ශ්‍රී ලංකා රජයේ 2025 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණන සමාලෝචනය නිකුත් කරමින්, මුදල් අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය තුළ සිදුව ඇති බිලියන 2.67ක මූල්‍ය පරස්පරතාවක්, වාර්තා නොකළ විදේශ ණය සහ විශාල දත්ත නොගැලපීම් රැසක් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇති බව ‘සන්ඩේ ටයිම්ස්’ (The Sunday Times) වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
මුදල් අමාත්‍යාංශ වාර්තාවලට අනුව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු රටේ බාහිර ණය තත්ත්වය ස්ථාවර මට්ටමකට පැමිණ ඇති අතර, 2026 ජූනි මාසය වන විට ශ්‍රී ලංකාවේ සමස්ත මධ්‍යම රජයේ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 98.96ක් ලෙස සටහන් වේ.
කෙසේ වෙතත්, විගණකාධිපතිවරයාගේ සමාලෝචනය මඟින් රජයේ මූල්‍ය පද්ධතියේ පවතින බරපතළ දුර්වලතා, ගණකාධිකරණ දෝෂ සහ දත්ත නොගැලපීම් රැසක් පෙන්වා දී තිබෙනවා.
බිලියන 2.67ක වෙනසක්: ණය කළමනාකරණ පද්ධතියේ (Debt Management System) ආරම්භක ශේෂයන් අතර රුපියල් බිලියන 2.672ක ශුද්ධ පරස්පරතාවක් විගණකවරුන් විසින් සොයාගෙන තිබේ.
මඟහැරුණු විදේශ ණය: 2025 වසරේදී ලැබුණු ඇතැම් විදේශ ණය මුදල්, රජයේ මූල්‍ය ප්‍රකාශන සහ මූලික ණය කළමනාකරණ පද්ධතිය යන දෙකම මුළුමනින්ම මඟහරිමින් ගොස් ඇති බවට විගණකාධිපතිවරයා අනතුරු අඟවා ඇත.
එමෙන්ම විදේශ ණය ගිවිසුම් හතරක් යටතේ සිදුකළ ණය නිදහස් කිරීම් රුපියල් බිලියන 2.01කින් වැරදි ලෙස වැඩි කර පෙන්වා තිබේ.
වත්කම් නැති බිලියන 518ක ණය: රුපියල් බිලියන 518.3ක දැවැන්ත විදේශ ණය ශේෂයක් පොත්වල සටහන්ව තිබුණද, රජයේ ගිණුම් ලේඛනවල ඒ හා සැබැවින්ම සැසඳෙන කිසිදු භෞතික හෝ ප්‍රාග්ධන වත්කමක් හඳුනාගෙන නොමැත. මීට අමතරව 2024 දෙසැම්බර් සිට පැවත ආ රුපියල් බිලියන 1.07ක පැරණි දෝෂයක්ද භාණ්ඩාගාරය විසින් මෙතෙක් නිවැරදි කර නැහැ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය: IMF හි ‘කඩිනම් මූල්‍ය පහසුකම’ (RFI) සහ ‘විස්තීර්ණ අරමුදල් පහසුකම’ (EFF) යටතේ ලබාගත් ණවල ණය වියදම් සහ පොලී පිරිවැය නිසි ගණකාධිකරණ කාලසීමාවන්ට ඇතුළත් කර ඇත්ද යන්න පිළිබඳවද විගණනයෙන් ප්‍රශ්න කර තිබෙනවා.
නව මහජන ණය කළමනාකරණ කාර්යාලය (PDMO) නිකුත් කළ දත්ත උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරන්නේ, ලංකාවේ මධ්‍යම රජයේ ණය කොටස ඩොලර් මිලියන 98,965ක් වන බවයි.
එහිදී සමස්ත බාහිර ණය ප්‍රමාණය ඩොලර් මිලියන 37,468ක් දක්වා පසුගිය කාර්තුවට වඩා මිලියන 195කින් සුළු වශයෙන් අඩු වී තිබෙනවා.
එමෙන්ම, 2022 ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) සඳහා වන ගෙවීම් සාර්ථකව අවසන් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, එමඟින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය ඉහළ ගොස් තිබෙනවා.
විගණකාධිපතිවරයා පෙන්වා දුන් රුපියල් බිලියන 518.3ක වත්කම් නොගැලපීම් සහ දත්ත පරස්පරතා නිවැරදි කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය ඒකාබද්ධ පියවර කිහිපයක් ගනිමින් සිටිනවා.
ඒ අනුව, දැනට ණය ලුහුබැඳීම සඳහා භාවිත කරන ‘Commonwealth Meridian’ පද්ධතිය, ඒකාබද්ධ මූල්‍ය කළමනාකරණ තොරතුරු පද්ධතිය (IFMIS) සමඟ සෘජුවම සම්බන්ධ කිරීමට කටයුතු කෙරෙනවා.
මෙමඟින් විදේශ ණයක් නිදහස් වූ සැණින් ඊට අදාළ වත්කම් හෝ ප්‍රාග්ධන වියදම් වාර්තාව ස්වයංක්‍රීයවම නිර්මාණය වන බැවින්, වාර්තා නොවන ණය ගලාඒම් වැළැක්වීමට හැකිවන බව එම වාර්තාවේ සඳහන් වනවා.






