුබ පැතුම් එක් කරමි.

නිරෝෂ ප්‍රනාන්දු

leave a reply